හැට වයස් ඉක්මව සිටිය දී මහමෙව්නාව නම් පුණ්‍ය තීර්ථය මුණගැසීම නිසා අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සත්පුරුෂ ගුරු ඇසුර ලබමින් දහම් පිළිවෙතෙහි යෙදෙන්නට ලද වාසනාව ගැන ජීවිතයේ සැඳෑ සමයේ හිඳිමින් පිය කෙනෙකු සිදු කරන මතකාවර්ජනයකි මේ…

මගේ පියාගේත්, මවගේත් සෙනෙහෙබර සම්බන්ධතාවය නිසා ම මෙලොව එළිය දැකීමට මා වාසනාවන්ත විය. එසේ උපත ලැබීමට මා වාසනාවන්ත වී ඇත්තේ පෙර ජීවිතයක කරන ලද කුසල කර්මයක ප්‍රතිඵලයක් වශයෙනි. කිසිවක් නොදැන මව්කුසට පිවිස, කිසිවක් නොදැන මව්කුසේ වාසය කොට, කිසිවක් නොදැන මව්කුසින් බිහි වී මා ඇති දැඩි විය. අප මව්කුස පිළිසිඳ ගැනීමම කරන ලද කර්මයන් විපාක දෙන අවස්ථාවකි. එසේ කර්ම විපාකයකින් මා ලද මේ ජීවිතයේ වසර දෙකක් පමණ ගත වූ විට මාගේ දයාබර මෑණියන් මිය ගොස් ඇත. ඒ දරුවන් නවදෙනකු ජාතක කළ මගේ සෙනෙහෙබර පියාගේ අන්තිම ජාත දරුවා වූයේ මා ය. ඒ ව්‍යවහාරික වර්ෂ 1937 ජුනි 7දාය. එකල මව්වරු කෙතරම් දරුවන් බිහි කළ ද පවුලේ සමඟියටත්, ආර්ථිකයටත් එය බරක් නොවීය. පවුලක පිරිපුන් බවත්, අලංකාරයත්, සමාජ පිළිගැනීමත් රැඳී පැවතුණේ පවුලේ දරුවන් සංඛ්‍යාව වැඩි වූ තරමට ය. එවැනි පවුලක ඉපදෙන්නට ලැබීම මාගේ කුසල විපාකයකි.

එකල සෑම පසළොස්වක දිනකදී ම ගමේ වැඩි දෙනා කතාබස් කර ගත් පරිදි කල් ඇතිව රාත්‍රී ආහාර පිළියෙළ කොට, සප්පායම් වී, ගිනිහුළු බැඳගෙන, කීපයක් දල්වාගෙන, කිහිපයක් නොදල්වා, තෙල් මල් හඳුන්කූරු රැගෙන සැතපුමක් හෝ සැතපුම් භාගයකට වැඩි දුරක් ඈතින් ඇති ගල උඩ පිහිටි පුරාණ රජ මහා විහාරයට යෑම සිරිතක්ව පැවතිණ. මේ ගමන බොහෝ විට යන්නට තිබුණේ ඇළ, දොළ, කුඹුරු පසු කරගෙන ය. ඒ ගමන කුඩා කල මගේ සිතෙහි වචනයෙන් කිව නොහැකි සුන්දර සතුටක් උපදවාලීය. ‘වෙරලාගල’ නම් වූ මේ කුඩා පන්සල වළගම්බා රජු විසින් කරවන ලද්දක් බවට ජනවහරේ පවතී. රාත්‍රී ගල උඩ පන්සලට යන අප සියලු දෙනා බණ අසා ආපසු නිවෙස් කරා පැමිණෙන්නේ පසුදින හිරු පායන විට ය. මේ සමඟි සම්පන්න ජීවන රටාව තුළ මට මෑණි කෙනෙකු සිටියේ ද යන්න මගේ සිතින් සදහට ම තුරන් විය. අධ්‍යාපනය සඳහා ගමේ පාසලට ගිය මා එහි දී ගත කළේද සුන්දර ජීවිතයකි. කෙසේ හෝ මගේ සෙනෙහෙබර පියාගේ දැඩි වීර්යයත්, උත්සාහයත් නිසා ම මට එකල රජයේ වැදගත් යැයි සම්මතව තිබූ රැකියාවක් ලබා ගැනීමට තරම් උසස් අධ්‍යාපනයක් ලැබීමට හැකි විය. මා සිතන්නේ එය මගේ පෙර කළ කුසල කර්මයක ඵලයක් වන්නට ඇතැයි කියාය. එහෙත් මා උසස් අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල, Christ Church College, නම් වූ මිෂනාරි විද්‍යාලයේ දී ය. එහි අධ්‍යාපන කටයුතු අවසන් කරන තෙක් මට දහම් පද ඇසීමට නොහැකි විය.

මව් නැති වූ දා සිට ම හුදෙකලාව ජීවත් වීමට සිදු වූ නිසාදෝ මට අහිංසක, අවංක, සාධාරණ, යුක්තිගරුක, හොඳ ගුණධර්ම ඇතිකර ගැනීමට හැකි විය. ඒ නිසාම බාහිර සමාජයෙන් ලැබෙන නොයෙක් ආකාරයේ හිංසා පීඩාවන්ට මුහුණ දීමට සිදු වූ අවස්ථා ද අප්‍රමාණ ය. එහෙත් ඒවා පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට තරම් ඥානයක් මට ඇති වූයේ 1999 අගෝස්තු මාසයෙන් පසු ඔබ වහන්සේ විසින් නොකඩවාම පවත්වන්නට යෙදුණ ධර්ම දේශනාවලට සහභාගී වීමෙනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ විසින් සරල සිංහලෙන් තේරුම් කර නොදෙන්නට හුදෙකලා ජීවිතයක් ගත ගත කළ මා තුළ සැඟවී තිබුණු ඒ ගුණධර්ම කෙසේ නම් යළි හඳුනාගන්නට ද?

ඔබ වහන්සේ වඩුවාව පදිංචියට පැමිණි නිසා ම මට බොහෝ පින් රැස් කර ගැනීමට හැකි විය. මහමෙව්නාව අසපුව පොල් අතු පැලකින් ආරම්භ කළ අවස්ථාවේ සිට, ඒ සඳහා වූ සෑම කටයුත්තකදී ම ශ්‍රමයෙන් හා මුදලින් ආධාර කිරීමටත්, සරල සිංහලෙන් ලියූ පොත් පත් කියවා ධර්මය දරා ගැනීමටත් හැකිවූ නිසා ම මට අප්‍රමාණ පිනක් රැස්කර ගැනීමට හැකි විය. ඔබ වහන්සේ වඩුවාවේ අසපුවේ දී ප්‍රථම වරට අඹුසැමි යුවළක් (සුමනසිරි සහ ඔහුගේ බිරිඳ) පැවිදි කළ අවස්ථාවේ දී මටද පැවිද්ද ලබා ගැනීමට සිත් පහළ විය. එහෙත් මගේ ගිහි ජීවිතයේ එවකට පැවති බහුල වූ බාධක නිසා මට එම කුසල අවස්ථාව මඟහැරිණි. එය ද මාගේ අකුසල කර්ම විපාකයක් වශයෙන් සලකමි.

ඔබ වහන්සේ මට මුණගැසුණේ 1999 අගෝස්තු මාසයේ දී ය. ඒ වඩුවාවේ දී ය. මා එවකට වාසය කළේ වඩුවාවේ මගේ බිරිඳගේ නිවසේ ය. ඔබ වහන්සේ වඩුවාවට පැමිණ අපට දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රී මුඛ දේශනය වන, පස්වග මහණුන්ට දේශනා කළ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව යි. ඒ සද්ධර්මය ඇසීමෙන් මගේ සිත ප්‍රබෝධමත් විය. ඒ සිදුවීම මා තුළ ඇති කළේ දිගු කලක් නිදන්ගත ව තිබූ මිල කළ නොහැකි නිදන් වස්තුවක් මතු කර දුන්නා වැනි හැඟීමකි. ඇත්තෙන්ම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නිදන්ගත ව තිබුණි. එය මතුකර දුන්නේ ඔබ වහන්සේ ය. ඒ වන විට මගේ වයස අවුරුදු 63කි. රැකියාවෙන් විශ්‍රාම ලබා වසර අටක් පමණ ගත වී තිබුණි. දිගින් දිගටම ඔබ වහන්සේ ඇසුරෙහි ගත කිරීමට හැකි වූ නිසාම මාර තර්ජනවලින් බේරී සිටීමට හැකි වූ අවස්ථා ද කිහිපයකි. ඉන් එක් අවස්ථාවක් පමණක් මෙසේ විස්තර කරමි.

ඒ 2003 වසරේ අගෝස්තු පළමුවැනිදා ය. සැමදා පාන්දර අවදි වී පොත්පත් කියවීම මාගේ පුරුද්දකි. එදින පාන්දර අවදි වී ඔබ වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කළ මජ්ක්‍ධිම නිකායේ පළමු කොටසට අයත් මහා සාරෝපම සූත්‍ර දේශනය කියවීමි. එය කියවා අවසන් වී නිවසින් එළියට පැමිණි විට දක්නට ලැබුණේ හිරු හොඳින් පායා ඇති බවකි. එය දකින විටම මගේ සිහියට ආවේ ඊට පෙරදා මා විසින් කරන ලද වැඩ කටයුත්තකි. එනම්, ඉඩමේ වැට මායිම කොන්ක්‍රීට් කණු සිටුවා කම්බි ගැසීම ය. එදා රාත්‍රිය මුළුල්ලේ ම තද වැස්ස නිසා මේ කම්බි කණුවලට කුමක් සිදුවී ඇද්දැයි සොයා බැලීමට සිත් විය. මම ඉක්මනින්ම ඒවා බැලීම සඳහා දෑත් පිටුපසට බැඳගෙන වැට මායිම කෙළවරේ සිට එක් එක් කම්බි කණුව බැගින් පරික්ෂා කරමින් ඉදිරියට පැමිණියෙමි. කම්බි කණු කිහිපයක් පසු කරන විට එක්වරම වැට මායිමේ තිබූ අඩි පනහක් හැටක් පමණ උස් වූ පොල් ගසකින් අමු පොල් ගෙඩියක් නටුවෙන් ගිලිහී අවුත් දෑත් පිටුපසට බැඳගෙන සිටි මගේ වම් උරපත්ත මත පතිත විය. මා ආපසු හැරී බැලුවේ මගේ උරපත්තට තදින් පහරක් එල්ල කළේ කවුදැයි කියාය. එවිට මා දුටුවේ උරපත්ත උඩට වැටුණු පොල් ගෙඩිය කම්බි වැටෙන් එහාට විසි වී අල්ලපු ඉඩමේ ඇළකට වැටෙන අයුරු ය. මා වටපිට බැලුවේ කවුරුන් හෝ මේ සිදුවීම දුටුවා ද කියාය. එහෙත් කිසිවෙකුත් පෙනෙන්නට නොසිටි නිසා වැටෙන් රිංගා අමු පොල් ගෙඩිය රැගෙන විත් මගේ බිරිඳ අතට දී සිද්ධිය පැවසූ විට ඇය විස්මයට පත් වූවා ය. ඒ සිද්ධිය වන මොහොතේ මගේ සිත රැඳී තිබුණේ මහා සාරෝපම සූත්‍රයෙහි ය. මට කිසිදු හානියක් සිදු නොවීය. මගේ බිරිඳට මා පැවසුවේ විස්මයට පත් විය යුත්තක් නැති බවත්, එවෙලේ මගේ සිත ශ්‍රී සද්ධර්මය තුළ පැවති බවත් ය. අහෝ ශ්‍රී සද්ධර්මය කෙතරම් ආශ්චර්ය ද? කෙතරම් නම් ආරක්ෂාවක් සපයන්නේ ද?

මේ පද ගැළපීම කළේ මගේ කල්‍යාණමිත්‍ර වූ ඔබ වහන්සේට කෘතගුණ පූජාවක් වශයෙනි. දැන් මගේ වයස අවුරුදු 84කි. මාරයා මා ලුහුබඳිමින් සිටියි. මෙවැනි හෝ කෘතගුණ පූජාවක් කර ගැනීමට ඉඩ නොතබා, කැඳවා යාමට පෙර ඔබ වහන්සේගේ දෙපා නැමද මෙය පුද කරමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා!