තෙරුවන් පිළිබඳ ඇතිවෙන සැකය හෙවත් විචිකිච්ඡාව චිත්ත දියුණුවට මෙන්ම අධ්‍යාත්මික දියුණුවටද පටහැනිව සිටින ප්‍රබල බාධකයකි. ඒ නිසා නීවරණ ධර්මයක් වශයෙන්ද, සංයෝජන ධර්මයක් වශයෙන්ද මේ සැකය පෙන්වා දී ඇත. සැකයට ප්‍රතිපක්ෂව සිටින්නේ ශ්‍රද්ධාවයි. එම නිසා ආකාරවතී ශ්‍රද්ධාව ප්‍රගුණ කිරීමෙන් සැකය දුරුකර ගත හැකිය. ඒ සඳහා තෙරුවන් ගුණ පිළිබඳව යෝනිසෝ මනසිකාරය පුරුදු කළයුතුය.

බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින සැක දුරුකොට බලවත් පැහැදීම දියුණු කරගත හැකි ආකාරය මජ්ක්‍ධිම නිකායේ වීමංසන සූත්‍රයෙහිත් දීඝ නිකායේ සම්පසාදනීය සූත්‍රයේත් විශේෂයෙන් විස්තරකොට ඇත. එමෙන්ම මජ්ක්‍ධිම නිකායේ මහා සීහනාද සූත්‍රය දැන ඉගෙන ගැනීමත් ඉතා අගනේය.

ධර්ම විනය කෙරෙහි තිබිය හැකි සැක පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගැනීමෙන් නැති කරගත හැකි ආකාරය සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් සංයුක්ත නිකායේ කළාරඛත්තිය සූත්‍රයෙහිදී මැනවින් විවරණය කර දක්වති.

අවසාන වශයෙන් සැක මුළුමනින්ම දුරු වී යන නියත මාර්ගය වන්නේ සම්මා දිට්ඨිය ප්‍රගුණ කිරීමයි. ලෝකයා බොහෝ සෙයින් ඇත-නැත යන අන්ත දෙක තුළ හේතු ප්‍රත්‍යයන් සහිතව දුක උපදින ආකාරය, නැතිවෙන ආකාරය නොදැන දුක්ඛ සමුදය තුළම වාසය කරති. නමුත් පටිච්චසමුප්පාද දහම පසක් කරගන්නා තැනැත්තා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මැනවින් දැන ගනියි. ධර්මය මැනවින් දකිනා තැනැත්තාම බුදුරජාණන් වහන්සේවද මනාකොට දැක ගනියි. එමගින් තෙරුවන් කෙරෙහි සැකය මුළුමනින්ම දුරු වී අචල ශ්‍රද්ධාවෙහි පිහිටයි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ඉවසීමෙන් යුතුව ධර්මය පුරුදු කළ යුතුය. කලක් ධර්මය පුරුදු කරගෙන යෑමේදී ධර්මය නිරවුල් වීමෙන් තමා තුළ තියෙන සැක සංකා ක්‍රමයෙන් දුරුවී යනු ඇත.