භාග්‍යවතුන් වහන්සේ විසින් නිවන් මඟ ලෙස වදාළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී අංග අටකින් සමන්විත වූ ආර්ය මාර්ගයයි. නිවන් මගෙහි හික්මෙන ශ්‍රාවකයා පළමුවෙන් ම උත්සාහ කළ යුත්තේ නිවන් මගට පැමිණීමටයි. එය සිදුවන්නේ සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමෙනි. සම්මා දිට්ඨිය ඇතිවන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ප්‍රහාණය කොට සෝතාපන්න ඵලයට පත්වීමෙනි. සෝවාන් ඵලයට පත්වනවාත් සමඟම ශ්‍රාවකයා තුල පැවති ආත්ම දෘෂ්ඨිය දුරු වී යයි. එනම් ස්ථීරසාර ආත්මයක් ඇත යනුවෙන් බලවත්ව පැවති දෘෂ්ඨිය දුරු වී යයි. නිවන් මඟ හොඳින් විවෘත වන්නේ එවිටය.

එවිට නිවන් දැකීමෙන් මම නැති වන්නේය යනුවෙන් හටගන්නා අනවබෝධයෙන් යුතු බිය දුරු වී යයි. එතැන් පටන් ශ්‍රාවකයා මහත් වූ භයක් ලෙස දකින්නේ පංච උපාදානස්කන්ධයේ පැවැත්ම මිස එය නිරුද්ධ වීම නොවේ. මේ නිසා අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ හිස ගිනි ගත්තෙකු එගිනි නිවීමට මහන්සි ගන්නා පරිද්දෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමට මහන්සි ගත යුතු බවයි. එවිට නිවන් දැකීමේදී මම නැතිවන්නේය යනුවෙන් පැවති බිය දුරු වී යයි.