ඉතා ම කලාතුරකින් සිදු වන  ඕපපාතික උපතක් හැරුණු කොට මනුෂ්‍ය ලෝකයේ උපත සිදු වන්නේ ම මව්කුසිනි. මව්කුසකින් බිහිවන මනුෂ්‍ය වර්ගයාට එ් උපතත් සමඟ ම මව් පාර්ශවයේ ද පිය පාර්ශවයේ ද ඥාති සමූහයක් ඇති වේ. ආයුෂයෙන් වැඞී යත් ම මේ ඥාති වර්ගයා කෙරෙහි යුතුකම්, වගකීම් සමූහයකින් මනුෂ්‍යයෝ බැඳී යති. ඥාති සංග‍්‍රහයේ යෙදීම ලෝකයේ අනවරතව ම පැවත එන්නකි. එ් වනාහී සම්බුදු මුව මඬලින් සුදේශිත උතුම් මංගල කරුණකි.

ඥාතීන් කෙරෙහි ආදර ගෞරව දක්වන්නෝ සෑම කල්හි ම ස්වකීය ඥාති සමූහයාගේ පරම හිතසුව කැමැත්තෝ වෙති. එ් ඥාති සමූහයා සැපෙන්, සුවෙන් වසනු දක්නට කැමැත්තෝ වෙති. තමන්ට හැකි උපරිමයෙන් එ් වෙනුවෙන් ඇපකැප ද වෙති. මේ උදා වූ මැදින් පුන් පොහෝ දිනය ලොව එතෙක් මෙතෙක් සිදු කෙරුණා වූ උත්තරීතර ම ඥාති සංග‍්‍රහය වෙනුවෙන් පියවර නැගුනු දිනය යි. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු පළමු වරට ස්වකීය ඥාති වර්ගයා වෙත වැඩම කරවීම පිණිස ගමන් ඇරඹුවේ අද වන් පුන් පොහෝ දිනයක ය.

‘‘පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලූතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. එ් ගස් බබළනව ගිනි සිළුව වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා !

පින්වත් මුනිඳුනි, දැන් ගොඩාක් සීතලත් නෑ. ගොඩාක් රස්නෙත් නෑ. දීර්ඝ ගමනකට හොඳ සනීප දේශගුණයක් තියෙන්නෙ. ඔබවහන්සේ රෝහිණී ගංගාවෙන් එතෙර වෙලා වඩින කොට බටහිර පැත්තේ ඉන්න ශාක්‍ය කෝලිය වංශිකයන්ට ඔබවහන්සේව දැක බලාගන්ට ලැබේවා!”
(කාළුදායී මහරහතන් වහන්සේ වදාළ ථේර ගාථා)

මේ ඇරයුම පිළිගත් සම්බුදුරජාණන් වහන්සේ එ් ඤති වර්ගයාගේ සුවපත් භාවය පිණිස උපකාර වනු වස් ගමන් ඇරඹූ සේක. එ් ගමනේ කෙළවර ඔවුහු සුගති සැපය ද නිවන් සැපය ද දිනා සියලූ යහපත උදා කර ගත්හ.

මැදින් මසින් පසු එළඹෙන බක් මාසය නැවුම් බවකින් වටපිටාව සැරසී උතුම් ත්‍රෛමංගල්‍යයන් පුද දෙන්නට සූදානම් වන කාල සීමාවයි.  සංස්කෘතිකමය බලපෑම් යටතේ ඇති වූ ප‍්‍රවණතාවයක් ලෙස බක් මාසය වනාහී ශ්‍රී ලාංකිකයන් අති බහුතරය ඤාති වර්ගයා මුණගැසෙන්නට යන්නා වූ උත්සව සමයකි. අන්‍ය සංස්කෘතියක් හරහා අපට උරුම වූ එ් උත්සව සමය අපේ ම සංස්කෘතිය අරුත් ගන්වනු පිණිස යොදා ගැනීමට නො හැක්කේ නො වේ.

බක් මාසය ප‍්‍රණීත ආහාරපානයෙන්, අලූත් ඇඳුමෙන් පැලඳුමෙන් අපගේ ඥාති වර්ගයා සංග‍්‍රහ ලබන කාලය යි. එය එසේ ම වේවා! එ් සංග‍්‍රහය අතික‍්‍රමණය කරන්නා වූ උතුම් ම සංග‍්‍රහයෙන් මෙවර බක් මාසය හැඩ කරන්නට අපට නො හැකි ද?

‘‘මහණෙනි, යම් පිරිසකට අනුකම්පා කරන්නහු නම්, යම් කෙනෙකුත් ඔබගේ වචනයට ඇහුම්කන් දිය යුතු යැයි සිතන්නාහු නම්, මිතුරෝ වෙත්වා, යහළුවෝ වෙත්වා, ඥාතීහු වෙත්වා, ලේ ඥාතීහු වෙත්වා, මහණෙනි, ඔබ විසින් ඒ සියල්ලෝ සතර සෝතාපත්ති අංගයන් තුළ සමාදන් කරවිය යුත්තාහු ය. ඇතුල්කරවිය යුත්තාහු ය. පිහිටුවිය යුත්තාහු ය.”
(මිත්තාමච්ච සූත‍්‍රය – සං. නි. 2)

එ් වනාහී සම්බුද්ධ භාෂිතය යි. තෙරුවන් කෙරෙහි අචල ප‍්‍රසාදයත්, ආර්යකාන්ත සීලයත් අපගේ ඤති වර්ගයා තුළ ද උපදවන්නට සම්බුදු දහම නිර්මලව විරාජිත මේ යුගයේ අපට ද උපකාර කළ හැකි ය. මේ එයට සුදුසු ම කාලය නො වන්නේ ද? අපට එ් උතුම් ඤාති සංග‍්‍රහය මඟ නො හැරේවා!

-මහාමේඝ-