අපගේ සිංහල ජාතියේ ඉතිහාසය වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනෙකුට අමතක කරවන ලද්දේ යටත්විජිත පාලන යුගයේ බලපෑම නිසා නොව අප නිදහස ලබා ගෙවී ගිය පසුගිය අවුරුදු විස්ස තිහ ඇතුළත දී යයි සිතමි. ඉතිහාසය, සාහිත්‍යය යන විෂයයන් දෙක ඉගැන්වීම පාසැල් විෂය මාලාවෙන් ඉවත් කර දැමීම නිසා අපගේ වර්තමාන පරපුර නැංගුරම් සිඳ හළ නෞකාවක් පරිද්දෙන් ඉවබව නැති රළ පහරකට හසුව යන එන මං නැතිව අතරමං වී ඇති බව පෙනී යයි. ඉතිහාසය නොදැනුම තම පරපුරේ අභිමානවත් උරුමය මකා දැමීම යි. හරවත් සාහිත්‍යයක වින්දනයක් නොලැබීම අධ්‍යාත්මය වනසා ගැනීමකි. ඒ දෙක ම අපගේ වර්තමාන පරපුර තුළින් ගිලිහී ගොස් ඇති අයුරු දැන් දැන් සිදුවන විපත්වලින් පෙනී යයි.

අපගේ උතුම් දේශය, ජාතිය හා ආගම ගැන සිහිපත් කරන විට එහි ප්‍රෞඪ ඉතිහාසය ගැන සිත යොමු කිරීම, මෙදවස වෙසෙන හැම සිංහලයකු විසින් ම අවශ්‍යයෙන් ම සිදු කළ යුතු යුතුකමක් වන්නේ ය. අප ජාතියේ අභිමානවත් ඉතිහාසය, පුරාවිද්‍යාත්මක හා සාහිත්යික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය කොටගත් විද්වතුන් අතර මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීහු අග්‍රගණ්‍ය වෙති. එතුමන් විසින් සංග්‍රහ කරන ලද ‘ලංකා ඉතිහාසය’ නම් කෘතියෙහි මෙරට ජනාවාස පිහිටුවාගත් ආදිතම සිංහලයන් පිළිබඳ ව දීර්ඝ විස්තරයක් දක්නට ලැබෙයි. ඉන් එක් ඡේදයක් මෙසේ ය:

“ආර්ය භාෂාවක් කතා කරන මිනිසුන් ලංකාවේ පදිංචි වීම වැදගත් සිද්ධියකැයි උතුරු ඉන්දියාවේ විසූ ඔවුන්ගේ නෑයන් විසිනුදු සලකන ලදී. ඔවුන් මෙහි පදිංචි වූ අන්දම පිළිබඳ විස්තර කතා ද ඒ නෑයන් අතර පතළ වී තිබුණේ ය. මේ කථාන්තර බෙහෙවින් ම ප්‍රචලිත වී තිබුණේ බෞද්ධයන් ව සිටි වෙළඳ වර්ගයා අතර බව පෙනෙයි. මෙය කොතරම් ඈත යුගයක සිද්ධියක් හැටියට පෙන්වන ලද්දේ ද යත්, බුදුරජාණන් වහන්සේ ම පෙර ආත්ම භාවයක දී මේ ජනප්‍රවාදවල සඳහන් වීරයා හෙවත් සිංහල වර්ගයාට තම නම දුන් සිංහලයා වී ඉපිද සිටි බව විශ්වාස කරන ලද්දේ ය. පුරාණ ඉන්දියාවේ බෞද්ධයන් අතර මේ කාරණය ගැන ප්‍රචලිත ව පැවති කතාන්තර සාහිත්‍ය ස්වරූපයට නඟා ලියනු ලැබූ ග්‍රන්ථයක් ක්‍රි. ව. තුන්වැනි ශත වර්ෂයේ දී චීන භාෂාවට පරිවර්තනය කරන ලද්දේ ය. එහෙයින් ඒ ග්‍රන්ථය ලංකාවේ වංශ කතාවලට වඩා ශතවර්ෂ දෙකකට පෙර ලියන ලද්දකි. මෙතරම් සවිස්තර නොවූවත් මේ කතාවට තරමක් දුරට සමාන යයි කිය හැකි වෙනස් කතාවක් පාලි ජාතක පොතේ ද දක්නා ලැබෙයි”

