දුර බැහැර ඉඳන් ගමනේ ආව පිරිස් වගේ ම අසල්වාසී ගම් ගෙවල්වල පිරිසුත් පෝලිමට එක්කාසු වෙනවා. කෑම පිසෙන සුවඳ වාතලයට මුසු වෙලා. පෝලිමේ ගිහින් බෙදා ගන්න බත් පත එ් හැමෝගෙම කුස පුරවනවා. රසවත් ආහාර වේල වගේ ම ප‍්‍රියමනාප සුහද සත්කාරයන් සිතත් පුරවනවා. දන් දෙන්න පුරුදු වුණ ජාතියක් ඉන්න රටක මේක දුලබ වෙන්නේ නැහැ. මේ තමයි දන්සැල්…!

දානය කියන්නේ නුවණැති සත්පුරුෂයන්ගේ ප‍්‍රශංසාවට බඳුන් වන දෙයක්. අග‍්‍ර ලෙස දන් දෙමින් පුණ්‍ය පාරමී සපුරාගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණ එ් වීර නරාණන් වහන්සේගේ දහම් මෙඟ් පිළිවෙත් පුරන්න උපකාරක වන විශාල පින් අස්වැන්නක් අපටත් රැස් කරවන දෙයක්. එ් සම්බුද්ධ චරිතාපදානයේ සුවිශේෂී සිදුවීම් අනුස්මරණය කෙරෙන කාල සීමාවන් තුළ මේ උතුම් පුණ්‍ය කර්මයේ නියැළෙමින් බොහෝ දෙනෙක් බොහොම සුන්දර පින් රැස් කර ගන්නවා.

මේ වගේ දන්සැල් දෙන ජාතියක් ලෝකයේ වෙන කොහේවත් නැහැ. මේ වගේ දනට පිනට ලැදි වුණ ජාතියකුත් ලෝකයේ වෙන කොහේවත් නැහැ. දානය අගය කළ, දානය ප‍්‍රශංසා කළ ශාස්තෘවරයෙකු සරණ යන්නට ලැබීමෙන් ම යි මෙවැනි සුන්දර පින් දහම්වල උරුමය අපේ ලේ උරුමයක් වුණේ. එ් නිසා ම දන්සැලක්, දන්සැලක් පාසා සත්පුරුෂ ධර්මයක අක්මුල් තමයි අපට මුණගැසෙන්නේ.

පින් රැස් කරන එක හීන අයුරින් කරන්නත් පුළුවන්. මහානීය ආකාරයෙන් කරන්නත් පුළුවන්. දන්සැල් සම්බන්ධයෙනුත් මේ කාරණය පොදුයි. මුළු ලෝකෙට ම අහිමි වුණත් අපට විවෘත වෙලා තියෙන මේ පුණ්‍ය ද්වාරයන්ගෙන් ඇතුළු වෙලා මනා කොට මහානීය අයුරින් ම පින් රැස් කර ගන්න අපට හැකියි. එහෙම කරන්න නම් පින මහත්ඵල මහානිශංස වන ආකාරය අප දැනගෙන සිටිය යුතු වෙනවා.

මනා කොට සකසලා, ගෞරවයෙන් යුතු ව, බැහැර නො කරන අදහසින්, කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතු ව, සියතින් ම දන් දෙනවා නම් එ් දානය සත්පුරුෂ දානයක් බවට පත් වනවා. එ් දානය මහත්ඵලයි. මහානිශංසයි. දන්සැලේදීත් අපට මේ සත්පුරුෂ ගුණය ම පුරුදු කරන්නට හැකියි නේ ද?

එ් වගේ ම යි උතුම් සීලයක සමාදන් වෙලා සිල්වත් පිරිසක් ලෙස දන්සැල පවත්වන්න අපට පුළුවන් වුණොත් දායක පාර්ශවය ලෙස අපෙන් එ් දානය පිරිසිදු වෙනවා. එ් දානයත් උතුම් දානයක්. එ් නිසා මේ බුද්ධ වර්ෂයේ දන්සැලේ දී අපි උතුම් සීලය මනා කොට රැක ගනිමින් කටයුතු කරන්නට අදිටනක් ඇති කර ගැනීම අපට මහත් ලාභයක්.

දන්සැලේ ආහාරපාන ප‍්‍රණීත ව, පිරිසිදු ව සකස් කරන්න ඕනේ. පි‍්‍රයමනාප අයුරින් ම පිළිගැන්වීම සිදු කරන්නත් ඕනි. එ් වගේ ම එ් ආහාරපාන භුක්ති විඳින වටපිටාව පවා ප‍්‍රියමනාප අයුරින්, පිරිසිදු ව පවත්වා ගැනීම තුළත් දන්සැලෙන් රැුස්වන පින මහත්ඵල වනවා.

අද කාලේ දන්සැල් එක්ක මුණගැහෙන ලොකු ම ප‍්‍රශ්නයක් තමයි අහල ගම් හතකට ඇහෙන තරම් හයියෙන් දමපු ශබ්ද විකාශනයෙන් නො නැවතී ඇහෙන ගීත රාවයන්. බුදුගුණ ගීතයන් වුණත් ඝෝෂාකාරී හඬින් ඇසෙද්දී එයින් කටුක සංවේදනයක් ඇති කෙරෙන්නට පුළුවනි. ඝෝෂාකාරී බව වැඞී වර්ධනය වෙනකොට ළඟ ම ඉන්න කෙනාට යමක් කියන්නත් මහා හයියෙන් කථා කරන්නයි සිදු වෙන්නේ. එතකොට සංගීත ඝෝෂාව විතරක් නෙමෙයි; කථාබහේ ඝෝෂාවත් එකතු වෙලා දන්සැල එක ම කාලගෝට්ටියක් බවට පත් වෙනවා. සන්සිඳුන, සන්සිඳෙන්නට මඟ දේශනා කළ ශාස්තෘන් වහන්සේනමකගේ නාමයෙන් අපරිමිත පින්පෙත් රැුස් කරන්නට විවෘත වුණ ඉඩ කෝලාහලයක ස්වරූපයට හැරීම තුළ වන්නේ එ් පින හීන වීම පමණයි නේ ද? එ් නිසා මෙවර දන්සැල් දෙනකොට මේ සාමාන්‍ය ස්වභාවයෙන් බැහැර වෙලා සන්සිඳෙන වටපිටාවක් ම එ් තුළත් ගොඩනගන්නට අපි උත්සුක වෙමු.

අරුත්බර, සොඳුරු බුදු ගුණ ගීත සිහින් ස්වරයෙන් ඇසෙන්නට සලස්වන්නට අපට හැකි නම් එය කනටත්, සිතටත් පහසුවක් ඇති කරවාවි. නිහඬ සන්සිඳීමක් සහිත වටපිටාව මොන හිත ද සුවපත් නො කරන්නේ? එ් ශාස්තෘන් වහන්සේත් අගය කළේ නිහඬ බව ම යි. උන්වහන්සේ ව පුද දෙන්න ඇයි අප ඝෝෂාකාරී වටපිටාවක් නිර්මාණය කරන්නේ? එ් නිසා මෙවර අපේ දන්සැල ඝෝෂාවන් බැහැර කළ, සිත් නිවන දන්සැලක් බවට පත් කරමු.

හොඳ ම විදිහට දන්සැල් දෙද්දි හොඳ ම දේ අහන්න, දකින්න සලස්වන්නත් පුළුවන් නම් එ්ක මොන තරම් නම් හොඳ ද…! මේ ලෝකයේ තියෙන හොඳ ම, යහපත් ම, වටිනා ම හැම දෙයක් ම සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි දේශනා කොට වදාළේ. එවන් අසහාය මුනිරජාණන් වහන්සේනමක් වෙනුවෙන් සිදු කෙරෙන මේ පුණ්‍ය මහෝත්සවයන් තුළ එ් උත්තම බුද්ධ භාෂිතයන් ම ඇහෙන්න, දකින්න සලස්වන්න පුළුවන් නම් එ්කත් අපට මහා ලාභයක්. ධම්ම පද ගාථා, සෙත් පිරිත්, බුදු ගුණ සජ්ඣායනා මේ ආකාරයෙන් අහන්නට හා දකින්නට ඉඩ විවර කරන්නට අපට බැරිකමක් නෑ. කන කෑම කටක් ගානේ කෙනෙකුට බුදු බණ පදයක් ඇහෙනවා නම් එ්ක එ් කෙනාටත් මහා ලාභයක් නේ ද?

හිතන්න. අපේ දන්සැලේ දී අහන බණ පදයක් හිතේ දරාගෙන කෙනෙක් මේ ධර්ම මාර්ගයේ අසුරු සැණක් හෝ අප‍්‍රමාදී වුණොත්, වීර්යය වැඩුවොත් එ් ධර්ම පර්යාය අහන්නට සලස්වපු අපටත් අපමණ පිනක් නේ ද රැුස් වන්නේ… අපේ දන්සැලේ ප‍්‍රදර්ශනය කෙරුණු දහම් පාඨයක් එක්කෙනෙක් ව හරි ධර්ම මාර්ගය තුළ වීර්යවන්තයෙකු කළොත් සසරින් එතෙර වීම පිණිස වන අපේ වීර්යය පරිපූර්ණ කර ගන්නත් එ් පින උපකාරක නො වේවි ද?

දන්සැල් දෙන්න අපට තියෙන නැමියාව මේ විදිහට අරුත්බර කර ගනිමින් මහානීය පින් ඵල රැුස්වන ආකාරයෙන් දන්සැල සිත නිවන පින්බිමක් කරලන්නට තිබෙන ඉඩකඩ මේ උදා වූ බුද්ධ වර්ෂයේ දී සියල්ලන් හට අවබෝධ වුණොත්… දන්සැලක් දන්සැලක් පුරා සම්බුද්ධ ශ‍්‍රාවකයන්ගේ සොඳුරු නැවතුමක නිවී සන්සිඳීමත් සැදැහැ සිතින් ම දන් දෙන හැටි දකින්නට, දැක සතුටු වන්නට අපත් භාග්‍යවන්ත වනවා.

එ් නිසා, මෙවර අපි අපේ දන්සැල සිත නිවන, පින් පුරන පුණ්‍ය තොටුපළක් වගට ම පත් කරලමු…!

සටහන
කළණ ගංගානාථ