‘පෙරදිග ලෝකයේ බබළන මුතු ඇටය
පණ ඇති මහා සමුදුර පවුරෙන් වට ය
හෙළ දිවයින මගෙයි මා ඉපදුණ රට ය
ලොව අන් සියලු දිවයින් මේකට යට ය’

එක්දහස් නවසිය පනහ දශකයේ ජාතික පුනරුදය ඇතිවුණ සමයේ පී. බී. අල්විස් පෙරේරා මහ කිවියාණන් ‘මගේ රට’ මැයෙන් ලියු පැදි පෙළේ ආරම්භක පද්‍යයෙන් මේ ලිපිය ආරම්භ කළේ අප අරුත් විමසන්නට යන දේශානුරාගී ගීතයෙන් ප්‍රතීයමාන වන අධ්‍යාත්ම තතු එම කවියෙන් මනාව විශද කෙරෙන බැවිනි. අන් කිසිදු දේශයක දැකිය නොහෙන විරූ ස්වභාවික රැකවරණයෙන් හා පාරිසරික සෞන්දර්යයෙන් පිරිපුන්, මුළු ලොව ම මුතු ඇටයක් මෙන් වටිනා සිංහලයන්ගේ දේශයේ මහරු බව පිළිබඳ ව අල්විස් පෙරේරා කවියාණන් සිය පද්‍ය පන්තියෙන් මනා ව විවරණය කොට තිබිණ.

මහ පොළොව මතු නොව දස දහස් සක්වළ ගැබ පැතිරි විශ්වයේ අරුමය හා පරම අරුත හෙළි කොට දුන් ලොව පහළ වූ අත්‍යුත්කෘෂ්ට සමය දසුන වන බුදු දහම මේ දිවයිනේ මුල්බැසගත් දෙදහස් පන්සිය වසක ඉතිහාසය තුළ අප උතුම් දේශය අත්පත් කොට ගත් කිතු යසස් ගුණ කඳ හෙළදිව කිවියන්ටත් වඩා උසස් ලෙස වැනුවෝ අපරදිග පඬුවෝ ය. ඒ පිළිබඳ අරුත් වියකන ‘ඉරක් පායනා දේශය’ නමැති ගීතය ඔස්සේ විමසුම කාලෝචිත යයි සිතමි. එම ගීතයේ පද වියමන පද්මකුමාර මෙත්තසේන සුලවතුන්ගේ ය. ගීතය ගායනා කරනුයේ සිය මියුරු කටහඬින් අප මාතෘභූමියේ යසස් කිතුගොස නන් රුවින් ගුවන් කුස නිනඳ කළ වික්ටර් රත්නායකයන්ගේ ය. ගීතය මේ ය:

“ඉරක් පායනා දේශය – ලොවක් ලොබ බැඳුණ දේශය
මගේ මේ රටයි සුන්දර – බලනු මැන සකි

ජාතියේ උදාලෝකය – මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්

විදෙස් දේශයන් අබියස – නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිඳුනි – හිඳිනු මම කෙසේ

ජාතියේ මහා මානය – මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්

ඉරක් පායනා දේශය…”

දෙදහස් වසර ගණනක ලිඛිත ඉතිහාසයක් ඇති ජාතියකගේ අතීත – වර්තමාන – අනාගත ආඛ්‍යානයක් දිග හැරෙන, ගීත පාද අටකට පිඬු කොට නිමැයුණු විරල නිර්මාණයක් වශයෙන් මෙම ගීතය හැඳින්විය හැකි ය. ලක්දිව යන නාමය කිසිදු තැනක සඳහන් නොවන මේ ගීතයේ, ප්‍රස්තූත දේශය හඳුන්වා දී ඇත්තේ ‘සිංහලේ’ යනුවෙනි. සිංහල දේශයේ අභිමානය වර්තමානයේ එහි වෙසෙන ජනකායට මෙන් ම ලෝකවාසී ජනතාවට ද වටහා දීමට සිදු වී ඇත්තේ එහි ප්‍රෞඪ අතීත කතා පුවත, වර්තමානයේ මිසදිටු බලවේග විසින් යටපත් කොට දමා ඇති බැවිනැයි ගීත රචක පද්මකුමාරයන් උපකල්පනය කළා සේ ය. ගීතයේ උපයුක්ත දේශය හඳුන්වා දී ඇත්තේ ‘ඉරක් පායනා දේශය’ යනුවෙනි. මුළු ලොවේ හැම දේශයක් ම එළිය කරමින් සූර්යයා පෑයුව ද හිරු උදාවේ පූර්ණ ආශීර්වාදය භුක්ති වින්දේ සිරිලක් දේශය හා එහි වෙසෙන ජනතාව යි. බුදු දහමත්, සිංහල ජාතියත් ඉරහඳ පවත්නා තාක් කල් සුරැකි ව පවතින බැව් සෙල්ටැම් හිස් මත චිහ්න ලකුණු යොදා ශපථ කළෝ අතීත යුගයේ ලක්දිව පාලනය කළ හෙළ නරවිරුවෝ ය.

“ඉරක් පායනා දේශය – ලොවක් ලොබ බැඳුණ දේශය
මගේ මේ රටයි…”

ලොව සියලු රටවල් සිසාරා එක සේ එළිය විහිදුවන හිරු මඬලේ ආශීර්වාදය සිරිලක් දෙරණ සිසාරා ගලා ගියේ බුදු දහමේ පහස ලද දිනයේ දී සිට ය. එතෙක් අඳුරේ අතපත ගෑ ජාතියක් බුදු දහම නමැති හිරු එළියේ පහසින් තම භූමිය පමණක් නොව ස්වකීය අධ්‍යාත්මය ද එළිය කොට ගත් පුවත දෙදහස් තුන්සිය වසරක ලංකා ඉතිහාසය අපට කියා දෙන පාඩම යි. එදා සිට මුළු ලොව ම ලොබ බැඳ ගත් සිංහල දේශය කලින් කල ආක්‍රමණිකයන්ගේ, මංකොල්ලකරුවන්ගේ, මිථ්‍යාදෘෂ්ටිකයන්ගේ කෙළි මඬලක් බවට පත් වුව ද රටේ සුන්දරත්වය, හිරු කිරණින් ලබා දුන් පෝෂණය කිසිවෙකුට පැහැර ගත නොහැකි විය. ලෝකයක හදවත වන් අප ජාතියේ උදාරත්වය සිරිලක් පොළොව මත නිදන් ව පවත්නා බැව් එරටවාසීන්ටත් වඩා උදාර ලෙස වර්ණනා කළේ එහි අගය වටහා ගත් අපරදිගුවන් ය.

ලංකාවේ ගම්වල වැව් ජලයෙන් පිරී තිබෙන විට පවත්නා දසුන තරම් සොඳුරු බවක් තවත් මිහි පිට නොමැති බව බි්‍රතාන්‍ය වාරිමාර්ග ඉංජිනේරුවකු වූ හෙන්රි පාකර් පැවසී ය. බ්‍රෝහියර්, ස්කිනර්, ටෙනන්ට්, ඬේව්, බෙල් ආදී බි්‍රතාන්‍ය යුගයේ මෙහි රාජකාරිවල නියැලී සිටි වියතුන්, පුරාවිද්‍යාඥයන් ආදීහු සිරිලක් භූමියේ හා ජනතාවගේ මහරු බව ලෝකයට පෙන්වා දුන්හ. අපගේ වීරෝදාර මුතුන් මිත්තන් හෙළුෑ දහදියෙන්, ලෙයින්, කඳුළින් පොහොර ලද දේශයේ උරුමකරුවන් වන සිංහල ජාතිය, පරපුරෙන් පරපුරට තමන් පෝෂණය කළ උතුම් භූමියට නන් අයුරින් ගරු බුහුමන් උපහාර දැක්වූ අයුරු විදේශික සංචාරකයෝ සිය ලේඛනවල නොපැකිලව සටහන් කළහ. සේවා ගීයේ සිට මහ පොළොවට වැඳ කැත්තෙන් උදැල්ලෙන් වැඩ අල්ලන ගොවියාගේ අඬහැරය දක්වා සෑම තරාතිරක ම ජනයාගේ උපහාරයෙන් ධ්වනිත කෙරෙන හැඟුම:

