ස්වාමියාට ආහාරපාන ආදියෙන් සංග්‍රහ කිරීම, ඔහුගේ ඇඳුම් පැලඳුම් සෝදා දීම, මෛත්‍රියෙන් කතා කිරීම, කෝප නොගෙන ඉවසීම, ඔහුගේ දෙමාපියන්ට ඥාතීන්ට සමානව කටයුතු කිරීම, සැලකීම, ඔවුන්ට දොස් නොකීම, සැමියාගේ අඩුපාඩු අනික් අයට නොකීම ආදියෙන් ස්වාමියා සතුටු කර, සුහද ව කතා කර අඩුපාඩු සකස් කර ගැනීමෙන් සතුට සමඟිය පිරුණු පවුල් දිවියක් ගත කළ හැක. විශේෂයෙන් මෙවැනි උතුම් ගුණ ඇති, පතිවත රකින බිරිඳ මරණින් මතු නිම්මාණරතී නම් දිව්‍ය ලෝකයේ උපදින බව අනුරුද්ධ මනාපකායික සූත්‍රයේ සඳහන් වෙනවා.

එසේ ම සත්තභරියා සූත්‍රයේදී අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ බිරින්දෑවරු සත් දෙනෙක් සිටින බවත් එම සත්දෙනාගෙන් යහපත් ගතිගුණ ඇති බිරින්දෑවරු සතර දෙනෙක් සිටින බවත් ඔවුන්ගේ ගති ලක්ෂණ මොනවාද යන බවත් මේ අයුරින් පෙන්වා දුන්නා.

1.මාතෘ භරියා (මවක් වැනි බිරිය)

හැම කල්හි ස්වාමියාට හිතානුකම්පාවෙන් වාසය කරයි. මවක් දරුවෙකු රකිනා සේ තම ස්වාමියාව රකියි. ඔහු උපයන ධනයත් රකියි.

2.භගිනි භරියා (සොහොයුරිය වැනි බිරිය)

වැඩිමහල් සොහොයුරා කෙරෙහි බාල නැගණිය සේ සිය ස්වාමියා කෙරෙහි ගෞරව සහිතව වසයි. ලැජ්ජා සිත් ඇතුව සිටියි. ස්වාමියාට අනුව සිටියි.

3.සඛී භරියා (යෙහෙළියක් වැනි බිරිඳ)

බොහෝ කලකින් තමන්ට මුණගැසුණු යාළුවෙක් දැක සතුටු වන යෙහෙළියක් වගේ තම ස්වාමියා දැක සතුටු වෙයි. සිල්වත් ව මනා පැවතුම් ඇතුව වසයි.

4.දාසී භරියා (දාසියක් වැනි බිරිඳ)

ස්වාමියා විසින් පහර දෙද්දිත්, බණිද්දිත් නොකිපෙයි. දුෂ්ට සිත් නැතුව සිටියි. සැමියාගේ වැරදි ඉවසයි. සැමියාට කීකරු වෙයි.

මෙම බිරින්දෑවරු සතර දෙනා මරණින් මතු සුගතියෙහි උපදියි.