උතුම් රහතන් වහන්සේලා සම්පූර්ණ කරන ලද සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඤාණදර්ශනයන්ගෙන් යුතු වූ සේක. උන්වහන්සේලාට නිවන් මග උදෙසා මත්තෙහි පුනපුනා කළ යුතු කිසිවක් නොමැත. බඹසර වාසය නිම කරන ලද්දේ වෙයි. එම නිසා කෙනෙකුට බැලූ බැල්මට රහතන් වහන්සේලා තවදුරටත් භාග්‍යවතුන් වහන්සේ විසින් පැනවු ශික්ෂාපද සීමාවේ සිටිනවා ද? එසේ නොමැති නම් එම සීමාවෙන් බැහැර වී කටයුතු කිරීම තුළ රහතන් වහන්සේලාගේ පිරිසිදු බවට හානියක් සිදු නොවනවා නේ ද? යැයි සිතෙන්නට පුළුවන. ඒ නිසා ම වර්තමානයේ ඇතැමුන් බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලාට ශික්ෂාපද නොපැනවූ බවත්, රහතන් වහන්සේලාට ශික්ෂාපද ඉක්මවා කටයුතු කළ හැකි බවත් යැයි කියන දෙසුම් අපට අසන්නට දකින්නට ලැබේ. ශ්‍රී මුඛ ධර්ම දේශනා අනුසාරයෙන් ම මේ කරුණ පැහැදිලි කර ගැනීම කාලෝචිත යැයි අපි කල්පනා කළෙමු.

රහතන් වහන්සේලාගේ ජීවිතය තුළ ධර්මතාවයක් ලෙස පවතින, කිසි විට ඉක්මවා නොයන ධර්මයන් නවයක් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පළමුවෙන් ම අපි ඒ පිළිබඳ විමසා බලමු.
රහතන් වහන්සේලා ඉක්මවා නො යන කරුණු

ඒ ක්ෂීණාශ්‍රවයන් වහන්සේලා,

1. දැන දැන සතෙකුගේ දිවි තොර කරන්නට අසමර්ථ වෙයි.

2. නොදුන් දෙයක් සොර සිතින් ගන්නට අසමර්ථ වෙයි.

3. මෛථූන සේවනය කිරීමට අසමර්ථ වෙයි.

4. දැන දැන බොරුවක් පවසන්නට අසමර්ථ වෙයි.

. යම් සේ කලින් ගිහි ජීවිතය ගත කරන ලද්දේ ද ඒ අයුරින් එක් රැස් කොට තබාගෙන කාමයන් පරිභෝග කරන්නට අසමර්ථ වෙයි.

6. බුදුරජුන් ප්‍රතික්ෂේප කිරීමට අසමර්ථ වෙයි.

7. ශ්‍රී සද්ධර්මය ප්‍රතික්ෂේප කිරීමට අසමර්ථ වෙයි.

8. සංඝයා ප්‍රතික්ෂේප කිරීමට අසමර්ථ වෙයි.

9. ශික්ෂාව ප්‍රතික්ෂේප කිරීමට අසමර්ථ වෙයි.

(සුතවාපරිබ්බාජක සූත්‍රය – අං. නි. 5)

ඒ ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේ මේ කරුණු නවය ඉක්මවා යන්නට අසමර්ථ වෙති. එසේ නම් ඉතා පැහැදිලි වන කරුණක් නම් රහතන් වහන්සේනමක් අතින් බුදුරජුන් වදාළ ධර්මය ප්‍රතික්ෂේප කර තමන් අවබෝධ කළ දෙයක් කියනවා යන්න සිදු විය නොහැක්කකි. එමෙන් ම බුදුරජුන් වදාළ ශික්ෂා පදයන් කඩ කරනවා යන්න ද සිදු විය නොහැක්කකි. භාග්‍යවතුන් වහන්සේ තම ශ්‍රාවකයන්ගෙන් කොපමණ සීල ගෞරවයක් අපේක්ෂා කළේ දැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම ගාථාවෙන් පැහැදිලි වෙයි.

“කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියං ව පුත්තං නයනං ව ඒකකං
තථේව සීලං අනුරක්ඛමානා
සුපේසලා හෝථ සදා සගාරවා”

“ජීවිත පරිත්‍යාගයෙන් යුතුව බිත්තර රකින කිරල මවක් සේ, ජීවිත පරිත්‍යාගයෙන් වලිගය රකින සෙමෙර මුවෙක් සේ, ජීවිත පරිත්‍යාගයෙන් තම දරුවා රකින එක් දරු මවක් සේ, එක් ඇසක් ඇති තැනැත්තෙක් ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ඒ ඇස සුරකින සේ, ජීවිත පරිත්‍යාගයෙන් යුතුව, ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කරමින් සුපේශල ව වාසය කරන්න.”

මෙය අපගේ ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව යි. රහතන් වහන්සේලා යනු භාග්‍යවතුන් වහන්සේගේ ළය මඬලෙන් උපන් දරුවෝ ය, ඖරස පුත්‍රයෝ ය. උන්වහන්සේලා ඒ ශාස්තෘ ශාසනය ඉක්මවා කටයුතු කරනවා යන්න කිසිදා කිසි විට සිදු විය නොහැක්කකි. ඒ රහතන් වහන්සේලාගේ ජීවිත මුළුමනින් ම පිරිසිදු ය. ඇතුළත පිටත පිරිසිදු සුදෝ සුදු හක්ගෙඩියක් සේ ය. කෙලෙස් දොස් රහිත ය. කෙලෙස් කහටින් තොර ය. නුවණැත්තන්ගෙන් දොස් ලබන අල්පමාත්‍ර හෝ කායික වාචසික මානසික ක්‍රියාවන් සිදු නො කරයි. උන්වහන්සේලා සීල සංවරයේ ප්‍රතිමූර්ති බඳු ය. ඒ තරම් ප්‍රමාණ රහිත ශාස්තෘ ගෞරවයක්, සීල ගෞරවයක් උන්වහන්සේලා තුළ නිබඳ ව ම පවතී.

සිතේ දෝංකාර දෙන ශාස්තෘ ගෞරවය

දිනක් අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ ව බැහැ දැකීමට කැමැත්තක් ඇති විය. සාරිපුත්තයන් වහන්සේ පාත්‍රා සිවුරු ගෙන කොසොල් දනව්වෙන් පිටත් වී සැවැත්නුවර බලා දීර්ඝ ගමන් මගට පිළිපන් සේක. නිරුවත් දෙපයින් යුතුව පාගමනින් ම මේ වඩින දීර්ඝ ගමන වෙහෙසකර නමුත් ඊට තමන්ට උපකාර කිරීමට සැදී පැහැදී සිටින දෙවියන්ගේ උපකාර පැතුවේ නැත. සැදැහැවත් ධනවත් දායක කාරකාදීන්ගෙන් උපකාර පැතුවේ නැත. නිරායාසයෙන් ම උපදවා ගත හැකි ඍද්ධි බලය උපයෝගී කර ගත්තේ නැත. මන්ද ඒ රහතන් වහන්සේලා අල්පේච්ඡ ය. පශ්චිම ජනතාවට අනුකම්පා කරන සේක. බොහෝ මිනිසුන්ට අනුකම්පාවෙන් ගම් නියම්ගම් පසු කරමින් පා ගමනින් ම දීර්ඝ ගමන් මගට පිළිපන් සේක.

අහෝ රහතුන් තුළ තිබුණු ශික්ෂා ගෞරවය…!

ඒ දීර්ඝ ගමන් මග තුළ එක්තරා පිරිසක් ආගන්තුක දාන ශාලාවක් පිහිටුවා ඇත. ඒ මගින් යන භික්ෂූන්ට ඉන් දන් වැළඳිය හැකි ය. එකල සවග මහණහු එම දන් හල අසල රැඳී සිටිමින් දිනපතා ම එම දාන ශාලාවෙන් ම දන් වැළඳීමට පටන් ගත්හ. එනිසා මිනිසුන්ට ආගන්තුක ව වඩින භික්ෂූන්ට දන් පිළිගැන්වීමට නොහැකි විය. ඒ මිනිසුන් ඒ භික්ෂූන් පිළිබඳ ව ළාමක කොට සිතත්, නුගුණ කියත්, දොස් පතුරත්. භික්ෂූන් මේ බව භාග්‍යවතුන් වහන්සේට සැල කළහ. ඒ කරුණ මුල් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ‘එක ආගන්තුක දන් හලකින් දන් වැළඳිය යුත්තේ එක් දිනක් පමණයි’ යනුවෙන් ශික්ෂා පදයක් පැනවූ සේක. කුසගින්නෙන් හා විඩාබර ව වඩින සාරිපුත්තයන් වහන්සේ ද මෙම ආගන්තුක දන් හලට ගොඩ වී දන් වැළඳූහ. දන් වළඳා අවසන් වූ සාරිපුත්තයන් වහන්සේ බලවත් ව රෝගී විය. එය කොතරම් වී ද යත් දන් හලෙන් පිටවීමට නොහැකි තරම් බලවත් විය. එදින උන්වහන්සේ එහි ම රාත්‍රිය ගත කළෝ ය. පසු දින මිනිසුන් උන්වහන්සේට එම දන්සලෙන් දන් පිළිගැන්වීමට උත්සාහ කළෝ ය. එවිට සාරිපුත්තයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ ‘නිබඳව වසමින් ආගන්තුක දන් හලකින් දිනකට වඩා දන් නො වැළඳිය යුතුයි’ යනුවෙන් ශික්ෂා පද පනවා ඇති බැවින් දානය ප්‍රතික්ෂේප කර එදින නිරාහාර ව වැඩ සිටියහ. පසු දින උන්වහන්සේ කුසගින්නේ ම පාත්‍රා සිවුරු ගෙන සැවැත්නුවර බලා පිටත් වූහ. එකරුණ දැනගත් භාග්‍යවතුන් වහන්සේ ගිලන් භික්ෂූන්ට ආගන්තුක දන්හලින් නැවත නැවත දන් වැළඳීමට කැප යැයි එම ශික්ෂා පදය නැවත පනවන ලදී. ඒ රහතන් වහන්සේලා ශික්ෂා ගෞරවයෙන් යුතුව ඉතා කුඩා ශික්ෂා පදයක් පවා ආරක්ෂා කළ බවට මෙය හොඳ ම නිදසුනකි. ඒ රහතන් වහන්සේලා පවා එබඳු ශික්ෂා ගෞරවයකින් යුතුව වාසය කළේ මන්ද යන්න අපට තේරුම් ගැනීමට උපකාර වන තවත් කරුණක් නම් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ශික්ෂාපද පැනවීමේ අරමුණු ය. කරුණු දහයක් මුල් කොටගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ශික්ෂාපද පනවන සේක.

1. සංඝයාගේ මනා පැවැත්ම පිණිස

2. සංඝයාගේ පහසු විහරණය පිණිස

3. දුස්සීල පුද්ගලයන්ට නිග්‍රහ කිරීම පිණිස

4. සුපේශල ශික්ෂාකාමී භික්ෂූන්ගේ පහසු විහරණය පිණිස

5. මෙලොව දී ඇතිවෙන උවදුරුවලින් සංවර වීම පිණිස

6. පරලොවෙහි ඇතිවෙන උවදුරු නැසීම පිණිස

7. අපැහැදුන අයගේ පැහැදීම පිණිස

8. පැහැදුන අයගේ වඩා පැහැදීම පිණිස

9. සද්ධර්මයේ චිරස්ථිතිය පිණිස

10. විනයට අනුග්‍රහය පිණිස

(උපාලි සූත්‍රය – අං. නි. 6)

ඉහත කරුණු දහය හේතු කරගෙන බුදුරජාණන් වහන්සේ ශික්ෂා පද පැනවීමෙන් පසු යම් ඒ නිවන් මඟ පුරුදු කර අවසන් කළ රහතුන් ඇත් ද නිවන් මඟ පුරුදු කරන සේඛ භික්ෂූන් ඇද්ද ඒ සියල්ලෝ ම දිවි හිමියෙන් ශාස්තෘන් වහන්සේ පැනවූ ශික්ෂා පද ඉක්මවා නොයත්. ඒ බව පහාරාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

“පහාරාදයෙනි, යම් සේ මහා සමුද්‍රය පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නො යයි. එසෙයින් ම මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂා පදයක් පනවන ලද්දේ ද මාගේ ශ්‍රාවකයන් ජීවිතය පිණිසවත් එය ඉක්මවා නො යයි.”

