ඈ සියුමැලි ය. සැම සිත් වසඟ කරනා රූ සපුවෙන් හෙබි රාජ කුමරියක වූ ඇය බමුණු වෙසක් ගෙන කෙස් වැටියෙහි ධා කරඬුව සඟවා සම්බුදු රශ්මිමාලා මධ්‍යයේ සුපිපි මල් වියන් යටින්, ඇතිරූ මල් පාවඩ මතින් අනුරපුර මේඝගිරි විහාරය වෙත පියමනින්නේ සුසිල්වත් ජීවිතය දළදා සමිඳුන්ට පුදා, සැම දෙනට සිරි සැපත කැන්දන, සම්බුදු ශ‍්‍රී දළදා වහන්සේ සුරකින රිසිනි.

මහසෙන් රජු කළුරිය කළෙන් ඔහු පුත් කිත්සිරි මෙවන් රජ දළදා පුවත ඇසු සැණින්, සත් රුවනක් ලද සක්විති රජකු මෙන් මේඝගිරි විහාරයට සපැමිණෙන්නට වන. දළදා වහන්සේ දුටු රජ තෙමේ තුටු කඳුළු සලමින් රෝමෝද්ගම ව බුහුමන් පෙරටුව නමස්කාර කොට මෙසේ සිතන්නට විය. ‘ගුණයෙන් අපරිමිත වූ සර්වඥ ධාතූන් වහන්සේ හට ඔටුණු පලන් සිරස පිදුව ද රන් රුවන් සහිත මිහිමඬල පිදුව ද පමණ කළ නොහැක්කෙකි. අපිරිමිත ගුණ ඇති සර්වඥයන් වහන්සේ කෙසේ පුදම්දෝ’. මෙසේ සිතත් ම සිහිසුන්ව වැටුනු මහරජාණෝ, සේවකයන් විසින් සලන ලද චාමර පවනින් යළිදු සිහි ලබන්නට වණ. ලක්දිව රාජ්‍යයෙන් අභිෂේක කොට මහරජාණෝ දළදා වහන්සේට ලක්දිව පූජා කළෝ ය.

මහරජාණෝ මොහොතක් දළදා වහන්සේ දෙස නෙත් යොමා බලා සිටින්නට විය. සුදෝසුදු පැහැයෙන් යුත් සම්බුදු දළදා වහන්සේ කිලිටි පැහැ ඇත්තේ කවර හෙයින්දැයි කියා, සිතිවිලි අතර සිරවන්නට විය. එකෙණෙහි ම දළදා වහන්සේ පියාපත් විහිදා යන රාජහංසියක මෙන් අහසෙහි මොහොතක් දක්ෂිණාවර්ත ව දිවූ සේක. රජතෙමේ අගනා සුදු ඇතිරියක් රජ අසුනෙහි අතුරා, දළදා වහන්සේ ව වඩා හිඳුවා සමන් මලින් වසන්නට විය.

