රොබරෝසියා මලින් වැසී ගත්ත තුරු මුදුන් හරීම සුන්දරයි. නටුවෙන් ගිලිහිලා ඇද වැටුණු මල්, මේ රූස්ස ගස් යට පාවඩ හදලා. අවුරුදු සිය ගණනක් වයස වුණත්, අතු පතර විහිදාගෙන යෝධයන් වගේ නැගී සිටියා වුණත් තුරු සෙවණේ තිබෙන්නේ නැවුම් සිහිලසක්.

රටේ මනෝරම්‍ය භූමිභාගයක් වන සොඳුරු හන්තානටත්, සිහිල් මහවැලියටත් මැදි වුණ පේරාදෙණිය සරසවි බිම මලින් පිරී යන වසන්තයක් හැම අවුරුද්දෙ ම උදා වෙනවා. රෝස පාට, දම් පාට, කහ පාට මල්වලින් තුරු හිස් වගේ ම පොළොවත් වැසී යන එ් වසන්තයේ සුන්දරත්වය මෙතෙකැයි කියන්නට බැහැ. රටේ නාට්‍ය කලාව වෙනස් කරවපු මනමේ, සිංහබාහු වගේ අද්විතීය නිර්මාණ මේ බිම තුළ ම පණ නැගුවේ මේ සුන්දරත්වය තුළ කලාවේ උල්පත් බැසගත් නිසාවෙන් විය හැකියි.

වැදි රජුගෙන් අසිපත් පහර කා මනමේ කුමරු මැරී වැටුණ, සිංහබාහුගෙන් හී පහර ලැබ සිංහයා මැරී වැටුණ ‘සරත්චන්ද්‍ර වළේ’ හරි මැද යෝධයෙක් වගේ හිටගෙන ඉන්න රොබරෝසියා ගහ ළඟ මගේ හිත නැවතුණා. වසර ගණනාවක් පුරා ලාංකිකයන්ගේ කලාකාමීත්වය වෙනස් වෙවී යන ආකාරය මේ ගහ දැක්ක බව නිසැකයි. එ්ත්, එ් තුළ දැකපු දේ කියන්නට ගහට වචන නෑ.

කලාව….! මනුෂ්‍යයන්ගේ චිත්ත ප‍්‍රවාහයන් සමාජය වෙත ගෙන යන මාධ්‍යයක් විදිහටයි කලාව පිළිගැනෙන්නේ. ‘කලාව බිහිවන්නේ අවශ්‍යතාවය මතයි, එය මුදලත් සමග මිය යයි’ කියා සඳහනක් කලකට පෙර කියැවූ පොතක මට දකින්නට ලැබුණා. කාසිපණම්වලින් කලාවට වටිනාකම් ලැබෙනකොට කලාවේ ප‍්‍රශස්ත බව, ගුණාත්මක බව අභියෝගයට ලක් වෙන බව ඇත්තක්. එ්ත් ඇත්තට ම කලා නිර්මාණයේ ස්වභාවය තීරණය කරන්නේ මුදල නෙමෙයි; මේ සිතයි….

ක‍්‍රියාව බවට පෙරළෙන්නෙත්, වචන බවට හැරවෙන්නෙත් මේ සිත ම තමයි. එහෙම නම් කලාව බවට පත්වන්නෙත් සිත ම යි…

සිතේ ස්වභාවය කලාව හා සුසංයෝජනය වෙන ආකාරය අපරදිග කලාකරුවන්ට වඩා පෙරදිග කලාකරුවන් හඳුනාගෙන තිබුණා. ඉන්ද්‍රිය ගෝචර දැනුම තුළ ප‍්‍රඥ ගෝචර දැනුම සොයාගෙන යන්නට ඔවුන්ට සහජයෙන් ම තිබුණ පෙළඹවීම එයට හේතු වෙන්නට ඇති. හැරත් පෙරදිග ශිෂ්ටාචාරයන් තුළ ජීවිතාවබෝධය උපදවා ගැනීම විශිෂ්ට පර්යේෂණ ඉලක්කයක් ව තිබුණා. එවන් පසුබිමක සිතුවිලි වෙනස් කිරීම තුළ කලාව උසස් කරවීමට කලාකරුවන් යොමු වීම අරුමයක් නෙමෙයි..!!!

