“හ්ම්… ජීවිතය හරි පුදුමයි… මායාකාරී යි…. හීනයක් වගේ…. හිස් ම හිස්.”

“වීමංසා…. ඇයි එහෙම කිව්වේ…?”

“බලන්න නදුන්… මට මතකයි 11 වසරෙදි අපේ ‘ශාන්ති’ කියලා යාළුවෙක් ව ගෙදරින් බන්දලා දුන්නා… එයා අකමැත්තෙන් ඉද්දිමයි බඳින්න වුණේ. ඊයේ ටවුමෙදි හම්බුණා… තුන්වැනි විවාහයත් කැඩිලා… දැන් තට්ට තනියම.

මේ අහල පහල ගෙවල් ගත්තත් ඒවයෙත් අම්මලා තාත්තලා තනියම ළමයින්ට උගන්නන්න නැහිලා නැහිලා…. දැන් ළමයි එක්කෝ රට. එක්කෝ පිට ගමක. ළමයි එවන සල්ලියකින් පුළුවන් විදියට ඉන්නවා. හිතන්නකෝ… ටික කලකින් ම දෙන්නගෙන් එක්කෙනෙක් තනිවෙනවා අනිත් එක්කෙනා මැරිලා ගියාම…

‘තනියම ඉන්න පුළුවන් ද.., යන කලදසාවක් තියෙන්ඩ එපැයි’ කියලයි බඳින්නේ…

සමහර පවුල්වල මව්පියෝ දෙන්නම රස්සාවට යනවා. තෙහෙට්ටු වෙලා ගෙදර එනවා… දැන් මූණ දකින්නවත් වෙලාව නැහැ. සමහරු නයිට්. දවස් ගාණකට එකිනෙකා දකින්නේ නැහැ. දරුවෝ ගැන බලන්නවත් වෙලාව නෑ කියලා, පොඩි එවුන් ‘ඬේ කෙයා’ එකකට දානවා… දරුවෝ අම්මා තාත්තගේ පාට අඳුනන්නෙ නෑ. සමහරවිට නෝනා එක නගරයක. මහත්තයා තව නගරෙක. ළමයි ඉගෙන ගන්න කියලා එක එක තැන්වල. ඔය අස්සේ නෝන මහත්තුරු නොමඟ යනවා… දරුවෝ නන්නත්තාර වෙනවා.

දුක සේ වේවා සැප සේ වේවා… කොහොම කොහොම ජීවිත ගෙවිලා ගියත්… අසනීපයක් උනාම තමන් තනියම උහුලන්න එපැයි. බිරිඳට… ස්වාමියාට… දරුවන්ට ඒක බෙදන්න පුළුවන්යැ… පුළුවන් කාලේ පාටි දාලා පිස්සු නටනවා. තියෙන විවේකෙ ටි්‍රප් යනවා. පිනක් දහමක් කරන්න වෙලාවක් නැහැ… ජීවිතේ දිහා පුළුල් ව බලන්න පුළුවන්කමක් ඇතිකර ගන්නෙත් නෑ… මගේ මගේ කියලා හැමදේට ම ආසාවෙන් ගැට ගැහිලා… තනිවෙන්න උනාම දරන්නත් බෑ.

ලෙඩ දුක්වලට වයසක් නෑනේ නදුන්. නමය වසරේ දී මට මතකයි නංගි කෙනෙක් මැරුණා ලියුකේමියාවෙන්. අනතුරුවලින් කොච්චර මිනිස්සු මැරෙනව ද. වසංගතවලින් කොච්චර මිනිස්සු මැරෙනව ද. ගින්නට, නායට, සුනාමිවලට, ගංවතුරට කොච්චර මැරෙනව ද.

ඒ මැරෙන මැරෙන හැම කෙනාට ම දරුවෝ හිටියා. දෙමව්පියෝ හිටියා. එක්කෝ බිරිඳක්, ස්වාමියෙක් හිටියා. සහෝදරයෝ හිටියා. අඩුම ගාණේ නෑයෙක්, යාළුවෙක් හරි හිටියනේ… ඒ අය අකමැතිව ඉද්දී ම යි මෙයා මැරුනේ. ලෝකයක් පින් දුන්නත් යාඥා කළත්… ආයුෂ ඉවර නම් යන්ට එපැයි. පින ඉවර නම් ඒත් යන්ට එපැයි.

මැරෙන්න වැටිලා ඉද්දි ලෙඩවලින් දුක් විඳිද්දී… සමහරවිට ස්වාමියා තමන්ගෙ බිරිඳ ගැන, දරුවෝ දෙමව්පියෝ ගැන කියනවා, ‘අනේ, මෙහෙම විඳව විඳව ඉන්නවට වඩා හොඳයි.. (මැරිලා යනවා නම්)’ කියලා අන්තිමට ඒකටත් හිත හදා ගන්නවා.”

“ඒක නේන්නං වීමංසා… ඉස්සර හම්බුනේ කොහොමද… නේ ද? රෝස මල් අරං බලන්න ගියපුවා… ලියපු ලියුම්… ගියපු සවාරි… මවපු හීන… කරපු බොළඳ කතා… විඳපු ආස්වාද…. ගත කළ පවුල් ජීවිතේ…. හදවත්වල ගලපු සෙනෙහස… ඔක්කොම බොඳ වෙවී යන චිත්‍රයක් වගේ තමා. අන්තිමට තමන් ආදරය කළ කෙනා මැරෙද්දි බලාගෙන ඉන්න එපැයි නේ ද…?”

“ඔන්න මැරුණම කඳුළු පෙරාගෙන අඬනවා… ටික දවසක් හරි… මාස කීපයක් හරි…. අඬනවා. තේරුමක් නැති බව තේරුණාම ඒ ඇඬිල්ලත් ඉවරයි. (ඇත්තටම අඬලා වැඩකුත් නෑ.) ඒ සම්බන්ධෙ එතැනින් ඉවරයි. දැන් මෙහේ ඉතුරු උන කෙනා ආයෙමත් තනි වෙනවා… පුංචි කාලේ වගේ… ගිය එක්කෙනා ගියෙත් තනිව ම. ඊට පස්සේ අලුත් නෑදෑයො… අලුත් අත්දැකීම්… ආයෙ රවුම යනවා…

අනික නදුන්, අපිට තේරෙන්නෑනෙ, තනියම ලෙඩ ඇඳේ වැටිලා…. මේ ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වන ඇහැ නොපෙනී ගිහින්… කන් නෑසී ගිහිං… කය පණ නැතුව ඇඳේ හිර වෙලා ඉන්න මනුස්සයෙකුට මොනවා හිතෙනවා ඇත්ද. කයේ තියුණු වේදනා දැනි දැනී, හුස්ම ගන්ට අමාරුව දැනි දැනී… මරණයට යද්දි… කොච්චර ආදරය කරන අය හිටියත්… තනියම මුහුණ දෙන්න එපැයි. අපි හිතින් හඬාවැටුණත්, කෑගැහුවත්, ලෝකෙට ඇහෙන්නැති වෙලාවක් එනවා. එදාට… කොච්චර තනි වෙනව ද අපි…?

අපි අපිට කියල පිනක් කරගෙන නැත්නම්…. හිත පුරා සතුටෙන් ඉපිල ඉපිල… ඒ පින් සිහි කරන පුරුද්දක් නැත්නම්… ජීවිතයේ අඩුපාඩු හදාගෙන, සිල්වත් වෙලා, ගුණධර්ම ඇති කරගෙන,.. තමන්ගේ ම සිල්ගුණ සම්පත් දැකලා ප්‍රීති වෙන්න නැත්නම්, අසරණ වුණා ම බුදු ගුණයක්… නිකෙලෙස් රහතුන්ගේ ගුණ… හිතන්න පුරුදු වෙලා නැත්නම්, වේදනාවල්-අසරණකම ඉවසාගෙන… තරහට ඉඩ නො දී හිත රැක ගන්න පුරුදු වෙලා නැත්නම්, මරණාසන්න වෙලා ඇස් ඉස්සරහ පේන ඊ ළඟ ලෝක ඉස්සරහ… හිත හයිය කරගෙන, තුනුරුවනට දිවි පුදලා, බුදු සරණේ ම එල්ලෙන්න කල්පනාව හදාගෙන නැත්නම්.. මොනතරම් අසරණ ද අපි…?

මතක ද නදුන්… අර ශාක්‍ය කන්‍යාවෝ 500… අතපය කපලා බිම දාලා… විඩූඪභ ගියපු වෙලාවේ… ක්‍රෝධයෙන් බැණ බැණ… සාප කර කර ඉඳලා… අර රහතන් වහන්සේගේ බණ පදය අහපු ගමන්… හිත දියුණු කරපු හැටි… තරහ අමතක කළානේ විදුලි වේගයෙන්.

ඊ ළඟට ‘බහුලා’ කියන සැඩොලා… දක්ඛිණ ස්ථූපය බිඳින තැන කිව්වෙ නෑ කියලා උල ඉන්දපු වෙලාවේ… සිරිනාග රජුටත් වෛර නොකර තිසරණේට දිවි පුදලා ඍජු සිතින් මැරිලා… දෙව්ලොව ගියේ. නදුන්… මැරෙන්න වැටිලා හිටපු කීදෙනෙක් නම්, බුදුගුණයට හිත හදාගෙන, බුදුරුවට හිත පහදාගෙන, සෑයක් පිදූ පින සිහිකරගෙන, දහම් ස්වරයට පවා හිත පහදවාගෙන… අපායේ වැටෙන්න ඔන්න මෙන්න කියලා ගොඩ ආවා ද…? රහතන් වහන්සේලාට වැන්ද පිනෙන්… සංඝරත්නයේ නාමයට අල්ප දෙයක් උනත් දන් දුන් අනුහසින්… ප්‍රේත ලෝකයෙන්… නිරයෙන්… මිදුන පින්වන්තයෝ කොතෙක් ද…

ඒ වගේ පරම ශ්‍රේෂ්ඨ තිසරණයක් තියාගෙන, බුද්ධං සරණං ගච්ඡාමි කියන ශ්‍රේෂ්ඨ වචනය ‘ගිරා වාක්‍යයක්’ විතරක් වුවොත්.. අපේ පුංචි අඩුව…. පුංචි වරද…. අපි ව කොයිතරම් භයානක ඉරණමකට ගෙනියයි ද කියලා කවුද දන්නේ…? අනාත්මයිනේ. නොහිතන මොහොතක මරණය අපි ළඟට එද්දී කාට ද පුළුවන් ඒ මරණය කල් දාගෙන… මරණෙට සූදානම් වෙන්න කාලේ ලබා ගන්න…?

නදුන්… ලෝකේ යන රටාවට.. බැඳීම් මැද්දෙන් අපිට යන්න වෙනවා තමයි. ඒත්… කෝටියක්… අනන්තයක්… ආදරය කරන අය හිටියත්… ඒ මැද්දේ ඇස් දෙක පියාගත්තම… අපි තනිවෙලානේ… මායාවක් නේ ද මේ…? අනේ… මේ ඇස් දෙක පියවෙන මොහොතක් ගාණේ… ඒ අන්ධකාරේ මකාගෙන දිලිහෙන පුන් සඳමඬලක් වගේ… බුදුරජාණන් වහන්සේ ව ම අපිට සිහි වෙනවා නම්…!”

හිරුත් ඔබයි සඳුත් ඔබයි ලොවත් ඔබයි බුදුරජුනේ
ගුරුත් ඔබයි දෙවිත් ඔබයි බඹුත් ඔබයි බුදුරජුනේ
මවත් ඔබයි පියත් ඔබයි මගත් ඔබයි බුදුරජුනේ
තවත් කෙනෙක් නැතේ ලොවේ බුදුන් ඔබයි බුදුරජුනේ

මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ මෑණියන් වහන්සේ නමක් විසිනි