උත්තම මුනි දළදාවෝ සමන් මල් මතට වැඩ කිරි සේ සුදු රශ්මියෙන් බබළමින් බලන්නවුන්ගේ නේත‍්‍රයන් මොහොතක් නතර කළ සේක. රජ තෙමේ ඒ උතුම් දළදාවෝ සළුපට සිය ගණනකින් වසන්නට විය. සුදු වලාගැබකින් නික්මුන සඳ මෙන් සළු සියගණන් බිඳගෙන නැගී සේක්, දළදා වහන්සේ ඒ සළු මත කොඳ වැනි සුදු රශ්මියෙන් සියලු දිශාවන් බබළවන්නට වූ සේක. ධරතී මාතාවෝ පර්වතයන් හා සමඟ සාදුකාර දෙන්නියක සේ ගර්ජනා කළා ය. සන්සුන් රළ නමැති අත් ඇති ඒ සාගර තෙමේ ඒ ආශ්චර්යය බලන්නට මෙන් නිශ්චල විය. අහස් ගැබෙන් දිව්‍ය පුෂ්පයෝ ඇද හැළුණි. දිව්‍ය සුගන්ධය දසත පැතිරී යන්නට විය. මේ අසිරිමත් ප‍්‍රාතිහාර්ය පෙළ මධ්‍යයේ ඒ අතීත පුරාවෘත්තය ගෙනහැර දක්වන ඇය,
“මහරජාණෙනි, අප මීමුත් පරපුරේ සිට සිරි සැපත ලබමින් සුරැකි මේ දළදාවෝ, අසිරිමත් පෙළහර මධ්‍යයේ සියලු මිසදිටුවන් පහ කරවන්නට සමත් වු බව අසා ඇත්තෙමි. ලොව්හි මහා කාරුණික වූ අප සම්බුදුරජාණෝ පිරිනිවි කල ඛේම නම් රහත් මුනිඳාණෝ, දැල්වෙමින් තිබු චිතකයෙන් වම් දළදා වහන්සේ ගත් සේක. රනින් සරසන ලද මිණියෙන් ආලෝකය ලැබදෙන සොඳුරු මන්දිරයක වැඩ හිඳ දළදා වහන්සේ ප‍්‍රාතිහාර්යය පෑ සේක. දළදා වහන්සේ පුදා රජ ශක්‍ර පුරයට වන් පසු හේ පුත් කාසි රජ ධාර්මිකව රාජ්‍ය කටයුතු මෙහෙයවූයේ ය. කාසි රජ තෙම ධාර්මිකව සිට ශක්‍ර පුරයට වන් පසුව මා පියාණන් වූ ගුහසීව රජ දළදා වහන්සේ භාරගත් සේක.

මහරජාණෙනි, මාපියාණන් මුල් කල බමුණු මත දරන්නෙක් ව දළදා පුරාණය අසා තිසරණයෙහි පිහිටා බමුණන්ව රටින් නෙරපූහ. කෝපයෙන් දැවුණු බමුණෝ පාටලීපුත්ත නගරයෙහි දඹදිව නායක වූ පඬි රජු හට කේළාම් කියන්නාහු, ‘මහරජාණෙනි, කළිඟු දේශයෙහි ගුහසීව රජතෙමේ වන්දනීය වූ සිව, ඊශ්වර, බ‍්‍රහ්මාදීන් හැර දමා මිනී ඇටයක් වඳින්නේ ය’ යැයි කීහ.

ඉන් පසු පඬි රජ තෙමේ ක්‍රෝධයෙන් වසඟව චිත‍්‍රයාන රජු ‘මිනී ඇටය ගෙන එව’ යි කියා පිටත්කර එවී ය. චිත‍්‍රයාන රජු සිව්රඟ සේනාව ද සමග දන්ත පුරයට පිවිසියේ ය. මා ප‍ියරජාණන්, අනාවරණ ප‍්‍රඥා ඇති සර්වඥයන් වහන්සේගේ අසීමිත ගුණ වයා, චිත‍්‍රයාන රජු පහදවා දළදා මන්දිරය තුළට පිවිසියේ ය. සධාතුක කරඬුව සහිත රන් රුවනින් බබළන දළදා මැදුර තුළ සුපිහිටි දළදා කරඬුව විවර කොට දණ මඬල බිම තබා බුදුගුණ වයන්නට විය.

“මාගේ මුනිරජාණන් වහන්ස, එදා අන්‍ය තීර්ථකයන් මඩින්නට ගණ්ඩබ්බ රුක් මුල්හි යමක මහා ප‍්‍රාතිහාර්යය පා තව්තිසාවට වැඩ, වස්තුන් මස අවසන සංකස්සයේ දී, සක්දෙවිඳුන් විසින් මවන ලද පියගැට පෙළ මධ්‍යයෙහි වැඩ සිට ලෝක විවරණය කළ අයුරින් මේ උතුම් දළදාවෝ පෙළහර පා වදාළ මැනව.”

