අපගේ භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා මෙතෙක් ආ ගමන් මග අලලා කළ විස්මිත හෙළිදරව් කිරීමක් අපට බුද්ධ දේශනා තුළ මුණගැසේ. මෙම ලිපිය තුළින් ඔබට එය කියවන්නට, දැනගන්නට වාසනාව ලැබෙනු ඇත.

අප මෙතෙක් ආ ගමන් මග හා ඉදිරි ගමන් මග පිළිබඳ ව මග සලකුණු හෙළිදරව් කරමින් බුදුරජාණන් වහන්සේ කළ මේ විස්මිත අනාවරණය අද වන විට අප ප්‍රායෝගික ව අත්දකිමින් සිටියි. අතීත, අනාගත, වර්තමාන යන කාලාත්‍රයක් අලලා දිග හැරෙන මේ වෘතාන්තය ගැන දැනගැනීම තුළ අපට අපගේ ජීවිතය පිළිබඳ ව විමසා බැලීමට බොහෝ පැතිකඩයන් විවර කර දෙනු ඇත. මේ වනවිටත් අපේ මුළු ජීවිතය ම ඉතා පටු ඉඩකඩක සිරවී තිබෙන බවක් දක්නට ලැබෙනු ඇත. ජීවිතය පිළිබඳ ව මීට වඩා පුළුල් ව හා බුද්ධිමත් ව කල්පනා කළ යුතු බව වැටහෙනු ඇත. මේ ජීවිතය අවසානය දක්වා පමණක් තිබූ අපේක්ෂා, බලාපොරොත්තු, සැලසුම් ඉන් ඔබ්බට බොහෝ දුර යා යුතු බව ඔබට වැටහෙනු ඇත.

මේ තථ්‍ය වූ සිද්ධීන් දාමය කියවන ඔබට පසක් වන තව බොහෝ දෑ ය. ඒ අතර මනුෂ්‍ය වර්ගයාගේ පිරිහීම හෝ දියුණුව රඳා පවතින්නේ ලෝකනිර්මාපක දෙවි කෙනෙක් මත නොවන බව ය, එය ඉබේ ම හෝ සිදු නොවන්නක් බව ය. පිරිහුණු සිත් ඇති මිනිසුන් ම ලෝක විනාශයේ නිර්මාපකයන් බව ය. එමෙන් ම ඉදිරියේ දී එන මේ මහා ව්‍යසන හමුවේ පලා යාමට හෝ එය අන් මගකට වෙනස් කිරීමට හෝ ලොවේ කිසි ජගතෙකු නොමැති බව ය. බුදුරදුන් සරණ ගිය බුද්ධිමත් ශ්‍රාවකයෙකුට තම රැකවරණය පිණිස, යහපත පිණිස කළ යුතු බොහෝ දෑ ඇති බව ඔබට පෙනෙනු ඇත. විශේෂයෙන් ම අනාගතයේ මනුෂ්‍ය ලෝකයේ ඇති බිහිසුණු බවත්, ධර්මාවබෝධය කරන අදහසින් ඉහළ දිව්‍යලෝකයක ඉපදීමේ වටිනාකමත් ඔබට වැටහෙනු ඇත.

වසර බිලියන ගණනකට එහා ලෝකය

මේ සක්විති රජුන් පහළ වන යුගය යි. ඒ සක්විති රජුන් මහා සමුද්‍රය සීමා කොට පොළොව ජයගෙන මේ මහා පෘථිවිය ම පාලනය කරන්නාහු ය. ආර්ය චක්‍රවර්තී පිළිවෙත් පුරමින් ජනයා පංචසීල ප්‍රතිපදාවේ හික්මවමින් දැහැමින් රාජ්‍ය පාලනය කරන්නාහු ය. එකල මිනිසුන්ගේ ආයුෂ ඉතා දීර්ඝ ය. වර්ණය ඉතා පැහැපත් ය. රෝග පීඩාවන්ගෙන් තොර, මනා නීරෝගී ශක්තිමත් සිරුරුවලින් යුක්ත වූහ. ඔවුහු දස අකුසල කර්මපථයන් නොකරන්නාහු ය. ඒ නිසා ම ගහ මරා ගැනීම්, කලකෝලාහල නොමැත. ජනයා එකිනෙකා දෙස ප්‍රිය ඇසින් බලමින් සමඟි ව වසති. ස්වභාවික විපතින් තොර ය. පෘථිවියේ රස ඕජාව පිරි එකල තිබූ ආහාරයෝ ඉතා මිහිරි ය.

