සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා අද මුළු ලෝකය ම එක ම ගම්මානයක් බවට පත්වී ඇත්තාක් සේ ය. ලොව ඕනෑ ම දෙසක සිටින්නෙකුට අද ලෝකයේ සිදුවන ඕනෑ ම දෙයක් එසැණින් දැනගත හැකි ය. නවීන තාක්ෂණික උපකරණ මිනිසාට වේගයෙන් සමීප වී ඇත්තේ මිනිසාට එ්වා නොමැතිව මොහොතකුදු ජීවත්විය නො හැකි තරමට ය.

සන්නිවේදනයේ සිදු ව ඇති දියුණුව අපට පහසුවක් සලසා තිබේ ය යන්න පැහැදිලි සත්‍යයකි. එම පහසුව භුක්ති නොවිඳින්නෙකු අද තරගකාරී ලෝකයේ නොමැති තරම් ය. නමුදු එම පහසුවට සමගාමීව මිනිසාගේ ආධ්‍යාත්මික ගුණධර්මවලට එකී දියුණු තාක්ෂණය තුළින් ම සිදුකර ඇති බලපෑම එතරම් යහපත් නො වේ. මනුෂ්‍ය ආධ්‍යාත්මික ගුණාංගයන්ගේ අභිවෘද්ධියට අත්වැලක් වන පරිද්දෙන් සන්නිවේදන තාක්‍ෂණය දියුණු කරන්නට අද ලෝකයා අසමත් වී ඇත. නමුත් දෝෂය සිදුවී ඇත්තේ දියුණු වී ඇති තාක්‍ෂණය තුළ නොවීම මෙහි වැදගත් ම කරුණයි. දෝෂයට මුළුමනින් ම වගකිව යුතු වන්නේ තාක්‍ෂණය හසුරුවන්නන් ම ය.
මිනිසාගේ ආධ්‍යාත්මික ගුණ දියුණුවට ඍජුව ම උපකාර කර ගත හැකි මේ දියුණු සන්නිවේදන ක‍්‍රම බොහෝ අවස්ථාවන්හි භාවිත වන්නේ ම නොපිටට ය. අද සන්නිවේදන මාධ්‍යයන් තුළින් වැඩිපුර ම සමාජගත වන්නේ මිනිස් මනසට අනවශ්‍ය දෑ ය. මනස විකෘති කරවන, චිත්ත අභ්‍යන්තරයේ ඇති ක්ලේෂයන් අවුස්සා දමන, මිනිස් සංහතියේ ම පැවැත්මට අහිතකර සහසකුත් දෑ මාධ්‍යයන් හරහා ගලා එන්නේ වැල නො කැඞී ය.

වත්මන් මාධ්‍යයන් හරහා යම් පණිවුඩයක් සමාජගත කිරීමට ඔහු හෝ ඇය වෘත්තීයමය මාධ්‍යවේදියෙක් වීම කිසිසේත් අත්‍යවශ්‍ය කරුණක් නො වේ. සමාජ ජාලා ඇතුළු පුළුල් වපසරියක් පුරා විහිදි වත්මන් සන්නිවේදන මාධ්‍යයන් විසින් මෙම ලිපිය කියවන ඔබ, අකුරු කරන මා පමණක් නොව හද්දා පිටිසර අත්තම්මලා, මුත්තලා ද මාධ්‍ය හසුරුවන්නන් බවට පත් කොට ඇත. එ් සඳහා අවැසි පූර්ණ බලය සහ සම්පත් අප වටා ම නිර්මාණය කොට ඇත. එක් පුද්ගලයෙකුගේ මනසේ ඇතිවන විකෘති අදහසක් ආකර්ෂණීය නිර්මාණයක් බවට පත් කර මාධ්‍ය හරහා ලොවට මුදා හැරීමෙන් දෙවෙනි තුන්වෙනි පුද්ගලයන්ගෙන් නො නැවතී ලක්‍ෂ සංඛ්‍යත මිනිසුන්ගේ මනස විකෘති කරවාලන්නට එය සමත් වෙයි. මෙලෙස මිනිසාගේ පිරිහීමට මූලික අඩිතාලම දමමින් එහි පෙරමුණ ගන්නට මේ දියුණු සන්නිවේදන ක‍්‍රමෝපායන් අද සමත් ව තිබීම මානවහිතවාදී සුභාවිත මාධ්‍ය සංස්කෘතියට එල්ල වූ මරු පහරකි.

