highlights of the week
Home » NEW ARTICLES » සුගත ගුණෙන් යුතු ගෞතම මුනිඳුන් නමදින්නේ….

සුගත ගුණෙන් යුතු ගෞතම මුනිඳුන් නමදින්නේ….

අප සම්බුදු සමිඳාණන් උතුම් සම්බුද්ධත්වය උදෙසා පිය නැගුවේ සීල, සමාධි, ප්‍රඥාවෙන් නිර්මිත සුන්දර ආර්ය අෂ්ටාංගික මාර්ගයෙනි. සැප සහසු රාජකීය ජීවිතය අතහැර දමා ශ්‍රමණයන් වහන්සේනමක් බවට පත්වූ අප සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ කාමයෙහි ඇලී සිටීම නම් වූ කාමසුඛල්ලිකානු යෝගය අත්හළේ ය. සය වසරක් අධික ලෙස සිරුරට දුක් දෙන ප්‍රතිපදාව විමුක්තිය නොවන බව පසක් විය. ඒ අන්ත දෙක ම අත්හරිමින් සිහියෙන් නුවණින් වීරියෙන් යුතුව මැදුම් පිළිවෙත නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කොට පරම ශාන්තියට පත් වූ සේක.

කිසිම කෙනෙකුගේ උපකාරයෙන් තොරව තමන් වහන්සේ ම නුවණින් අවබෝධ කළ ඒ මධ්‍යම ප්‍රතිපදාව සුන්දර වූ අංග අටකින් යුතු වේ. එනම් සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මේ අංග අට වේ. පළමු දහම් දෙසුම වූ දම්සක් පැවැතුම් සූත්‍රයේ දී ඒ උත්තම මධ්‍යම ප්‍රතිපදාව ගැන බුදු සමිඳාණෝ වදාළේ මේ අයුරිනි.

“පින්වත් මහණෙනි, ඒ මේ අන්ත දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අවබෝධ කරන ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් ඇස ලබා දෙයි. නුවණ උදා කරයි. සන්සිඳීම ඇති කරයි. අවබෝධය ඇති කරයි. නිවන පිණිස පවතින්නේ ය.” සීල, සමාධි, ප්‍රඥා සම්පූර්ණ කොට සුන්දර වූ නිර්වාණය සාක්ෂාත් කරන්නට භාග්‍යවතුන් වහන්සේට උපකාර වූ සුන්දර නිවන් මග ගැන සොඳුරු උපමාවකින් මෙසේ පෙන්වා දී තිබේ. එනම්, දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්දයන් වහන්සේ උදෑසන පිඩු පිණිස සැවැත් නුවරට වැඩම කළ සේක. ඒ මොහොතේ ජානුස්සෝණි නම් වූ බ්‍රාහ්මණයා සුදු පැහැති අශ්වයන් යෙදූ රථයකින් ගමනක් යමින් සිටියේ ය. ඒ අශ්වයන්ගේ පලඳනාත් සුදු පාට ය, රථයත් උපකරණත් සුදු පාට ය. අශ්වයන්ගේ රැහැන්පට, කෙවිට සුදු පාටින් ම යුක්ත ය. ජානුස්සෝණි බ්‍රාහ්මණයාත් සුදු පාට ඇඳගෙන සුදු පාට හිස් වැසුමක් පැලඳගෙන, සුදු පාට පාවහන් යුගලක් පැලඳගෙන සිටියේ ය. මෙම රථය දුටු බොහෝ මිනිසුන් “මේ නම් බ්‍රහ්ම යානයක්, මේ නම් ශ්‍රේෂ්ඨ යානයක්” යැයි ප්‍රකාශ කළහ. අපගේ ආනන්දයන් වහන්සේ සවස් වරුවේ භාග්‍යවතුන් වහන්සේ කරා ගොස් ජානුස්සෝණි බ්‍රාහ්මණයාගේ රථය ගැන පවසා මෙසේ විමසා සිටියේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස මේ බුද්ධ ශාසනය තුළත් බ්‍රහ්ම යානයක් පනවන්ට පුළුවන් ද?”

එවිට භාග්‍යවතුන් වහන්සේ සුන්දර නිවන්මග අසිරිමත් ලෙස පහදා දුන්නේ මේ අයුරින් ය.

“ආනන්දයෙනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය බ්‍රහ්ම යානයකි. මාර යුධය ජය ගත් අනුත්තර යානයකි. ආනන්දයෙනි, තමා තුළ දියුණු කර ගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය රාගය දුරු කිරීමෙන් නිමාවට පත්වෙයි. ද්වේෂය දුරු කිරීමෙන් නිමාවට පත්වෙයි. මෝහය දුරු කිරීමෙන් නිමාවට පත්වෙයි. මේ දහම් රථයේ ශ්‍රද්ධාව හා ප්‍රඥාව නිරන්තරයෙන් ම පෙරගමන් කරයි. පවට ලැජ්ජාව නම් රිය හිස ඇත්තේ ය. මනස නැමැති රැහැන ගෙන සිහිය නම් වූ ආරක්ෂක රියදුරා රථය පදවයි. සීලයෙන් අලංකාර කළ මේ දහම් යානයේ සමාධිය නම් කඩ ඇණයෙන් සිර කරන ලද වීරිය නම් රෝද ඇත. උපේක්ෂාවෙන් සමබර කළ දහම් රථයේ තෘෂ්ණාව නැතිකම නම් වූ උපකරණ තබා ඇත. මෛත්‍රියත්, කරුණාවත්, කාය චිත්ත විවේකයත් රථයේ ඇති ආයුධ යි. ඉවසීම නම් වූ යුද ඇඳුම ඇඳ ගත් රියදුරා කෙලෙසුන්ගෙන් තොර විමුක්තිය කරා ගමන් කරයි. මේ අනුත්තර වූ බ්‍රහ්ම යානය තමන් තුළ උපදවාගෙන නුවණැත්තන් සසරින් නික්ම අමා නිවන කරා යන්නේ ය. සැබැවින් ම ඔවුනට ජයෙන් ජය අත් වන්නේ ය.”

(බ්‍රාහ්මණ සූත්‍රය – සං.නි. 5)

බුදුරජාණන් වහන්සේ සුන්දර වූ අමා මහ නිවන සාක්ෂාත් කළේ සීල, සමාධි, ප්‍රඥාවෙන් යුතු වූ සුන්දර දහම් මගිනි. ඒ සොඳුරු නිවන් මග මෙලොව ඇති සියලු දේවල් අතර ශ්‍රේෂ්ඨ වන බව ද යමෙක් ඒ නිවන මග කෙරෙහි සිත පහදවා ගන්නේ නම් ඒ පැහැදීම මහත්ඵල මහානිශංස ලබා දෙන බව ද භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ අයුරින් ය.

“පින්වත් මහණෙනි, හේතූන්ගෙන් හටගත් යම්තාක් දේවල් ඇත් ද ඒ සියල්ල අතරින් අග්‍ර වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. යමෙක් මේ මාර්ගය කෙරෙහි සිත පහදවා ගනී ද ඔවුන් පැහැදී සිටින්නේ ලොව අග්‍ර වූ ධර්මය ගැන යි. අග්‍ර වූ ධර්මය ගැන පැහැදුණු අයට ලැබෙන විපාකය ද අග්‍ර වන්නේ ය.”