‘ජාතියේ උදාලෝකය – මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්’

යන ගීත ඛණ්ඩයෙන් කියැවෙයි.

ජාතියේ උදාලෝකයක මූලාශ්‍රය හා ලකුණ වූ කලී ඒ ජාතිය වහරන භාෂාව යි. ලංකාවට ම විශේෂ වූ භාෂාවක් වන සිංහලය අතීතයේ සිට අඛණ්ඩ ව ජන වහරින් පෝෂණය ලබමින් වැඩී ගියේ සුන්දර නිමල දිය දහරක් පරිද්දෙනි. එම බස වූ කලී අප ජාතික හදවතේ රිද්මය ද වන්නේ ය. එම සුන්දර භාෂාව ආසියාවේ වෙනත් කිසිදු රටක නොමැති බවත්, ඒ බස කතා කරන්නන් පිය තෙපුලෙන් හා මිහිරි ආමන්ත්‍රණයෙන් ද කාරුණික සම්භාෂණයෙත් ද අගතැන් පැමිණියවුන් බවත් 17 වැනි සියවසේ විසිවසරක් මෙරට සිරකරුවකු ව සිටි රොබට් නොක්ස් කී ය. මේ ද ඔහුගේ කියුමකි.

“සිංහල භාෂාව වූ කලී වාග් ශක්තියෙන් පොහොසත් වූ ලාලිත්‍ය ගුණයෙන් මටසිලිටි වූ ඒ බස කතා කරන මනුෂ්‍ය වර්ගයා මෙන් ශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ භාෂාවකි.” (එදා හෙළදිව – 297 පිටුව)

පර බස් අභිබවන ඒ මහරු ගුණය හෙළ බසට උරුම වූයේ බුදු වදන ඇසුරින් බව රොබට් නොක්ස් දැනසිටියේ නම් එය ඔහු නොපැකිල ව ප්‍රකාශ කරනු නොඅනුමාන ය. සිරකරුවකු වශයෙන් සිට වුව ද හෙළදිවේ වටිනාකම හා එහි එදවස විසූ ජනයාගේ සුහදශීලී ඇවතුම් පැවතුම් ඔහු වර්ණනා කළේ ඉන් නොමඳ ආස්වාදයක් ලද හෙයිනි. දෙදහස් වසරක් මුළුල්ලේ පැවති බසේ රැසේ මේ සියලු ගුණයන් වනසාගෙන ජාතියක් වශයෙන් අප අද පත්ව සිටින ශෝචනීය පරිහානිය ගීතයේ ඊ ළඟ අන්තර්ඛණ්ඩයෙන් ගැයෙන්නේ මෙසේ ය.
‘විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට දෙදණ බිම ඔබා මැතිඳුනි හිඳිනු මම කෙසේ’

මේ මැසිවිල්ල වර්තමානයේ වෙසෙන සමස්ත ලක්වැසි පොදු ජනකයගේ ම සිතැඟියේ දෝංකාරය යි. රට කරවන පාලකයන් සිය උදර පෝෂණය ම සලසා ගනිමින් තම උපන් බිම උගසට තබා ස්වකීය පැලැන්තියේ එකිනෙකාට වහසි බස් කියා ගනිමින් මාරුවෙන් මාරුවට පාලන බලය සඳහා පොරයක යෙදී සිටින අයුරු පෙනේ. රටේ මුල්‍ය ආයතන කොල්ලකමින් විදෙස් බලවතුනට රටේ සම්පත් විකුණමින්, පෙර රජදරුවන්ගේ විකුම්කම් පළ කරන පුරාවස්තු සහිත බෞද්ධාගමික ආරාම ඉඩකඩම් අන්‍යාගමිකයන්ට පවරා දෙමින් මොවුන් විසින් කරනු ලබන නැස්පැත්තිය, අදීන ජාතියක් යන එන මං නැති තත්ත්වයකට ඇද හෙළීමකි. විදෙස් ධන වැද්දන් හමුවේ රටවැසියන් නිවටයන් බවට පත් කිරීමකි.

“දෙදණ බිම ඔබා මැතිඳුනි හිඳිනු මම කෙසේ” මෙහි ‘මැතිඳුනි’ යන යෙදුම නිර්දය උපහාසයක් ගැබ් වූවකි. අදමිටු, දේශද්‍රෝහී පාලකයන් හමුවේ තවදුරටත් නිවටුන් ලෙස සිටිය හැක්කේ කෙසේ ද?

‘ජාතියේ මහා මානය – මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර – පොළොව මම සිඹිම්’

ජාතියේ අභිමානය වූ ද ජාතියේ හදවත වන් වූ ද පින්බර සිංහල දේශයේ උරුමය සිය පණනල සේ රැකගත්, වීරෝදාර රණවිරුවන්ගේ, නරපතියන්ගේ ලෙයින් සාර වූ උදාර මාතෘභූමිය මත වැතිර වැඳ අප ශපථ කළ යුත්තේ කුමක් ද? ජාතියේ නිදහසත්, සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් උදෙසා සිය ජීවිත පූජාවෙන් කටයුතු කොට රැකගත් මාතෘභූමියේ උදාරත්වය යළි නංවා අනාගත පරපුර වෙත භාර කිරීම පිළිබඳ ප්‍රතිඥාවක් නො වේ ද?

අපරදිග අධිරාජ්‍යවාදී පාලනයේ අවසන් බැමි ද ලක්දිවින් සිඳ හළ දේශමාමක නායක අග්‍රාමාත්‍ය එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් 1955 අප්‍රේල් 6 වැනි දින පාර්ලිමේන්තුව අමතා කරන ලද දීර්ඝ කථාවෙන් බිඳක් ගෙන හැර දක්වමින්, ජාතියේ මහා මානය ගැන ගැයුණු ගීතයේ අරුත් විමසුම හමාර කරමි:

“මේ රටේ දීර්ඝ ඉතිහාසය තුළ සිංහල ජාතියත්, බුද්ධාගමත් අතර තිබුණේ වැදගත් සම්බන්ධකමක්. සිංහල ජාතිය පුරාණ කාලවල දී බුද්ධාගමට මුල්තැන නො දී කිසිම වැදගත් දෙයක් කළා ය කියා මා සිතන්නේ නෑ… සිංහල ශිෂ්ටාචාරය, සිංහල සංස්කෘතියට වඩා මේ රටේ තිබුණේ බෞද්ධ ශිෂ්ටාචාරයක්, බෞද්ධ සංස්කෘතියක්. ඔය කාරණයේ ලොකු වටිනාකමකුත්, වැදගත්කමකුත් තිබෙනවා. ඒ නිසා ආගමික දේවලට ආණ්ඩුව අත නොගැසිය යුතුයි කියන අය ඒ කාරණය ගැන හරි අවබෝධයක් ඇතිකර ගත්තොත් හොඳයි.”

(සිරිල් මැතිව් මහතාගේ ‘සිංහලුනි බුදුසසුන බේරාගනිව්’ – {1981= නැමැති කෘතිය ඇසුරෙනි.)

සටහන – දයාපාල ජයනෙත්ති