ඉට්ලි, තෝසේ, උළුඳු වඩේ හා මසල වඩේ ආදී කෑම මතක් වෙද්දි ලංකාවේ කවුරුත් දෙමළ කඩයක් තියෙන්නේ කොහේද කියලා හොයලා යන එක කාගෙත් සිරිතකි. සයිවර් කඩේක සම්බාර් හොදි හා චට්නි එක්ක රස බැලූ කොයි කවුරුත් එහි තිබෙන ප්‍රණීත බව නිසා ම දෙමළ කඩයක් ම සොයති. ඒ වගේම දෙමළ සංස්කෘතියට ම අදාළ තැටිය හා ස්ටීල් කප් එකට බොහෝ දෙනා ආදරය කරති.

සිංහල අය ද තෝසේ වඩේ ආදිය සකස් කළ ද බොහෝ දෙනෙක් නියම රසයෙන් යුතු රතු පාට හෝ කොළ පාට පැහැයෙන් යුතු තෝසේ සම්බෝලය සෑදීමට නොදන්න බව නම් ප්‍රකට කරුණකි. ඉතින් අද අපි සූදානම් වෙන්නේ සයිවර් කඬේ රසට ම කොහොමද මේ චට්නි එක හදන්නේ කියලා ඉගෙන ගන්නයි.

පොල් බෑයක ප්‍රමාණයේ පොල් කොටසකට අවශ්‍ය වන පරිදි ද්‍රව්‍ය පහතින් දැක්වේ;

1. උඳු ඇට මේස හැඳි 1
2. කඩල පරිප්පු ඇට මේස හැඳි 1
3. කොළ පැහැයට සම්බෝලය සාදයි නම් අමුමිරිස් කරල් 10 ක් පමණ. රතු පැහැයට සම්බෝලය සාදයි නම් වියළි මිරිස් කරල් 10 ක් පමණ.
4. හිංග් (පෙරුම්කායම්)
5. සියඹලා මේස හැඳි 2ක් පමණ. සියඹලා ටික පොඩි කප් එකකට දමා සියඹලා වැහෙන මට්ටමට උණු වතුර දමන්න. විනාඩි කිහිපයක් තැම්බෙන්න ඉඩ හරින්න. හැන්දක් ගෙන හොඳින් කලතා සියඹලා ඇට ඉවත් කරගන්න. එවිට හොඳ උකු ගතියකින් සියඹලා පේස්ට් එකක් ලැබේ.
6. පොල් බෑයක ගාගන්නා ලද පොල්
7. පොල් තෙල් මේස හැඳි 3ක් පමණ
8. ලුණු තේ හැඳි 2ක් පමණ (අවශ්‍ය පරිදි අඩු වැඩි කරගන්න.)

තෙම්පරාදුව සඳහා :-

1. පොල්තෙල් මේස හැඳි 2ක්.
2. හීනිය ලියාගත් රතුළුෑණු මිටක් පමණ
3. අබ තේ හැන්දක්
4. කෑලි මිරිස් තේ හැන්දක්
5. කරපිංචා ඉත්තක්

මුලින් ම අප කළයුත්තේ පොල් බෑයක ප්‍රමාණයේ පොල් දැමිය හැකි තාච්චියක් ගැනීමයි. එසේ සපයාගත් තාච්චිය ලිප මත තබා ලිප දල්වන්න. මඳක් තාච්චිය රත් වූ පසු පොල් තෙල් මේස හැඳි 3 දමන්න. තෙල් ටික රත් වූ පසු කඩල පරිප්පු ටික තාච්චියට දමන්න. ඉන් පසු උඳු ඇට ටික දමන්න. මඳක් රන් පැහැයට හුරුවන තෙක් බැදගන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබන්න.

මෙසේ කඩල පරිප්පු හා උඳු ඇට ටික බැදුණු පසු හිංග් (පෙරුම්කායම්) කුඩු දමන්න. හිංග් කුඩු සිංහල බෙහෙත් බඩු කඩවලින් මිලදී ගත හැක. නැතිනම් පෙරුම්කායම් ද ගත හැක. හිංග් එකතු කළ පසු මිරිස් කරල් ටික එකතු කළයුතුය. මෙහිදී කොළ හෝ රතු වර්ගයට අදාළව තමාට කැමති පරිදි අමු මිරිස් හෝ වියළි මිරිස් කරල් දැමිය හැක. මිරිස් කරල් ටික මඳක් තෙලේ බැදෙන්න ඉඩ හරින්න.

යාන්තම් තෙලෙන් මිරිස් කරල් ටික බැදුණු පසු සාදාගත් සියඹලා පේස්ට් එක එකතු කරන්න. හොඳින් කවලම් කරමින් බුබුළු දමන තෙක් තෙම්පරාදු කරගන්න.

මෙසේ සියඹලා පේස්ට් එක තෙම්පරාදු වූ පසු ලිප නිවා දැමිය යුතුය. ඉන් පසු ගාගත් පොල් ටික එම තෙම්පරාදුවට දමා මිශ්‍ර කළයුතුය. එසේ හොඳින් මිශ්‍ර කර පසෙකින් තබාගන්න.

මීළඟට අප කළයුත්තේ තෙම්පරාදුව සකසා ගැනීම ය. මේ සඳහා අවශ්‍ය පරිදි වෙනත් තාච්චියක් ගෙන ලිප මත තබා පොල් තෙල් මේස හැඳි 2ක් දමා රත්කර ගන්න. තෙල් රත් වූ පසු කරපිංචා කොළ දමන්න. එය යාන්තම් බැදුණු පසු කපාගත් රතුළුෑණු ටික දමන්න. රතුළුෑණු ටික බැදුනු පසු කෑලි මිරිස් ටික දමන්න. බැදුණු පසු අබ ඇට ටික දමා අබ පුපුරන තෙක් තෙම්පරාදු කරගන්න. මෙසේ හොඳින් තෙම්පරාදු කරගත් පසු ලිපේ ගින්දර නිවා දමන්න.

කලින් සකසා ගත් තෙම්පරාදු පොල් මිශ්‍රණය බ්ලෙන්ඩර් එකකින් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මිශ්‍රණයට අවශ්‍ය පරිදි වතුර එක් කළයුතුය. කෑලි ටික හොඳින් පේස්ට් වන තෙක් ජලය දමා බ්ලෙන්ඩර් කරගන්න. මේ අතර වාරයේ ලුණු තේ හැඳි 1½ පමණ දමන්න. ලුණු මඳි නම් අවශ්‍ය පරිදි ලුණු එක් කරගන්න. මෙසේ සකසා ගත් මිශ්‍රණය දීසියකට දමන්න. කලින් අප සකසා ගත් අබ තෙම්පරාදුව දැන් මිශ්‍ර කරන්න.

හොඳින් මිශ්‍ර වූ පසු අලංකාර රසවත් චට්නි එකක් ඔබට රස විඳිය හැක. ඔබ කැමති වර්ණයෙන් මේ ක්‍රමයට සාදා ඉට්ලි, තෝසේ හෝ වඩේ ආදිය සමග අමතක නොවන රසයක් ඔබට හා ඔබේ පවුලේ අයට අත්විඳිය හැක. අන් අයටත් රසට කෑම හදලා දෙන්න. සංඝයා උදෙසා ද හීල දානයකට පූජා කරගැනීමට ප්‍රණීත දානයකි. ප්‍රණීත දේ පූජා කොට මහත් වූ පින් ඵල රැස්කරගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!
ඔබේ හිතාදර
අෂාන් ඉමල්ක