ආදරණීය දුවේ පුතේ,

අද මම ඔයාලට ත්‍යාගශීලී වෙන ආකාරය, එහෙමත් නැති නම් දෙයක් අතහරින්නේ කොහොමද කියල කියන්නම්. අපි යම්කිසි දෙයක් තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීම, නැති නම් අත්හැරීම තමයි ත්‍යාගශීලී වෙනවා කියන්නේ. තෑග්ගක් දෙනවා කියනකොට සාමාන්‍යයෙන් බොහෝ දෙනා හිතන්නේ උපන්දින, මංගල්‍යය, තරග ජය ආදී අවස්ථාවල තමන්ගේ වටිනා දෙයක් පරිත්‍යාග කරනවා කියන එකයි. නමුත් මේ කියන ආකාරයෙනුත් තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් අත්හැරීමක් කරන්නට පුළුවන්.

පින්වත් දරුවනේ, අද සමාජයේ ලොකු කුඩා සෑම දෙනෙක් ම වෙසක්, පොසොන් වගේ ආගමික උත්සවවලදී දන්සැල් දෙනවා. නොයෙක් ආකාරයෙන් පින්කම් කරනවා. විශේෂයෙන් දන්සැල් දෙන්න බොහෝ දෙනෙක් කැමතියි. අපි දැකල තියෙනවා අනුන්ට කරදර හිරිහැර වෙන විදිහටත් ඒ වගේ පින්කම් කරනවා. ඉතින් අනුන්ට කරදර හිරිහැර නොකිරීම ම ත්‍යාගශීලී වීමක්. සමහරු විශාල මුදලක් වියදම් කරල දන්සැල් දුන්නත් අසරණයෙකුට දුගියෙකුට පිහිට වෙන්නේ නෑ, එවැනි අයට පිහිට වීමත් ත්‍යාගශීලී වීමක්. ඒ වගේ ම ක්‍රෝධ කිරීම, අන් අය සමඟ තරහ වීම, සිත රිදවීම වගේ නරක දේ අත්හරින්න ඕන. ඒකත් කෙනෙකුට කරන වටිනා ත්‍යාගශීලී වීමක්. සමහරු ඉන්නවා වැරැද්දකට සමාව දෙන්නේ නැහැ. මැරෙන තුරු සමාව නොදෙන අය ඉන්නවා. වරදකට සමාව දීමත් ත්‍යාගශීලී වීමක්. අද සමාජයේ නිතර දකින්න තියෙන දෙයක් තමයි වාහන තදබදය. පාරෙ ඉඩ ටිකක් දෙන්නේ නැහැ. අනුන් අභිබවා නළා හඬ නංවමින් පාරේ ගමන් යාම සාමාන්‍ය සිරිතක් වෙලා. කිසිම ඉවසීමක් නැහැ. අන් අය කෙරෙහි කරුණාවෙන් ඉවසීම, ත්‍යාගශීලී වීමක්. අද මුදල් නාස්ති කරමින් නිකරුණේ වියදම් කරන අය ඕන තරම්. ඒත් වෛරය අත්හරින, තදබල ආශාවන් අත්හරින අය බොහොම අඩුයි. එහෙම වුණොත් සැනසීම එතන යි. අද බොහෝ දෙනෙකුට තිබෙන බලාපොරොත්තුව තමයි ‘මම කැමති දේ පමණක් විය යුතුයි. අකැමති දේ නොවිය යුතුයි.’ කියන අදහස. මේ අදහසත් අතහරින්න. ඒක ත්‍යාගශීලී වීමක්.

හැමෝම තමන්ගේ ගුණ කියනවා නම් හරිම කැමතියි. පින්කමක දී වුණත් තමන් ව වර්ණනා කළේ නැති නම් හාමුදුරුවො සමඟත් තරහ වෙනවා. එවැනි බොළඳ බලාපොරොත්තු අතහැරීම පරිත්‍යාගශීලී වීමක්.

ආදරණීය දරුවනේ, පාසලේදී වුණත් පන්සලේදී වුණත් වෙන යම් තැනකදී වුණත් තව කෙනෙකුගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් නම් ඒ තමයි උතුම් අතහැරීම. අපේ ජීවිතවල දුක ඇතිකරන, පීඩාව ඇතිකරන දේවල් අත්හරින තරමට තමයි අපේ ජීවිතේ දුක අඩුකර ගන්න පුළුවන් වෙන්නේ. කිසියම් කෙනෙකු කවර දෙයක් වෙනුවෙන් හෝ යම් යහපත් දෙයක් සිදු කළා නම් ඒ කිසිම දෙයක් නිෂ්ඵල දෙයක් වන්නේ නැහැ. ඔබට යහපතක් ම යි සිදු වන්නේ. ඒ ගැන කියවෙන ජාතක කථාවක් තමයි ‘පලාස ජාතකය’. ඔන්න ඒ කතාව අහගන්න.

බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කාලයේ මහා බෝධිසත්වයන් වහන්සේ දේවපුත්‍රයෙකු ලෙස ඉපදුණා. එම දේවපුත‍්‍රයා බරණැස ආසන්නයේ එක්තරා ගසක වාසය කළා.

මේ කාලයේ නුවරවාසීන් දෙවියන් වෙනුවෙන් බිලිපූජා ආදියෙහි යෙදුණු අතර එක්තරා දුප්පත් බමුණෙක් දවසක් පූජාවක් සිදු කරන්න හිතාගෙන ආවා. ඔහු ආවේ උස්බිමක පිහිටි කෑල රුකක් අසලට යි. එහි බිම සමතලා කොට තණකොළ ඉවත් කළ බමුණා එය වටා සුදු වැලි ඇතිරුවා. ඉන් පසු රුක වටා ඇමද සුවඳ මල් පහන් ආදිය පූජා කොට පහන් දැල්වූවා. ඉන් පසු මෙහි සිටින වෘක්ෂ දේවතාවා සැපසේ සැතපේවා යි පතමින් රුක වටා වට කීපයක් ම ගියා. මේ විදිහට දිනපතා ම පැමිණ රුකෙහි දුක සැප බැලු‍වා.

මේ අතර දවසක් වෘක්‍ෂ දේවතාවා මෙහෙම කල්පනා කළා. ‘මොහු හැමදාම මේ ස්ථානයට ඇවිත් මාව සරසනවා. මාව පලඳනවා. මාව රකින මොහු මා විසින් ආරක්ෂා කර ගත යුතුයි. මේ බ‍්‍රාහ්මණයාට උදව් කළ යුතුයි.’ මෙසේ සිතපු රුක් දෙවියා මහලු වේශකින් ඔහු ඉදිරියේ පෙනී සිටියා. “මම දැක්කා ඔබ කිහිප දවසක් මේ කෑල ගසට පුද පූජා පවත්වනවා. මේ කෑල ගසට අනුන් පිළිබඳ කිසිම චේතනාවක් නැහැ. පෙනෙන්නා වූ ගුණයක් ද නෑ. කිසිම දැනගැනීමට පුළුවන්කමක් නැහැ. එහෙම ගසකට ඇයි ඔබ මේ තරම් වන්දනා කරන්නේ? මෙයින් ඔබට ලැබෙන සැප සම්පත වාසිය කුමක් ද?” කියා මහලු බමුණාගෙන් ඇසුවා.

“බමුණ, මේ රුක දිහා බැලූ විට දුර සිටින අයට ඉතා හොඳින් පෙනෙන අතර මෙහි ගුප්ත බවත්, දෙවියන්ගේ වාසයට සුදුසු බවත් මෙයින් දිස්වනවා. එම නිසා මම මේ රුකට නමස්කාර කරමි. ඒ වගේ ම මේ රුකෙහි දෙවියෙකු වෙසෙන්නේ නම් එතුමාණන්ට සිදුවන්නා වූ සම්පත් පුණ්‍ය ලාභය හේතු කොටගෙන ද මාගේ නමස්කාරය, ගෞරවය පුද කරමි.”

මේ කථාව ඇසූ දේවතාවා ඉතාමත් සතුටට පත් වුණා. දිව්‍ය බලයෙන් අහසෙහි පෙනී සිට තමා මේ වෘක්‍ෂයේ සිටින දේවතාවා බව දුප්පත් බමුණාට කිව්වා. “ඔබ මා සමීපයට විත් මේ ස්ථානය ඇමද සුවඳ මල් ආදිය පුදා පහන් දැල්වූවෙහිය. ඒ සියලු කටයුතු මම දුටුවෙමි. එහෙත් මේවා කිසිදු ප‍්‍රයෝජනයක් නැති දේ ය. නමුත් කෙළෙහිගුණයට මම ඔබට උදව් කිරීමට කල්පනා කරමි. ඒ අනුව ඔබට ධනය දෙන්නට සිතුවෙමි.”

මෙසේ කියා තිඹිරි රුක් සමූහයක් පෙන්වා එම ධන නිධානය ලබා දෙන බවත්, ඒවා පරිහරණය කරමින් දන් දී සිල් රැක සුවසේ කල් යවන්නත් කියා රුක් දෙවියා බමුණාට අවවාද දී අතුරුදහන් වුණා.

මේ කථාවෙන් අපට පැහැදිලි වන්නේ අනුන් වෙනුවෙන් කුමන හෝ යහපත් දෙයක් කළා නම් ඒ කාර්යය කිසි දිනක අපතේ යන දෙයක් නොවන බවයි. ඔබත් ඒ අතහැරීම පුරුදු වන්න.

තෙරුවන් සරණයි!

මානෙල් නැන්දා.