පසෙකින් තබමු සෙසු ලෝකයා…

මුළු මහත් ලෝකය ම අපි මඳකට පසෙකින් තබමු. දෙව් මිනිසුන්ට විමුක්තිය දායාද කරවමින්, දහම් අමා වැසි වස්සවමින්, සත්‍යයේ සදහම් සන්දේශය සිව්දිග සන්නිවේදනය කළ අපගේ ශාස්තෘ වූ, අප සරණ ගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම අපේක්ෂා තැබූ ශී‍්‍ර ලක් දෙරණේ සුභාවිත සන්නිවේදනයට අද සිදුව ඇත්තේ කුමක් ද? මුළු ලොවට ම ආදර්ශයක් බවට පත්විය යුතු ගෞතම බුදුරජුන්ගේ ශ‍්‍රාවකයන් වැඩ වෙසෙන මේ උතුම් පින්බිමෙන් සැබැවින් ම එ් ආදර්ශය අද ලොවට ලැබෙන්නේ ද?

අද අන්තර්ජාලය පුරා හමුවන නා නා විධ වෙබ් අඩවි, සමාජ ජාලා, විද්‍යුත් පණිවුඩ ආදිය හරහා හුවමාරු වන අශීලාචාර අයුරින් සැකසුනු විවේචන, දෝෂාරෝපණ, මඩ ප‍්‍රචාර අප‍්‍රමාණ ය… අසීමිත ය. රජය, දේශපාලන නායකයන්, ප‍්‍රසිද්ධ පුද්ගලයන්, විවිධ ආගම් මෙන් ම පුද්ගලයන්ගේ අඩුපාඩු ආදිය හුවා දක්වමින් ගද්‍ය, පද්‍ය, චිත‍්‍රකථා, වීඩියෝ පට හා අනෙකුත් නිර්මාණ අතොරක් නොමැතිව අන්තර්ජාලය හරහා ඔබ-මොබ සංසරණය වෙයි. තවත් අයෙකු අගෞරවයට, සමච්චලයට, නින්දාවට ලක් කරමින් පහත් අයුරින් සකස් කෙරෙන්නා වූ එකී නිර්මාණ දෙස බලා ළාමක සතුටක් ලබන්නට තවත් පිරිසක් නිරතුරුව දෙනෙත් අයා බලා සිටිති. සැබැවින් ම මෙවන් සමාජයක මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුුණුවක් බලාපොරොත්තු විය හැකි ද? ආධ්‍යාත්මික ව කෙසේ වුවත් ලෞකික දියුණු මාත‍්‍රයක් වත් අපට අපේක්ෂා කළ හැකි ද? අපි යන්නේ කොයිබට ද? අපි සොයන්නේ කුමක් ද? අපට කුමක් හමුවේවි ද?

යහපත දන් දී යහපත ලැබූවෝ

අප මහා බෝසතාණන් වහන්සේ පෙර ජීවිතවල දී සන්නිවේදන ක‍්‍රමයන් හැසිරවූ ආකාරය අපට විවිධ සූත‍්‍ර දේශනාවන්හි මුණ ගැසේ. ලක්ඛණ සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන් වහන්සේ අතීත ආත්ම භාවයන්හි දී පරුෂ වචනය බැහැර කොට නිදොස් වූ, කනට මිහිරි වූ, පි‍්‍රයමනාප වූ, පේ‍්‍රමනීය වූ, හෘදයංගම වූ, බොහෝ ජනයාට මනාප වූ වචන භාවිත කිරීම නිසා අවසාන ආත්ම භාවයේ දී දිගු වූත් පුළුල් වූත් දිවක් සහ බ‍්‍රහ්මරාජයකුගේ බඳු වූ බ‍්‍රහ්මස්වරයක් යන මහා පුරිස ලකුණු දෙක ලැබූ බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස් ද දෙවියෝ, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදි සියලූ දෙනා ද උන්වහන්සේගේ වචනය හිස් මුදුනෙහි ලා පිළිගන්නා බව පෙන්වා දුන් සේක.