(අග්ගප්පසාද සූත්‍රය – අං.නි. 2)

ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කොට විමුක්තිය සාක්ෂාත් කිරීම බුදුරජාණන් වහන්සේගේ අසමසම ජයග්‍රහණයකි. සීලයෙන් පරතෙරට පත්වූ උන්වහන්සේගේ ඉන්ද්‍රිය සංවරය ද පරිපූර්ණ ය. මිනිසුන් දෙවියන් අතර ද බඹුන් අතර ද සීලයෙන්, ඉන්ද්‍රිය දමනයෙන් අග්‍ර වූයේ අප ගෞතම බුදු සමිඳාණන් ම ය. සියලු ලොව ම අවබෝධ කළා වූ අපගේ අංගීරස බුදු සමිඳාණන් සමාන වූයේ එබඳු ම සම්බුදුවරයෙකුට පමණි. සුන්දර නිවන් මග සොයාගෙන එහි වැඩම කොට සාක්ෂාත් කළ විරාගී වූ නිවන හේතූන්ගෙන් හට ගත්, හේතූන්ගෙන් හට නොගත් සියල්ල අතර අග්‍ර වන්නේ ය. ශ්‍රේෂ්ඨ වන්නේ ය. සුන්දර නිවන සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ එය ලොවට මෙසේ පහදා දුන් සේක.

“මෙය ශාන්ත ය, ප්‍රණීත ය. සියලු කෙලෙසුන් සන්සිඳුන, තණ්හාව මුළුමනින් ම දුරු වූ, නොඇල්මෙන් යුතු වූ ඇල්ම නිරුද්ධ වූ නිවන යි. නිවනෙහි ඉපදීමක් නැත. ලෙඩ වීමක් නැත. ජරාවට පත් වීමක් නැත. මිය යාමක් නැත. යළි යළි ඉපදීමක් නැත. කිසිදු කායික වූ ද මානසික වූ ද දුකක් නැත. සියලු දුකේ කෙළවර එය යි.”

සුන්දර වැඩපිළිවෙළක් අනුගමනය කොට බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ අමා මහ නිවන මොන තරම් සුන්දර ද?

සුගත ගුණයෙන් යුතු බුදුරජාණන් වහන්සේ සම්බුදු දිවිය ද සුන්දර වැඩපිළිවෙළකි.

මෙසේ සුන්දර නිවන් මග වැඩම කොට, සුන්දර නිවන සාක්ෂාත් කළ, සුන්දර දිවි පෙවෙතක් ගත කළ භාග්‍යවතුන් වහන්සේ ඒ සොඳුරු නිවන් මග ගැන මෙසේ ද වදාළ සේක.

“අනුගමනය කළ යුතු වැඩපිළිවෙළවල් අතරේ පරම ශ්‍රේෂ්ඨ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. ධර්මාවබෝධය තුළින් පිරිසිදු වීමට වෙන මාර්ගයක් නෑ.

ඔබත් මේ මාර්ගය පිළිපදින්න. දුකින් නිදහස් වෙන්න. වීරිය අරගෙන නිවන අවබෝධ කළ යුත්තේ ඔබ විසින් ම යි. තථාගතයන් වහන්සේ නිවන් මග පෙන්වා දීමයි කරන්නේ. මේ නිවන් මග පිළිපැද්දොත් ඔබ සියලු දුකින් නිදහස් වෙනවා..!”

(ධම්මපදය)

සුගත වූ අංගීරස අපගේ බුදු සමිඳාණන් සරණ ගොස් ඒ සුන්දර නිවන් මගේ හැසිරෙන්නට අපට ද වාසනාව උදා වේවා..!

“සෝ භගවා ඉතිපි සුගතෝ
සුගතෝ වත සෝ භගවා
තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි…!
තං භගවන්තං සුගතං සිරසා නමාමි…!”

(මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි)

Leave a Reply

Your email address will not be published.

x

Check Also

තරු කැට ගැයූ සඳ වරුණාව

සසුනඹර පායා දිලි ඒ සොඳුරු තරු කැට සඳමඬලේ සිසිලසට පුද කළ තුති ගී ගැන ඔබ අසා තිබේ ද...? ලෝකයේ යමෙකුට පුදකළ හැකි පරම පිවිතුරු ම තුති ගීය එයයි.