මහරජාණෙනි, මාගේ පියරජුගේ ඇරයුමින් උතුම් දළදා වහන්සේ අහසට පැන නැගී, රිදී සේ සුදු රශ්මීන් විහිදුවමින්, දුම් දමමින්, නන් අයුරින් දිලිසෙමින් පෙළහර පා වදාළ සේක. මෙය දුටු චිත‍්‍රයාන රජු මිසදුටු මත අතහැර තිසරණයෙහි පිහිටියේ ය. උතුම් දළදා වහන්සේ පුදන්නට වූහ. පඬු රජුගේ අණ පරිදි දළදා කරඬුව දුර්ගම මාර්ග තරණය කොට පාටලීපුත්ත නගරයට වැඩම කළ සේක.

බමුණන් වටකරගෙන අවවාද අනුශාසනා ලබන්නා වූ පඬි රජතුමා ද්වේෂයෙන් කිපී, රජ මිදුලෙහි ගැඹුරට කණින ලද අගලක ගිනි අඟුරු පුරවා දළදා වහන්සේ එහි හෙළන්නට විය.

අසිරියක්මැයි මහරජාණෙනි, ගැඹුරු වූ ගිනි අඟුරු වළ මතින් නැගුණු රේණු සමූහ ඇති රියන් සතක් පමණ පියුමක් පැන නැංගේ ය. පියුම් කෙමිය මත්තෙහි වැඩහුන් දළදා වහන්සේ සියලු දිශාවන් බබළවමින් රශ්මි ධාරාවන් විහිදුවන්නට වූ සේක.

මේ අසිරිය දුටු මිනිසුන් මිසදිටු මත අතහැර උතුම් දළදා වහන්සේ පුදන්නට විය. පඬි රජු වනාහී බොහෝ කලක් මිසදිටු මත දරා සිට අත්හැර ගත නොහැකිව දළදා වහන්සේ කිණිහිරක තබා කුළු ගෙඩියකින් ගැස්වී ය.

උතුම් දළදා වහන්සේ කිණිහිරෙහි අඩක් ගිලු‍ණේ උදය පර්වතයෙන් නැගුණු සූර්ය රශ්මි ධාරාවක් මෙන් රැස් විහිදුවන්නට වූ සේක. මේ අසිරිය දුටු රජතෙමේ විස්මයට පත් වූයේ, බමුණෝ රැස්ව විෂ්ණු යාතිකා කරන්නට විය. විෂ්ණුගේ ගුණ කියමින් දළදා වහන්සේ කිණිහිරෙන් මුදවන්නට අසමත් වූ බමුණන් දුටු පඬිරජු තෙමේ රට පුරා අණබෙර යැවී ය. පින් කැමැති, බුදු බලයෙහි පැහැදුනා වූ සුභද්ද නම් සිටු තෙමේ බුදු ගුණ වර්ණනා කොට සත්‍යක්‍රියා කරන්නට වූහ.

‘අප මහා බෝසතාණන් වහන්සේ ඡද්දන්ත කුලයෙහි ඉපදී ඊතල පහර වැද ලේ වැකුණු සිරුරින් දළ දෙක දන් දුන් සේක් ද සාදුකින් පෙළුනු බමුණාට සස ජාතකයෙහි දී අඟුරු ගොඩෙහි වැටී ශරීරය දන් දුන් සේක් ද සිවි රාජව සිට අඳ බමුණාට ඇස් දන් දුන් සේක් ද ක්‍ෂාන්තිවාදී තාපසව කලාබු රජා විසින් අත්පා කපන කල්හි ද මෛත‍්‍රී කරමින් ඉවසූ සේක් ද ධර්මපාල කුමරාව ප‍්‍රතාප රජ විසින් අසිමාල නම් වධයක් කරන කල්හි සිත දූෂ්‍ය නොකළේ ද’ ආදී වශයෙන් ද නාලාගිරි දමනය, බක බ‍්‍රහ්ම දමනය, අංගුලිමාල දමනය ආදී වශයෙන් සත්‍යක්‍රියා කොට අනන්ත වු බුදුුගුණ වයමින් සත්‍යක්‍රියා කරමින්, අහස් කුසට නැග චන්ද්‍රලේඛාව පරිදි බබළමින් පෙළහර පාන්නට ආරාධනා කළේ ය.

එකල්හි සර්වඥ දළදා වහන්සේ අහසට පැනනැගී පහන් තරුවක් සේ සියලු දිශා බබළමින්, රශ්මි දහරා විහිදුවමින් ජනයා පහදවන්නට වූ සේක. මේ අසිරිය දුටු බමුණෝ කිපී පඬි රජ අපහදනු රිසියෙන් ‘මහරජතුමනි, මේ දළදා අසිරියක් නොව මේ සිටුහුගේ ඇස්බැන්දුමකැ’ යි ගතු කියන්නට වුහ. එවදන් ඇසූ පඬිරජ අනෙක් ඍද්ධියක් පෙන්වන ලෙස දැන්වූහ.

මහරජාණෙනි, එකල්හි අප සුභද්ද සිටාණෝ සුවඳ සිසිල් පැන් පිරුණු රන් පාත‍්‍රයක දළදා වහන්සේ වඩා හිඳවූ සේක. සුවඳ දිය මත දක්‍ෂිණාවෘත්ත ව පැදකුණු ගමනින් රාජ හංසියක මෙන් දිවෙමින්, උඩට නැගෙමින්, යළිදු බැබළෙමින් ප‍්‍රාතිහාර්යය පාන්නට වූ සේක. ඉක්බිතිව පඬිරජ මහා පිරිස මැද ගැඹුරු වළක් කැණ දළදා වහන්සේ එහි දමා පස්වලින් වසා ඇතුන් ලවා පාගවන්නට විය.

එකල්හි මහරජාණෙනි, ස්වර්ණමය පෙතිවලින් යුත් බබළන පියුමක් ඒ මතින් ඉහළට පැනනැගුණු සේක. මන්දමාරුතයෙන් වටකරන ලද රොන් සමූහ ඇති මල් කෙමිය මතින්, දස දිශාවම බබළවමින් දළදා වහන්සේ පෙළහර පාන්නට වූ සේක. යළි කිපුණු බමුණෝ මෙය වංචාවකැයි ගතු කියා රජු පොළඹවා අසූචියෙන් පිරුණු පිළිකුල් වූ අගලක් මතුපිටට දළදා වහන්සේ හෙළුෑහ.

මහරජාණෙනි, අසිරිමත් පෙළහර පානා දළදා වහන්සේ, අසූචියෙන් පිරුණු පොකුණ පිරිසිදු කොට පස් පියුමෙන් සුසැදි පොකුණක් කළ සේක. එකල්හි ජනයා ධජ පතාක නංවමින්, සුවඳ මලින් පුදමින් දළදා වහන්සේට තුති ගී ගයන්නට වූහ.

මහරජාණෙනි, එතෙක් කල් ප‍්‍රාතිහාර්යය දකිමින් සිටි ඇමතිවරු පඬි රජු හට දන්වන ලද්දේ ‘මහරජතුමනි, මෙතකුදු පෙළහර පාන්නා වූ මේ දළදා වහන්සේ දැක සිත නොපහදී නම්, ඔහුගේ ප‍්‍රඥාව කුමක් පිණිස වන්නේ ද? සඳ නැගි කල කුමුදු වනයෝ පිපෙන්නා සේ, සත්පුරුෂ දනන්ගේ දහම දැක මිසදිටු අත්හළ මනා ය. මහා කප්පින, බිම්බිසාර, සුදොවුන් ආදී රජවරු මෙන් අමෘතය පානය කළ මනා ය.’ මේ වදන් ඇසු පඬි රජ තෙමේ මිසදිටු මතවාද අතහැර බුදුගුණ වයන්නට විය.

එකල්හි මහරජාණෙනි, පඬිරජු ‘දළදා පුදන්නෙමි, පින් රැස් කරන්නෙමි’ යි කියා අගල සමීපයට ගොස් දළදා වහන්සේ රැගෙන එන ලෙස සේනාපති දැනුවත් කළේ ය.

මහරජාණෙනි, සේනාපති තෙමේ අගල සමීපයට ගොස් බුදුගුණ කියමින් දළදා පුදමින්, රජුගේ ප‍්‍රාසාදයට වඩින ලෙස ආරාධනා කරන කල්හී, ඒ සර්වඥ දළදා වහන්සේ හංස පෝතකයෙකු මෙන් පියුමෙන් පියුමට වඩිමින් මුළු නගරය ශ්වේත රශ්මියෙන් ආලෝක කළ සේක. යළිදු දළදා වහන්සේ සෙන්පතියාගේ දෝතෙහි තිබූ රතු පියුම මත පිහිටා පෙළහර පෑ සේක. ඉක්බිති දළදා වහන්සේ පඬි රජුගේ දිලෙන ඔටුන්නේ පිහිටා සුදු රශ්මි දහරා විහිදවූ සේක. ඒ පඬි රජ තෙමේ සිරසෙහි දළදා වහන්සේ උසුලමින් නුවර පැදකුණු කොට මල් ආදියෙන් පුදමින් ඇතුළු නුවරට වැඩම කරවූයේ ය. ඉන් අනතුරුව පඬි රජ ශ්වේත ඡත‍්‍රයක් යෙදූ ස්වර්ණමය පලඟක දළදා වහන්සේ වඩා හිඳුවා රන් ආදියෙන් පිදුවේ ය. දිවි හිමියෙන් තිසරණයේ පිහිටි රජු අවිහිංසාවෙන් හා කරුණාවෙන් මහජනයාගේ සිත් දිනා ගත්තේ ය.

මහරජාණෙනි, ඒ පඬි රජ තෙමේ රුවන් පැහැයෙන් බබළන අලංකාර වූ දළදා මැදුරක් කොට, සියලු නුවර අලංකාර කොට සරසා, දළදා වහන්සේ වඩා හිඳවූයේ ය. නොයෙකුත් පූජාවන් මධ්‍යයෙහි රට ද දළදා වහන්සේට පිදී ය. රටෙහි සිරි සැපත දියුණු වන්නට විය. දසරාජ ධර්මයෙන් රට පාලනය කරන පඬි රජු යටත් කොට දළදා වහන්සේ පැහැර ගැනීම පිණීස ඛීරධාර රජතෙමේ පාටලීපුත්ත නගරයට පැමිණියේ ය. යුද පිණිස ඉදිරියට ගිය පඬි රජ තෙමේ ඒ මහා යුද්ධය ජයගෙන සතුරු සේනාවෝ පළවා හැරියාහ. අනතුරුව පඬි රජු රට සශ‍්‍රීක කොට සිය පුතුට රාජ්‍ය භාර දී, මා පියාණන් වු ගුහසීව රජුට ද සත්කාර කොට අපගේ රටට එවී ය. මහරජාණෙනි, ඒ පඬි රජු නොයෙක් වස්තුව දන් දී ජීවිතය අතහැර ශ‍්‍රමණ ජීවිතයක් ගතකොට මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන්නේ ය.

මහරජාණෙනි, මා පියාණන් හට නැවත ලැබුණු දළදා වහන්සේ කළිඟු දේශයට වැඩමවා, පූජා සත්කාර කරමින් පින් රැස් කළේ ය. මාගේ ස්වාමී වූ උදේන රජ පුත් මේ දන්ත කුමරුන් දළදා පුදන්නට කලිඟු දේශයට පැමිණියේ ය. තිසරණයෙහි පැහැදුණු ගුණයෙන් පිරුණු දන්ත කුමරුන් මා පියාණන් කෙරෙහි පැහැදී අපගේ පුරයෙහි ම විසී ය. ඤාතීත්වයට සුදුසු පිරිසිදු කුලවංශ ඇති දන්ත කුමරු හා මාගේ විවාහය කෙටි කලකින් සිදු විය. මපියාණෝ දළදාරක්ෂක ධුරයෙහි දන්ත කුමරුවන් තැබුවාහ.

මහරජාණෙනි, ඛීරධාර රජු යුද බිමෙහි දී මළ කල්හි ඔහුගේ බෑණනු කුමරුවෝ දළදා වහන්සේ පැහැර ගැනීමට දන්ත පුරයට පැමිණියෝ ය. දන්තපුර සමීපයට පැමිණි එම කුමරුවෝ කඳවුරු බැඳ ‘දළදා වහන්සේ දෙව. නැතහොත් යුද කරව’ යි හසුනක් එවී ය. මා පියාණෝ දන්ත කුමරුන් හට දළදා වහන්සේ භාර දී යුද පිටියට ගියෙන් ‘යුද වදින්නට නොහැකි වුවහොත් බමුණු වෙස් ගෙන ලක්දිවට යව’ යි කීහ. ‘සැම කල්හි ම නුවණැති මහසෙන් රජු දළදා පුදන්නට ද නුපුරුදු රටකට ගිය තොපට ද මනාව සංග‍්‍රහ කරන්නට ද පොහොසත් වේ ය’ යැයි ද කීහ.

මහරජාණෙනි, මාගේ පියාණන් යුද බිමට ගියේ යුද්ධයේ දී මරණයට පත් විය. දන්ත කුමරුන් ඒ අමිහිරි බස් අසා මා සමඟ මේ උතුම් දළදා වහන්සේ රැගෙන නගරයෙන් වහා පලා ආවේ ය. අපි දෙදෙනා දළදා වහන්සේ සමඟින් දකුණු දෙසට ගමන් කොට දේවානුභාවයෙන් කම්පාවට පත් නො වී මහා ගංගා තරණය කොට, ගං ඉවුරෙහි වැලි ගොඩක් මැද දළදා වහන්සේ සඟවා තැබුවෙමු. අහසින් වඩින්නා වූ එක් අරහත් මුනිවරයන් වහන්සේනමක් වැලි දාගැබෙන් විහිදෙන රශ්මි කදම්භය දැක, දළදා වඳින්නට වැඩම කළ සේක. ඒ තෙරුන් වහන්සේ දුටු අපි දෙදෙන ලක්දිව යන තොරතුරු දැන්වූවෙමු. තෙරුන් වහන්සේ අපට මෙසේ වදාළහ.

‘තෙපි නොබියව දළදා වහන්සේ හෙළදිවට ගෙන යව්. ගමන් මගේ දී යම් උවදුරක් ඇති වුවහොත් නොයෙක් උවදුරු දුරු කිරීමෙහි දක්ෂ වූ මා සිහිකරව්.’

මහරජාණෙනි, අප හට නැවත දහම් දෙසා වදාළ ඒ මුනි තෙමේ අහස් ගමනින් නැවත වැඩි සේක. ඉක්බිති ගංගාවෙහි නාග විමානයෙහි වාසය කරන පණ්ඩුහාර නම් නාරජ තෙමේ නා විමනින් පිටව හැසිරෙනුයේ එතැනට පැමිණියේ ය. දළදා වහන්සේ සහිත ධා කරඬුව ගිල මහාමේරු පර්වතය වෙලා වැදහොත්තේ ය.

මහරජාණෙනි, අපි වැලිගොඩෙහි සඟවා තැබූ දළදා කරඬුව නොදැක ශෝකයෙන් හඬමින් ඒ තෙරුන් වහන්සේ සිහිකළෙමු. එකල්හි ශෝකී වූ අප දෙදෙන දුටු තෙරුන් වහන්සේ අප වෙත වැඩිසේක. තෙරුන් වහන්සේ බියකරු ගුරුළු රාජයෙකුගේ වේශයෙන් ගොස් මුහුද දෙබෑ කොට මහාමේරු පර්වතයේ සිටි නා රජු වෙත වැඩම කළ සේක. එකල නාරජ තෙම නාග වේශය අතහැර පෙනය හකුළුවා තෙරුන් වහන්සේගේ දෙපා වැඳ මෙසේ කීය.