ලොව පිරිහීමේ ආරම්භය

සක්විතිරාජ පරම්පරාවේ අවසන් රජු බිහි විය. හේ සක්විති වත් නොපිරුවේය. ජනපද දියුණු නොකළේය. දුගී දුප්පතුනට ධනය නොදුන්නේ ය. ධනය නැති උදවියට ධනය නොලැබෙන කල්හි දිළිඳු බව වැඩි වී ගියේ ය. දිළිඳු බව නිසා මිනිසුන් සොරකම් කිරීමට පටන් ගත්තේ ය. මිනිසුන් ඔවුන් ව අල්ලා රජුට දැක්වූහ. රජු කාරණය විමසූ කල්හි, සොරු දිළිඳු බව නිසා සොරකම් කළ බව කීවෝ ය. රජු ඔහුට දඬුවම් නො දී ධනය දුන්නේ ය. එය ඇසූ මිනිස්සු බොහෝ කොට සොරකම් කිරීමට පටන් ගත්තෝ ය. රජු සොරුන්ට දඬුවම් නො දී නැවත නැවතත් ධනය දුන්නේ ය. සොරකම වැඩි විය. ඒ බව දැනගත් රජු ඉන් පසු සොරකම් කළ අයට මරණීය දණ්ඩනය නියම කළේ ය.

අවිගත් මිනිසුන්

එය ඇසූ මිනිස්සු තියුණු අවි ආයුධ කරවා සොරකම් කිරීමේ දී ඊට සාක්ෂි දෙන මිනිසුන් සිටිත් නම් ඔවුන් ඝාතනය කිරීමට පටන් ගත්තෝ ය. සොරු, ගම් නියම්ගම් වැසියන් නසමින් සොරකම් කරන්නට වූහ. සොරකමත්, මනුෂ්‍ය ඝාතනයත් වැඩි වූ කල්හි මිනිසුන්ගේ ආයුෂ වර්ණ පිරිහී ආයුෂ අසූදහසක් ඇති මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ වසර හතළිස් දහසක් බවට පත් විය.

සිත කෙලෙසීමෙන් ම යි ලොව පිරිහී යන්නේ..

මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහසක් ඇති කල්හී ද මිනිස්සු සොරකම් කරති. අල්ලා ගත් සොරු රජුට දැක්වූ කල්හි සොරකම වසන් කිරීමට ඔවුහු රජුට බොරු කීවෝ ය. ලෝකයේ බොරුව ව්‍යාප්ත විය. එවිට මිනිසුන්ගේ ආයුෂ වර්ණ තවත් පිරිහී ගියේ ය. හතළිස් දහසක් ආයුෂ ඇති මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ වසර විසිදහසක් බවට පත් විය. මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහසක් කල්හී ද මිනිස්සු සොරකම් කරති. එය දුටු පුරුෂයෙක් රජුට කේළාම් කීවේය. ලෝකයේ කේළම විද්‍යාමාන වන කල්හී ඒ මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු දසදහසක් බවට පත් විය.

කෙලෙසුන්ට වසඟ වීම හා ආයුෂ අඩු වීම

මිනිසුන්ගේ ආයුෂ දසදහසක් වූ කල්හී ඇතැම් සත්වයෝ මනා පැහැපත් වෙති. ඇතැම් සත්වයෝ කිලිටි පැහැ ඇත්තෝ වෙති. එහි දී ඔවුන් අතර කිලිටි පැහැ ඇති සත්වයෝ මනා පැහැ ඇති සත්වයන් දෙස සරාගී සිතින් බලමින් අනුන්ගේ අඹුවන් සමඟ වැරදි කාම සේවනයට පැමිණියාහු ය. ලෝකයේ වැරදි කාම සේවනය විද්‍යාමාන වූ කල්හී මිනිසුන්ගේ ආයුෂ වර්ණ පිරිහී ඔවුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු පන්දහසක් බවට පත් විය.

