01) පින්වත් ස්වාමීන් වහන්ස, “එකොළොස් ගිනි” යනුවෙන් ධර්මයේ හඳුන්වන්නේ කුමක් ගැන ද?

භාග්‍යවතුන් වහන්සේ විසින් උරුවේල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ දහසක් භික්ෂු පිරිස අරහත්වයට පත් කරවමින් දේශනා කරන්නට යෙදුණු “ආදිත්ත පරියාය” සූත්‍රයේ දී මේ එකොළොස් ගිනි ගැන පැහැදිලි ව සඳහන් වෙනවා. ඒවා නම් රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දෝමනස්ස ගින්න, උපායාස ගින්න යන එකොළොසයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතනයන්ගෙන් සමන්විත මේ ජීවිතය මේ එකොළොස් ගින්නෙන් දැවෙන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. තෙරුවන් සරණෙහි පිහිටා සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ධර්ම මාර්ගය දියුණු කිරීමෙන් පමණයි මේ ගිනි නිවාගත හැක්කේ. වරක් විශාඛා උපාසිකාවගේ යෙහෙළියන් පන්සියයක් මත්පැන් බී ගී ගයමින් නටන විට ඔවුන් ව දමනය කිරීම පිණිස ඝන අඳුරක් මැවූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළා.

කෝ නු හාසෝ කිමානන්දෝ – නිච්චං පජ්ජලිතේ සති
අන්ධකාරේන ඕනද්ධා – පදීපං න ගවෙස්සථ

මේ ජීවිතය (ආශාවෙන්, තරහින්, මෝඩකමින් වයසට යෑමෙන්, රෝගවලින්, මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, කායික දුකින්, මානසික දුකින්, සුසුම් හෙළීමෙන්) හැම තිස්සෙම ගිනි ඇවිලෙද්දී මොන හිනාද? මොන සතුටක්ද? අනවබෝධය නැමැති ඝන අඳුරේ ගිලී සිටින ඔබ, පහනක් නොසොයන්නේ ඇයි?

02) පින්වත් ස්වාමීන් වහන්ස, පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන්, සමුදය සහ අත්ථංගමය අප තේරුම්ගත යුත්තේ කෙසේ ද?

බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සමාධි භාවනා සූත්‍රයේ දී මේ සම්බන්ධව ඉතා පැහැදිලි විවරණයක් සිදු කොට තිබෙනවා.

“පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව රූපය – වේදනා – සඤ්ඤා – සංස්කාර – විඤ්ඤාණ සතුටින් පිළිගනී (අභිනන්දති). එහි ගුණ කියයි (අභිවදති). එහි බැසගෙන සිටියි (අජ්ඣෝසාය තිට්ඨති). මෙසේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ සතුටින් පිළිගෙන, එහි ගුණ කියන, එහි බැසගෙන සිටින තැනැත්තාට ඒ කෙරෙහි ආශාව උපදී (උප්පජ්ජති නන්දි). ඒ ආශාව නිසා උපාදාන වීම සිදු වේ (යා රූපේ නන්දි තදුපාදානං). එම උපාදානය නිසා විපාක පිණිස කර්ම සකස් වේ. විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඉපදීම සිදුවේ. ඉපදීම නිසා ජරා ජීර්ණ වීම, මරණයට පත් වීම, ශෝක, වැළපීම්, දුක් දොම්නස් උපායාස හටගනිති. මේ ආකාරයෙන් ය සමස්ත දුක් ජාලය ම හටගන්නේ. පින්වත් මහණෙනි, මෙය වනාහී රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ සමුදය යි”

මෙම විග්‍රහය අනුව මේ ජීවිත පැවැත්ම නම් වූ සංසාරයේ පැවැත්ම සකස් වීම “සමුදය” බව ඉතා පැහැදිලි ය. ඉන් අනතුරුව “අත්ථංගමය හෙවත් අභාවයට පත් වීම” බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙලෙසිනි.

“පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා භික්ෂුව (අවබෝධ ඤාණයන් තුළින් කෙලෙසුන් ප්‍රහාණය වී යන පරිදි යථාර්ථය දැකීම නිසා) රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, සතුටින් පිළිනොගනී (අනභිනන්දති). එහි ගුණ නො කියයි (අනභිවදති). එහි නොබැස ගනී. (අනජ්ඣෝසාය තිට්ඨති). එය නොපිළිගෙන සිටින, එහි හොඳ නොකියන, එහි නොබැසගෙන සිටින ඔහුට රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ, කෙරෙහි තිබුණා වූ යම් ආශාවක් ඇද්ද එය නිරුද්ධ වී යයි. ආශාව නිරුද්ධ වීම නිසා උපාදානය නිරුද්ධ වෙයි. උපාදානය නිරුද්ධ වීම නිසා විපාක පිණිස කර්ම සකස් නො වේ. විපාක පිණිස කර්ම සකස් නොවන නිසා උපතක් සකස් නො වේ. උපතක් සකස් නොවන නිසා ජරාජීර්ණ වීම, මරණයට පත්වීම, ශෝක, වැළපීම්, දුක් දොම්නස්, උපායාස නිරුද්ධ වී යයි. මේ ආකාරයට පැතිර පවත්නා මහත් වූ දුක්ඛ ජාලය ම නිරුද්ධ වේ. පින්වත් මහණෙනි, රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ අත්ථංගමය, අභාවයට පත්වීම යනු මෙයයි.”

එසේ නම් අත්ථංගමයට පත් වීම යනු මුළුමනින් ම සාංසාරික පැවැත්ම සකස් නොවීමෙන් අභාවයට පත් වීමකි.

03) පින්වත් ස්වාමීන් වහන්ස, සූත්‍ර දේශනා හැදෑරීමේ දී ශ්‍රද්ධා විමුක්ත, කායසක්ඛී, දිට්ඨප්පත්ත යනුවෙන් ශ්‍රාවකයන් තිදෙනෙකු ගැන සඳහන් වේ. එම ශ්‍රාවකයන් තිදෙනා ගැන පහදා දෙන්න.

ශ්‍රද්ධා විමුක්ත ශ්‍රාවකයා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ශ්‍රද්ධාව මූලික කරගෙන නිවන් මග වඩන ශ්‍රාවකයා ලෙසයි. සමාධිය මූලික කරගෙන නිවන් මග වඩන ශ්‍රාවකයා කායසක්ඛී යනුවෙන් හඳුන්වනවා. දිට්ඨප්පත්ත ශ්‍රාවකයා නිවන් මග වැඩීම පිණිස පෙරටු කරගන්නේ ප්‍රඥාවයි. ඒ ඒ කාරණය මූලික කර ගනිමින් නිවන් මග ප්‍රගුණ කරගෙන මග ඵල නිවන සාක්ෂාත් කරනවා.

04) පින්වත් ස්වාමීන් වහන්ස, කල්‍යාණ මිත්‍ර ඇසුර නොමැති, ධර්මය නො දත් කාලයේ තුනුරුවනට, දෙමාපියන්ට සිදුවූ වැරදි අඩුපාඩු ගැන සිත පසුතැවෙනවා. එම වැරදි අඩුපාඩුවලට සමාව ගැනීමට සුදුසු ක්‍රමයක් කරුණාවෙන් පහදා දෙන්න.

උතුම් තුනුරුවනට ඔබ අතින් යම් වරදක් වූවා නම්, අනුරාධපුර ගොස් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේවත්, ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේත් සැදැහැ සිතින් වන්දනා කොට, ජීවිතය තුනුරුවනට පූජා කර, මහා සෑ මළුවේ දී තෙරුවන් කමා කර ගන්න. දෙමාපියන්ගේ පාද මත නළල තබා, පසඟ පිහිටුවා වන්දනා කර, සිදුවූ වැරදිවලට සමාව ඉල්ලා සිටින්න.

මෙහිදී විශේෂයෙන් ම වැදගත් වන්නේ “සංඛධම සූත්‍රයේ දී” භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් පරිදි අතීතය ගැන පසුතැවිලි නො වී, තමන් ගත කරන වර්තමාන සිල්වත් යහපත් දිවි පැවැත්ම ගැන සිතා සතුටුවීම යි. එමෙන් ම තිසරණ සරණ තුළ මනාව පිහිටා, සිල්වත් ව, සතර බ්‍රහ්ම විහරණ වඩමින් ධර්ම මාර්ගය දියුණු කර ගැනීමට උත්සාහවත් වීමයි. කුසල් බලවත් කර ගැනීමයි. පින බලවත් කර ගැනීමයි. එවිට සිදුවූ යම් අකුසලයක් ඇත්නම් එය මැඩපවත්වා කුසල් බලය ඉස්මතු කරගෙන (යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති) මෙලොව ජීවිතය යහපත් කර ගැනීමටත්, පරලොව සුගතිගාමී කර ගැනීමටත්, ධර්මාවබෝධය පිණිස සේඛ බල දියුණු කර ගැනීමටත් හැකියාව ලැබේවි.

05) පින්වත් ස්වාමීන් වහන්ස, ධර්මයේ සඳහන් වන්නේ, මිනිසුන් අතරින් මහපොළොව හා සමාන පිරිසක් මරණින් මතු දුගතිගාමී වන බවත්, නිය සිළට ගත් පස් ස්වල්පයක් තරම් ප්‍රමාණයක් නැවත මිනිස් ලොව උපදින බවත් ය. එසේ නම් දිනෙන් දින ම මිනිස් ජනගහණය වැඩිවන්නේ කෙසේ ද? කියා පහදා දෙන්න.

භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා පෙන්වා දෙන්නේ චුතූපපාත ඤාණය ආදි සාමාන්‍ය මිනිස් ස්වභාවය ඉක්මවා ගිය විශේෂ ඤාණයන් තුළ පිහිටලයි. එමෙන් ම සත්ව විෂය යනු සාමාන්‍ය සිතකින් සිතා අවසන් කළ නො හැකි අචින්තෙය්‍ය විෂයක් බවයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ.

සංයුත්ත නිකායේ චුති සූත්‍ර නමින් දේවතා චුති, මනුස්ස චුති, තිරච්ඡාන චුති, ප්‍රේත චුති, නිරය චුති ආදි විශේෂ දේශනා කිහිපයක් සඳහන් වෙනවා. එම දේශනාවල සඳහන් වන ආකාරයට නිරයෙන්, තිරිසන් ලොවින්, ප්‍රේත ලොවින්, මිනිස් ලොවින්, දෙව් ලොවින් චුතවෙන බොහෝ පිරිසක් යළි උපදින්නේ දුගති ලෝකවලයි. එමෙන් ම ඒ ඒ ලෝකවලින් මියයන සත්වයන් අතරින් කොටසක් මිනිස් ලොව උපදිනවා. එවිට නිරයෙන්, තිරිසන් ලොවින්, ප්‍රේත ලොවින්, දෙව් ලොවින්, මිනිස් ලොවින් චුතවෙන අයගෙන් මිනිස් ලොව ජනගහණය සම්පූර්ණ වෙනවා. අධික සත්වයන් පිරිසක් සිටින්නේ දුගති ලෝකවල නිසා එයින් ස්වල්පයක් යනු මිනිස් ලොව ජනගහණය හා සසඳද්දී විශාල ප්‍රමාණයක්.
උදාහරණයක් වශයෙන් ගත්තොත් ලෝකයේ වැඩි ම ජනගහණයක් සිටින්නේ චීනයේ, කෝටි 100ක් පමණ. ලංකාවේ ජනගහණය කෝටි 2ක් පමණයි. අපි හිතමු ලංකාවේ සියලු ම දෙනා චීනයට ගොස් චීනයෙන් 4% ක් ලංකාවට එනවා කියා. එවිට ලංකාවේ ජනගහණය දෙගුණයක් වෙනවා.

මේ වගේ වෙනත් ලෝකවලින් ද මිනිස් ලොවට උපත් කරා සත්වයන් පැමිණෙන නිසා ජනගහණය වැඩිවෙනවා මිස, මිනිස් ලොවින් මිය යන බොහෝ දෙනා යළි උපදින්නේ දුගති ලෝකවලයි යන බුදුවදන ඒකාන්තයෙන් ම සත්‍යයක් බව අප තේරුම් ගත යුතුයි.

06. පින්වත් ස්වාමීන් වහන්ස, ඇතැම් අය ප්‍රකාශ කරනුයේ ගිහියෙකුට ලැබිය හැකි උපරිම මාර්ගඵලය සෝවාන් වීමත්, පැවිද්දෙකුට ලබාගත හැකි උපරිම ඵලය රහත් වීමත් බවයි. මා දන්නා දහමට අනුව ගිහි ජිවිත ගත කළ රජවරු පසේබුදු වී ඇත. මෙහි නිවැරදිතාව පහදා දෙන්න.

බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන්ට ගිහි ජීවිතය තුළ සිටිමින් අනාගාමී බව දක්වා මේ ධර්ම මාර්ගය දියුණු කළ හැකි බව පෙන්වා දී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ තම ගිහි ශ්‍රාවකයන් හට මිම්ම හැටියට, ආදර්ශය හැටියට චිත්ත ගෘහපතිතුමා, හත්ථාලවක උග්ග, වේළුකණ්ඨකී නන්දමාතා සහ ඛුජ්ජුත්තරා යන උපාසක උපාසිකාවන් තබාගත යුතු බව දේශනා කළා. ඒ සියලු දෙනා ම අනාගාමී ව සිටි අයයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඇතැම් අය ගිහි වෙසින් සිටියදී ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා උතුම් අරහත්වයට පත් වී තිබෙනවා. සන්තති අමාත්‍යයා සහ බාහිය දාරුචීරිය එවැනි අයයි. එය බුදුරජාණන් වහන්සේ හමුවේදී වන දෙයක් මිස මෙකල සිදුවිය හැකි දෙයක් නොවෙයි. යම් හෙයකින් එසේ කෙනෙක් ගිහි වෙසින් සිටියදී ම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා රහත්ඵලයට පත්වුවහොත් ඔහු එදින ම පැවිදි විය යුතුයි. නැතිනම් පිරිනිවන් පෑ යුතුයි.

පසේබුදුවරු පහළ වන්නේ අබුද්ධෝත්පාද කාලවල යි. පසේබුදුවරුත් බුද්ධත්වයට පත්වන්නේ ගුරු උපදෙස් රහිතවයි. නමුත් උන්වහන්සේලාට ඒ දහම අන් අයට කියාදිය නොහැකියි. සුත්තනිපාතයේ ඛග්ගවිසාණ සූත්‍රයේ අටුවාවෙහි පසේබුදුරජාණන් වහන්සේලා පිළිබඳ තොරතුරු ඇතුළත් වෙනවා. උන්වහන්සේලා බොහෝ දෙනෙක් ගිහි වෙසින් සිටියදී ම යි පසේබුදු බවට පත්වී තිබෙන්නේ. අනිත් කාරණය නම් ඒ සියලු දෙනා රජවරු වීම යි. දිළිඳු, පහත් කුලවල උපන් කිසිවෙක් පසේබුදු බවට පත් වී නැහැ. මෙයින් පැහැදිලි වන්නේ ඒ සියලු උතුමන් මහා පුණ්‍ය බලයකින් යුතුව, පසේබුදු බව සඳහා පුරන ලද පාරමී ධර්මයන්ගෙන් යුතුව සිටි බවයි.

07. පින්වත් ස්වාමීන් වහන්ස, ධ්‍යානය සහ සමාධිය යනු එකක්ද? නැතිනම් වෙනස් අර්ථ ඇති කරුණු දෙකක් ද?

ඔබේ ප්‍රශ්නයට පිළිතුරු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද මෙම කරුණෙහි ඇතුළත් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ විසින් සම්මා සමාධිය විස්තර කරන්නේ මේ අයුරිනුයි. “මහණෙනි, සම්මා සමාධිය යනු කුමක් ද? මහණෙනි, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමින් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සැපය ඇති ප්‍රථම ධ්‍යානය උපදවා ගෙන වාසය කරයි. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, තමා තුළ පැහැදීම ඇතිකරවන, සිතෙහි එකඟ බව ඇති ව විතර්ක රහිත, විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ප්‍රීතියට ද නොඇල්මෙන්, උපේක්ෂාවෙන් යුතුව
වාසය කරයි. සිහියෙන් ද, නුවණින් ද යුතුව කයෙන් සැපයකුත් විඳියි. ආර්යයෝ යම් සමාධියකට ‘උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව සැපසේ වසයි’ යනුවෙන් කියත් ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. සැපය ද නැතිවීමෙන්, දුක ද නැතිවීමෙන්, කලින් ම සොම්නස් දොම්නස් නැතිවීමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති සතර වැනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මහණෙනි, මෙය සම්මා සමාධිය යැයි කියනු ලැබේ.”