ලක්දිව රුහුණු ජනපදයෙහි පර්වත නම් විහාරයක් විය. එහි මහා සංඝ සමූහයක් වාසය කරති. එක් දිනක් ජනපදවාසී මිනිස්සු සියතින් දන් දෙනු කැමතිව විහාරයේ සියලු සංඝයාට ආරාධනා කළහ. සංඝ ස්ථවිරයන් වහන්සේ “සියලු භික්ෂූන්ට ආරාධනා කරන ලද නිසා විහාරයෙහි බත් නොපිසව්” යයි ආරාමයෙහි උපස්ථායකයන් වැළැක්වී ය. පියංගුදීපවාසී භික්ෂු දෙනමක් සැමදාම දන් වළඳන කාලයෙහි ඒ විහාරයට එති. ඒ දෙනම ඒ දිනෙහි ආහාර නොලැබූහ. මේ පාප කර්මය හේතුවෙන් සංඝ ස්ථවිරනම කළුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නේ ය.

එක්තරා පිණ්ඩපාතික භික්ෂුනමක් මෛත්‍රී විහරණ ඇතිව බෝපිටි දනව්වේ වනයක වාසය කරයි. ඒ ප්‍රේතයා සා පිපාසාවෙන් පීඩිත ව ඒ තෙරුන් කරා එළඹ වැඳ නුදුරු තැන සිටියේ ය. ඔහු දැක තෙරනම “විරූපී වූ අමනුෂ්‍යයෙක් වන තාගේ ශරීරය බිය එළවන සුලු ය. දුර්ගන්ධය ඇත්තේ ය. ඇටසැකිල්ලක් බඳු ය. මෙහි සිටින තොප කවරෙක්දැ?” යි විචාළේ ය. “විහාරයන්හි අධිපති සංඝ ස්ථවිරනමක් ව සිටි ඒ තෙරුන් ඔබ හඳුනති. ඒ තෙරනම මිනිස් ලොවින් චුත වී මෙහි උපන්නේ ය.” යි ප්‍රේතයා කී ය. “මේ තෙරුන් වහන්සේ මම හඳුනමි. එතුමා බහුශ්‍රැත සිල්වතෙකි. එවැනි සිල්වතුන් දුගතියකට නම් නොයයි.” තෙරනම කීහ. “එසේ සිල්වත් වුවත්, උගත්කම් ඇතත් එක වචනයක් වරද්දා ගැනීමෙන් මම ප්‍රේතලෝකයට පැමිණියෙමි.” යි ප්‍රේතයා කී ය. “ඒ තෙරුන් කුමන වචනයක් වරද්දා ගත්තා ද මම දැනගන්නට කැමැත්තෙමි. එය මට කියව.”

“බෝපිටිය ගමෙහි මිනිස්සු එක් වී දන් දීමට කැමැත්තෙන් සියලු භික්ෂූන්ට ආරාධනා කළහ. එම නිසා එදින ආරාමයෙහි දන් පිළියෙල කිරීම වැළැක්වූයෙමි. එම හේතුවෙන් දිනපතා විහාරයට වඩින පුවඟු දිවයින් වැසි භික්ෂු දෙනමට දානය නැතිව ගියේ ය. බත් අවශ්‍ය භික්ෂූන්ගේ බත වැළැක්වූ හෙයින් අද මම සාපිපාසාවෙන් සැමතැන ඇවිදිමි. ස්වල්පයක් වුවත් සංඝ ලාභයකට අනතුරු නොකළ යුතු ය. එහි විපාක අනන්ත ය. මම සලකා නොබලා එක් වචනයක් වරද්දා කීමෙන් මෙවැනි දුකකට පත් වීමි. ස්වාමීනී මා දැක සංවේගයට පත් වනු මැනවි. දන් දීම ආදිය නොවළක්වනු මැනවි.” යි ප්‍රේතයා කී ය.

“ඔබට මා කුමක් කළ යුතු ද? කෙසේ ඔබ නිදහස් කරන්නෙම් ද? මම තුනුරුවන්ට පූජා පවත්වන්නෙමි” යි තෙරුන් වහන්සේ කීහ. “යම් කාලයක මේ පර්වතය හාත්පස පොළොව උස් වී ගැල් ගමන් කරන මාර්ගයක් වන්නේ නම් එකල මම මෙයින් මිදෙන්නෙමි. දුකට පත් මා දැක ඔබවහන්සේ ගොස් ‘අප්‍රමාදයෙන් හැසිරෙව්, සඟ සතු දෙයින් බියපත් වෙත්වා’යි භික්ෂූන්ට කියනු මැනව” යි ප්‍රේතයා කීවේ ය.

ඒ ප්‍රේතයාගේ කීම අසා පිණ්ඩපාතික තෙරුන් වහන්සේ විහාරයට ගොස් භික්ෂූන්ට මේ ප්‍රවෘත්තිය කීහ. එය ඇසූ භික්ෂූහු බියට හා සංවේගයට පැමිණ සංඝ ලාභයට අන්තරාය කිරීමෙන් වැළකී අප්‍රමාදී වූහ. රෝහණ පර්වතයෙහි තෙරනම මෙසේ ව්‍යසනයට පත් වූ බව ඇසූ ධර්මප්‍රීති ඇති භික්ෂුවට අනල්ප භය ඇති විය.

ඇසුර – සීහළවත්ථු ග්‍රන්ථය
සටහන – ජේ. එම්. මානෙල් පොඩිමැණිකේ