මිහිඳු මහරහතන් වහන්සේ බුදු සසුන පිහිටුවා වදාළ පසු ලක්දිව ද කසාවතින් බැබළුණේ ය. දන් පැන් පුදන උවැසි උවැසියන්ගෙන් ද සිල් ගුණ දම් වඩන මුනිවරුන්ගෙන් ද අඩුවක් මෙහි නොවී ය. ඇතැමුන් ගිහි ගෙයට ඇති ආලය හැර දමා බුදු සසුනෙහි පැවිදි වී හුදෙකලාවේ ම වනගත කුටිවල, ගිරි ගුහාවල වාසය කරමින්, බුදුරජුන්ගේ ධර්මය හදවතෙහි දරාගෙන පුරුදු කරමින් තමන්ගේ කෙලෙස් හැදෙන ස්වාභාවය නැත්තට ම නැති කරගෙන උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වූහ. උපාසක උපාසිකාවෝ ලොවට උතුම් පින්කෙත වූ උන්වහන්සේලා උදෙසා දන් පැන් පුදා, ඇප උපස්ථාන කොට බොහෝ පින් රැස් කොටගෙන සසරින් නිදහස් වීමට වරම් ලබන්නෝ ය. අප්‍රමාණ ගුණ කඳ ඇති, ගිරි ගුහාවල වාසය කරන කේසර සිංහරාජයන් බඳු ඒ රහත් මුනිවරු ගැන සිත පහදවා ගැනීමට ලැබීම මහා වාසනාවකි. පිරූ පින් ඇති ව ලංකාවේ වැඩ විසූ එවැනි තවත් එක් රහතන් වහන්සේනමක් ගැනයි දැන් ඔබට සිත පහන් කර ගන්නට ලැබෙන්නේ. ඒ තම්බසුමන රහතන් වහන්සේ යි. මේ උන්වහන්සේගේ ජීවිත කථාව යි.

****************************************

තම්බසුමන රහතන් වහන්සේ කලින් ජීවිතයේදීත් ලංකාදීපයේ ම සද්ධාතිස්ස රජතුමා රාජ්‍යය කරන කල්හි ඉපිද රජතුමාට සේවය කරමින් රාජකාරියෙහි යෙදුණේ ය. එකල්හී රාජකාරියෙහි යෙදුණු ඒ පුරුෂයා රජතුමාගේ කටයුත්තකට කොටගල දනව්වට ගියේ ය. එහි වාසය කරන මිනිස්සු ඔහුට ආගන්තුක සත්කාර කරමින්, ගිතෙල් හා නොයෙක් ව්‍යඤ්ජනයන්ගෙන් යුක්ත බත් පිස අනුභව කරන්නට දුන්නෝ ය. ඒ රාජ පුරුෂයා ආහාර ගැනීම සඳහා සූදානම් වන විට එක් භික්ෂූන් වහන්සේනමක් පිඬු සිඟා වඩිමින් එතනට පැමිණියහ. ඒ පුරුෂයා තෙරුන් දැක පැහැදී උන්වහන්සේගේ පාත්‍රය ගෙන ගිතෙල් සහිත බත් තෙරුන්ට පූජා කළේ ය. උන්වහන්සේ බත් වළඳා වැඩිපුර ඇති ගිතෙල්, බෙහෙත් සඳහා තැබූ සේක. ඒ පුරුෂයා මේ පින්කම පමණක් සිද්ධ කොට ආයු කෙළවර කලුරිය කොට මේ ලංකාද්වීපයෙහි ම වලගම නම් ගමෙහි එක් කුලයක උපන්නේ ය.

ඔහුගේ දෙමව්පියෝ ‘සුමන’ යන නමින් ඔහුට කථා කළහ. සුමන පුත්‍රයා වැඩිවිය පැමිණ සුදුසු කල්හි විවාහ වී ගෙදර වාසය කරන්නේ නොබෝ කලකින් ම ගිහිගෙයි ආදීනව දැක, මහණකමේ අනුසස් දැන සියලු සම්පත් හැර දමා බ්‍රාහ්මණ රාම නම් විහාරයට ගොස් බුදු සසුනෙහි පැවිදි විය. පටන් ගත් වීර්ය ඇති ව නිවන් දැකීමේ අරමුණින් ම ධර්මයේ හැසිරෙන, වත් පිළිවෙත්හි සරු ව වසන උන්වහන්සේ නොබෝ කලකින් ම විදර්ශනා වඩා රහත් බවට පත් වූයේ ‘තම්බ සුමන මහ තෙරුන් වහන්සේ’ යැයි හෙළදිව ප්‍රසිද්ධ වූ සේක. සීල සම්පන්න වූ, අල්පේච්ඡ වූ, අවවාදයෙන් අන්‍යයන් හික්මවන්නෙක් වූ තම්බසුමන රහතන් වහන්සේ පන්සියයක් ශිෂ්‍ය භික්ෂූන් සමඟ ආරණ්‍යයේ වාසය කළහ.

තම්බසුමන රහතන් වහන්සේගේ පින් බලයෙන් එම විහාරයෙහි වසන තිඹිරි ගසකට අධිගෘහිත වූ දේවතාවෙක් නිරන්තරයෙන් දිව්‍ය ආහාර පානාදියෙන් උපස්ථාන කරන්නේ ය. උන්වහන්සේගේ උපසම්පදාවෙන් දොළොස්වෙනි අවුරුද්දේ මේ ලංකාදීපයේ බැමිණිතියා සාය නම් වූ මහා දුර්භික්ෂයක් හටගත්තේය. දොළොස් අවුරුද්දක් වැහි බිඳුවක් පොළොවට නොවැටුනේ ය. මෙසේ දුර්භික්ෂ භයින් පීඩාවට පත් මිනිස්සු ගම්දනව් හැර දමා ආහාර සොයමින් ඇවිද යන්නට වූහ. තෙරුන් වහන්සේ පන්සියයක් භික්ෂූන් ආහාර නැතිකමෙන් ක්ලාන්ත වෙනු දැක උන්වහන්සේලා සමීපයට කැඳවා, “ඇවැත්නි, අපි ජම්බුද්වීපයට ගොස් ජීවත් වෙමු”යි යෝජනා කොට ගමනට සූදානම් වූහ. මෙය දුටු තිඹිරි ගසේ අධිගෘහිත දිව්‍ය පුත්‍රයා, “ස්වාමීනී, නුඹ වහන්සේ අතීත කාලයෙහි එක් භික්ෂුනමකට පහන් සිතින්, කර්ම ඵල අදහමින් ගිතෙල් සහිත බත් දුන්නේ ය. ඒ ජීවිතයෙන් චුත වූ ඔබ ඒ පින්කමේ ආනුභාවයෙන් සැපවත් වූ මේ ජීවිතය ලද්දේ ය. ගිහි ගෙදර අතහැර බුදු සසුනෙහි පැවිදි වී විදර්ශනා වඩා රහත් වූයේත් එකල්හි දුන් දානයන්ගේ විපාක ලෙසිනි. මා විසින් දෙන ලද දිව්‍යමය ආහාර වළඳන්නේ ද ඒ පිනේ විපාකයෙනි. මේ සිංහල ද්වීපයෙහි මේ දුර්භික්ෂය යම් කලෙක සන්සිඳේ ද ඒ තාක් කඩ නොකොට දානය දෙමි. මට අනුකම්පා කොට ශිෂ්‍යයන් සමඟ මෙහි ම වාසය කළ මැනව.” යි කී ය. මෙසේ ඒ දිව්‍ය පුත්‍රයා උන්වහන්සේ දඹදිවට යන ගමන වළක්වා සිව්පසයෙන් උපස්ථාන කළේ ය. හේ නිරන්තරයෙන් ම තම්බසුමන රහතන් වහන්සේට දෙන්නා වූ සිව්පස දානය පන්සියදෙනා වහන්සේලාට ම සෑහෙන්නේ ය. මේ දිව්‍ය පුත්‍රයා මෙසේ දොළොස් අවුරුද්දක් උන්වහන්සේට උපස්ථාන කළේ ය.

දුර්භික්ෂ භය සන්සිඳුණු පසු උන්වහන්සේ දිව්‍ය පුත්‍රයාට දැනුම් දී ජනපද චාරිකාවේ පිටත් වූහ. ගම් නියම්ගම් පිළිවෙළින් ගොස් රජරට ‘කඩරොද්ද’ නම් ගමට පිඬු පිණිස වැඩම කොට දානය වළඳන්නට සූදානම් වූ සේක. එවෙලෙහි වලාකුළෙන් හිරු වැසී ආලෝකය නොපෙනෙන හෙයින් සමහර භික්ෂූන් වහන්සේලා වේලා ඇද්දෝයි නැද්දෝයි සැකයෙන් නොවළඳා සිටි සේක. එකල තම්බසුමන මහ තෙරුන් වහන්සේ නොවළඳා සිටි භික්ෂූන්ගේ සැක දුරු කිරීමට එක් ගල් කැටයක් ගෙන නිය අගින් අහසට දැමූ සේක. එකල්හි එම ගල් කැටය අහසට නැගී ඉර උදා වූවා සේ දිලිසෙමින් බබළන්නට විය. ඉන් පසු භික්ෂූන් වහන්සේලා සැක නැතුව දානය වැළඳූ සේක. එතැන් පටන් එම ස්ථානය මිණිසූර්ය (මින්නේරිය) නමින් ප්‍රසිද්ධ විය. තෙරුන් වහන්සේ එතැනින් නික්ම මහවැලි ගඟ සමීපයේ සුළුවැසර නම් ගම පිඬු සිඟා වැඩ ගංතෙර වැඩ හිඳ දන් වළඳන සේක්, සෙසු භික්ෂූන් වහන්සේලා රූක්ෂ වූ බතක් වළඳන බව දැක, “ඇවැත්නි, සුවඳ ගිතෙල් සමඟ බත් අනුභව කළ මැනවැ.” යි කියා පෙර භවයේ දී දන් දුන් ගිතෙල් දානය සිහි කොට මේ ගංගා ජලය ගිතෙල් වේවා යි අධිෂ්ඨාන කළ සේක. ගංගා ජලය එවෙලේ ගිතෙල් බවට පත් විය. භික්ෂූහු එයින් ගිතෙල් ගෙන බත් වැළඳූ සේක. මෙසේ ගඟ ගිතෙල් වූ බව අසා ගඟ දෙපස ගම්වල මිනිස්සු කළ මුට්ටි ආදී භාජන ගෙනවුත් ගිතෙල් පුරවා ගෙන ගියහ’යි කියත්.
එක් දිනක් තම්බසුමන රහතන් වහන්සේ ගමට පිඬු පිණිස යන්නේ මඳ පින් ඇති, ජීවත් වීමට එක් දිනක් පමණක් ඉතිරිව ඇති ගොවියෙකු දැක අනුකම්පා කොට ඔහු ඉදිරියට වැඩි සේක. ඒ මිනිසා තෙරුන් දැක සතුටුව ඇවිත් වැඳ වස්ත්‍ර ජෝඩුවක් ගෙනවුත් වැඩ හිඳීම සඳහා දැමී ය. තෙරනම ඔහුට අනුකම්පා කොට එම ආසනයේ වැඩහිඳගෙන ඔහු දුන් අඹ කැඳ වැළඳූහ. ඒ කැඳ වළඳන කල්හි ඒ මිනිසා අත්තක් කඩා ගෙනවුත් තෙරුනට අව්ව වැළකීම සඳහා එය අල්වාගෙන සිටියේ ය. තෙරුන් වහන්සේ කැඳ වළඳා වැඩි නොබෝ වේලාවකින් සර්පයෙකු දෂ්ඨ කොට ඔහු මිය ගියේ ය. එසේ මිය ගොස් දඹදිව සාතවාහන රජ කුලයෙහි දර්ශනීය අඟ පසඟකින් යුත් සිත්කළු කුමරෙකු වී ඉපදුණේ ය. කාලයක් ගිය පසු ඔහු රාජ්‍යත්වයට පත් වී දානයක් දුන්නේ ය. තම්බසුමන රහතන් වහන්සේ දිවැසින් එය දැක අහසින් ගොස් එම සංඝාරාමයට පිවිස සංඝ ස්ථවිර වී භික්ෂූන් සමඟ ඒ රජගෙට ගොස් දන් වළඳා අනුමෝදනා කොට අවසන්හි රජුගේ පෙර ජාතියෙහි විස්තරය කියූහ. එය ඇසූ රජතුමාගේ සිත නොසතුටු වූ බව දැන පර සිත් දන්නා තෙරණුවෝ, “මහරජ, යම් තැනක ස්වල්ප දෙයක් දී මහත් ඵල ලබන්නේ නම් ඒ සර්වඥ ශාසනයෙහි පහදිනු මැනවැ.” යි දහම් දෙසූ සේක. පහන් සිතැති රජ ඒ ධර්ම දේශනාව අසා සෝවාන් ඵලයට පත් විය. සාතවාහන රජතුමා තමාගේ පූර්ව කර්මය ද අසා දැනගෙන වැඩි වැඩියෙන් දන් දුන්නේ ය. රජුට මෙසේ දහම් දෙසා ධර්ම ප්‍රීතිය ඇති කොට තෙරණුවෝ අහසින් ම වැඩි සේක. සාතවාහන රජ කුලයෙහි රජවරු 36 දෙනෙක් වූහ. එයින් අට දෙනෙක් හැර සියල්ලෝ ම මග ඵල ලැබුවෝ ය.

මෙසේ තම්බසුමන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසරණ ලක්දිව බොහෝ මිනිසුනට ලබා දුන් සේක. උන්වහන්සේ පෙර ජීවිතයේ ගිතෙල් සහිත බත නම් වූ ප්‍රණීත භෝජනය දන් දී දිව බොජුන් පමණක් නොව අමා මහ නිවන නම් වූ අමෘත බොජුන වළඳන්නට ද පින් තිබූ සේක. ලොවට අනුකම්පා ඇති ඒ රහත් මුනිවරයන් වහන්සේ ආයු ඇති තාක් වැඩ හිඳ පහන්සිළක් නිවෙනා ලෙස පිරිනිවන් පා වදාළ සේක. ඒ මහෝත්තම මුනිවරුන්ගේ ශ්‍රී නාමයට අපමණ රහත් ගුණ කඳ සිහි කොට පහන් සිතින් මලක් පිදුවත්, පහනක් දැල්වුවත්, සුවඳින් පිදුවත් ඒ සියලු දෙනාට බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින්නේ ම ය. ලංකාද්වීපය සුවඳවත් කළ, මේ ලංකාද්වීපය සනහ සනහා වැඩම කළ, බොහෝ දෙනාට යහපත සැලසූ, ෂඞ් අභිඤ්ඤාලාභී වූ, බුදුරජුන්ගේ හද මඬලින් උපන් තම්බසුමන රහතන් වහන්සේට නමස්කාර වේවා…!

සාදු! සාදු! සාදු!

(රසවාහිනී ඇසුරිනි)

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.