යම් රටක ඓතිහාසික උරුමයත්, එරට පාරම්පරික ජනකායත්, ඔවුන්ගේ දිවි පෙවෙත හා සංස්කෘතිය හැඩගැස්වූ ආගමත් එකින් එක වෙන් කළ නො හැකි ආධ්‍යාත්මික බන්ධනයකින් වෙලී පවත්නා කල්හි එම සභ්‍යත්වය නිර්මල දිය දහරාවක් සේ දීර්ඝ කාලයක් අවිච්ඡින්නව ගලා යන්නක් වෙයි. ආගම නිසා ජාතිය බැබළවූ චිරකාලීන සභ්‍යත්වයක් ලොව බිහි වූයේ නම් එහි අග්‍රස්ථානය හිමි විය යුත්තේ සිරිලක් දිවයිනට ය. ව්‍යවහාර වර්ෂ පූර්ව තුන්වැනි සියවසේ සියවසේ සිට අද්‍යතන යුගය දක්වා අවුරුදු දෙදහස් තුන්සියයකට අධික කාලයක් සිංහල ජාතිය බුදු දහම නිසා රැකුණේ එකී සජාතීය අංගයන්ගේ ඒකමිතිය හේතුවෙනි. බුදු දහමේ පිළිසරණින් සිංහල ජාතිය ප්‍රභාවිත වූ අයුරු විවරණය කළ හැක්කේ පිටු සිය ගණනක ග්‍රන්ථයකිනි.

සිංහල ජාතිය දෙවිධියකින් ප්‍රභාවිත වීමට බුදු සමය හේතුභූත වූ අයුරු මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා සිය “නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය” නමැති පොතෙහි ලා විස්තර කර දක්වයි. අනික් බොහෝ සභ්‍යත්වයන්ට හිමි දුෂ්ට අංගයන් සිංහල සභ්‍යත්වයට නොපිවිසුනේ බුදු සමය නිසා බවත්, සිංහල සභ්‍යත්වයෙහි බොහෝ පොදු අංග ප්‍රභාවිත වූයේ බුදු සමයෙන් ලත් විශේෂ අනුබලය නිසා බවත් එහිලා පැහැදිලි කොට දී ඇත. මේ දෙවිධියෙන් පළමු වැන්න නිසා සිංහල සභ්‍යත්වය විශේෂ වූ අයුරු ඔහු මෙසේ පහදයි.

“සතුන් හා මිනිසුන් මරා ඔවුන්ගේ ලෙයින් දෙවියන්, යකුන් පිදීම සිංහල සභ්‍යත්වයෙන් බැහැර කරන ලද්දේ බුදු සමය විසිනි. සතුන් හා මිනිසුන් මරා බිලි පිදීම පෙරදිග හා අපරදිග සභ්‍යත්වයන්හි පොදු සිරිතක් විය.”
(නිවන් මුහුණුවර හා බමුණු දිට්ඨිය- 1972: 167 පිටුව)

මෙසේ අහිංසාවාදය උරුම කොටගෙන වැඩුණු සිංහල සභ්‍යත්වය; රාෂ්ට්‍ර පාලනය, ප්‍රාදේශීය පාලනය, විදේශීය සබඳතා ආදී සෑම අංගයක ම ස්වතන්ත්‍ර බවක් ඉසිලුවේ බුදු සමය විසින් දායාද කරන ලද අහිංසාවාදී පිළිවෙතේ ඵල වශයෙනි. විදේශීය දරුණු ආක්‍රමණික බල සේනා වරින් වර කඩා වැදී මෙරට සාමකාමී රජුන් නෙරපා බලය අත්පත්කොට ගත් නමුදු ජන ආධ්‍යාත්මය තුළ නිදන් ගතව පවත්නා බෞද්ධ විඥානය වනසා දැමීමට ඔවුන්ට නො හැකි විය.

