බාල ගණයේ දේවලින් සතුටු වන්නවුනට කවරක් වුව ද ළාමක, හාස්‍යජනක දෙයක් ලෙසින් ගන්නට පුළුවන. මව, පියා, රට, ජාතිය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් යන උතුම් තැන්හි ලා සැලකෙන කාරණා පවා විහිළුව පිණිස යොදා ගන්නට ඔවුහු ඉවක් බවක් නැතිව පෙළඹෙති. ඒ ඔස්සේ ම අවර ගණයේ නිර්මාණ ද බිහි කරති. අද අප සිටින්නේ එවන් හරසුන් නිර්මාණ සංස්කෘතියක් බහුල කොට අත්විඳිමිනි.

නිසරු දෙය ගරු කොට ගත් පිරිස් සරු දෙය ද නිසරු දෙය හා ඇද බැඳ තබන්නට උත්සාහ කරමින් උතුම් ත්‍රිවිධ රත්නයට නිගා දෙන අයුරින් කටයුතු කරනු ලැබීම උක්ත කී හරසුන් නිර්මාණ සංස්කෘතියෙන් පැන නැගි ඛේදවාචකයකි. සීමාව නොදන්නා අඳ බාලයන් තමන් නිරා දුකට පත්වන අකුසල වැඩී යන්නට ඉඩ හරිමින් අන්‍යයන්ව ද එහි සමාදන් කරලමින් සිදු කරන්නේ සුළුපටු විනාශයක් නම් නො වේ.

උතුම් පොසොන් පොහෝ දිනය රටක්, ජාතියක් වශයෙන් අප විසින් පිදුම් දෙනු ලබන්නේ උදාරතර මෙහෙවරක නියැළි පුරුෂෝත්තමයාණන් වහන්සේනමකගේ මහානීය ගුණශෝභාවනට නමස්කාර කරමිනි. දෙව් මිනිස් ලෝකයාගේ යහපත, හිතසුව පිණිස ධර්මදූත මෙහෙවරෙහි යෙදෙමින් ලක්දිවට වැඩම කොට ශ්‍රී බුද්ධ වර්ෂ 236 වැන්නේ දී ලක්දිව ගෞතම සම්බුදු සසුන පිහිටවූ ඒ සම්බුදු අනුජාත සත්පුරුෂයාණන් වහන්සේ නම් මිහිඳු මහරහතන් වහන්සේ ය. මෙබිම රහත් මුනිවරුනගේ යුගයක් බිහි වූයේ උන්වහන්සේගේ ආගමනයෙනි. එහෙයින් ම මිහිඳු මහරහතන් වහන්සේ අපගේ පළමු ආචාර්ය උපාධ්‍යායන් වහන්සේ ය. උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ බඳු වූ පරම කල්‍යාණමිත්‍රයාණන් වහන්සේ ය. සම්බුදු සසුනේ උණුසුම ලැබූවෙකුට නම් ඒ ගුණය මිනිය නොහැක්කක් ම ය. හෙළයිනට ඒ සා උත්තරීතර වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ලක්දිව වැඩමවීම හා සබැඳි ඉතිහාසගත සිදුවීම් ද ඒ අනුබුදුරජාණන් වහන්සේ ව ද හාස්‍යජනක නිර්මාණ තුළට ගෙන සිනහ උපදවන්නට කටයුතු කළ පිරිස් දකින්නට අපට සිදු වීම අවාසනාවක් නො වේ ද?

ශිෂ්ට සම්පන්න මානව සංස්කෘතියක අක්මුල් මෙබිමේ රෝපණය කළා වූ, සම්බුදුරජාණන් වහන්සේ බඳු ව අපට ධර්ම දානයෙන් අනුග්‍රහ කළා වූ මහරහත් උතුමෙකුට ගරහා විනෝද වන්නට හැකියවුන් බුද්ධ ශ්‍රාවකයන් ද? ඔවුන් අයත් වන්නේ බුදු පිරිසට නො වේ; බුදු පිරිසේ බැබළීම නොඉවසූ මාර පාර්ශවික බලවේගයට ය.

එතරම් පහතට ඇද වැටුනවුනට රුකුල් දෙමින් එවැනි පාපී දේවල් අභිරුචියෙන් වැළඳ ගන්නවුන් ද එක සේ ම මේ අකුසලයේ සමාදන් වන්නවුන් ය. ගුණයෙන් අගපත් උතුමන් විෂයෙහි කාය, වචී, චිත්ත සමාචාරයන් වරදවා ගැනීමෙන් රැස් කරන මේ අකුසලයන් නිසැකයෙන් ම සසරේ බොහෝ කාලයක් අහිත, අයහපත පිණිස පවතින්නේ ය.

මෙහිලා අප ප්‍රවේශම් විය යුතු කරුණු දෙකකි. පළමුවැන්න නම් එවන් පාපී අකුසලයන් අනුමෝදන් වීමෙන් සිදු වන අනතුර වළක්වා ගැනීම ය. දෙවැන්න එවැනි දුගතිගාමී අකුසලයන් අප අතින් සිදු වීම වළක්වා ගැනීම ය. මේ දෙකරුණ ම පිණිස අප සිත, කය, වචනය සංවර කර ගැනීම කළ යුතු ය. කිසිවෙකුට හෝ නොගරහන්නේ නම්, කිසිවෙකු වේවා විහිළුවට නොගන්නේ නම්, කිසිවෙකුට හෝ උපහාස – අපහාස නොකරන්නේ නම් සිල්වතුන්, ගුණවතුන් විෂයෙහි අප වැරදි ලෙස පිළිපන්නවුන් වන්නේ නැත. අප විසින් විහිළු නොකළ යුතු වූ, නිග්‍රහ නොකළ යුතු වූ ගුණයන්ගෙන් තම තමන් හෙබි බවට අල්පේච්ඡ බවින් යුතු උතුමන් ප්‍රකට කරන්නේ නැත; එනිසා කළ යුත්තේ අප තුළ හික්මීම ඇති කර ගැනීම යි. අනුන් හාස්‍යයට ලක් නොකරන, නින්දාවට ලක් නොකරන ගුණයෙන් යුතුව අපි හික්මෙන්නෙමු යැයි අදිටන් කොට ඒ අනුව කටයුතු කිරීම අපට නිසැක ව ම දෙලොව යහපත පිණිස පවතින්නේ ය.