ඔව්… කලාව තුළ ප‍්‍රතිනිර්මාණය වන්නේ සිතේ ස්වභාවය ම යි….! රළු කළු ගල් පවා මුදු මොළොක් කොට බුදු ගුණයෙන් ඔපමට්ටම් කළ, කරගැට පිරුණ, මැදී සුමට වුණ දෑත් ඇති ගල් වඩුවාගේ සිත කළු ගලක් වගේ රළු වූ එකක් නො වෙයි… එය කළු ගල පවා සියුමැලි කළ ළතෙත් ගුණයෙන් පිරී ගත් හිතක්. එ් හිතේ වූ තෙතමනය, එ් හිතේ වූ සංයමය, එ් හිතේ වූ පිවිතුරු බව මහා කරුණා දහරක් වෙලා සම්බුදු පිළිරුවක නේත‍්‍ර යුග්මයෙන් ගලා එන අපූරුව අපේ හිත් දැහැන්ගත කරවනවා… එ් දැහැන තුළ ඊර්ෂ්‍යා, මද මාන, ක්‍රෝධ, කිළිටි කිසිවක් නැහැ. නිර්මල, පිවිතුරු බවක් ම යි එහි තිබෙන්නේ…..
කලාව ළතෙත් වන්නේ ළතෙත් සිතක් නිසා…. කලාව කලබලකාරී වන්නේ කලබලකාරී සිතක් නිසා…. කලාව කලහකාරී වන්නේ කලහකාරී සිතක් නිසා…. කලාව කලාවෙන් බැහැර වන්නේ කලාව සියුම්ව ග‍්‍රහණය නො කරන සියුම් නොවූ සිතක් නිසා…. මහගම සේකර කවියාණෝ ‘ප‍්‍රබුද්ධ’ කාව්‍ය සංග‍්‍රහය තුළ මේ සත්‍යය විනිවිද දුටුවා.

ඔහු සිතේ නිර්මල බව මෙහෙම කියනවා.
‘කැටපතක් වැන්න නිර්මල මනස
ග‍්‍රහණය නො කරයි එය කිසිවක්
ප‍්‍රතික්ෂේප නො කරයි කිසිවක්
ලබා ගන්නා නමුදු
තබා ගන්නේ නැති ය.’

ගිය ගිය තැන නවතින සිතට සපුරා වෙනස් වූ නිර්මල සිත කෙලෙස් කහටින් බැඳුණු කිළිටි මල සෝදා හරිමින් ගමන් කරන්නේ දුටුවොත් දුටුවා පමණක් වන, ඇසුවොත් ඇසුවා පමණක් වන, ආඝ‍්‍රාණය කළහොත් ආඝ‍්‍රාණය කළා පමණක් වන, රස වින්දොත් රස වින්දා පමණක් වන, පහස ලැබුවොත් පහස ලැබුවා පමණක් වන, සිතුවොත් සිතුවා ම පමණක් වන, එතැනින් එහා යළි යළි සකස් වෙවී යන ඇලීම්, ගැටීම්, මුළා වීම් කිසිවක් නැති නිකෙලෙස් බවටයි…
අනතුරුව සේකරයන් මෙසේ කියනවා.
‘සිතුවමක් සංගීතයක්
මවන විට හෝ රස විඳින විට
රැඳෙයි සිත එක ම අරමුණක’

එය සත්‍යයක්. අප ඇළුම් කරන ගීයක් ඇසෙන විට අන් සියලූ සිතුවිලිවලින් මිදිලා අපි එ් හඬට ඇහුම්කන් දෙනවා. සිත පුරාවට ම එ් ගීය නින්නාද වෙනවා. වාන් දමනවා වාගේ ගලාගෙන, ගලාගෙන එන සිතුවිලි ප‍්‍රවාහය එක සැණෙකින් එ් ගේය පද තුළ කිමිදී අතුරුදන් වෙනවා. එහෙත්… එ් තුළ තිබෙන්නේ ඇලීමක්…
සේකරයන් මේ මනෝ ස්වභාවය හා කලාව අතර සබැඳියාව තවදුරටත් විවරණය කරනවා.

‘කලාව රාගය හා සම්මිශ‍්‍ර ය;
එසේ වුව ද
කලාව යම් පමණින් උසස් වේ ද
එ් පමණින් ඉන් දුරු වී යයි රාගය…’

අතීතයේ පැවතියා වූ, වර්තමානයේ පවතින්නා වූ, අනාගතයේ බිහි වන්නා වූ සියලූ කලා නිර්මාණයන්ගේ උසස් බව, ප‍්‍රබුද්ධ බව, සියුම් බව නිර්ණය කරන්නා වූ සාධකය තමයි එ්… ‘කලාව යම් පමණින් උසස් වේ ද එ් පමණින් ඉන් දුරු වී යයි රාගය.’ එසේ නම් උසස්තම, ප‍්‍රබුද්ධ ම කලා කෘතිය නිර්මාණය වන්නේ විරාගය තුළ ම යි…. එ් විරාගය ජීවිතාවබෝධය උපදවන්නක් ම යි…
සේකරයන් එ් බව මෙසේ පෙන්වා දෙනවා…

‘උසස් කලා රසය
පහුරක් කොට ගත නො හැකි ද?
පසක් කරනට පරම සත්‍යය?’

මේ හෙළ කවියා පහුරකින් ම පැමිණ තිබෙන්නේ ලෝකයේ බිහිවූ උත්කෘෂ්ට ම කලා සම්ප‍්‍රදාය වෙතටයි.

‘මවනා විඳිනා ශක්තිය රසිකත්වය
මුහුකුරා ගිය රසිකයා හට
උසස්තම නිර්මාණයෙන් මිස
එවිට රසයක් ඔහුට නො ලැබෙයි.
එ් ශක්තිය උපරිම තලයට පත් විට
නො රිසි වෙයි නො සියුම් කලා කෘති;
කලා නිර්මාණයත්
කලා රස විඳීමත්
දෙක ම ඔහු අත් හරී.
‘කලාව බොළඳ දෙයකි’
එවිට ඔහුට හැෙඟයි;
‘කලාව බොළඳ දෙයකි’
එ නිසා එය බැහැර කරයි.
ඉන්පසු ඔහු සෞන්දර්ය ප‍්‍රවාහයකි.
මහා මෛත‍්‍රී කරුණා නිධානයකි.
කලාවේ අග‍්‍ර ඵලය ය එය,
ඉතා දුර ගමනක් ය එය.’

මේ කවියා දුටු එ් ඉතා දුර ගමන ගමන් කොට, කලාවේ අග‍්‍ර ඵලය නෙළාගෙන, මහා මෛත‍්‍රී කරුණා ප‍්‍රවාහයක් වූ උත්තරීතර කලාකරුවා ගැන ඔහු ඊළඟට අපට මතක් කර දෙනවා.

‘බුදු සමිඳුනි!
ඔබ කලාව දුර හැරියේ
එසේ සියුම් මනසක් ලද
මහ කවියෙකු වූ හෙයින් ද?’

කවියා අසන පැනයට කවියා පිළිතුරු දෙන්නේ නැහැ. කවියා නො දුන් එ් පිළිතුර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඬලින් ගලා විත් ලෝ සතගේ සසර දුක් ගිනි නිවා සදාතනික අමා සුව සලසාලූ අමෘත පදයන් තුළ ගැබ් වී තිබෙනවා.

රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මුළා වීමෙන් තොර සදාතන, සනාතන සත්‍යය, තුන්ලොවට ම යහපත, ශාන්තිය උදා කරලන සත්‍යය දෙවියන්, බඹුන්, මිනිසුන් සහිත, මරුන් සහිත, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත ලෝකය ඉදිරියේ ”මම වනාහි අනුත්තර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙමි”යි සිංහනාද කොට ගෙනහැර දැක්වූ එ් සුගතයාණන් වහන්සේ තරම් ප‍්‍රබුද්ධ වූ, ප‍්‍රතිභාපූර්ණ වූ, පරමෝත්තම වූ කලාකරුවෙකු ලොව බිහි වූයේ නැහැ. එ් පරම සත්‍යය කැටි කොට ගත්, සත් සිත් සුවපත් කරනා පරමෝත්තම ධර්මය තරම් සොඳුරු වූ, අර්ථ පරිපූර්ණ වූ, සියුම් වූ කලාවක් ලොව බිහි වූයේ නෑ…. ‘කලාව යම් පමණින් උසස් වේ ද එ් පමණින් ඉන් දුරු වී යයි රාගය….’ එ් විරාගී වූ, විරාගයට මඟ කියන්නා වූ විශාරද ගුණමුහුඳාණන් තරම් ශ්‍රේෂ්ඨ වූ කලාකරුවෙකු හෝ එ් විරාගී වූ, විරාගයට මඟ කියන්නා වූ සද්ධර්ම නිධානය තරම් ශ්‍රේෂ්ඨ කලා කෘතියක් හෝ තුන්ලොව කොතැනකවත් මුණ ගැසෙන්නේ නම් නැහැ.

කලාවෙන් කලාවට පූරණය වන චන්ද්‍ර මණ්ඩලය මේ වෙසක් පුන් පොහෝ දිනයේ වීතරාගයෙන් ප‍්‍රභාවත්ව දිලෙන්නේ මනුෂ්‍ය වර්ගයා තුළින් පහළ වූ නිකෙලෙස් කලාවට නමස්කාර කරමිනුයි. එ් සඳ පහන යට වැඩ හිඳ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සම්බුදුරජාණන් වහන්සේ කම්සැපෙන් මුසපත් වූ ලෝකයට සරාගී වූ රැුය, කෙලෙස් තවනා මුනිවරුන්ට විරාගී වන බව පෙන්වා වදාළා. එ් මඟ ගිය, එ් විරාගී කලා රසයට සමවැදුන මුනිවරුනුත් එ් විරාගී සුවය ම සාක්ෂාත් කළා. අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් ලොවට සැපත සලසන්නේ එ් විරාගී මුනිවර සිරිත ම යි…..!!!

රටේ කලාව වෙනස් කළ තැනක රොබරෝසියා ගසක් පාමුලින් පණ නැගුව මගේ කල්පනාව නැවතුණේ මුළුමහත් ලෝකයේ ම සකලවිධ කලාවන් අබිබවා නිරාමිස සෞන්දර්ය පණ නගපු ඇසතු බෝධිය මුලයි….!

‘බැලූවෙමි මිදුලට බැස.
පුදුමයක් යැ!
වෙසක් පහන්වලින් ගලන
සවණක් ගන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටුකම්බි ද
මොහොතින් අතුරුදහන් වී ගොසින් ය.
ලෝකය තනි යායකි.
අහස පොළොව හා ගහ කොළ
මුළු ලෝකය
අප හැම සතු පොදු දේපළක් බවට
මොහොතක් පත් වී ඇත.
සුඛෝ බුද්ධානං උප්පාදෝ!!!

ඔව්…. සම්මා සම්බුදුවරුන්ගේ පහළ වීම ලොවට සැපයක් ම යි….!!! එ් වනාහි ලෝ සත විමුක්තියට පත් කරලන ශ්‍රේෂ්ඨතම කලාවේ පහළ වීම ම යි!!!

නමෝ බුද්ධාය !