[fusion_builder_container hundred_percent=”no” equal_height_columns=”no” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” background_position=”center center” background_repeat=”no-repeat” fade=”no” background_parallax=”none” parallax_speed=”0.3″ video_aspect_ratio=”16:9″ video_loop=”yes” video_mute=”yes” border_style=”solid” flex_column_spacing=”0px” type=”legacy”][fusion_builder_row][fusion_builder_column type=”1_1″ type=”1_1″ background_position=”left top” background_color=”” border_color=”” border_style=”solid” border_position=”all” spacing=”yes” background_image=”” background_repeat=”no-repeat” padding_top=”” padding_right=”” padding_bottom=”” padding_left=”” margin_top=”0px” margin_bottom=”0px” class=”” id=”” animation_type=”” animation_speed=”0.3″ animation_direction=”left” hide_on_mobile=”small-visibility,medium-visibility,large-visibility” center_content=”no” last=”true” min_height=”” hover_type=”none” link=”” first=”true”][fusion_text]

ඈ නොනවත්වා ම අරගලයක ය. ඇසිල්ලක ද විරාමයක් නොලද්දා ය. කොලු ගැටවුන් තුන්දෙනාම තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඈ හා යුද වදී. ලොක්කා පස් වස් වියැති සේ ය. මද්දුමයා තුන්වැනි වියේ සේ ය. ඇගේ උකුලේ හොත් පොඩ්ඩා මාස පහක්, අටක් වියැති සේ ය. තිදෙනා ම නොදරුවෝ ය. ඇගේ සෙනෙහස, රැකවරණය අවැසියෝ ය. එකම මොහොතක හුදෙකලාවේ ඈ ඔවුන් තුන්දෙනාව ම සංතෘප්ත කළ යුතු ය. ඈට එය කළ නොහැක්කේ ය. නමුත් ඈ වෙහෙසෙයි. ඈට තමා අමතක වී බොහෝ කල් ය. ඈ ඔවුන් ගැන සිතයි. ඈ තුරුණු වියේ පසුවන සුරූපිනියක් සේ පෙනෙන නමුත් ඈට තමා ගැන සිතන්නට ඉඩක් නොලද නිසා ඒ බව සැඟව ගොස් ය. ඇගේ වරලස අවුල් වී ගොසිනි. ඇගේ වත වෙහෙසකර ව ඇත. ඇගේ නෙතු සඟල නින්ද ඉල්ලා අරගල කරයි. ඇගේ ඇඳුම් කිලිටි ය. ඈට ඒ පිළිබඳ කිසිදු තැකීමක් නැත. සෑම ඇසිල්ලක ම ඈ ඔවුන් ගැන සිතයි.

මා හට ද ගුවන්ගත වීමට හෝරා දෙකක් පමණ ඉතිරිව ඇති බැවින් මම කය පුටුවකට බර කළෙමි. ඈ මා ඉදිරියෙන් ම ය. නිතැතින් ම ඈ හා ඔවුන් මාගේ අවධානය පැහැර ගත්හ. මම ද සිතිවිලි අතර කිමිදෙන්නට වීමි. ලොක්කා නිහඬ නමුත් නපුරා ය. මද්දුමයා දඟයා ය. පොඩ්ඩා හැඬීම අවිය කර ගත්තේ ය. පුටුවේ කොණක ඈට යාබදව ලොක්කා පලඟක් බැඳ වාඩි වී සිටියි. ඔහුගේ නෙතින් නිදිමත බේරේ. ඔහුට ඇගේ උකුලේ නිදන්නට අවැසි මුත් වෙනකෙක් ඒ අවස්ථාව පැහැරගෙන ඇත. ළදරු නමුත් එය ඔහු වටහාගෙන දෝ ඒ සඳහා අරගල නොකරයි. මද්දුමයා ඊට හාත්පසින් ම වෙනස් ය. ඔහුට ඇගේ උණුසුම අවැසි ය. ඔහු ඒ වෙනුවෙන් පොර බදියි. විටෙක ඔහු පොඩ්ඩා ද යට කර ගනිමින් ඇගේ උකුලට ඒමට වෙර දරයි. එවිට පොඩ්ඩා අවි අමෝරා ගනී. ඈ මද්දුමයා ඉවතට ඇද දමයි. මද්දුමයා ඉරිසියාවෙන් පෙළෙයි. ඔහු පොඩ්ඩාට වේගවත් අතුල් පහරක් ගසයි. ඈ පොඩ්ඩා සිප වැළඳ ගනී. මද්දුමයා ආරක්ෂාව පතා අඩි කිහිපයක් බැහැරට යයි. ඈ ඔහුට තරවටු කරයි. මද්දුමයා තමා කොහේ හෝ යනවා කියා යාර කිහිපයක් ඈතට යයි. නැත. ඔහුට එය තවම කළ නොහැක. ඔහු පෙරළා ඈ ළඟට පැමිණෙයි. ඈට සියල්ල ම අමතක ය. ඔහුගේ හිස සිඹ ආදරයෙන් වැළඳ ගනී. ඔහු ද පොඩ්ඩා ආදරයෙන් සිප වැළඳ ගනී. ඔවුන් දැන් සමඟි ය.

නමුත් මද්දුමයා සෑහීමකට පත් නොවෙයි. නැවත නැවතත් හත් අට වතාවක් එම සිදුවීම ම සිදු වන්නට විය. නැවත නැවතත් ඔහු ඇගේ උණුසුම ඉල්ලා අරගල කරයි. පොඩ්ඩාට පහර දෙයි. තරවටු කරයි. ඔහු වෙන් වී යයි. බිය වී ආපසු එයි. ඈ ඔහු සිප වැළඳ ගනියි. ලොක්කා හිත හදා ගත්තේ ය. ඔහුට නින්ද අවැසි ය. ඒ පුටුවේ ම පසෙකින් හාන්සි විය. මාගේ විනිශ්චය වූයේ ළදරු නමුත් ජ්‍යේෂ්ඨයා වැදගත් බවයි. එම තත්ත්වය වෙනස් විය. මද්දුමයා ලොක්කාගේ ඇඟ මත සිටගෙන ඇගේ බෙල්ල බදා ගැන්මට තැත් කළේ ය. ලොක්කා එයින් පීඩාවට පත් විය. වැරෙන් පා පහරක් මද්දුමයාට එල්ල කළේ ය. ඔහු ඇගේ උකුල මතට ඇද වැටුනේ ය. ඈ ලොක්කාට තරවටු කරයි. මද්දුමයා සිප වැළඳ ගනී. ලොක්කා නිහඬ ය. ඔහුගේ සිත තැලෙන්නට ඇත්තේය.

ඇගේ ළය උණු විය. ඈ ලොක්කා තම ළය තුරුලට ගත්තාය. ඔහුගේ අවුල්ව ගිය කෙස් පිළිවෙළකට සකසා කම්මුල් පිසදා සෙනෙහස පෑවා ය. ඔහුට සතුටු ය. මන්ද තිබෙන තත්ත්වය මත ඊට වැඩි යමක් ඔහුට බලාපොරොත්තු විය නොහැකි නිසා ය. ඇගේ අවධානය 70%ක් පොඩ්ඩාට ය. 20%ක් මද්දුමයාට ය. 10%ක් ලොක්කාට ය. මද්දුමයා කිසිසේත් ම තමාට ලැබෙන ප්‍රතිශතයෙන් සතුටු නොවේ. ඒ වෙනුවෙන් ඔහු ඈ සමඟ අරගල කරයි. ඒ කිසි විටෙක ඈ ඔවුන්ට පහර නොදෙයි. හැකි සෑම උපක්‍රමයෙන් ම ඔවුන් සෑහීමකට පත් කරයි.

ඈ අසුනෙන් නැගිට පොඩ්ඩා අසුනෙහි තබා දරුවාගේ ආරක්ෂාව පිණිස තම ගමන් මල්ල ද ආසනයේ කෙළවරෙන් තැබුවාය. පොඩ්ඩා අපිරිසිදු කරගෙන සේ ය. ඈ ඔහුව පිරිසිදු කළාය. ඒ මොහොතේ ලොක්කා සේ ම මද්දුමයා ද ඉවසුවෝ ය. ඈ දිවගොස් විෂබීජ නාශක දියර ගෙනවිත් තිදෙනාගේ ම දෑත් පිරිසිදු කළාය.

මද්දුමයාගේ අලුත් ම පැමිණිල්ල කුසගිනි ය කියා ය. ඈ ඔවුන්ගේ කුස පිරවිය යුතු ය. ඈ ගමන් මල්ලෙන් හිස් වතුර බෝතලයක් ගත්තාය. වටපිට බැලුවා ය. යාර 50ක් 60ක් ඈතින් පානීය ජලය ඇත. ලොක්කාට කරුණු පැහැදිලි කර පොඩ්ඩා භාර කළේය. දඟ මද්දුමයාගේ අතින් අල්ලාගෙන ඈ වතුර ගෙන ඒමට පිටත් විය. ටිකෙන් ටික ඈ දුරස්වන විට ලොක්කාගේ හිතට බයක් දැනිණි.

දෙනෝදාහක් මිනිසුන් සිටිය ද ඈ නැති තැන ඔහුට බියක් දැනිණි. ඔහු ඈට හඬ නගා කතා කළේය. නැවත නැවතත් කෑ මොර දෙන්නට විය. ඈ ක්ෂණයකින් දිව ආවා ය. ඈ ඔවුන්ගේ එක ම පිහිට විය. ඈ යම් කිසි දියරයක් සකසා මද්දුමයාට පළමුව දුන්නා ය. ඔහුට එය සකස් කරන තෙක් ඉවසීමක් නැති විය. ලොක්කා තමාගේ වාරය එන තෙක් ඉවසුවේය. පොඩ්ඩාට ද යමක් පෙව්වාය. කුස පිරුණු කල්හි ඔවුන් ශාන්ත ය. ඈ සුලු විරාමයක් ලද්දී ය. නමුත් කිසි අහරක් නොගත්තා ය. ඈට ශරීර කිස කර ගැනීමට අවැසි වුවහොත්…..? මා සිත ප්‍රශ්න කරයි. ඈට ඒවා සිතන්නට ඉඩක් නැත. ඈ ඔවුන් ගැන ම සිතයි.

කෙමෙන් කෙමෙන් දෙහෝරාවක් ගත විය. යානය තුළ මගීන් සියල්ල ම තැන්පත් විය. පුදුමයකි. ඔවුන් ද මා හා යාබද අසුනේ ය. ඈ ඔවුන්ගේ ආරක්ෂාව පතා අයිනේ ම අසුනේ ය. පොඩ්ඩා ඇගේ උකුලේ ය. ලොක්කාට ද මද්දුමයාට ද වෙන වෙනම අසුන් ලැබී ඇත. ජනේලය අසල ආසනයට ඔවුන් යුද වැදිණි. ලොක්කා බාහු බලයෙන් හා කාය බලයෙන් මද්දුමයා ඉවත් කළේය.

මාගේ අවධානය හෝරා දෙක තුනක් ඔවුන්ගෙන් බැහැර විය. නැවත මා සිත ඔවුන් ගැන විමසන්නට විය. අධික වෙහෙස නිසා ඈ තද නින්දේ ය. මද්දුමයා ද ඇගේ උකුලේ කොටසක් වෙන්කරවා ගන්නට සමත් වී ඇත. ලොක්කා තනිව ම ආසනයට බර දී නිදයි. සැණෙකින් පොඩ්ඩා අවදි විය. තම අයිතිවාසිකම් වෙනුවෙන් අවිය අමෝරා ගත්තේ ය. ඈ තද නින්දේ ය. ලොක්කා අවදි විය. ඔහු පොඩ්ඩා අස්වසයි. සිපවැළඳ ගනී. ජ්‍යේෂ්ඨයාගෙන් ලද සහයෙන් පොඩ්ඩා තෘප්තිමත් විය. ඈට එය අස්වැසිල්ලකි. හෝරා කිහිපයකින් අපි සැම ගමනාන්තය දක්වා පැමිණියෙමු.

යම් දවසක ඔවුන් කරදඬු උස්මහත් වී මේරූ පුරුෂයන් වනු ඇත. එවිට ඇගේ කය වැහැරී දිරා ගොස් දුබල වනු ඇත. ඇස් කන් ආදිය ප්‍රකෘතිමත් නොවනු ඇත. මැහැල්ලක වනු ඇත. එකල ඔවුන් ජව සම්පන්න ය. කඩවසම් ය. ප්‍රිය අඹු දරුවන් ඇත්තෝ ය. ඔවුන් බාල කල සිදු වූ මා දුටු දේත්, තව බොහෝ දේත් ඔවුන් නොදත්තෝ ය. ඇතැම්විට ඔවුන් එය අසන්නට තබා සිතන්නටවත් අකමැති ය. ඇගේ සුලු අතපසුවීමක දී ඈට පහර දී ගෙයින් ඇද දැමීමට ඔවුන් පසුබට නොවනු ඇත. එදිනටත් ඈ ඔවුන් හා වෛර නොකරනු ඇත. ශාප නොකරනු ඇත. යටගිය මා දුටුවා වැනි දහසකුත් දුක්ගැහැට ඔවුන්ට සිහිපත් නොකරනු ඇත. තමාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ලොවට හඬගා කිසිවක් නොකියනු ඇත. ඔවුන්ගේ සතුට පතා ඈ මහ වීදි බැස සිඟමන් යදින්නී ය. මහ පොළොව සේ ඉවසන්නී ය. ඔවුන්ගේ සුවිසල් මන්දිර දැක, ගමන් යන සැප පහසු යානවාහන දැක සතුටු වන්නී ය. ඉරිසියා නොකරන්නී ය.

සැබැවින් ම ඈ මෙත්, කරුණා, මුදිතා, උපේක්ෂා යන බඹ විහරණ ඇත්තී ය. සැබැවින් ම ඒ ඈ නම් ආදරණීය අම්මා ය…

1. මව්පියවරු බ්‍රහ්මරාජයෝ ය. මුලින් ම ලැබෙන ආචාර්යවරු ය යි කියනු ලැබේ. දූදරුවන්ගේ පුද පූජාවන්ට නිසි වූ ඒ දෙමව්පියෝ දරු පරපුරට අනුකම්පා කරන්නෝ ය. එහෙයින් නුවණැති දරු තෙමේ තම දෙමව්පියන්ට වැඳුම් පිදුම් කරන්නේ ය. ඇප උපස්ථාන කරන්නේ ය.


2. ආහාරපානයෙනුත්, වස්ත්‍ර සයනාසනයෙනුත් පුදන්නේ ය. තම දෙමව්පියන්ගේ ඇඟ උලා නහවා දෙපා සෝදා උවටැන් කරන්නේ ය.


3. මව්පියන් විෂයෙහි කරනු ලබන ඒ ඇප උපස්ථානයන් හේතුවෙන් නැණවත්හු ඔහුට මෙහිදී ම ප්‍රශංසා කරති. පරලොව සුගතියට ගොස් වඩාත් සතුටට පත්වෙයි.


සබ්‍රහ්ම සූත්‍රය (අං.නි 2)
මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.

[/fusion_text][/fusion_builder_column][/fusion_builder_row][/fusion_builder_container]