(ලංකා ඉතිහාසය – ආර්ය ජනාවාස: සිංහලයෝ, සෙනරත් පරණවිතාන – 82 පිටුව)

බුදුරජාණන් වහන්සේ හා සිංහල ජාතිය අතර පවත්නා නෑ සබඳකම පිළිබඳ ඉඟියක් මහාචාර්ය පරණවිතානයන්ගේ පූර්වෝක්ත පාඨයෙන් හා තත් ග්‍රන්ථයේ දැක්වෙන ලංකාවේ ‘ආර්ය ජනාවාස’ හා සිංහල ජාතියේ සම්භවය ගැන ලියැවුණ පරිච්ඡේදවල කියැවෙයි. එහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ හා රත්නදීපය නමින් එදවස හැඳින්වුණු ලක්දිව, සිංහල ජන පරපුරකගේ පහළ වීම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ම වූවකි. ලෝක සිතියමේ මහා භාරතය නමින් හැඳින්වුණු ඉන්දීය අර්ධද්වීපය නැතහොත් ජම්බුද්වීපය තුළ මීට අවුරුදු දෙදහස් හයසියයකට පෙර සිදු වූ ආධ්‍යාත්මික වූත්, චින්තනමය වූත් මහා ප්‍රාතිහාර්ය දසදහසක් සක්වළ ගැබ සැලුම් වෙව්ලුම් දෙමින්, මානව ඉතිහාසයේ අසංඛ්‍ය යුගයකට පසු උත්තරීතර මානව රන්නයකගේ පහළ වීම සනිටුහන් කළේ ය. ඒ වන විට ලොව මානව චින්තන ශක්තිය මුහුකුරා ගිය දර්ශනිකයන්, ප්‍රඥාවන්තයන් පහළ වී විමුක්ති මාර්ගයන් සොයා යාමේ පරිශ්‍රමයන් වෙත ඔවුන්ගේ සිත් යොමු වී තිබිණ.

බුදුරජාණන් වහන්සේගේ දහම ලෝකය පුරා ප්‍රචලිත වී යාම, චිරකාලයක් සම්බුදු දහම ජීවමාන ව බැබළෙන්නේ ලංකාද්වීපයේ බව සම්බුදු ඇසින් දැකීම, ඊට අවශ්‍ය වාතාවරණය හා සෙසු රටවලින් වෙන්ව සාගරය මැද පිහිටා තිබීම, සියලුම කාලයන්හි එක සමාන දේශගුණික තත්ත්වයක් පැවතීම මේ දිවයිනේ වාසනා ගුණය බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැන වදාළහ. ඒ අනුව උන්වහන්සේ තමන් වහන්සේගේ සිරිපා පහසින් තෙවරක් සිරිලක් දෙරණ පාරිශුද්ධ පුණ්‍ය භූමියක් බවට පත් කොට එහි රැකවරණය සක්දෙවිඳුන්ට පැවරූ සේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව සර්වඥ ධාතූන් වහන්සේලා කිහිප වරක් යමා මහ පෙළහර පා මුළු සිරිලක් දෙරණ මෙත් සිලිලාරෙන් තෙමා නිවා සුරැකීම නිසා මේ භූමිය සම්බුදු දහම පන්දහසක් වසරක් සුරැකිව පවත්නා බුදුරජාණන් වහන්සේගේ දේශය බවට පත් විය.

