ධර්ම මාර්ගයේ ගමන් කොට දුකින් නිදහස් වීමට කටයුතු කළ යුතු පිළිවෙළ බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කොට තිබෙනවා. සත්පුරුෂයන් ඇසුරු කිරීම එහි ආරම්භය යි. සද්ධර්මය ශ්‍රවණය කිරීම ඊ ළඟ අංගය යි. අසන ලද නිවැරදි ධර්මය අවබෝධය ඇති වන අයුරින් නුවණින් විමසීම තුන්වන අංගය යි. අර්ථයත්, ධර්මයත් දැනගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීම සතර වන අංගය යි.

මේ අංගයන් සතර පුහුණු වීමට මූලික පදනමකුත්, ඊට අදාළ ගුණධර්මත් අනිවාර්යයෙන් ම ධර්මයේ හැසිරෙන කෙනාට තිබිය යුතුයි. ඉහත අංගයන් ද ඇතුළත් ව ගුණදහම් දියුණු කර ගන්නා ක්‍රමවත් වැඩපිළිවෙළ බුදුරජාණන් වහන්සේ තයෝධම්ම සූත්‍රයේ දී වදාළා. එය මෙසේ කෙටියෙන් දක්වන්නට හැකියි.

– පවට ලැජ්ජා නැති බවත්, පවට භය නැති බවත්, ප්‍රමාදයත් ප්‍රහාණය කිරීම.

– අගෞරවයත්, අකීකරුකමත්, පවිටු මිතුරන් ඇසුරත් ප්‍රහාණය කිරීම.

– ශ්‍රද්ධාව නැති බවත්, පවසන කරුණේ අරුත් නොදන්නා බවත්, කුසීත බවත් ප්‍රහාණය කිරීම.

– සිතේ විසිරුණු බවත්, අසංවරයත්, දුසිල් බවත් ප්‍රහාණය කිරීම.

– ආර්යයන් වහන්සේලා දැක්ම අකැමති බවත්, ආර්යයන් වහන්සේලාගේ ධර්මය අසන්නට අකැමති බවත්, ගැටී දොස් කියන බවත් ප්‍රහාණය කිරීම.

– සිහිමුළා බවත්, නුවණ නැති බවත්, සිතෙහි කලබලයත් ප්‍රහාණය කිරීම.

– නුවණින් තොරව මෙනෙහි කිරීමත්, නොමඟ සේවනයත්, සිතේ හැකිළුනු බවත් ප්‍රහාණය කිරීම.

– සක්කාය දිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බතපරාමාසයත් ප්‍රහාණය කිරීම.

– රාගයත්, ද්වේෂයත්, මෝහයත් ප්‍රහාණය කිරීම.

– ඉපදීමත්, ජරාවත්, මරණයත් ප්‍රහාණය කිරීම.

මේ දහම් ක්‍රමයෙන් ඉතා හොඳින් පෙනෙන්නේ හිරි ඔතප් ඇති කරගෙන පටන් ගන්නා කෙනාට කළ යුතු බොහෝ දේවල් කර ගත හැකිවන බවයි.