පුංචි පුතේ පුංචි දුවේ ඉපදුණු සිරිලක් බිමේ
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ

අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදාත්මක මඟ පෙන්වීමෙන් මහමෙව්නාව භාවනා අසපුවක් ආරම්භ කරන්නට මම විදේශ රටකට වැඩම කළෙමි. ලංකාවේ දී සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ හැදුනු වැඩුණු, එහි වටිනාකම දත් මව්පියන් සිය දරු දැරියන්ට ද එම උතුම් දායාදය ලබා දීමට උත්සුක වනු අත්දකින්නට ලැබුණි. ඔවුහු දරුවන්ට සුමේධ, සුගන්ධ, විශාඛා, ශාක්‍යා ආදී ආර්ය නම් තබා තිබූ අතර විහාරස්ථානයේ දහම් පාසලට ද දරුවන් යොමුකර තිබුණි.

අතළොස්සක් පිරිස එලෙස බුද්ධිමත්ව කටයුතු කළ අතර බහුතරයක් දෙමාපියන් ද දරුවන් ද සිංහල බෞද්ධ අනන්‍යතාවය අමතක කර දමා බටහිර ආකල්ප සහ සංස්කෘතිය තදින් වැළඳගනිමින් සිටියහ. ලංකාවෙන් එම රටට සංක්‍රමණය වූ සිංහල බෞද්ධ දෙමාපියන්ගේ කුඩා දරුවන් අසපුවට පැමිණි විට පැවිද්දන් වූ අපට ඇමතුවේ “හායි” යනුවෙනි. ආපසු යන විට ද ඔවුහු අත වනමින් ස්වාමීන් වහන්සේලාට “බායි” හෝ “චෙරියෝ” කීමට අමතක නොකළහ. ඔවුන්ගේ නම් විමසූ විට අයියා ‘රයන්’ යැයි ද මල්ලී ‘බ්‍රයන්’ යැයි ද තමන් ව හඳුන්වා දුන්හ. ‘ඕසිකා’ නමින් ද ‘ජසිකා’ නමින්ද සහෝදරියන් සිටියහ. වරක් දානය බෙදූ කුඩා පුතෙකුට “සුවපත් වේවා!” කියා සෙත් පැතූ විට ඊට සංවේදී නො වූ ඔහු ඇඟිල්ලක් දිගුකර මා හට පැවසුවේ “තෑන්ක් යූ” යැයි පවසන ලෙස ය. එනමුත් දෙමාපියන්ගේ ආකල්ප සම්පත්තිය නිසා ගුණදහමින් පෝෂණය වී සිටි දරු දැරියන් ලංකාවේ දී සේ ම ස්වාමීන් වහන්සේලාට දණ නමා වන්දනාමාන කළ අතර සුදු ඇඳුමින් සැරසී අසපුවට පැමිණීමට ද ගෞරවයෙන් දන් පැන් බෙදීමට ද මිහිරට හඬ නඟා තෙරුවන් ගුණ කීමට ද හුරුපුරුදු වී සිටියහ. එනමුදු ඒ ඉතා ස්වල්ප පිරිසකි.

මේ අතර එම විදේශීය රටේ බුදු දහම වැළඳගත් ඉංග්‍රීසි ජාතික තරුණ යුවළක් සිය කුඩා පුතු ද සමඟින් අසපුවට පැමිණ මා හට වන්දනා කළ විට මම ඔවුන්ගේ නම් මොනවාදැයි විමසුවෙමි. පුතු ‘රාහුල’ වූ අතර මව ‘විශාඛා’ ද පියා ‘අනුරුද්ධ’ ද වූහ. විදේශිකයින් බුදු දහම වැළඳගෙන ආර්ය නම් භාවිත කරමින් ගුණ දහමින් පෝෂණය වීම ගැන අවංක චිත්ත ප්‍රීතියක් හටගනිද්දී සිංහලයන් බුදු දහම ද ගුණ සුවඳ ද හැර දමා ඉංගිරිසි නම් ද වෙස්ටන් කල්චර් එක ද වැළඳ ගන්නා අයුරු සිහිපත් වී සංවේගයෙන් සිත පෑරිනි. මා තෝරා ගත්තේ අඳුරට සාප කරන ක්‍රමවේදය නොව එළිය පැතිරෙන පහන් දැල්වීමේ පිළිවෙතයි.

ඉතා ඉක්මනින් ම උපස්ථාන කමිටුවත්, දෙමාපියනුත් සමඟ සාකච්ඡා කර ‘සිඟිති ලොවට බුදු සමිඳු වඩිනවා’ නම් ළමා දහම් වැඩසටහන ආරම්භ කළෙමි. පාලියෙන් ද සිංහලෙන් ද ශබ්ද නඟා සිල් සමාදන් වීමටත්, තෙරුවන් ගුණ ගාථා මිහිරට ශබ්ද නඟා කීමටත් හුරු කළෙමි. සිංහල අකුරක්වත් නොදන්නා සිංහල පරපුරේ දරුවන් ද සිටි බැවින් සිංහලෙන් පාලි ලිව්වා සේ ඉංග්‍රීසි අකුරෙන් පාලි සිංහල ලියා ගාථා ද තේරුම් ද පැහැදිලි කර දුන්නෙමි. නව අරහාදී සම්බුදු ගුණ ළමා මනසට ගැළපෙන සේ සරල ව, බුදු සිරිතේ කථාන්දර ද උපයෝගී කර ගනිමින් කියා දුනිමි. එක් එක් බුදු ගුණයට අදාළ කවිය ද සජ්ඣායනා කරමින් පාඩම් කෙරෙව්වෙමි. දරුවන්ට පිටුපසින් වාඩිවී සිටි මව් පියවරුන් වැඩසටහන අවසන දී “ස්වාමීන් වහන්ස, මේ බුදු ගුණවල තේරුම අපි දැනගත්තෙත් අදයි.” කියා පැවසූ අවස්ථා ද දුලබ නො වී ය. සෑම වැඩසටහනක් ආරම්භයේ දී ම සම්බුදු ගුණ සජ්ඣායනා කරමින් බුදු පහන, සුවඳ දුම්, මල් වට්ටි, ගිලන්පස දරු දැරියන් අතින් අත හුවමාරු වෙමින් වඩම්මවා සම්බුදු ආසන මත තැන්පත් විය. ඉන් පසු සිල් සමාදන් වී තෙරුවන් වන්දනා කළ පසු මුලින් ම සිදු කළේ පෙර වැඩසටහනේ ඉගැන්වූ දේ කටපාඩම් ගැනීම ය.

උපක්‍රමශීලී ලෙස දරුවන් දහමට සමීප කරවීම පිණිස අසපුවේ රැඳී සිටින කාලය තුළ දී මා ඔවුන් ව ඇමතුවේ සිංහල බෞද්ධ ආර්ය නම්වලිනි. රයන් ‘රුවන්’ වූ අතර බ්‍රයන් ‘බිම්සර’ වෙද්දී ෂේන් ‘ශාන්ත’ විය. ජසිකා ‘විශාඛා’ වූ අතර ඕසිකා ‘ඕෂධී’ වෙද්දී මෙතායා ‘මෙත්සරණී’ විය. එම ආදේශක නම්වලට දරුවන් බෙහෙවින් සංවේදී වෙමින් සිය කැමැත්ත පළ කළ අතර ඩෙනිම් කලිසම සහ ‘ස්පයිඩර් මෑන්’ ටී ෂර්ටය වෙනුවට සුදු සරම සහ අත් දිග කමිසය ඇඳගත් පුංචි උපාසකවරුන් බිහි විය. අත් නිරාවරණය වූ බ්ලව්ස් ද කොට සායවල් ද පෙර ඇඳි දියණිවරුන් සුදු ළමා සාරියෙන් සැරසී අසපුවට පැමිණෙන්නට විය. “ඕකාස වන්දාමි භන්තේ” කියා දණ නමා පසඟ පිහිටුවා වන්දනා කරන්නට ද ස්වාමීන් වහන්සේලා දානයට වැඩම කරද්දී සඟගුණ කවි කීමට ද ඔවුහු හුරුපුරුදු වූහ. කල්‍යාණමිත්‍ර ආශ්‍රයත්, දහම් සේවනයත් තුළින් ඔවුනගේ ද දෙමාපියන්ගේ ද ජීවිත ගුණ නුවණින් ද බොදු පිළිවෙතින් ද පෝෂණය වූයේ මසිතට නිරාමිස ප්‍රීතියක් දනවමිනි.

අරහත් මහ මිහිඳු හිමි – පෙව්වේ උතුම් සදහම් මී…

අප මාතෘ භූමිය මිහිඳු මහරහතන් වහන්සේගෙන් අසිරිමත් සදහම් සන්දේශය දායාද වී ගමයි පන්සලයි වැවයි දාගැබයි යන උදාර සංකල්පයෙන් ගොඩනැගුණු, ගුණ දහමින් සුසැදුන සිව්වනක් ශ්‍රාවක පිරිසක් බිහි වූ දේශයකි. මිනිස් ගුණ සුවඳින් ද දහමේ ආශීර්වාදයෙන් ද පණ පෙවී ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් උරුමකර ගත් ජාතියකි. ස්වර්ණමාලී සෑ රදුන්ගේ ද ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ ද දළදා වහන්සේලාගෙන් ද අසිරි ලබනා දේශයකි. දහම කියාදෙන කලණමිතුරු සඟරුවනෙන් ද නොසිස් දේශයකි. එනමුදු සංවේගයට කරුණ නම් වත්මන දී බොහෝ දෙමාපියන් ද දූ දරුවන් ද ඒ උත්තරීතර දායාද සියල්ල අමතක කොට ස්මාර්ට් ෆෝන් සහ ලැප්ටොප් ඔස්සේ ද ජාත්‍යන්තර පාසල් හරහා ද වේගයෙන් බටහිරකරණය වීම ය. ජාත්‍යන්තර පාසල්වලට යන සමහර දූ දරුවන් මව්බස වූ සිංහල නොදනී. ලංකාවේ දරුවන් ද දැන් දැන් පැවිද්දන් වූ අපට ද “හායි බායි” කියමින් අත් වනති. සමහර දරුවන්ගේ නම් ඇසූ විට සිනා නො වී සිටීමට පුළුවන්කමක් නැත. ‘ලසිකා’ (සඳමිඳුළු), ‘අයෝනිකා’ (යෝනියක් නැති තැනැත්තී) වැනි හාස්‍යජනක නම් දියණිවරුන්ට තබා ඇත. කේන්දරයට අනුව සමහර පුතුන්ට නම් යොදා ඇත්තේ ‘ටකට’ යනුවෙනි. අරුත්සුන් අනාර්ය නම් බොහෝ දරුවන්ට යොදා තිබෙනු බහුලව දැකගත හැක. තව ද දෙමාපියන් දරුවන් ව යොමුකරන්නේ ද කල්‍යාණමිත්‍ර ඇසුරට හෝ ගුණ දහමට නොව තරඟකාරී අධ්‍යාපනයට සහ ‘සුපර් ස්ටාර්’ ප්‍රසංග වෙත ය. කටේ කිරි සුවඳ නොගිය දරුවන් ස්මාර්ට් ෆෝන් අත දරාගෙන ‘බ්‍රේක් ඩාන්ස් හෙවත් දඟර නැටුම්’ දමන අයුරු අසපුවල දී ද අපට ද දකින්නට ලැබී තිබේ.

අප නැවතත් අඳුරට සාප නොකරමින් පහන් දැල්වීමේ න්‍යාය ක්‍රියාත්මක කළ යුතු ය. දරුවන්ට තබන නම්වල සිට ම වරද නිවැරදි කර ගත යුතු ය. එමෙන් ම දෙමාපියන් කුඩා කල සිට ම දරුවන්ට ගුණධර්ම ගැන කියා දිය යුතු ය. තෙරුවන් වන්දනා කිරීමටත්, පෝය දිනවල දී සිල් සමාදන් වීමටත් යොමු කළ යුතු ය. කල්‍යාණමිත්‍ර ආශ්‍රය ලබා දීම පිණිස ළමා දහම් වැඩසටහන්වලට, දහම් පාසල්වලට යොමු කළ යුතු ය. දෙමාපියන් ද අවවාදයෙන් මෙන් ම ආදර්ශයෙන් ද දූ දරුවන්ට මඟ පෙන්විය යුතු ය. දරුවන්ගේ අනාගතය යහපත් වන්නේ ද දෙමාපියන්ට සැනසිලිදායක සැඳෑ සමයක් උදා වන්නේ ද සමාජය යහපත් වන්නේ ද එවිට ය. ඒ පිණිස මඟ පෙන්වීමක් ලෙස දූ දරුවන්ට තැබීමට සුදුසු අර්ථවත් සිංහල බෞද්ධ නාමාවලියක් මේ සමඟ ඉදිරිපත් කර ඇත.

සිංහල බෞද්ධ දූ පුතුනට ගැළපෙන අර්ථවත් නම්

පුතුන්ට

දියණිවරුන්ට

දහම් මෙත්සර

මුදිත සුභාෂිත

සුමේධ දම්සර

සුගන්ධ මධුභාෂණ

සෞම්‍ය ආදිත්‍ය

දුමිඳු දම්සර

ශාක්‍ය දෙව්මිත්

චේතිය සුදර්ශන

සංජීව අනුරුද්ධ

සුධීර ප්‍රියදර්ශන

බිම්සර අනුරාධ

අශෝක උත්තර

සඳුන් සුබෝධ

තුසිත මධුරංග

හසිත සාලිය

විශාඛා මෙත්සරණි

ශාක්‍යා සුභාෂිණී

අමා මේධාවිණී

සුමේධා සුගන්ධනී

උපේඛා මධුභාෂිණී

සමාධි සෞභාග්‍යා

සෞම්‍යා සුදර්ශනී

සංජීවනී අනුරුද්ධිකා

ශාන්ති දම්සරණි

දුමින්දා දෙව්මිත්මි

දැහැමි නිසංසලා

අහිංසා සදෙව්මි

යශෝධා සුබෝධිනී

උත්තරා ප්‍රියදර්ශනී

හංසණී ප්‍රබුද්ධිකා

 

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ අයුරින් දෙමාපියන් විසින් දරුවන්ට ඉටුකළ යුතු යුතුකම්

1). අයහපතෙන් වැළැක්විය යුතු ය. (පාපා නිවාරෙන්ති)

පාප මිත්‍රයන්ගෙන් ද අයහපත් දේවලින් ද පවින් ද දරුවන් වළක්වා ගැනීම දෙමාපියන්ගේ පළමු යුතුකම යි.

2). යහපතෙහි සමාදන් කරවිය යුතු ය. (කල්‍යාණේ නිවේසෙන්ති)

කල්‍යාණ මිත්‍ර ඇසුරෙහි ද යහපත් ගුණධර්මවල ද විනයෙහි ද සමාදන් කරවීම දෙවෙනි යුතුකම යි.

3). මනා කොට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්විය යුතු ය. (සිප්පං සික්ඛාපෙන්ති)

4). සුදුසු විවාහයක් කර දිය යුතු ය. (පතිරූපේන දාරේන සංයෝජෙන්ති)

5). දායාද පවරා දිය යුතු ය (දායජ්ජං නිය්‍යාදෙන්ති)

– සටහන
මහ‍මෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.