සිංහල ජාතිය මේ රටේ ජනාවාස පිහිටුවා බුදු දහමට අනුව සිය ජීවන මඟ හසුරුවා ගත් දා පටන් අවුරුදු දෙදහසකට පසු යුරෝපීය ජාතීන් මෙහි පැමිණ සිය ආධිපත්‍යය පැතිර වූ හාරසිය වසරක් දක්වා වූ දීර්ඝ කාලය තුළ විවිධ ආක්‍රමණිකයන්, මංකොල්ලකරුවන් ලක්දිවට කඩා වැදුණ නමුදු සිංහල ජාතියත් – බුද්ධාගමත් විනාශ කර දැමීමට ඔවුන්ට නොහැකි විය. අප දිවයින පිහිටි ආකාරය හේතු කොටගෙන, දෙදහස් පන්සිය වසරකට අධික කාලයක් ඉහත කී බලවේගයන්ට ගොදුරු වූ නමුදු ඒ සියලු බලපෑම් තම පරිසරයට ගැළපෙන පරිදි හැඩගසා ගැනීමේ ශක්තිය බුදුදහම නිසා අපට උරුම වූවකි. ඒ නිසා ම ඉන්දියානු සභ්‍යත්වයට අයත් රටවල වැසියන් අපගේ දේශය කෙරෙහි දැක්වූයේ ඉමහත් ගෞරවයක් බව මහාචාර්ය පරණවිතාන සනිදර්ශනව පෙන්වා දී තිබේ.

ලොව කිසිදු රටකට හිමි නොවූ මේ මහා උරුමය, ධනය, බලය පසුපස හඹා යන බලලෝභී ආත්මාර්ථකාමී පාලකයන් නිසා වර්තමානයේ යටපත් වී යන අයුරුත්, එහි ඵල වශයෙන් ජනකාය තුළ ඇති වී තිබෙන කම්පනයත් ගැන කියැවෙන හෘදයංගම ගීතයක් හඳුන්වා දීම උදෙසා ය පූර්වෝක්ත දීර්ඝ විවරණය ඉදිපත් කරන ලද්දේ. ගීතය ගායනා කරනුයේ මේ සිංහල අපගේ රටේ – ජාතියේ – ආගමේ අභිමානය ස්වකීය මධුර කටහඬින් ලොවට කියා පෑ ගායන ශිල්පිනිය වන නන්දා මාලිනි ය යි. ගීතය රචනා කරන ලද්දේ මහැදුරු සුනිල් ආරියරත්නයන් විසිනි. ගීතය මේ ය:

“මගේ දේශය මගේ ජාතිය මගේ ආගම
මට ලබා දුන් ත්‍යාගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

නිවටයන්ගේ දෙපා අබියස
බියෙන් ඇකිළී නැමී යා නම්
එවන් සිරසක් කුමකට ද මට
ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මගේ දේශය…

මිල මුදල් ලැබ කුවේරයන්ගේ
සිතට එරෙහි ව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකට ද මට
ගොළු ව බිහිරි ව සතුටු වනු මිස

මගේ දේශය…”

මගේ දේශය මට ලබා දුන් ත්‍යාගය කවරේ ද? ලොව අන් කිසිදු දෙසක සුළඟකින් පවා පහසක් නොලබන සමුදුරින් වට වූ සොඳුරු මුතු ඇටයක් වන් සරුසාර නිකැලැල් දේශයකි. ගිරි ශිඛර මතින් ඇද හැළී සිව් දිසා තෙමා ගලා බස්නා ගංගාවන්ගෙන් යුතු සෞන්දර්යාත්මක පරිසරයකි. මගේ ජාතිය වූ කලී පෙර හෙළ රජ දරුවන් විසින් තමන් හඳුන්වා දෙන ලද ‘ඔකාවස් රජ පරපුරෙන් බට’ යන සන්නාමයෙන් අභිධාන ලද ශාක්‍ය වංශික පරපුර යි. බුදුරජාණන් වහන්සේගේ ලේ නෑයන් වන සිංහල ජාතිය ලද මහාර්ඝ වූ ත්‍යාගය නම් බුදු දහම යි. චණ්ඩ මාරුතයකින් වුව ද නොසැලෙන චින්තනය, සිංහල ජාතිය උරුම කොට ගත්තේ බුදු දහමෙනි. ඒ සත්පුරුෂ චින්තනයේ මහිමය, මහරු බව එක් බුදු වදනකින් හකුලා දැක්විය හැකි ය.

“යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා
චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ”

(රතන සූත්‍රය – ඛු. නි.)

සතර දිගින් හමා එන චණ්ඩ මාරුතය හමුවේ පරඬැලක් නො වී නොසැලෙන ඉන්ද්‍රඛීලයක් පරිද්දෙන්, සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසක් නිවහල් ව නැඟී සිටීමට සිංහලයාට හැකිවූයේ ඒ නිවහල් චින්තනයේ අනුහසිනි. සිංහල දේශය, ජාතිය, ආගම වනසන දුෂ්ට සතුරු බලවේග හමුවේ වළගම්බා, ගාමණී අභය, ධාතුසේන ආදී රජවරුන් නිවටයන් ලෙස ඇකිලී ගියේ නැත. සිරිසඟබෝ රජතුමා වියරු පාලනයට එරෙහිව තම හිස දන් දුන්නේ ය. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී මෘග පාලකයන් හමුවේ අභීත ව නැඟී සිට සිංහල ජාතිය හා ආගම වෙනුවෙන් තම ජීවිත පූජා කළ කඩහපොල උන්නාන්සේ, වාරියපොළ සුමංගල හිමි, වීර පුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා ආදීන් කුරිරු අධිරාජ්‍යවාදී මැරයන්ගේ බිහිසුණු බයිනේත්තුවට ළය දුන්නේ එඩිතර සිංහල විරුවන් ලෙසිනි. නිවටයන්ගේ දෙපා අබියස බියෙන් ඇකිලී සිටීම වෙනුවට බුදු ගුණ කියමින් දංගෙඩිය මත හිස තැබූ කැප්පෙටිපොල විරුවාණන්ගේ රූපකාය ද දැවැන්ත යුද ටැංකියකට පැන රුදුරු කොටි හමුදාවක් වනසා ජාතිය වෙනුවෙන් තම දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න විරුවා ද නන්දා මාලිනියගේ අභීත හඬ ඔස්සේ අපගේ සිත් අබිමුව ඇඳෙන්නේ ය.

ගීතයේ අවසාන ඛණ්ඩය නූතන යුගයේ අප රට පත්ව ඇති ඛේදනීය ව්‍යසනය අනාවරණය කරන්නක් වැන්න:

“මිල මුදල් ලැබ කුවේරයන්ගේ
සිතට එරෙහි ව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකට ද මට
ගොළු ව බිහිරි ව සතුටු වනු මිස”

වරින් වර එළඹි සියලු දුෂ්ට බලවේග හමුවේ දෙදහස් වසරක් නිවහල් ව සිටීමට සිංහල ජනයාට හැකිවූයේ, චණ්ඩ මාරුත හමුවේ වුව ද නොසැලී සිටීමට ශක්තිය ලබා දුන් නිවහල් චින්තනය නිසා ය. වර්තමානය වන විට සිංහල ජනකාය සතුව පැවති ඒ අධ්‍යාත්ම ශක්තිය, දේශපාලන, ආර්ථික හා සාමාජික දුෂ්ට බලවේග විසින් විනාශ කර දමා ඇත. සියලු සෞන්දර්ය කලාවන් මිල මුදලට විකිණෙමින් පවතී. ගායකයෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ අතකොලු බවට පත්ව සිටිති. ඒ නිසා දේශයට, ජාතියට, ආගමට ඇල්මක් ඇති කලාකරුවකුට හිතට එකඟ ව ගීත ගායනා කිරීමට අද පරිසරයක් උදා වී නැත.

“ඒ මධුර හඬ කුමකට ද මට
ගොළු ව බිහිරි ව සතුටු වනු මිස”

නන්දා මාලිනියගේ මධුර ගායන ස්වරය අභිබවා නැඟෙන ඒ අභීත හඬ වූ කලී සිංහල ජාතියට හිතැති සියලු කලාකරුවන්ගේ හඬ වන්නේ ය.

සටහන – දයාපාල ජයනෙත්ති