මිසදිටු පරසතුරන්ට වැඩි කලක් රටේ බලය තහවුරු කර ගැනීමට අවකාශ නොලැබුණේ ද බුදු සමයේ අදිසි මහා ආධ්‍යාත්ම බලවේගය විසින් රටත් ජනකායත් සුරැකුණු හෙයිනි. ලක්දිව වූ කලී ඉන්දියාවෙන් වෙන්ව කුඩා දිවයිනක් ලෙස පැවතීම ද බුදු දහමේත්, සිංහල ජාතියේත් ආරක්ෂාව පිණිස ම හේතු විය. සම්බුද්ධ ශාසනය මෙරට බැබළෙමින් පවත්නා තාක් කල් සිංහල ජාතිය නිරුපද්‍රිතව සුරැකෙන බව ඉර හඳ සේ පැහැදිලි සනාතන සත්‍යයකි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද දැහැමි පාලන තන්ත්‍රය, ලක්දිව රජවරුන්, මහා ජනකාය, සතා සිව්පාවුන්, ගහකොළ වනපෙත ඇතුළු සමස්ත පරිසරයේ ම හිතසුව උදෙසා පවත්නා බව බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු මහරහතන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාවේ දී ම පැහැදිලි කොට දුන් සේක. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ප්‍රාතිහාර්යයකින් ඉටු නොවන්නකි. ඒ සඳහා රාජ්‍ය පාලකයන්, මහා සංඝයා වහන්සේ සහ මහා ජනකාය බුදු වදනට අනුව හික්මී අප්‍රමාදව ධර්මයේ හැසිරෙමින් තම යුතුකම් කොටස ඉටුකළ යුතු ය. ඒ සඳහා හොඳ පූර්වාදර්ශයක් සැපයූ විශිෂ්ට රාජ්‍ය පාලන තන්ත්‍රයකිනි අපේ රටේ බෞද්ධ සභ්‍යත්වය ආරම්භ වූයේ.

‘ඔකාවස් රජ පරපුරෙන් බට’ යනුවෙන් පැරණි රජවරුන් තමන්ව හඳුන්වා ගත්, ක්‍ෂත්‍රීය පෙළපතින් පැවත ආ අපගේ රාජ්‍ය පාලකයෝ බුදු දහමේ ආරක්ෂකයෝ වූහ. එම රජවරු කිහිප අවස්ථාවකදී ම මුළු මහත් ලංකා රාජ්‍යය සම්බුද්ධ ශාසනයට පූජා කළහ. දේවානම්පියතිස්ස රජතුමා රාජකීය මහාමේඝ වනය මිහිඳු මහරහතන් වහන්සේ වෙත පූජා කළේ තෙමේ ම ඇතුන් බැඳි නගුල අතට ගෙන බිම් සීමා ලකුණු කිරීමෙනි. රජුන්, මැති ඇමතිවරුන් බණ ඇසුවේ පොදු ජනතාව සමඟ බිම අතුල පැදුරු මත එකට හිඳගෙන ය.

මිහින්තලේ කළුදිය පොකුණ අසල කළුවර රැයක කළුබුද්ධරක්ඛිත ස්වාමීන් වහන්සේ කාලකාරාම සූත්‍රය දේශනා කරන අතරතුර එහි පැමිණි සද්ධාතිස්ස රජතුමා පිරිසට බාධා නොකොට පිටුපස සිටගෙන ම දේශනය අවසන් වන තුරු සවන් දුන් බව කියවේ. සද්ධාතිස්ස රජතුමාට වරෙක රාජ්‍ය අරමුදලින් නොව, තම ශ්‍රමයෙන් උපයා ගත් ධනය වැය කොට දානයක් පූජා කිරීමට සිතා බිසව සමඟ එක් වී, වී කොටා සහල් උපදවා බතක් උයා ඉන් රහතන් වහන්සේනමකට දානය පූජා කළ බව පැරණි සාහිත්‍ය මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. දුටුගැමුණු රජතුමා යුද්ධයට යන විට පවා ආහාර ගැනීමට පෙර කාලඝෝෂා පවත්වා සංඝයා වහන්සේට දානය පූජා කිරීමෙන් පසු තම ආහාර ගත් බව වංශකථා සාක්ෂි එළවයි. සංඝයා වහන්සේට පූජා නොකොට මිරිස් වැටියක් හෙවත් ව්‍යංජනයක් අනුභව කිරීමේ දෝෂයෙන් මිදීමට එතුමා මිරිසවැටිය සෑය තැනවූ බව මහාවංශය කියයි.

අද යුගය වනවිට මේ තත්ත්වය කෙතෙක් දුරට වෙනස් වී තිබේ ද? වර්තමාන කාලයේ මීට අවුරුදු හතළිහක පනහක පෙර සිට ම රාජ්‍ය නායකයෙකුගේ ප්‍රධානත්වයෙන් පුණ්‍ය කටයුත්තක් පැවැත්වෙන්නේ නම් කොතෙක් වේලා ගත වුව ද ඔහු පැමිණෙන තුරු පින්කම ආරම්භ කළ නො හැකි ය. ධර්ම දේශනාවක් පවත්වන අතරතුර දේශපාලන නායකයෙකු එතැනට පැමිණියහොත් දම් දෙසුම නතර කොට ඔහුට ඉදිරිපස ස්ථානයක හිඳ ගැනීමට සලස්වා යළි එතැන් සිට ධර්ම දේශනා වැඩසටහන පවත්වාගෙන යාමට සිදුවේ. ආරක්ෂකයෝ වැඳුම් මාත්‍රයකින් පවා තොරව තම නායකයා වටකොට ගෙන ඔහුගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වෙති. රාජ්‍ය නායකයෙකු පින්කමට බාධා නොකොට ශ්‍රාවක පිරිස පිටුපස සිටගෙන ධර්ම ශ්‍රවණය කිරීම පිළිබඳව අද කාලයේ කවර කතා ද?

බුදුරජාණන් වහන්සේ ජීවමාන යුගයේ උන්වහන්සේ සහ ආර්ය මහා සංඝයා වහන්සේ උදෙසා රජමැති සිටුවරුන් විසින් රාජකීය උයන් පූජා කොට, සම්බුද්ධරාජ මාලිගා, ආවාස, විහාර මන්දිර ආදිය දඹදිව මධ්‍ය මණ්ඩලය පුරා තනවා බුදු සසුනට පූජා කරන ලද අයුරු අදට ද ශේෂව පවත්නා විසල් නටබුන්වලින් පෙනී යයි. අටවැනි සියවස වනතුරු ඒවායින් බොහෝමයක් නිරුපද්‍රිතව පැවතී ඇත. කුරිරු මුස්ලිම්-මෝගල් යුගයේ කළ බිහිසුණු කඩා බිඳ දැමීම්වලින් පවා ඒවා සහමුලින් නසා වනසා දැමීමට නො හැකි වීමෙන් පෙනී යන්නේ ඒවායේ විශාලත්වය යි.

දෙදහස් හයසිය වසරකට දිවෙන ඉතිහාසයකට උරුමකම් කියන ලුම්බිණිය, විශාලා මහනුවර, ජේතවනාරාමය, කුසිනාරාව, කපිලවස්තුව ආදී ගොඩනැගිලි නටබුන්වලින් මෙන්ම අශෝක අධිරාජ්‍ය යුගයේ ඉදිකරන ලද සාංචි නටබුන්වලින් ද එය හෙළි වෙයි. අටවැනි සියවස දක්වා දෙස් විදෙස් භික්ෂූන් වහන්සේලා දස දහස් ගණන් බෞද්ධ අධ්‍යාපනය ලැබූ නාලන්දා, තක්ෂිලා ආදී මහා බෞද්ධ විශ්වවිද්‍යාල , බුදු දහමින් පෝෂණය වූ අධ්‍යාපනයේ මහිමය කියාපායි.