එසේ ම බෝසතාණන් වහන්සේ හිස් වචනයෙන් වැළකී අර්ථවත් වූ, කාලයට ඔබින, සත්‍ය වූ, සිතේ දරාගත යුතු කුසල් දහම් පිළිබඳ ව නිරතුරුව ම කථා කළ නිසාවෙන් අවසාන ආත්මභාවයේ සිංහයෙකුගේ බඳු හනු ලැබූ බවත්, එහි ප‍්‍රතිඵලය වශයෙන් අභ්‍යන්තර බාහිර කිසි ම සතුරෙකුට උන්වහන්සේ ව මැඩලිය නො හැකි බවත් ධර්මයේ සඳහන් වේ.

අප මුවින් වදන් භාවිත කළ ද වෙනත් මාධ්‍යයකින් යම් අදහසක් ප‍්‍රකාශ කළ ද එ් සියලූ තන්හි මුල් වන්නේ අප මනස යි. එහි දී යහපත් අරමුණක් ඇතිව කළ සන්නිවේදනයෙන් යහපත් විපාකත්, අයහපත් අරමුණින් කළ සන්නිවේදනයට ඊට අදාළ අයහපත් විපාකත් එ්කාන්තයෙන් ම ලැබෙනු ඇත. මිනිසුන්ගේ රාග-ද්වේෂ-මෝහ ඇවිස්සී යන පරිදි, අන් අයට නින්දා, අගෞරව වන පරිදි නවීන මාධ්‍ය භාවිත කරන්නන්ට ද රැස් වන්නේ කුසල කර්මයක් නම් නො වේ. එයින් සමාජයට ද සිදුවන්නේ අයහපතක් ම ය.

නො කෙලසමු අනෙකාගේ ගෞරවය

අප ශාස්තෘ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ අන් අයට ගෞරව කිරීම ඉහළින් ම වර්ණනා කළ උත්තමයන් වහන්සේනමකි. භික්ෂූන් අතර තවත් අයකු ළාමක කොට අගෞරවය ඇතිවන පරිදි අගුණ කීම ඇවතක් වශයෙන් ද උන්වහන්සේ පනවා වදාළ සේක. වැඩිහිටි, මධ්‍යම, බාල සියලූ භික්ෂූන් අතර භේදයකින් තොරව එකිනෙකාගේ ගෞරවය උන්වහන්සේ අපේක්ෂා කළ සේක. දියුණුව පිණිස එකිනෙකාගේ ගෞරවය ඉතාමත් අත්‍යවශ්‍ය කාරණයක් බව උන්වහන්සේ මැනවින් අවධාරණය කළ සේක. අද ගිහි මෙන් ම පැවිදි සමාජය තුළින් ද ගිලිහී යන්නේ දියුණුව පිණිස ම බුදුරජුන් වදහළ මේ එකිනෙකාට ගෞරව කිරීමේ වටිනා මානුෂීය ගුණධර්මය ම නො වන්නේ ද? මෙයට වගකිව යුත්තේ සන්නිවේදන මාධ්‍යය ද…? දියුණු තාක්‍ෂණය ද…? එය අවභාවිතයට ලක්කරන්නා වූ අනුවණ මිනිසා ද?

ලෝකයේ ගෞරවාන්විත චරිතයන් බවට පත් වන්නේ අන් අයට ද එ් අයුරින් ම ගෞරව දක්වන පිරිස් බව ද මිත්තානිසංස සූත‍්‍රයේ දී ‘‘සක්කත්වා සක්කතෝ හෝති. ගරු හෝති සගාරවෝ.” යනුවෙන් පෙන්වා දුන් උන්වහන්සේ, අනුන්ට සත්කාර කරන්නා තමා කෙරෙහි සත්කාරයට සුදුසු වන බවත්, අන් අයට ගරු කරන්නා, තමා කෙරෙහි ගෞරවයට සුදුසු වන බවත් පෙන්වා දුන් සේක.

එකිනෙකා අතර ඇති ගෞරවාන්විත බව අප විසින් ආරක්ෂා කළ යුතු දෙයකි. එ් ගෞරවාන්විත බව රැකී තිබෙන තුරු සමාජය ලෞකික, ආධ්‍යාත්මික යන අන්ත දෙකෙන් ම දියුණු වී යනු ඇත. යම් දිනෙක, යම් මොහොතක එකිනෙකා කෙරෙහි වන එකී ගෞරවය බිඳ වැටුනේ ද එම මොහොතේ පටන් ඇරඹෙන පිරිහීම ඇස් පනාපිට ම සිදු වන්නකි.

යම් අයෙකු අන්තර්ජාලය හෝ වෙනත් මාධ්‍යයන් හරහා මෙලෙස තවත් පිරිසකගේ ගෞරවය කෙලෙසන්නේ හුදෙක් විනෝදාස්වාදය සඳහා විය හැක. තවත් කෙනෙකු සමාජය තුළ ද්වේෂය වැපිරීමටත්, තවත් කෙනෙකු දේශපාලන හෝ වෙනත් පටු අරමුණු උදෙසාත් එය සිදු කරනවා විය හැක. තවත් අයෙකු තමා සමාජයට යහපතක් කරනවා යැයි සිතා, තමා සමාජ වගකීමක් ඉටු කරනවා යැයි සිතා මුළා වී එය සිදු කරනවා විය හැක. කුමන අරමුණක් ඇතිව එය සිදු කළත් අවසානයේ එයින් සිදුවන්නේ එකිනෙකා අතර ඇති සහෝදරත්වයත්, ගෞරවයත් දෙදරා ගොස් මුළු මහත් සමාජ පද්ධතිය ම පහළට ඇද වැටීමයි. එලෙස ඇද වැටුණු සමාජයක් යළි ගොඩනැගීම කිසිසේත් පහසු කාර්යයක් වන්නේ නැත.

අප විසින් මතක තබාගත යුතු සුවිශේෂී කරුණක් නම් මෙලෙස ලෝකයාගේ අයහපත පිණිස අප භාවිත කරනු ලබන්නේ, ලෝකයාගේ යහපත පිණිස ම භාවිත කළ හැකි සන්නිවේදන ක‍්‍රමයන් බව යි. එසේ අවභාවිත වන්නේ සුභාවිත මාධ්‍යයන් ම බව යි. මේ මාධ්‍යයන් ම භාවිත කරමින් තම ජීවිතවලට පුණ්‍ය ප‍්‍රවාහයන් එකතු කර ගන්නා පිරිස් ද මේ ලෝකයේ සිටිති. ගෞතම බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය ලොවට දායාද කරන්නට මේ සන්නිවේදන මාධ්‍යයන් අපට බොහෝ පහසුවෙන්, දක්‍ෂ ව හැසිරවිය හැකි ය. ලොව පුරා සිදුවන යහපත් දෑ ප‍්‍රචාරය කිරීමට මේ මාධ්‍යයන් අපට භාවිත කළ හැකි ය. නමුත් ස්වල්ප පිරිසක් පමණක් යහපත වෙත මෙම මාධ්‍ය නෞකාව හසුරුවද්දී බහුතර දනා එය අයහපතේ දිශානතියට ම හැසිරවීම අතිශය ශෝචනීය තත්ත්වයකි.

සමාජ ජාලා සහ අපේ වගකීම

මෙහි දී මාධ්‍යයන් අතරිනුත් වඩාත් ම අහිතකර බලපෑම සිදුවන්නේ අන්තර්ජාලය හරහා ය. එයට හේතුපාදක වන කරුණු කාරණා බොහෝ ය. නිර්නාමිකව හෝ ව්‍යාජ නම් භාවිතයෙන් වුව ද ඕනෑ ම කෙනෙකුට තම ශිෂ්ට-අශිෂ්ට, සාධාරණ-අසාධාරණ, හරි-වැරදි, සුදුසු-නුසුදුසු ඕනෑ ම අදහසක් එහි ප‍්‍රචාරය කිරීමට අවකාශ තිබීමයි. සීමා මායිම් පැනවීමකින් තොරව ඕනෑම අසභ්‍ය දෙයක් වුව ද ප‍්‍රචාරය කිරීමේ අවකාශ එහි තිබේ. මෙහි ලා සීලයක් තුළ සංවර වී ඇතිකර ගන්නා ස්වයං පාලනයකින් විනා නීතිවලින් වැට කඩුලූ බැඳ පාලනය කිරීමක් කිසිසේත් ම බලාපොරොත්තු විය නො හැක්කේ ම ය.

නවීන සන්නිවේදන මාධ්‍යයන් හසුරුවන්නන් වශයෙන් අප සැම විසින් අවබෝධ කරගත යුතු කරුණ වන්නේ තමන් වෙත පැවරී ඇති සමාජ වගකීමේ භාරදූර බවයි. සමාජයේ සාරධර්ම ආරක්ෂා කිරීම මාධ්‍යයන් තුළින් සිදුවිය යුතු මෙහෙවරකි. එකිනෙකා අතර ඇති ගෞරවය ආරක්ෂා කිරීමට මාධ්‍ය හසුරුවන්නන් වගබලා ගත යුතු ය. මාධ්‍යයන් අවභාවිතාවට ලක් කරන්නන් හට ඉන් සමාජයට සිදුවන අයහපත පැහැදිලි කොට දී, අකුසලයේ ආදීනව පැහැදිලි කොට දී ඔවුන්ව එයින් මුදවා ගත යුතු ය. මිනිසුන් වශයෙන් අප වෙත පැවරෙන සමාජ වගකීම එය යි. අප හට ලෞකික මෙන් ම ආධ්‍යාත්මික දියුණුවක් සහිත සමාජයක් බලාපොරොත්තු විය හැක්කේ එලෙස කටයුතු කිරීමෙන් පමණි.

බුදුරජුන්ගේ අකාලික අවවාදය

බුදුරජාණන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රයේ දී රාහුල ස්වාමීන් වහන්සේට සිත, කය, වචනය පිරිසිදු කර ගන්නා ආකාරය පිළිබඳ මැනවින් පෙන්වා දුන් සේක. එ් උතුම් අවවාදයට අනුව මාධ්‍යයන් හසුරුවන්නටත්, එ් අයුරින් ම තම කි‍්‍රයාවන් පිරිසිදු කර ගැනීමටත් මෙම ක‍්‍රමය අපි යෝජනා කරන්නෙමු.

එනම්, තමන් යමක් ප‍්‍රචාරය කිරීමට පෙර, ප‍්‍රචාරය කරද්දී හා ප‍්‍රචාරයෙන් පසු යන ත‍්‍රිවිධ අවස්ථාවේ දී ම එය තමන්ට යහපත පිණිස පවතී ද අන් අයට යහපත පිණිස පවතී ද කියා නුවණින් විමසිය යුතු ය. තමාටත් අන් අයටත් යහපත පිණිස පවතින දෑ නැවත නැවතත් ප‍්‍රචාරය කළ යුතු ය. අයහපත පිණිස පවතින දෑ මත්තෙහි ප‍්‍රචාරයට කටයුතු නො කළ යුතු ය.

මේ ආකාරයෙන් කටයුතු කිරීමෙන් පමණක් අපට මාධ්‍යයන් හරහා ලෝකයට යහපතක් කළ හැක්කේ ය. නැතහොත් අපට ද සිදුවන්නේ සමාජය විනාශය කරා රැගෙන යන මාධ්‍ය සංස්කෘතියක නිර්මාපක කොටස්කරුවන් වන්නට ය. අනාගතයෙන් ශාප ලබන ඉතිහාසයක කොටස්කරුවන් වන්නට ය.

ඊනියා මාධ්‍ය නිදහස සඳහා වූ සංදර්ශන පිණිස නොව, සුභාවිත මාධ්‍ය සංස්කෘතියක් ම උදෙසා ලිප්ටන් වට රවුමට එක් වන්නට මේ කාලය යි.

මහාමේඝ 2016 දුරුතු කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
කාලිංග මහානාම