ඉතාමත් කලාතුරකින් බුදුරජාණන් වහන්සේනමක් පහළ වෙලා මේ ලෝකයට කියා දෙන්නේ කිසිදා වෙනස් නොවන ආර්ය සත්‍යය හතරක් ගැනයි. ඒ තමයි, මේ ලෝකෙ දුකක් කියල දෙයක් තියෙනවා. ඒ දුක ආයෙ ආයෙ හටගන්න දෙයක්. ඒ දුක නැති කරන්න පුළුවන්. ඒ දුක නැති කරන්න නම් මෙන්න මේ වැඩපිළිවෙළ අනුගමනය කරන්න කියන කරුණු හතර.

මේ වචනය ඇහෙනවා ලෝකෙ ඉන්න බුද්ධිමත් කෙනෙකුට. එතකොට එයාගෙ හිත පැහැදෙනවා මේ ධර්මය ගැන. පැහැදීමෙන් යුතුව එයා ආයෙ ආයෙමත් ධර්මය අහනකොට ටික ටික එයාට මේ ධර්මය වැටහෙන්න පටන් ගන්නවා. ධර්මය තුළින් ජීවිතය ගැන අවබෝධයක් ඇතිවෙන කොට එයා අවබෝධයෙන් සතුටු වෙනවා. ඒ විරාගී සතුට කාමයන්ගෙන් උපදින ගොරෝසු, වෙහෙසකර සතුට අභිබවා යන මහා සැනසිල්ලක්.

ජීවිතයේ සැබෑ ස්වරූපය….

බුදුරජාණන් වහන්සේ අපට කියල දෙනවා මේ ජීවිතේ අපි නොසිතූ පැත්තක් ගැන. කෙනෙක් ඉපදුණා කියලා කියන්නේ, ඇස් දෙකක් ඉපදුණා, කන් දෙකක් ඉපදුණා, නාසයක් ඉපදුණා, දිවක්, ශරීරයක්, මනසක් ඉපදුණා. ඉපදුණ ඔය ආයතන හය ම යි වයසට යන්නේ. ඉපදුණ දේ තමයි ලෙඩ වෙන්නේ. ඉපදුණ දේවල් ම යි මරණයට පත් වන්නේ. ඉපදිච්ච කෙනා ටික ටික වයසට යද්දී රූපයේ යම් ලස්සනක් තිබුණා නම් ඒක ටික ටික වියැකිලා යනවා. කටහ​ඬේ යම් මිහිරක් තිබුණ ද ඒ හඬත් වෙනස් වෙලා යනවා. ඇස් හොඳට පේන ස්වභාවය නැති වෙලා යනවා. කන් ඇසීම දුර්වල වෙලා යනවා. මේ ශරීරයේ සවි ශක්තිය ටිකෙන් ටික නැති වෙනවා. මේ විදියට උපන් සත්වයා දිර දිරා ගිහින් මැරිලා යනවා. තමන් ආසා කළ හැම දෙයක් ම මරණය ඉස්සරහ අත්හරින්න වෙනවා. ප්‍රිය දේ අහිමි වීමත්, අප්‍රිය දේ ළං වීමත් කියන දුක් සමුදාය ඉස්සරහ මේ මුළු ලෝකය ම නිරන්තර සෝකයකින් වාසය කරනවා.

මොන ලෝකෙ කොයි ආකාරයෙන් උපන්නත්, ඉපදුණා කියල ලැබුණෙ මේ ආයතන හයත්, ජරා මරණ දුක් කඳත් විතරයි. නමුත් මේ ආයතන හය ඉපදුණාට මේ ජීවිතේ තුළ සිදුවන්නෙ මොකක්ද කියල අපි දැනගෙන හිටියෙ නෑ. අපි ඇහෙන් රූපයක් බලනකොට අපේ අභ්‍යන්තරය නැවත උපතක් පිණිස සකස් වෙනවා කියල අපට බාහිර සමාජයෙන් කවදාවත් අහන්න ලැබෙන්නෙ නෑ.

අපට වෙච්ච දෙයක්…..

අපට අහන්න ලැබුණේ “ආන්න අතන ලස්සන රූප තියෙනවා, බලන්න. අන්න අතන මිහිරි ශබ්ද තියෙනවා, අහන්න. ආන්න අතන මිහිරි සුවඳ තියෙනවා, අතන රස වෑහෙන කෑම තියෙනවා, අතන මෘදු පහස තියෙනවා, මේ සැපය විඳින්න.” කියලයි.
මේවා අහන්න අහන්න ලස්සන රූපයට මේ හිත ආසා කළා. ප්‍රියමනාප, මිහිරි, සිත් ඇදගන්නා මන කමනීය, මනමෝහනීය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන පංච කාම ගුණයන්ට ම හිත ආසා කළා. හිත ආසා කළා ද යමකට ඒකට හිත බැඳුණා. අත්හැර ගන්න දුෂ්කර බවක් දැනුණා. (තණ්හා පච්චයා උපාදානං)

වෙනත් වචනවලින් කීවොත් ආසා කළේ ගෙවල් දොරවල්වලට නම් ඒවාට අපේ හිත බැඳුණා. ආසා කළේ යාන වාහනවලට නම් ඒවාට අපේ හිත බැඳුණා. ආසා කළේ ඉඩකඩම්වලට නම්, එක්කෝ දූ දරුවන්ට නම් ඒ ඒ දෙයට හිත බැඳිලා යනවා. බැඳිලා ගියාම ඒවාම ආයෙ ආයෙ මතක් වෙනවා. එතකොට ඇලු‍ණු සිතින් තමයි ඒවා විඳින්නේ. එතකොට ඒ ආස්වාදය ඇති කළ ඒ දේවල් තුළ ම හිත බැසගන්නවා. අර ආසා කරන දෙයින් අපේ හිත වැහිල යනවා.

බුදුරජාණන් වහන්සේ වදාළා ඒක හරියට මනුෂ්‍යයෙක් මඩ වළක එරුණා වගේ කියලා. කෙනෙක් මඩ වළක එරුනට පස්සෙ එයා යම් අඩියක් තියනව ද ඒ ඒ තියන තියන අඩිය එරෙනවා මිසක් ගැලවෙන්නෙ නෑ.

අන්න ඒ වගේ ඉපදිච්ච සත්වයා ඇස, කන ආදියෙන් අරමුණු ගනිද්දී, එයා අවබෝධයෙන් තොරව ජීවිතේ ගැන කල්පනා කරද්දී, එයා පිහිටක්, පිළිසරණක්, රැකවරණයක් සොයන්නේ ඇහැට පෙනෙන රූපයෙන්. කනට ඇහෙන ශබ්දයෙන්. සෙසු ආයතනනයන්ට ගෝචර වන ගඳ සුවඳින්, රසයෙන්, පහසෙන්, අරමුණුවලින්. ඒ කියන්නේ එයා පිහිට පිළිසරණ හොයන්නේ ම ගේ දොර ඉඩකඩම් යාන වාහන දූ දරුවන් මිල මුදල්වලින්.

එහි දී එයා හොඳ නරක හොයන්නෙ නෑ. යහපත අයහපත හොයන්නෙ නෑ. එයා හොයන්නෙ (පිහිට කියලා) ආස්වාදය විතරයි. ආස්වාදයට යට වුණු සිතින් එයා සිතද්දී, වචන කතා කරද්දී, කයින් ක්‍රියා කරද්දී විපාක පිණිස කර්ම (භවය) සකස් වෙනවා.

ඉතිං කෙනෙක් ධර්මයේ හැසිරීමක්, පින් රැස්කිරීමක් නැතිව විනෝදයෙන් විතරක් කාලය ගත කළොත්, හිතුමතේ වාසය කළොත් අර භවය විසින් එයා ව ප්‍රේත, අසුර, තිරිසන්, නිර ආදී දුගති ලෝකවලට ඇදන් යනවා. කවුරු හරි ඔය අතරෙ නරක පැත්ත දුරු කරලා පින් රැස්කර ගත්තොත් එයාට සුගති ලෝක විවෘත වෙනවා. කොහොම නමුත් මේ ආයතනවලට රැවටිලා ඉන්න හැමෝම ආයෙ ආයෙ උපතක් කරා කොහේ හරි යනවා. නිදහස් වෙන්නෙ නෑ.

භාග්‍යවතුන් වහන්සේ වදාළා මේ ජීවිතය හේතුවක් නිසා හට ගත් ඵලයක් කියලා. හේතුව තියන තාක් ඵලය නැති වෙන්නෙ නෑ. දොළොස් මහේ පහන වගේ. හැම තිස්සෙම අලුතින් තෙලු‍ත් වැටිත් දානව නම්, පහන හැම තිස්සෙම දැල්වෙනවා. අවුරුද්ද පුරා ම පහන පත්තු වෙනවා. නිත්‍ය නිසා නෙමෙයි, හේතු සකස්වන නිසා. තෙල් සහ වැටි නෙනවත්වා දාන නිසා. ඔය විදිහට ම ජීවිතේ ගැන ආස්වාදය අනුව බලන තාක් ආයෙ ආයෙත් පටිචිචසමුප්පාදය හැදි හැදී උපත කරා යන එක නවත්වන්න බෑ.
එහෙනම් අපට වැරදුනේ අපි කල්පනා කරන රටාව යි. ඒ කල්පනා කරන රටාව බුද්ධ වචනයට අනුව වෙනස් කර ගත්තොත් අපට මේ සසර ගමනින් නිදහස් වෙන්න පුළුවන්.

අපි ප්‍රියයි මනාපයි කියල ඇලෙන දේවලත්, අප්‍රියයි අමනාපයි කියල ගැටෙන දේවලත් එක ම පොදු ධර්මතාවක් තියෙනවා. ඒ තමයි අනිත්‍යය. අපේ ලෝකය ගොඩනගපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු, වෙනත් වචනවලින් කීවොත් අඹුදරුවන්, ගේ දොර, වතුපිටි, සමාජ තත්ත්ව ආදී හැම දෙයක් ම වෙනස් වෙනවා. පරණ වෙනවා. දිරනවා. එක ම විදියට හැමදාම පවතින කිසිම දෙයක් කිසිම ලෝකෙක නෑ. අනිත්‍ය නිසා ආසා කළ දේ වෙනස් වෙද්දී දුක උපදිනවා. එහෙනම් දුක ඉපදීම අනිත්‍ය දෙයක අත්විඳින්න වෙන ස්වභාවික ලක්ෂණයක්. ඒ අනිත්‍ය දේ, දුක් වූ දේ අපට ඕන විදියට පාලනය කරන්න බෑ. අපි එපා කියල පතද්දී ම ලෝකය වෙනස් වෙනවා. හොඳට හිටපු අය තරහ වෙනවා. ආසාවෙන් රැස් කළ දේපළ විනාශ වෙනවා. බලාපොරොත්තු නොවන දේ ම සිද්ධ වෙනවා. ඒ හැම දෙයක් ම අනාත්ම නිසා (තම වසඟයේ පැවැත්විය හැකි ආත්මයක් නැති නිසා).

ඉතින් මේ ජීවිතේ තියෙන මේ යථාර්ථය කවුරු හරි නුවණින් විමසලා අවබෝධ කර ගන්න දක්ෂ වුණොත් එයා ආයේ අර දොළොස්මහේ පහනට තෙල් වැටි දාන කෙනා වගේ වෙන්නෙ නෑ. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ තේරුම් ගනිද්දී එයා ජීවිතේ දිහා බලන්නේ ආස්වාදය අනුව නෙවෙයි. ආදීනව අනුව. ඇස, කන ආදිය වටා ගොඩනැගුන ලෝකයේ අස්ථිර, අසාර බව දකින කෙනාගේ හිත මේවාට බැඳිලා යන්නෙ නෑ. එතකොට හිත කිසිවකට නොඇලී නිදහස් වෙනවා. ඇලීම නැති නිසා බැඳිල ක්‍රියා කරන්නෙ නෑ. එතකොට ආයෙ උපතක් පිණිස භවයක් හැදෙන්නෙ නෑ. භවයක් නැත්නම් උපතකුත් නෑ. “භව නිරෝධෝ නිබ්බානං.” ඒ ප්‍රඥාවන්තයා අමා නිවන ස්පර්ශ කරනවා.

ඒ නිසා, ඒ සුන්දර අමා මහ නිවන අපේක්ෂාවෙන් ඉන්න අපි හැමෝම උත්සාහ කරන්න ඕන මේ ජීවිතේත්, බාහිර ලෝකයේත් අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව නිතර නිතර මෙනෙහි කරන්න. අර්බුද ගැටළු එද්දී, දරාගන්න බැරි අවස්ථා එද්දී, නොසිතූ නොපැතූ සිදුවීම්වලට මූණ දෙන්න සිද්ධ වෙද්දී, මේවා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව සිහිකරන්න අපි දක්ෂ වුණොත් එපමණකින් පවා අපට බුදු සසුන තුළ මහා සැනසීමක් අත්විඳින්න පුළුවනි. ඉවසීමෙන්, මෛත්‍රියෙන්, කලබල නො වී ප්‍රශ්නවලට මූණ දෙන්ට පුළුවනි.

ඒ නිසා,

“මගේ මගේ කියා ගන්න මේ ඇස කන නාසය දිව කය මනසවත් මට ඕන විදියට පවත්වන්න බැරි එකේ, බාහිර ලෝකය කෙසේ නම් මට රිසි පරිදි පවත්වන්ට ද?” කියා මධ්‍යස්ථ වීම ම යි සුදුසු.

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.