අතීත යුගයේ ලක්දිව බුදු දහම බැබළෙමින් පැවති අනුරාධපුර රාජධානි සමයේ ද එම ස්වභාවය දක්නට ලැබිණ. බුදුරජාණන් වහන්සේ උදෙසා තැනවූ මහ සෑ, සෙල් පිළිම, විසිතුරු කැටයම්වලින් සුසැදි සත් මහල් ප්‍රාසාද හා විහාර මන්දිරයන්හි නටබුන්වලින් පෙනී යන්නේ රජවරුන් හා මහ ජනකාය එක්ව ජාතියේත්, සම්බුද්ධ ශාසනයේත් දියුණුව උදෙසා කළ අප්‍රමාණ කැප කිරීම යි. ලොව උතුම් ම ජීවිකා වෘත්තිය වූ කෘෂි කර්මාන්තයේ නියැලෙමින්, වැව් අමුණු බඳිමින් අනතුරුව ලද විශ්‍රාම කාලයේ වෙහෙර විහාර වන්දනා කරමින් සාමූහිකව වැඩූ සැදැහැ බැති පෙම ලක් දෙරණ සිසාරා ගලා ගියේ අධ්‍යාත්ම ගුණයෙන් පෝෂිත සමෘද්ධිමත් දේශයක උදාරත්වය ලොවට හෙළි කරමිනි.

එකල ලොව නන් දෙසින් දේශාටකයෝ මෙන්ම වියත්හු ද හෙළදිවට ආකර්ෂණය වූහ. ඒ සමඟ ම පසු කාලයේ භාරත දේශයේ උග්‍ර ලෙස ව්‍යාප්ත වූ මහායාන දෘෂ්ටිවාද ද ලක්දිව බුදු සසුනට මෙන්ම ජනසම්මතවාදී පාලන තන්ත්‍රයට ද අහිතකර බලපෑම් එල්ල කරන්නට විය. රට තුළ ඇති වූ වාද භේදවලින් ප්‍රයෝජන ගත් විදේශීය ආක්‍රමණිකයන්, මංකොල්ලකරුවන් රට තුළට කඩා වැදී සමෘද්ධිමත් දැහැමි රාජ්‍යයක් වනසා දැමූ අන්දම දෙදහස් වසරක ඉතිහාසය අපට හෙළිකර දෙන හෙළදිව පුරාවතයි.

බුදු දහමට අනුව ජීවන පිළිවෙත් හැඩගස්වා ගැනීම පිළිබඳවත්, බුදු දහමට රටේ ඉහළ ම තැන ලබාදීම පිළිබඳවත් වර්තමානයේ කොතෙකුත් කතාබහ ඇති වුව ද බුදු වදනට අනුව සමාජය හැඩගැස්වීමට කටයුතු සිදුවෙන බවක් ගිහි පැවිදි නායකයන්ගේ කියුම් කෙරුම්වලින් නො පෙනේ. අතීතයේ සිට බුදු දහමට මේ රටේ ප්‍රමුඛස්ථානය හිමි වුණේ ව්‍යවස්ථා, නීතිරීති පැනවීම්වලින් නො වේ. එය ජන සංස්කෘතිය තුළ, පාරම්පරික ජන විඥානය තුළ තිරසරව මුල් බැසගෙන පැවතියේ බුදු දහමේ ඉගැන්වීම්වලින් ලද ශික්ෂණය නිසා ය. හෙළදිව පැරණි රජුන් කිහිප අවස්ථාවකදී ම මුළු මහත් රාජ්‍යය බුදු සසුනට පූජා කළ බව අප නිතර මෙනෙහි කළ යුතු ය.

දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘ වූ අප බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන පූජා විධීන් හා වන්දනාමාන ක්‍රම, දෙවියන්ට කරන පූජාවන් ලෙස පවත්වන්නට, පෙර කවරදාටත් වඩා අද ජනතාව පෙළඹී සිටිති. මේ වූ කලී සියලුම ආගම් සමාන ලෙස සැලකීම පිළිබඳ ජනවාර්ගික සහජීවන පිළිවෙතට නැඹුරු වීමේ අහිතකර ඵලයකි. බෞද්ධ සම්ප්‍රදායයන්ට ඉඳුරා පටහැනි කටයුතු විහාරස්ථානයන්හි පැවැත්වීමට ඉඩ දීම හා සමහර භික්ෂූන් වහන්සේලා ඒවාට අවකාශ සලසා දීම බුදු දහමේ මෙන් ම සිංහල ජාතියේ ද යහ පැවැත්මට හානිකර ය.

වර්තමානයේ ඇතැම් විහාරස්ථාන අභිනවයෙන් යුග දිවියට ඇතුළත් වෙන මංගල ජෝඩු එළිදක්වන මඟුල් කෙළිබිම් බවට පත්වන තැන් දක්වා පිරිහී තිබේ. ධර්ම ශාලා තුළ මඟුල් පෝරු ඉදිවෙන දිනය වැඩි ඈතක නොවෙන බව දැන් දැන් සිදුවෙන දේවලින් පෙනී යයි. පාවහන්, හිස්වැසුම් ගලවා ඇතුළු විය යුතු විහාරස්ථාන පරිශ්‍රයට සපත්තු, මේස්, කලිසම් කෝට් පමණක් නොව නිළමේ ඇඳුම් කට්ටලවලින් ද සැරසී හිස්වැසුම් ලාගෙන පිවිසෙන අවස්ථා දැක්ක හැකි ය. පෙර කල පැවති සිරිත වූයේ විවාහයට පෙර හෝ පසුව හෝ නව යුවළ චාම් සුදු ඇඳුමකින් සැරසී විහාරස්ථානයට ගොස් වැඳ පුදා ත්‍රිවිධරත්නයේ ආශීර්වාදය ලබා ගැනීම යි.

නව යොවුන් යුවළක් විවාහ දිවියට පිවිසෙන අවස්ථාව නව පරපුරක-සමාජයක ආරම්භය සනිටුහන් කරන, පවුලේ සංස්කෘතික උළෙලක සිරි ඉසිලීම මීට දශක තුන හතරකට පෙර යුගයේ මෙරට දැක්ක හැකි විය. සියලු කටයුතු සිදු වූයේ බෞද්ධ පිළිවෙත්වලට මුල් තැන දෙමිනි. එබඳු විවාහ මංගල උළෙලක් අද කලාතුරකින්වත් දක්නට නැත. තෙරුවන පිළිබඳ යන්තමින්වත් සිහිපත් කරනුයේ නවයුවළ මඟුල් පෝරුවට නංවන අෂ්ටක කියන්නා පමණි. ඉන් පසු සියල්ල ම සිදු වන්නේ සංකර නාඩගමක් පරිද්දෙනි. මංගල උළෙලට පැමිණෙන බාල, තරුණ, මහළු සෑම දෙනාම පිළිගනු ලබන්නේ සිප වැළඳ ගැනීමෙනි. දෑත් එක්කොට සිදු කරන සම්ප්‍රදායානුකූල පිළිගැනීම අභාවයට ගොස් ඇත.

මංගල සාදයේ පසෙක අරක්කු තැබෑරුමකි. නොඑසේ නම් මඟුල් සාද මේස මතට ම මත්වතුර බෝතල් හා කටගැස්ම සම්පාදනය කෙරේ. තවත් පසෙක කන් හිරිවට්ටන ‘මෙගා බ්ලාස්ට්’ සංගීතයට අනුව එක පොදියට නටන ගෑනු පිරිමි අහිනකි. ඇතැම් මඟුලක නිළමේ ඇඳුමෙන් සැරසුන මනාලයා ද තුප්පොට්ටිය සොලවමින් නටනු දැක්ක හැකි ය. සියල්ල අවසන විසුලු ඇඳුමකින් වෙස්වලාගත් මනාලිය කැටුව යන මනාලයා මිතුරු මිතුරියන්ගේ දසවධ විඳිමින් පිටත්ව යනවාත් සමඟ ම ඉහින් කනින් ඉඳුල් පෙරාගත් පිරිමි වැනි වැනී තම බිරියන්ගේ නොරිස්සුම් ප්‍රතිචාර මැද රථවලට නැගී පිටත්ව යෑමෙන් මංගල සාදය අවසන් වෙයි.

මේ වූ කලී බෞද්ධ රටකට අද ලබා ඇති කලදසාවේ එක් මුහුණුවරකි.

දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන පූජා විධීන් හා වන්දනාමාන ක්‍රම ද දෙවියන්ට කරන පුද පූජාවන් ලෙස පැවැත්වීමට අද බෞද්ධයන් පෙළඹී සිටිනුයේ සියලු ආගම් එක සමාන ලෙස සලකන්ට වීම නිසා ය. මෙය වර්තමානය වනවිට බෞද්ධ ජනකාය අතර ශීඝ්‍රයෙන් පැතිරී තිබේ. දෙවිවරුන්ට කරන කන්නලව් ලෙසින් බුදුරජාණන් වහන්සේගෙන් හා බෞද්ධ පූජනීය සංකේතවලින් ඉල්ලීම් කිරීම මහා මුළාවකි. නාග, කපුටු, බහිරව රූප ඇඳ ‘ඉගෙනීම් සඵල වේවා, රෝග දුරු වේවා, සෙනසුරු අපල මගහැරේවා’ ආදී වශයෙන් ලියූ බැනර් කොඩි බෝධි ශාඛාවල එල්ලීම බුදුරජාණන් වහන්සේට කරන නිගරුවක් බව එම බෝධීන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයන්හි සංඝයා වහන්සේලාට පවා නොවැටහීම මහා අවාසනාවකි.

මේ ව්‍යසනයෙන් සිංහල බෞද්ධ ජනකායට අත්මිදීමට හැකි එක ම මාර්ගය වූ කලී බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් මග අනුගමනය කිරීම පමණි. ලක්දිව බුදු සසුනේ පැවැත්මට මහත් තර්ජන එල්ල වූ වකවානුවලදී එවක පහළව සිටි වියත් පඬිවරුන් වූ විශ්වචක්‍රවර්තී , ගුරුළුගෝමි, ධර්මසේන හිමි, වීදාගම මෛත්‍රිය හිමි, වෑත්තෑවේ හිමි, වනරතන මාහිමි, වැලිවිට සරණංකර සඟරජ හිමි, අනගාරික ධර්මපාලතුමා ආදී දෑ හිතැතියන් කලින් කල හෙළිකර දුන්නේ ඒ දහම් මග නො වේ ද? ඒ පිළිවෙත අනුගමනය කිරීමෙන් තොරව අප ජාතියට හොඳ අනාගතයක් බලාපොරොත්තු විය නො හැකි ය.

මේ පිළිබඳව ලක්වැසි ජනතාවට අවබෝධ කොට දී මිථ්‍යාදෘෂ්ටික ඇදහීම්වලට වසඟ වී දිනෙන් දින අඳුරට ඇදී යන බෞද්ධ ජනකාය ඒ වැරදි මාර්ගයෙන් මුදා ගැනීම අද සංඝයා වහන්සේලා වෙත පැවරී ඇති මහා මෙහෙවර යි. ආණ්ඩු හැදීමට හෝ ව්‍යවස්ථා හැදීමට කලින් වැරදි දෘෂ්ටිවලට හසුවී ජීවිත විනාශ කර ගන්නා පුහුදුන් ජනතා සිත් තුළ සම්මා දිට්ඨිය ඇති කිරීම අද යුගයේ පවත්නා පරම වගකීම වන්නේ ය.

එහෙත් අද අප මුහුණ පා ඇති අවාසනාව නම් අකාලික වූ සිරි සදහම් මග ජනතාවට පැහැදිලි කොට, විවෘත කොට වටහා දෙමින් ඔවුන් සැදැහැතියන් බවට පමුණුවා ඔවුන් තුළ යටපත් වී ඇති බොදු ජන විඥානය අවදි කිරීමේ නිස්සරණාධ්‍යාශ පිළිවෙතක යෙදී සිටින යතිවරයන් වහන්සේලාට ද ගැරහුම් අවමන් පැමිණවීමට මාර බලවේග සසුන තුළින් ම ඉස්මතු වී තිබීම යි. බුද්ධ කාලීන යුගයේ දඹදිව හා අනුරාධපුර යුගයේ ලක්දිව පැවති පරිදි සැදැහැති දනන් තුළ ධර්ම සංවේගයක් ජනනය වන පරිදි වන්දනාමාන කිරීම සඳහා ඊට සුදුසු ගොඩනැගිලි සහිත ආරාමීය පරිසරයක් තිබිය යුතු ය.

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මෑත භාගයේ තනවන ලද සම්බුද්ධරාජ මාලිගාව එවැන්නකි. බුදුරජාණන් වහන්සේ උදෙසා එබඳු මහා විහාර මන්දිරයක් පිහිටුවීම සඳහා තවත් යෝග්‍යතම පින්බිමක් වනුයේ සිංහල බෞද්ධ සභ්‍යත්වයේ නිජබිම වන නුවර කලාවිය රජරට ප්‍රදේශය යි. රුවන්මැලි මහ සෑය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කිරීම සඳහා වාර්ෂිකව යන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුනට එක් රැස්විය හැකි, විවේකී ව බණ භාවනා කළ හැකි, නිරතුරුව ම දහම් රස ගලා යන පුණ්‍ය නිකේතනයක් අනුරාධපුර ප්‍රදේශයේ තිබීම සම්බුද්ධ ශාසනයේත් සිංහල බෞද්ධ ජනකායගේත් හිතසුව පිණිස ම වන්නේ ය.

අද අප එළඹ සිටින්නේ මුළු ලොව ම සම්බුදු දහම පිළිබඳව උනන්දුවක් දක්වන යුගයකට ය. ලෝක බෞද්ධ සම්මේලනය ද ලක්දිව පැවැත්වූ මේ මොහොතේ සුපිරිසිදු බුදු වදන කවරේ ද යන්න පහදා දීමේ හැකියාව ඇත්තේ අපට ය. ඒ අවස්ථාවෙන් අප ඵල නෙළා ගත යුතුව ඇත. බුදු දහම ගැන විමසන විදෙස් පැනවතුනට බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත නිර්මල බුදු වදන ගැන අවබෝධයක් ලබා දිය යුතු වෙයි.

ලක්දිවෙන් ලොවට දිය හැකි වටිනා ම ආදර්ශය හා දායාදය වනුයේ මහා කරුණාව පදනම් කොටගත් බෞද්ධ උරුමය කාටත් තේරෙන පැහැදිලි වදන්වලින් පෙන්වා දීම ම යි.මේ පිළිබඳව අපගේ නුවණැස යොමු කරන ලිපියක් “බොහෝ විදෙස් නායකයෝ බොදු පිළිවෙත් අගය කළහ” යන මැයෙන් යුතුව 2017 ඔක්තෝබර් 22 වෙනි දින ඉරිදා දිවයින පුවත්පතෙහි පළවී තිබිණ. එම ලිපිය සපයා තිබුණේ පූජ්‍ය මාලේපන ධම්මවිජය හිමිපාණන් විසිනි. එහි දැක්වුණ එක් කියුමක් මේ ය.

“ලොව පුරා මහා සම්පත් මංකොල්ලයක යෙදුන සියලු අධිරාජ්‍යවාදී බලවේගයන් මගින් අභිබවනය කළ නොහැකි වූ මහා ආධ්‍යාත්ම බලවේගය වූයේ මිනිසුන්, සිව්පාවුන්, පක්ෂීන් හා ගස්වැල් පැළෑටි ආදිය ඇතුළත් ජීව ලෝකය රැක ගැනීමට මුල් තැන දුන් ජනහිතකාමී, ජීවහිතවාදී, විශ්වන්තරවාදී බුදු දහම බව ලොව පිළිගන්නා යුගයක් උදාවෙමින් පවතී….. සිංහලයන් යුග ගණනක් මහා පරිත්‍යාගයන් කළේ සමතිස් පෙරුම් පුරා ලොව්තුරා බුදු වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය රැකගන්නට ය….. සොබා සම්පත් මංකොල්ලයෙන් ලෝකය බේරාගත හැක්කේ පාරමී දම් පුරා ලොව්තුරා බුදු වන සම්බුදුවරුන්ගේ මග ගන්නා ජනහිතකාමී, ජීවහිතවාදී, විශ්වන්තරවාදීන්ට පමණි.”

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්

දයාපාල ජයනෙත්ති