පරුෂ වචන – හිස් වචන භාවිතය හා ආයුෂ පිරිහීම

මිනිසුන්ගේ ආයුෂ අවුරුදු පන්දහසක් වූ කල්හී කරුණු දෙකක් ඔවුන් අතර බොහෝ වැඩි විය. එනම් දරුණු වචනයෙන් බැණ වැදීමත්, හිස් වචනයත් ය. ඒ නිසා ම ආයුෂ වර්ණ පිරිහුණු මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු දෙදහස් පන්සියයක් බවට පත් විය. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දෙදහස් පන්සියයක් වූ කල්හී, කරුණු දෙකක් ඔවුන් අතර බොහෝ සේ වැඩි විය. එනම් අන් සතු දේ තමාට අයත් කර ගැනීමේ ආශාවත්, ද්වේෂයත් බොහෝ සේ වැඩි වී ගියේ ය. ඒ නිසා ම ආයුෂ වර්ණ පිරිහුණු මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු දහසක් බවට පත් විය.

ලොව අඳුරේ ගිල්වන මිථ්‍යාදෘෂ්ටිය

වසර දහසක් ආයුෂ ඇති මිනිසුන් අතර, මිථ්‍යාදෘෂ්ටිය බොහෝ සේ වැඩි විය. මිථ්‍යාදෘෂ්ටිය පැතිරුණු කල්හී, ආයුෂ වර්ණ පිරිහී ඒ මිනිසුන්ගේ දරුවන්ගේ ආයුෂ අවුරුදු පන්සියයක් බවට පත් විය. පන්සියයක් වසර ආයුෂ ඇති මිනිසුන් අතර කරුණු තුනක් බොහෝ සේ වැඩි විය. ඒ අධර්ම රාගයත්, විෂම ලෝභයත්, මිථ්‍යා ධර්මයත් ය. ඒ නිසා ඒ මිනිසුන්ගේ ආයුෂ වර්ණ පිරිහී, දරුවන්ගේ ආයුෂ අවුරුදු ඇතැමුන්ගේ දෙසිය පනහකුත්, ඇතැමුන්ගේ දෙසීයකුත් බවට පත් විය.

අතීතයෙන් වර්තමානය කරා

දෙසිය පනහක් වසර ආයුෂ ඇති මිනිසුන් අතර මේ කරුණු බොහෝ සේ පැතිර ගියේ ය. එනම් මව්ට නොසැලකීම, පියාට නොසැලකීම, ශ්‍රමණයන්ට ගරු නොකිරීම, බ්‍රාහ්මණයන්ට ගරු නොකිරීම, ගුරුවර ආදී කුලදෙටුවන්ට ගරු නොකිරීම ආදිය යි. එවිට මිනිසුන්ගේ ආයුෂ වර්ණ පිරිහී දරුවන්ගේ ආයුෂ වසර සියයක් බවට පත් විය.

වර්තමානයෙන් අනාගතය කරා

වර්තමානයේ මිනිසුන්ගේ ආයුෂ වසර සියයට ද වඩා පහත වැටී තිබේ. අනාගතයේ ක්‍රමක්‍රමයෙන් තව දුරටත් ආයුෂ අඩුව ගොස් වසර දහය දක්වා පහත බසින්නේය. එකලට ගැහැණු දරුවෝ පස් හැවිරිදි වියේදී ම විවාහ වෙති. පෘථිවි රසය අතුරුදහන් වන්නේය. දස අකුසල කර්මපථ අතිශයින් ම ඉස්මතු වන්නේ ය. එකල මිනිසුන් අතර කුසලය යන නමවත් අසන්නටවත් නො ලැබෙන්නේ ය. කුසල් කරන්නෙක් කොයින් ලබන්ට ද? එකල යමෙක් මාපිය, ගුරුවර, වැඩිහිටියන්ට ගරු නොකරත් ද නොසලකත් ද ඔවුහු පිදුම් ලබන්නෝ ය. එකල ලෝක සත්වයා යහපත් කුලාචාර නොතකා, සිඳ බිඳ දමා හිතුමනාපේ තිරිසනුන් මෙන් හැසිරෙන්නෝය.

නුදුරේ එළඹෙන බිහිසුණු අනාගතය

මිනිසුන්ගේ ආයුෂ දස වසරක් ව ඇති කල්හී, ඒ සත්වයන් අතර එකිනෙකා කෙරෙහි දරුණු ලෙස වෛරයත්, ද්වේෂයත්, මානසික ආවේගයත්, වධක චිත්තයත් පිහිටන්නේ ය. මුවන් මරන්නෙකු මුවෙකු දැක්ක විට දරුණු වෛරයත්, ද්වේෂයත්, වධක චිත්තයත් පිහිටන්නේ යම් සේ ද එසේ ම තමාගේ ම දෙමාපියන් සහෝදර සහෝදරියන් කෙරෙහි වෛරය පිහිටන්නේ ය. දසවස් ඇති මිනිසුන් අතර සත් දිනක ආයුධ අන්තඃකල්පයක් වන්නේ ය. ඔවුහු ඔවුනොවුන් කෙරෙහි මෘග සඤ්ඤාව ලබන්නෝ ය. ඔවුන්ගේ අත්වල තියුණු ආයුධ පහළ වන්නේ ය. ඔවුහු ඒ තියුණු ආයුධවලින් “මූ මෘගයෙක්… මූ මෘගයෙක්…” යනුවෙන් ඔවුනොවුන් මරන්නාහු ය. එකල්හි ඒ මිනිසුන් අතර ඇතැම් කෙනෙකු මෙසේ සිතන්නාහු ය.

‘අපි කිසිවෙකුත් නොමරමු. කිසිවකුත් අපව නොමරත්වා!’ යයි සිතා ඔවුහු වනය තුළට පිවිසෙන්නෝය. ඔවුහු මුල්, ගෙඩි අහරට ගනිමින් ජීවත් වී දින හත ඇවෑමෙන් නැවත ගමට පැමිණෙන්නෝය. එවිට බොහෝ දෙනා මරණයට පත් වී සිටිනු දැක එකිනෙකා වැළඳගෙන තමන් නොමැරී ජීවත් වීම ගැන සතුටට පත්වන්නෝය.

පවෙන් වැළකීම හා ලොවේ දියුණුව

ඔවුන්ට මේ අදහස ඇති වන්නේය. ‘අපි අකුසල් දහම්වල සමාදන් ව සිටි නිසාවෙන් මෙබඳු මහත් ඥාති ව්‍යසනයකට අපි පත් වුණෙමු. අපි කුසල් දහම් දියුණු කරමු’ යි. මෙසේ කියා කතිකා කොට දස කුසල් එකින් එක පුරුදු කරන්නට පටන් ගන්නෝ ය. එවිට පරම්පරාවෙන් පරම්පරාවට අනුක්‍රමයෙන් ආයුෂ වැඩි වී ගොස් මිනිසුන්ගේ ආයුෂ නැවත අසූදහසක් දක්වා වැඩි වෙයි. එකල්හී කුමරියෝ වයස අවුරුදු පන්සීයයේ දී විවාහ වෙති. එකලට මිනිස්සු අල්පාබාධ වෙති. දඹදිව ඉතා සමෘද්ධිමත් වෙයි. සැප සම්පත් බහුල වෙයි. ජනගහනය ද ඉතා වැඩි වෙයි.

භාග්‍යවත් අරහත් මෛත්‍රී බුදුරජුන්ගේ පහළ වීම

එකල බරණැස කේතුමතී නම් රාජධානියක් වෙයි. එහි ධාර්මික වූ ධර්මරාජ වූ සංඛ නම් වූ චක්‍රවර්තී රජෙක් පහළ වෙයි. එකල ඒ මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිසුන් ප්‍රජාවෙන් යුතු මේ ලෝකයේ ස්වකීය විශිෂ්ට ඥානයෙන් යුතුව සාක්ෂාත් කොටගත් ධර්මය දේශනා කරන්නාහු ය. නොයෙක් සියදහස් ගණන් භික්ෂු සංඝයා පරිහරණය කරන්නාහු ය.

අප හැම දෙනාට ම සර්වප්‍රකාරයෙන් ම සුන්දර වූ මේ බුදු සසුනත්, උතුම් කලණමිතුරු ඇසුරත් කිසිදිනක මග නොහැරේවා..!

(ඇසුර – චක්කවත්ති සීහනාද සූත්‍රය – දී. නි. 3)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි