මහා සාගරය පරදවන අනන්ත ගුණ කඳකින් යුක්ත වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයේ බ්‍රාහ්මණ ප්‍රේතයන් දෙදෙනෙකු උපමා කරගෙන මෙම කථා පුවත වදාළ සේක.

සත් හැවිරිදි වයස් වූ සංකිච්ච සාමණේරයන් වහන්සේ කරගෙයිදී ම අරහත්වයට පත්ව තිස් නමක් පමණ වූ භික්ෂු පිරිසක් සමඟ අරණ්‍යයක වැඩ වාසය කරන සේක. එකල සොරුන් පන්සියයකගෙන් එම භික්ෂු පිරිසට එල්ල වූ මරණය වළක්වා එම සොරුන් ද හික්මවා පැවිද්ද ලබාදී බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කළ සේක. ශාස්තෘන් වහන්සේ එම භික්ෂු පිරිසට ධර්මය දේශනා කළ අතර දේශනාව අවසානයේදී භික්ෂූන් වහන්සේලා අරහත්වයට පැමිණියෝය.

විසි වයස් සම්පූර්ණ වූ සංකිච්ච සාමණේරයන් වහන්සේ උපසම්පදාව ලබා එම පන්සියයක රහත් භික්ෂූන් සමගින් බරණැසට ගොස් ඉසිපතනාරාමයෙහි වැඩ වාසය කරන්නට යෙදුනි. උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණයෙන් පැහැදුනු සිත් ඇති මිනිස්සු වීදි පිළිවෙළින් බෙදාගෙන දන් පූජා කරන්නට වූහ. ඔවුන් අතර සිටි එක්තරා උපාසකයෙක් නිතර දන් පැන් පූජා කිරීමෙහි යෙදුනු අතර මිනිසුන්ව ද ඒ සඳහා නිතර උනන්දු කළේය.

බරණැස් නුවර එක්තරා මිථ්‍යාදෘෂ්ඨික බමුණෙකු හට පුත්‍රයන් දෙදෙනෙක් සහ එක් දියණියක් ද වූහ. බමුණු පවුලේ වැඩිමල් පුත්‍රයා දන් පැන් පුදන උපාසකයාගේ මිත්‍රයෙකි. එම උපාසකතුමා තම මිත්‍රයා කැඳවාගෙන සංකිච්ච තෙරුන් වහන්සේ සමීපයට ගියේ ය. උන්වහන්සේ බමුණා හට ධර්මය දේශනා කළ සේක. එවිට ඔහුගේ සිතේ දැඩි ගති පහව ගොස් මෘදු සිත් ඇති විය. එවිට උපාසකතුමා “ඔබ එක් භික්ෂූන් වහන්සේ නමකට නිතර දන් දෙන්න” යැයි පැවසීය.

“ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට දන් දීම බ්‍රාහ්මණ අප විසින් පුරුදු කර නොමැත. එම නිසා මම දන් නොදෙමි” යි බ්‍රාහ්මණ තරුණයා පිළිතුරු ලෙස කීය.

“කුමක් පවසන්නේද? එසේ නම් ඔබ මා හට වත් බත් පතක් නොදෙන්නේද?” උපාසකතුමා තරුණයාගෙන් විමසීය.

“කෙසේ නම් ඔබට නොදී ඉන්නද?”

“එසේ නම් මට යම් දානයක් දෙන්නට ඔබ කැමතිද, එය භික්ෂූන් වහන්සේ නමකට පූජා කරන්න”

බමුණු කුමාරයා එයට කැමති විය. පසු දින උදෑසන විහාරයට ගොස් එක් භික්ෂූන් වහන්සේ නමක් වැඩමවාගෙන විත් දන් පූජා කළේ ය. කලක් ගත වන විට භික්ෂූන් වහන්සේලාගෙන් ධර්මය අසා යහපත් ප්‍රතිපත්ති කෙරෙහි පැහැදී ඔහුගේ බාල සොහොයුරා සහ නැගෙණිය ද බුද්ධ ශාසනයෙහි ඉතා ප්‍රසන්න ලෙස පින් රැස්කර ගත්හ. මෙසේ ඔවුහු තිදෙනා හැකි අයුරින් දන් පැන් පූජා කරමින්, මහා සංඝරත්නය විෂයෙහි පිනෙහි අප්‍රමාදී වූහ.

ඔවුන්ගේ දෙමව්පියන් තුළ ශ්‍රද්ධාවක් නොතිබිණි. තුනුරුවන් කෙරෙහි ප්‍රසාදයක් ද නොවීය. මහණ බමුණන් හට ගෞරවයක් හෝ පින් කිරීමට ඇති කැමැත්තකින් ද තොරය. ඔවුන්ගේ දියණිය විවාහ කර දීමට නියම කරගෙන සිටි ඥාති තරුණයා ද සංකිච්ච තෙරුන් වහන්සේගෙන් ධර්මය අසා පැවිදි දිවියට ඇතුලත් වී සිටියේ ය. එම අලුත පැවිදිව සිටි ස්වාමීන් වහන්සේ නිතර එම නිවස වෙත පිණ්ඩපාතය පිණිස වැඩම කරයි. එවිට මෑණියන්, ස්වාමීන් වහන්සේගේ සිතෙහි විවාහ ගිවිසගෙන සිටි තරුණිය කෙරෙහි ලෝභ සිත් ඇති වීමට අවශ්‍ය කරුණු සකස් කරවයි. එම හේතුව නිසාම ස්වාමීන් වහන්සේ පැවිදි දිවියෙන් සමු ගැනීමට තීරණය කර ඒ බව උපධ්‍යායන් වහන්සේ වෙත දැනුම් දුන්නේ ය.

ස්වාමීන්වහන්සේ ඔහුගේ හේතු සම්පත් දැක “සාමණේරය, මසක් පමණ බලාපොරොත්තු වන්න” යැයි පැවසීය. මස ඉක්ම යාමෙන් අනතුරුව විමසූ විට “නැවත අඩ මසක් බලාපොරොත්තු වන්න” යි කීය. අඩමස ඉක්ම ගිය කාලයේදී “සත් දවසක් ඉවසන්න” යි කීවේය. එම සාමණේරයන් වහන්සේ ද එය පිළිගත් සේක.

එම සත්දවස ගෙවී යත්ම සාමණේරයන්ගේ නැන්දණියගේ නිවස සුළං සහිත වැස්සෙන් කඩා වැටුණේය. එහි වාසය කළ බමුණා ද බැමිණිය ද පුත්‍රයන් දෙදෙන සහ විවාහ වීමට සිටි දියණිය ද ගෙයට යටවී මරණයට පත්වූහ. ඔවුන් අතරින් බ්‍රාහ්මණයා සහ බැමිණිය ප්‍රේත ලෝකයෙහි උපත ලදහ. පුතුන් දෙදෙනා සහ දියණිය භූමාටු දෙවියන් අතර උපත ලැබීමට භාග්‍යවන්ත විය.

එම පවුලේ වැඩිමල් පුතණුවන්ට ඇත් යානාවක් පහළ විය. ඔහුගේ සහෝදරයාට වෙළඹුන් යෙදූ දිව්‍යමය අශ්ව රථයක් ද දියණියට රන් සිවි ගෙයක් ද ලැබිණ. ප්‍රේත ලෝකයේ උපන් ඔවුන්ගේ මව්පිය දෙදෙන විශාල මුගුරු ගෙන එකිනෙකාට පහර දී ගනිති. මුගුරු පහර වැදුන ස්ථාන විශාල ගෙඩි හටගෙන මොහොතකින් පැසවා පුපුරයි. එම දෙදෙන එකිනෙකා කෙරෙහි ක්‍රෝධයෙන් පරුෂ වචනයෙන් තර්ජනය කරමින් එම අපද්‍රව්‍ය ආහාර ලෙස ගත්තද තෘප්තියක් නම් නොලබති.

මේ කිසිවක් නොදත් සාමණේරයන් වහන්සේ මා හට නිවසට යාමට අවසර දෙනු මැනවයි උපධ්‍යායන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියේ ය. උපධ්‍යායන් වහන්සේ හිරු බැසගිය පසු රාත්‍රි කාලයක සාමණේරයන් කැඳවාගෙන ඉසිපතනාරාමයෙහි පිටුපස මඳ දුරක් ගොස් රැඳී සිටියේ ය. එවිට එම මාර්ගයෙන් දෙව් පුතුන් දෙදෙනා සහ නැගෙණිය යක්ෂ සමාගමට සම්භාවනා කිරීම සඳහා ගමන් කරති. ඔවුන්ගේ මව්පියෝ පරුෂ වචනයෙන් කෑ ගසමින් හෙණ වැදීමෙන් පිළිස්සී ගිය තල් කඳන් හා සමාන කාළ වර්ණ ශරීර ඇතිව, වැගිරුණු රුධිරය සහිත අවුල් වී ගිය හිස කෙසින් යුත් බියකරු දර්ශනයක් සහිතව එම දිව්‍ය පුත්‍රයින් ලුහුබැඳ යති. එවිට සංකිච්ච රහතන් වහන්සේ ඉර්ධි බලයෙන් සාමණේරයන් වහන්සේ හට ඒ සියලු දර්ශන ඒ අයුරින්ම දක්නට සැලැස්වීය. එවන් විපාකයන් ලැබීම පිණිස පෙර අත්බවයේදී කළ කී දේවල් ඔවුන්ගෙන් විමසා සිටින්නට යැයි සාමණේරයන් හට දන්වා සිටි සේක.

“සියල්ලට පළමුවෙන් සුදු පැහැ හස්ති රාජයෙකු යෙදූ රථයක දෙවියෙක් යයි. මැද අස්වෙළඹුන් යෙදූ රියක තවත් දිව්‍ය පුත්‍රයෙකි. පසුව හාත්පස සියල්ල ශරීරයෙන් විහිදෙන රැස් දහරින් ද දිව්‍ය වස්ත්‍ර වල ආලෝකයෙන් ද බබුළුවමින් සිවි යානයෙන් දෙවඟනක් ගමන් කරයි. නුඹලා මුගුරු අත් ඇතිව තුවාල වී ගිය සිරුරින් යුක්තව එකිනෙකාගේ රුධිරය පානය කරන්නාහු ය. මනුෂ්‍ය වූ කාලයේ කිනම් අකුසලයක විපාකයක් ද මේ?”

“ශ්වේත වර්ණ ඇත් යහනින් යන දිව්‍ය පුත්‍රයා අපගේ වැඩිමල් පුත්‍රයා වෙයි. ඔහු දන් දී සුවපත් වී දැන් සතුටු වෙයි. අස් වෙළඹුන් සිව් දෙනෙකු සහිත රථයේ සුන්දර ගමනින් යන දිව්‍ය පුත්‍රයා අපගේ දෙවන පුත්‍රයාය. ඔහු නොමසුරුව දාන වස්තුව දුන් බැවින් දැන් බබළයි. මුව දෙනෙක මෙන් ස්වල්ප වශයෙන් ඇසිපිය හෙළන දෙවඟන රන් සිවි ගෙයක ගමන් ගනී. ප්‍රඥාවන්ත වූ එම ස්ත්‍රිය අපගේ බාල දුව වෙයි. ඇය තමාගේ ආහාරයෙන් අඩක් දන් දී දැන් සුවපත් වී සතුටු වෙයි.

මොවුහු තිදෙන මහණ බමුණන් කෙරෙහි පහන් සිත් ඇතිව දන් පැන් පූජා පැවැත්වූහ. අප දෙදෙන ලෝබයෙන් ශ්‍රමණ බමුණන්ට අපහාස කළෙමු. අප විසින් ඒකාන්තයෙන් කුසල් නොකරන ලද්දේය. අකුසල් කරන ලද්දේය. අපි බොහෝ කාලයක් මේ කටුක අපායික දුක් අනුභව කරන්නෙමු.

ධන ධාන්‍ය, වස්තුව ආදී සියල්ල අනිත්‍යය. මෙලොව මනුෂ්‍යයන්ගේ ජීවිත ද අනිත්‍යය හ. මේ බව අවබෝධ කරගන්නා ප්‍රඥාවන්ත පුරුෂයා පරලොවදී තමාට හිත සුව පිණිස පවතින පින් කරන්නේ ය.”

මෙසේ සාමණේරයන් විමසන විට එම ප්‍රේතයෝ ඔවුන්ගේ කථා ප්‍රවෘත්තිය කියා “අපි නුඹ වහන්සේගේ නැන්දා සහ මාමා වෙමු” යි පැවසූහ. එම පුවත ඇසූ සාමණේරයන් වහන්සේ ශාසනයෙහි කලකිරීම දුරුකොට ශාසන බ්‍රහ්මචර්යාවෙහි යෙදී නොබෝ කලෙකින්ම අරහත්වයට පත්වූහ. සංකිච්ච රහතන් වහන්සේ මෙම කථා පුවත භාග්‍යවතුන් වහන්සේට සැළ කර සිටියේ ය. බුදුරජාණන් වහන්සේ එම පුවත අර්ථය ලෙස ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශණා කළ සේක. එය බොහෝ පිරිසකට ධර්මාවබෝධය පිණිස හේතු විය.

එක පවුලේ විසූ පස්දෙනා අතරින් මිථ්‍යාදෘෂ්ඨික වූ මව්පිය දෙදෙන මරණින් මතු ඉතා බියකරු උපතකට ගමන් කළහ. උපාසකතුමාගේ කල්‍යාණ ඇසුරෙන් සහෝදරයෝ තිදෙන සම්මා දිට්ඨියට පැමිණ දිව්‍ය උපත ලැබීමට වාසනාවන්ත වූහ. උපධ්‍යායන් වහන්සේගේ අවවාදයෙන් සාමණේරයන් වහන්සේ වැටෙන්නට තිබූ විපතින් මිදී නිකෙලෙස් වූ අයුරුත් පෙන්වන මෙම කථාවෙන් සසර දුකින් මිදීමට අප්‍රමාදයේ අගය මොනවට පැහැදිලි කරන්නේය.

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය
සටහන – හර්ෂ නිලංක පෙරේරා