දස සංයෝජන යනු සසරට සත්වයා ව බැඳ තබන ක්ලේෂ බන්ධන දහයයි. ඒ ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා.

“මහණෙනි, මේ සංයෝජනයෝ දහයෙකි. කවර දහයක් ද යත්, පහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන (ඕරම්භාගීය සංයෝජන) පසෙකි. ඉහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන (උද්ධම්භාගීය සංයෝජන) පසෙකි.

මහණෙනි, පහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන පහ මොනවා ද? එනම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය, කාමච්ඡන්දය සහ ව්‍යාපාදය යි. මේවා පහළ ලෝකයන්ට ඇදී යන පහත් වූ ක්ලේශ බන්ධනයෝ ය. මහණෙනි, ඉහළ ලෝකයන්ට ඇදී යන ක්ලේශ බන්ධන පහ මොනවා ද? එනම් රූප රාගය, අරූප රාගය, මානය, උද්ධච්චය සහ අවිද්‍යාවයි. මේවා ඉහළ ලෝකයන්ට ඇදී යන පහත් වූ ක්ලේශ බන්ධනයෝ ය. මහණෙනි, දස සංයෝජන යනු මේවා ය.”

(සංයෝජන සූත්‍රය – අං. නි. දසක නිපාතය)

ඕරම්භාගීය සංයෝජන කෙනෙක් තුළ පිහිටා තිබෙන්නේ කෙසේ ද යන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා.

“පින්වත් ආනන්ද, ආර්යයන්ගේ දැක්මත් නැති, ආර්ය ධර්මයට අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මෙන, සත්පුරුෂයන්ගේ දැක්මක් නැති, සත්පුරුෂ ධර්මයට අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මෙන අශ්‍රැතවත් පෘථග්ජනයා සක්කාය දිට්ඨිය හාත්පස වැළඳ ගත්, සක්කාය දිට්ඨියට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් සක්කාය දිට්ඨියෙන් නිදහස් වීම ගැන ඒ අයුරින් දන්නේ නෑ. එතකොට ඔහු තුළ ඒ සක්කාය දිට්ඨිය දැඩිව පිහිටනවා. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි. ඒ වගේ ම ඔහු විචිකිච්ඡාව හාත්පස වැළඳ ගත්, විචිකිච්ඡාවට යට වූ සිතිනුයි වාසය කරන්නේ. ඉතින් ඔහු උපන් විචිකිච්ඡාවෙන්…. බැහැර නො වී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.

ඒ වගේ ම ඔහු සීලබ්බත පරාමාසය හාත්පස වැළඳ ගත්…. බැහැර නො වී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.

ඒ වගේ ම ඔහු කාමරාගය හාත්පස වැළඳ ගත්…. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.

ඒ වගේ ම ඔහු ව්‍යාපාදය හාත්පස වැළඳ ගත්…. බැහැර නොවී පවතිනවා. එය ඕරම්භාගීය සංයෝජනය යි.”

(මහා මාලුංක්‍ය සූත්‍රය – ම. නි. 2)