මේ වගේ දේවල් ගොඩක් වෙලාවට සංසාරයේ ප්‍රශ්න. මේ වගේ සසර පුරුදු දිගින් දිගට ම පැමිණීම වෙන්න පුළුවන් දෙයක්. දැන් මොහොතකට සිතා බලන්න සේරිවාණිජ ජාතකයේ දී බෝසත් වෙළෙන්දා වැරැද්දක් කළා ද? නමුත් බලන්න. ඒ ප්‍රශ්නයක් පටන් ගත්තු තැනක්. එතැන දී අවසානයේ අර නපුරු වෙළෙන්දා ගඟ අයිනේ වැලි මිටක් අරගෙන මං භවයෙන් භවයේ මේකට පළිගන්නවා කියලා කිව්වා. ඒ විදිහට ම සසරේ ආවේ නැද්ද? ඊට පස්සේ සසරේ දිගින් දිගට ම මුණගැහුණා. කොහොම ද මේක වෙන්නේ?

ඒ වගේ තමයි. සසරේ ප්‍රශ්නය මුණගැහෙන්නේ නො සිතන විදිහට. සමහර විට කෙනෙක් ගෑනු ළමයා වෙනකොට අනිත් කෙනා පිරිමි ළමයා වෙලා එයාව හොයාගෙන එනවා. සමහර විට දරුවා වෙලා දෙමව්පියන් ළඟ උපදිනවා. ගුරුවරයා ඉන්නකොට ගෝලයා වෙලා අනිත් කෙනා එනවා. ඉතින් ඒ නිසා ඒකෙන් නම් බේරෙන්න ලේසි වෙන්නේ නෑ.

මේක තමයි සසරේ ස්වභාවය. ගොඩක් වෙලාවට නිස්කලංකව මේ ගමන යන්න ලැබෙන්නේ නෑ. අර්බුද, පටලැවිලි, ප්‍රශ්න නැති තැනක් සසරේ හොයනවා නම් එයාට සසරේ එවැනි තැනක් හම්බවෙන්නේ නෑ. ඒ නිසා සසරේ ආයෙ ආයෙමත් ප්‍රශ්න හදාගත්තු අය මුණගැහෙනවා. අපට තේරෙන්නේ නෑ ඒක කොහොම වෙනවද කියලා.