(පහාරාද සූත්‍රය – අං.නි. 5)

අපගේ ශාස්තෘන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් කොතරම් ශික්ෂා ගෞරවයක් අපේක්ෂා කළේ ද යන්න දැන ගැනීමට මෙම සිදුවීම ද අපට ඉතා උපකාරී වේ.

ශාස්තෘන් වහන්සේ ශ්‍රාවකයන්ගෙන් අපේක්ෂා කළ දේ

ඒ දිනවල මහාකප්පින මහරහතන් වහන්සේ වැඩසිටියේ රජගහ නුවර මද්දකුච්ඡි මිගදායේ ය. එදින උපෝසථ දිනයක් විය. හුදෙකලා විවේකයෙන් වැඩ සිටි මහා කප්පිනයන් වහන්සේට මෙම චිත්ත පරිවිතර්කය ඇති විය. ‘මම උපෝසථ කර්මයට යන්නෙම් ද නො යන්නෙම් ද? සංඝ කර්මයට යන්නෙම් ද නො යන්නෙම් ද? ගියත් නොගියත් මම උතුම් වූ පිරිසිදු බැවින් පිරිසිදු බවට පත්ව සිටින්නෙමි’ යි සිත් විය.

එකල භාග්‍යවතුන් වහන්සේ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වසන සේක. එකෙණෙහි ම මහාකප්පිනයන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය භාග්‍යවතුන් වහන්සේ තම සිතින් පිරිසිඳ දැන ඍද්ධියෙන් ගිජ්ඣකූටයෙන් අතුරුදහන් ව මද්දකුච්ඡි මිගදායෙහි මහා කප්පිනයන් වහන්සේ ඉදිරියේ පහළ වූහ.

භාග්‍යවතුන් වහන්සේ මහා කප්පිනයන් වහන්සේගෙන් ඉහත කරුණු විමසා මෙසේ වදාළ සේක.

“කප්පිනයෙනි, රහත් වූ ඔබ වැනි කෙනෙක් උපෝසථයට ගරු නොකරන්නේ නම්, සත්කාර නො කරන්නේ නම්, නොපුදන්නාහු නම් එකල්හි කවරෙක් නම් උපෝසථයට සත්කාර කරන්නේ ද? ගරු කරන්නේ ද? බුහුමන් කරන්නේ ද? පුදන්නේ ද? බ්‍රාහ්මණය, උපෝසථයට යව. නොයා සිටින්නට එපා. සංඝ කර්මයට යව. නොයා සිටින්නට එපා.”

එකල්හී මහාකප්පින මහරහතන් වහන්සේ ඉතා සතුටින් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය පිළිගත්තාහු ය.

(උපෝසථක්ඛන්ධකය – මහාවග්ග පාළි)

රහතන් වහන්සේලා තුළ තිබුණු අප්‍රමාණ සික්ෂා ගෞරවය පිළිබඳ ඉහත ඉදිරිපත් කළ කරුණු ඉතා අල්ප ය. ත්‍රිපිටකය එය දස දහස් වරක් සනාථ කරයි. මෙකල මිනිසුන්ට ඇති එක ම පිහිට නම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා ලාභය උපදවා ගැනීම යි. ඇතැමුන්ගේ අන්තනෝමතික මතවාද නිසා ඒ දුර්ලභ අවස්ථාව ද අසරණ මිනිසුන්ට අහිමි වී යයි. ඒ නිසා සියල්ලෝ ම උතුම් ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත පහදවා ගනිත්වා! බිහිසුණු සසර ගමනින් නිදහස් වීමට වහ වහා වීරිය වඩත්වා!

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි