වර්තමාන ලංකාවේ ඇති වී තිබෙන නව කොරෝනා වසංගතයට අවාසනාවකට මෙන් ලාංකික අපට දැඩිව මුහුණ දීමට සිදු ව තිබේ. මේ නිසා වෙනදාට වඩා සෞඛ්‍යමත් පුරුදුවලට දැඩි අවධානයක් යොමු කොට අපගේ එදිනෙදා කටයුතු කර ගෙන යාමට සිදු වී ඇත. විවේක අවස්ථාවක් ලද වහාම තම ඥාතීන් සමඟ හෝ හිතවතුන් සමඟ හෝ විනෝද ගමන් යාමට හා වන්දනා ගමන් යාමට බොහෝ දෙනෙක් පුරුදු ව සිටියහ. ඒ වගේම මඟතොටේදී විවිධ කෑම කඩවලින් කෑම රසවිඳීමට ද බොහෝ දෙනා රුචි කළෝය. නමුත් මේ වසංගතය නිසා විශ්වාසනීය ආකාරයට පිටස්තර තැන්වලින් කෑම ගැනීම අවදානම් සහගත ය. ඉතින් අද අප කියා දෙන්න යන්නේ මඟතොටේදී ආහාරයට ගැනීමට වගේම දානයකට පවා සාදා පූජා කර ගැනීමට පහසු ඉතා රසවත් කෑමක් ගැනයි. ඉක්මනින් නරක් නොවන නිසා ගමන් යෑමේදී බඩගින්න නිවා ගැනීමට අපූරු කෑමකි. ඒ වගේම වැඩිය ඉඳුල් අතේ නොතවරාගෙන දෑත් ඉක්මනින් පිරිසිදු කරගන්නත් පුළුවනි. රසය මෙන් ම පෝෂ්‍යදායක කෑමක් නිසාත්, පාන් පිටි කෑමවලින් ඇතිවන විවිධ අතුරු ආබාධ නැති වීම නිසාත් කොයි කාටත් සැනසිලිදායක හොඳ ආහාරයකි මේ මඤ්ඤොක්කා පැටි. (Cassava patty)

මේ මඤ්ඤොක්කා පැටි (Cassava patty) short eats සඳහා හොඳ ආදේශකයකි.

මේ සඳහා අවශ්‍ය දෑ මොනවා දැයි කියා බලමු.

1. මඤ්ඤොක්කා 1kg පමණ අලයක් හෝ දෙකක්
2. පොඩි සැමන් ටින් එකක් (ඔබ vegetarian නම් සැමන් නැතිව ද සාදාගත හැකිය.)
3. සුදුලූනු බික් 4 හෝ 5 ක්
4. කරපිංචා ඉති 2 ක්
5. අමු මිරිස් හෝ කොච්චි මිරිස් කරල් 2ක්
6. බී ලූනු ගෙඩියක්
7. තරමක ලීක්ස් ගසක්
8. කෑලි මිරිස් ස්වල්පයක්
9. ගම්මිරිස් ටිකක්
10. කහ ස්වල්පයක්
11. ලුණු

මුලින් ම අප කළ යුත්තේ මඤ්ඤොක්කා අල ටික හොඳින් තම්බා ගැනීමයි. හුලං නොවැදුණු අලුත් මඤ්ඤොක්කා වෙළඳපොළෙන් මිල දී ගැනීමට වග බලා ගන්න. වත්තේ සෑදුණු ඒවා නම් විශ්වාසයෙන් යුතුව භාවිතයට ගත හැකිය.

මෙසේ සපයා ගත් නැවුම් මඤ්ඤොක්කා ටික පොතු ඇර සාස්පානකට හෝ මුට්ටියකට දමා හොඳින් තම්බා ගන්න. හොඳින් තැම්බුණු පසු වතුර ටික පෙරා, වැඩි වතුර හිඳෙන තුරු මඳ ගින්දරේ තබා, හොඳින් පිටි ගතිය එන තෙක් වතුර ටික වාෂ්ප කර ගන්න. මෙය අවසන් වූ පසු මඤ්ඤොක්කා ටික නිවෙන්නට හරින්න.

මේ මඤ්ඤොක්කා ටික තම්බා ගන්නා අතරවාරයේ සුදුලූනු ටික පොතු ඉවත් කර සිහින් ව කපා ගන්න. කරපිංචා, අමුමිරිස් හෝ කොච්චි මිරිස් ටික හා බී ලූනු ගෙඩිය ද සිහින් ව ලියා ගන්න. මේවා වෙන වෙනම තැටියක දමා පසෙකින් තබා ගන්න.

දැන් ලිප මත තාච්චියක් තබා පොල්තෙල් ටිකක් දමා ගන්න. පොල්තෙල් ටික හොඳින් රත් වූ පසු මද ගින්නේ මුලින් ම තෙලට සුදුලූනු ටික දමන්න. ඒ ටික බැදීගෙන එන විට කරපිංචා හා අමුමිරිස් ටික ද එක් කරන්න. එම මිශ්‍රණය මදක් බැදුණු පසු බී ලූනු ටික එක් කරන්න. එය රන්වන් පැහැය වන තෙක් හොඳින් බැද ගන්න. ඉන් පසු කපා ගත් ලීක්ස් ටික තෙම්පරාදුවට එක් කර ගන්න. වතුර ගතිය හිඳෙන තුරු තෙලින් හොඳට මලවා ගන්න.

මෙසේ තෙම්පරාදුවේ වතුර ගතිය ඉවත් වූ පසු කෑලි මිරිස් ටික, ගම්මිරිස් කුඩු හා කහ ස්වල්පයක් ඔබේ රසයේ ප්‍රමාණයට එක් කර ගන්න. එයට ලුණු ද එක්කර රස වැඩි කර ගන්න. දැන් එම මිශ්‍රණයට වතුර ඉවත් කර ගත් සැමන් මාලු ටික එක් කර ගන්න සැමන් සමඟ මිශ්‍රණය හොඳින් කලවම් කර මඳක් තෙලෙන් බැද ගන්න. දැන් ලිප නිවා දමා මිශ්‍රණය සිසිල් වෙන්න ඉඩ හරින්න.

කලින් තම්බා ගත් මඤ්ඤොක්කා අල ටික හොඳින් පොඩි කර ගත යුතුය. එහි ඇති මැද නාරටි ද ඉවත් කර ගත යුතු ය. මෙසේ හොඳින් පිටි වන තෙක් පොඩි කර ගත් මඤ්ඤොක්කා ටික වෙනත් භාජනයකට දමා ගන්න. එම භාජනයට ම අපි සකසා ගත් තෙම්පරාදුව ද එක් කර හොඳින් මිශ්‍ර කර ගන්න.

මෙසේ සකසා ගත් මඤ්ඤොක්කා පැටි මිශ්‍රණය තෙල් තවරා ගත් (කේක් සෑදීමට ගන්නා) ඇලුමිනියම් ට්‍රේ එකකට හෝ ඊට සමාන භාජනයකට දමා ගත යුතු ය. ඉන්පසු එම මිශ්‍රණය කිරිබත් කැපීමට සකසන පරිදි මඳක් ගනකම එන ලෙස හොඳින් තුනී කර ගන්න. මෙසේ තුනී කර ගත් මිශ්‍රණය අවශ්‍ය පරිදි කොටුවට කපා ගන්න. මාළුරොටී සාදනවිට ගන්නා ප්‍රමාණය බෙහෙවින් උචිත වේ. මෙසේ කපා ගත් කැබැලි එකින් එක වෙන් කර ගන්න. එම තැටියේම තබා ගත හැකිය.

දැන් රොටී තැටියක් ගෙන ලිප මත තබා රත් කර ගන්න. ඉන් පසු පොල්තෙල් ටිකක් දමා රත් වූ තැටිය පුරා තවරා ගන්න. දැන් මඤ්ඤොක්කා පැටි එකින් එක ගෙන එහි සෑම පැත්තක් ම (එළවළු රොටී හෝ මාළුරොටී සාදන ආකාරය මෙන්) පැත්තෙන් පැත්ත යාන්තමට පුච්චා ගන්න. අවසානයේ මාළු රොටී ආකාරයෙන් ම මෙම මඤ්ඤොක්කා පැටි දිස් වේ.

මෙසේ සකසා ගත් මඤ්ඤොක්කා පැටි මඳක් නිවුණ පසු රස විඳින්න පුළුවනි. ඔබ දුරබැහැර ගෙන යන්නේ නම් ඇලුමිනියම් foil එකක ඔතාගෙන හෝ hot pot එකක දමාගෙන රැගෙන යා හැකිය.

මෙම මඤ්ඤොක්කා පැටි උදෑසන හීල දානයකට ද පූජා කර ගැනීමට ඉතා කදිමය. පවුලේ අය සමඟ ද බෙදා ගෙන රස විඳිය හැකිය. තක්කාලි සෝස් වැනි දෙයක් සමඟ ඉතාමත් රසවත් වේ. මෙය අමතක නොවන ඉතා රසවත්, ප්‍රණීත රසැති ගුණවත් ආහාරයකි.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක