කලණ මිතුරු සංසදයේ දන්සැල් කමිටුව පාසල් පංතිකාමරයක රැස්ව සිටියේ විය. ඔවුහු එළඹෙන වෙසක් පොහෝ දින පවත්වන දන්සැල පිළිබඳ ව කතිකාවතක යෙදී සිටියහ.

“මොනවහරි කරන්න කීයක් ඉතුරු ද?”

සුරංග ඇසුවේ වියදම ඇස්තමේන්තුගත කෙරූ තාරක වෙතිනි.

“මොනවහරි කරන්න තියා උවමනා බඩු ටික ගන්නත් සල්ලි මදි.”

තාරක කීවේ සියල්ලන්ගේ ම අවධානය ඒ කෙරේ යොමු කරවමිනි.

“අවුරුද්දට කිට්ටුවමනෙ වෙසක් පෝය ආවෙ. මිනිස්සුන්ට සල්ලි නැහැ.” සමන්ත කීවේ ය.

සුරංග තාරක අත තිබූ වියදම් ලේඛනය අතට ගත්තේ ය.

“පුහ්… පොල්වලට රුපියල් අටදාහක්. පොල් සල්ලිවලට ගන්න උඹලට පිස්සු ද? ඔන්න මං ගානේ පොල් ගෙඩි සීය ම දෙනවා. මේ අටදාහ පාටි කලෙක්ෂන් එකට දාපං. උඹලා එකොළොස් දෙනාගෙන් දෙදාහ ගානේ විසි දෙදාහයි. ඔක්කොම තිහක් තියෙනවා. ඇතිනෙ.”

සුරංග කීවේ ය. ඊට අකමැති සිතක් වූයේ තාරකට පමණි. එහෙත් තාරක ද ඒ බවක් කෙළින් ම නො කීවේ ය.

“උඹට කොහෙන්ද පොල්?”

“තාරක, උඹට ඒකෙන් වැඩක් නැහැනෙ. සුරංගය ඒක කරාවි.” සමන්ත ද සුරංගට එකතු විය. තාරක නිහඬව කරබා ගත්තේ ය.

දන්සලට පෙරදින ගමේ ම කොස් එකතු කරන්නට වූයේ ද සුරංග සහ සමන්ත ප්‍රධාන කොට ගත් කිහිප දෙනෙකු විසින් ය.

“පුතා මහත්තයාගේ ගෙදරත් කොස් තියෙනවා.”

සිරිපාල අයියා කීවේ ය.

“එපා. කව්ද මිනිහගේ වත්තෙ පොල් කඩලලු. නයා වගේ ඉන්නෙ.” සුරංග සමන්තට ඇසක් ගසමින් කීවේ ය. සමන්ත සිනාසුනා පමණි.
හවස් වෙද්දී ට්‍රැක්ටරයක් පිරෙන්න කොස් ගෙඩි ද මඤ්ඤොක්කා ගෝනි භාගයක් ද රැගෙන ඔවුන් දන්සැල් භූමියට පැමිණියේ ජයග්‍රාහී ලීලාවෙනි.

“කව්ද මයියොක්කා දුන්නේ?”

තාරක ඇසුවේ සමන්තගෙනි.

 

“මගෙ ළඟ ඉල්ලිලි නැහැ කියල උඹ දන්නවනෙ.” කිසිවෙකුට අවකාශයක් නොදී සුරංග කීවේ ය. තාරක ද නිහඬ විය.

…………………………..

පාසලේ ප්‍රධාන ගොඩනැගිල්ලේ දන්සැල පැවැත්වෙමින් තිබිණ. වලාවෙන් තොර අහසට නැඟුණු වෙසක් සඳ සිය සොමි කිරණින් මිහිමඬල නහවන්නට විය. එවෙලෙහිත් දන්සැල් පෝලිමේ අඩුවක් නොවිණි.

දන්සැලට බොහෝ පිරිස් උදව් උපකාර කරන්නට විය. පිරිමි කාටත් ඇති තරමට කැමති කැමති ලෙසින් සංග්‍රහ ලැබුණි. සමහරෙකු හොඳට වෙරි වී තැන තැන නිදන්නට ද විය. කාන්තාවෝ වැඩපළ කිරීමෙන් ද බීමත් වූවන්ගේ දෙපැත්ත කැපෙන විසුළු කථාවලින් ද සතුටු වූහ.

“සිල් ගත්ත එවුනුත් දැන් රෙදි ගලවල ඉවරයි. පුතේ ඔය බෙග්ගෙ ලතෝනිය නවත්වල හොඳට නැගල යන සිංදුවක් දාපං.” සුරංග වැනි වැනී ගොස් පරිගණකය අසල සිටි දරුවාට කීවේ ය. දරුවා අසල සිටි සුරංග දෙස බැලුවේ ය.

“ඇයි බැරි ද?”

“නෑ පුළුවන්.” සුරංගට බියපත් වූ දරුවා මවුසයට අත තැබුවේ ය.

“සුරංග, තාම අටටත් නැහැ. නමයෙන් පස්සෙ දාමු.” තාරක දරුවා වළකමින් කීවේ ය. සුරංග ගියේ දරුවාට ටොක්කක් ද ඇනගෙන ය.

දරුවාට වඩා රිදුනේ තාරකට ය. කරන්නට දෙයක් ද නැත. හෙතෙම දරුවාගේ හිස අත ගා සැනසුවේ ය.

බොහෝ වේලාවක් ගත නො වුණි. හිස් බැරලයක් සොයා ගත් සුරංග එයට ගසමින් සිංදු කියන්නට පටන් ගත්තේ පාසලේ අනෙක් ගොඩනැගිල්ලේ ය. එකා දෙන්නා එතනට ඇදී ගියේ කාන්දම් බලයට ඇදෙන බාල වර්ගයේ ලෝහ මෙනි. ගැහැණු පිරිමි ළමා වැඩිහිටි භේදයක් ද නො වී ය.

කෑම උයන්නට ද බෙදන්නට ද ඉතිරි වූයේ හතර දෙනෙකු පමණි. ඒ පිරිස කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ. තාරකට මහත් අපහසුතාවයක් ඇති විය.

“දන්සැල නවත්වමු.”

හෙතෙම ඉතිරිව සිටි සගයෙකුට කියා දන්සැලෙන් පිටව ගියේ සැඟව පලා යන්නට මාවතක් සොයමිනි. ටික දුරක් යද්දී පෝලිමේ සිටි මිනිසුන්ගේ චෝදනා අවලාද හඬ ද අතරින් පතර නැගුන හූ හඬ ද තාරකගේ හදවත දැදුරු කළේ ය.

සුරංගගේ බජව්ව නැගලා ගියේ ය. බැරල් හඬ අතරට හිස් වූ බෝතල්වලට කුඩා ගල් කැටවලින් තට්ටු කිරීමෙන් නැගුන හඬ මහ කරච්චලයකි. එහෙත් සියල්ලෝ ම එයින් ද වින්දේ විශාල ආස්වාදයකි.

දැන් දැන් කියවෙන්නේ කව්රුත් අසා ඇති සිංදු නොව එකිනෙකාට සිතෙන සිතෙන පදවැල් ය. ඒවාට බොහෝ විට පාදක වූ වචන වූයේ කොස්, හෙරලි, පොල්, පුතා මහත්තයා, සෙවලයා, ලෝභයා වැනි වදන් ය.

“මේ ගෙඩිය ගෙඩිය ගෙඩිය හෙරලි ගෙඩිය

අපේ සමන්තයගෙ ගෙදර හෙරලි ගෙඩිය….”

සුරංග කියන්නට විය. විසිල් හඬ හා අත්පොලසන් හඬ තීව්‍රව නැඟුණි.

“වැල උනත් ඉතිං රසය රසය රසය

එක දවසක්වත් කෑවොත් මට ඇති ය…..”

විසිල් හඬට අමතරව හූ හඬක් නැඟින. සමන්තගේ බිරිඳ ලැජ්ජාවෙන් ඉවත බලා ගත්තා ය.

“සලාං….”

සමන්ත අත වූ බෝතලය බිම ගසා අඩිය බිඳ ගත්තේ ය. ඊ ළඟ මොහොතේ ගොදුරට පනින දිවියෙකු මෙන් සුරංග වෙත කඩා පැන්නේ ය.

විලාප හඬ, කුණුහරුප බැණ වැදීම් අතරින් සුරංග ව නංවාගත් ලොරියක් වේගයෙන් රෝහල බලා ඉගිල්ලුනි.

සිද්ධිය ආරංචි වූ තාරක ගිය මඟින් ම පාසල් බිමට පැමිණියේ ය. එහෙත් කිසිවෙකුත් එහි නො වී ය. පාසල් බිත්තිවල සහ බිම විශාල ලේ පැල්ලම් ය. තාරකගේ පපුව ගැහෙන්නට විය. හෙතෙම පස්සෙන් පස්සට ගියේ අඳුරු ලේ පැල්ලම්වලින් දෑස් ඉවත් නොකරගෙන ම ය.
විශාල නපුරක් සිදුව ඇත. හෙතෙම වහා අනෙක් පසට හැරුනේ ය. කොස්කටු, පොල්කුඩු, හාල්මැස්සන් ඔළු ආදී අපද්‍රව්‍ය තාරකට සරදම් කරන්නාක් මෙන් කුඩා කඳු වශයෙන් ගොඩගැසී මඟ හරස් කරගෙන නැගී තිබුණි. ආහාරයෙන් නැගෙන පිළුණු ගඳ නාස් පුඩු තුළින් ඇතුළුව තාරකගේ සිත තව තවත් වෙහෙසට පත් කරන්නට විය.

සුළු වේලාවක් දෑස් පියාගෙන නිසොල්මන්ව සිටි තාරක දන්සැල පැවති ගොඩනැඟිල්ල ද පසුකොට පාර අයිනට ගියේ ය. මිනිසුන් නැවතීමට වැනූ බෞද්ධ කොඩිය ද බිම දමා ගොස් තිබුණි. හෙතෙම එය අතර ගෙන ලීයෙන් කොඩිය ගලවා ගත්තේ ය.

දෙපසට වනද්දී බිම ගෑවුණු කොඩියේ යට කොටස කළු පැහැ ගැන්වී තිබුණි. උඩ කොටස ද අව පැහැ ගැන්වී තිබුණි. තාරක කොඩිය ගෙන සෝදන්නට විය. අවපැහැය මඳක් සේදී ගිය ද තද කළු පැල්ලම නම් එලෙසින් ම ඉතිරිව තිබුණි.

නිමි.

පසුවදන

කෙලෙස්වලින් සතුටු වෙමින් ඊට ම වසඟ ව වෙසක් පොහෝ දිනය සමරන සමහරක් මිනිසුනි, ඔබ ඉතිරි කර ගන්නේ කළු කර්ම (අකුසල කර්ම) පමණි.

විහඟ පරාක්‍රම