‘බුදුවරු සියලු ජනයාට හිත වැඩ පිණිස ම උපදිත්, ධාතු පූජාව ජනයාගේ හිතසුව පිණිස වේ. මේ උතුම් සර්වඥ දළදාව පුදා බොහෝ පින් රැස්කර ගැනීම පිණිස එය ගතිමි.’

‘සත්‍යාවබෝධයට සුදුසු මනුෂ්‍ය සමූහයාගේ වාසස්ථානය වූ ඒ සිංහලදීපයට මේ දළදා වහන්සේ වඩමවනු ලැබේ. එහෙයින් දළදා වහන්සේ දෙව’ යි තෙරුන් වහන්සේ දළදා වහන්සේ ලබාගත්හ. තෙරුන් වහන්සේගෙන් නැවත ලබාගත් දළදා වහන්සේ අපි හිස්මුදුනින් උසුලමින් වනමාර්ගයෙහි දෙවියන්ගේ පූජෝපහාර ලබමින් වඩමවාගෙන ආවෙමු.

මහරජාණෙනි, දළදා වහන්සේගේ ආනුභාවයෙන් මාර්ගයෙහි සැම තැන්හි ම සුවඳ මඳ පවන් හැමී ය. මාර්ගය කටු රහිතව පිරිසිදු වැල්ලෙන් යුක්ත විය. මහමග දී නියම්ගම්, නුවර වැස්සෝ මනාව සැලකූහ. මේ සියලු දේ මැද අපි තාමලිප්ති පටුනට ආවෙමු. ස්ථිර පුවරුවක් ද මහ කුඹයක් හා රුවලක් ඇති ලක්දිවට යන වෙළඳුන් නැගුණු නැවක් එකල්හි අපි දුටිමු. ලක්දිවට එනු රිසියෙන් අපි නැවට ගොඩවුණෙමු.

මහරජාණෙනි, දළදා වහන්සේ රැගෙන අප නැවට නැගි කල්හි මුහුදු දිය සංසිඳුණේ ය. සුවඳවත්ව උතුරු දිගින් සුළඟ හැමී ය. සෑම දිශාවක් ම සොභාමත් විය. මඳ වෙලාවකින් වාත වේගයෙන් කම්පා වූ මහා සමුද්‍රය පර්වත සමාන උස් වූ රළ පතර ඇත්තේ කන් බිහිරි කරන නාදයෙන් යුක්ත වූයේ ය. එනිසා මිනිසුන් බියෙන් තැතිගත්තෝ ය. එකල්හි නාගයෝ කඩුපුල් මල් මෙන් ම නොයෙක් පුෂ්පයෝ ගෙන පුද පූජා පිණිස සැරසුණෝ ය. නාගයෝ නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් දළදා වහන්සේ පුදන කල්හි මාගේ කෙස් කළඹින් අහසට නැගුණු දළදා වහන්සේ චන්ද්‍රලේඛාවක් සේ සුදුවන් රශ්මි දහරා විහිදුවන්නට වූහ. මෙසේ ප‍්‍රාතිහාර්යය මැද නැව වට කොට ගත් නාගයෝ නැව නවතා තැබූහ. භයින් ඇළුනු සිත් ඇති අපි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ සිහිකළෙමු. එකෙණෙහි ම බුද්ධ පුත‍්‍රයන් වහන්සේ ගුරුළු වේශයක් මවා නාගයින් පළවා හැරි සේක. තෙරුන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් අපි නිරුපද්‍රිතව ලක්දිවට පැමිණියෙමු.

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.