මේ ලෝකයේ පුදුමාකාර මිනිස්සු ජීවත් වෙනවා. ඒ වගේ ම හරි පුදුම දේවල් ඔවුන් කරනවා. බොහෝ අය ඔවුන්ගේ විස්මිත දේවල් දැකලා සතුටට පත්වෙනවා. මැජික්කරුවන්, එහෙමත් නැත්නම් මායාකාරයන් කියලා කියන්නෙත් අරුම පුදුම වැඩ කරන පුද්ගලයන් පිරිසක්. මේ අයගේ විස්මයජනක, බිහිසුණු දේවල් දකින අනිත් අය ඔවුන් කෙරෙහි ඇදී යනවා. ඇත්තටම මේ මායාකරුවන්ගේ හැකියාවන් හරිම පුදුම සහගත තමයි. ඔවුන් මහා විශාල ගොඩනැගිලි, ගුවන් යානා, දුම්රිය පවා අතුරුදහන් කරනවා. සමහර අය කුරුල්ලන් වගේ අහසෙ යනවා. තවත් අය ජලයේ ඇවිදින්නේ විස්මිත ලෙසයි. ඒ අතර තවත් අය සිටි තැනින් නොපෙනී යන්නේ ලෝකයා උන්මාදයට පත් කරමින්. මෙකී නො කී විස්මිත, විශිෂ්ට හැකියාවන් ඔවුන්ට තියෙනවා. හැබැයි ඒ හැම දෙයක් ම ඉතා සියුම් මායාවල් ගොඩක්. ඒවාට කියන්නේ ඇස්බැන්දුම් කියලයි. ඒ වුණාට බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නෙ ඒ සියල්ල සැබෑවට ම වන සත්‍ය දේවල් කියලයි. ඒ තරමට මිනිසුන් මුළාවට පත් කරවන්නට මේ මායාකරුවන් අතිශයින් ම දක්ෂයි.

නමුත් ඔබ දන්නවා ද? මේ හැම මායාකරුවෙක් වගේ ම ඔබ ද අන් සියල්ලෝ ම ද තවත් එක් අති දක්ෂ, බිහිසුණු, වංචා සහගත, කපටි මායාකරුවෙක් යටතේ ඉන්නෙ කියලා…. ඔහු තරම් ප්‍රවීණයෙක් සොයා ගන්නට ද නැහැ. ඒ තරමට ම ඔහු දක්ෂයෙක්. හැම කෙනෙක් ම ඔහුගේ මායාවන්වලට හසු වෙලයි ඉන්නේ. ඔහුට පුළුවන් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබ කැමති ඕනෑම තැනකට ගෙනයන්න. සමහර විට ඔබ නොදන්නවා ඇති, ඔහු ඔබ ව දෙවියන් අතරටත් ගෙන ගියා. බ්‍රහ්ම ලෝකවලත් රැගෙන ගියා. මේ මිනිස් ලෝකෙට ඔබ ව ගෙනාවෙත් ඔහු ම යි. ඒ විතරක් නෙවෙයි; නිරය, ප්‍රේත ලෝකය, තිරිසන් ලෝකය, අසුර ලෝකය මේ හැමතැනකට ම ඔබ ගෙනියන්න මේ විස්මිත අග්‍රගන්‍ය මායාකරුට පුළුවන්. ඔහුගේ මවාපෙන්වීම් නම් හරි විස්මයජනක යි. ඒ මායාවන්වලට හසු නො වී ඉන්නට සමතෙක් කල්ප ගාණකටත් ලොව පහළ වන්නේ ද නැහැ.

කිසිම දිනක ප්‍රියමනාප නොවන, අප්‍රිය අමනාප දේවල් එක් ක්ෂණයකින් සුන්දර ප්‍රියමනාප දේවල් කර පෙන්වන්නට ඔහුට හැකියි. ලෝකයේ සදාකාලික නොවන වෙනස් වෙලා යන අනිත්‍ය ඕනෑම දෙයක් නිත්‍යයි, හැමදාම පවතින දේවල් සේ මවා පෙන්වන්නට මේ මායාකරු දක්වන හැකියාව වෙනත් කිසිම කෙනෙකුට කළ නොහැකියි. ලොව කිසිම දෙයක් අපට හිතෙන ආකාරයට තියා ගන්නට, පවත්වා ගන්නට බැහැ. නමුත් මේ මායාකරුවාට එය ද වෙනස් කළ හැකියි. සියලු දේ ආත්මයි, එසේ නැති නම් තමන්ට කැමති ආකාරයට පවත්වා ගන්න පුළුවන් කියලා මවලා දෙන්න ඔහුට ගත වෙන්නෙ ඉතාම සුළු මොහොතයි. ඒ විතරක් නෙවෙයි, ලොව ඕනෑම තැනකට කිසි කෙනෙකුගේ සහයක් නැතුව යන්නට මොහු සූරයෙක්. සිතු මනාපේ ඔහු ගමන් කරන්නේ නිරායාසයෙන්. මේ අද්විතීය, අති දක්ෂ, මායාකරුගේ මායාවන්වලට සියල්ලෝම වසඟ වී, හසු වී, මුළා වී සිටින බව ඔවුනොවුන් පවා නොදනියි. ඒ තරමට ම ඔහුගේ මායාවන් ඉතා ම සියුම්. සූක්ෂමයි. කපටියි. වංචා සහගතයි. ඒ වගේ ම අති බිහිසුණුයි. සැබැවින් ම ඔහු කවුරුන් ද?.. කොහෙද සිටින්නේ…?

මේ විශිෂ්ටතම මායාකරුවා බොහෝ දුර නොව ඔබ ළඟ ම මේ තාක් සසර පුරා ම සිටියා. ඔබ ව අතහැර ගියේ ද නැහැ. ඔහු අන් කවරෙක්වත් නො වේ; මේ තාක් කතා කළේ ඔබේ ‘සිත’ නම් වූ මායාකරුවා ගැනයි. අතිශයින් බිහිසුණු, දුක්ඛිත, සංසාර ගමනක් ඔබ ව රැගෙන ආවේ ඔහුයි. බොහෝ කල්ප අසංඛ්‍ය ගණන් ඔබ ව නිරයේ තැබුවා. කෙළවරක් නැතුව නිරා දුක් වින්දේ ඔහු නිසා නො වේ ද? සෙම, සොටු, අසූචි අනුභව කරමින් නොයෙකුත් ප්‍රේත ලෝකවලට ගෙන ගොස් නුඹට දුක් විඳින්නට සැලැස්සුවේ මේ මායාකරු නො වේ ද? සා පිපාසාවෙන් අවුරුදු සිය දහස් ගණනින් දුක් වින්දේ ඔහු නිසා නො වේ ද? ගණනින් කියා ගන්නට බැරි තිරිසන් ආත්මවල කැන්දන් ගිය නුඹේ ම සහකරුවා නුඹේ ම සිත නො වේ ද? ඉතා කලාතුරකින් සුගතිවල රැගෙන ගොස් ඔබව මුළා කළේ මොහු නො වේ ද? බොහෝ බුද්ධ ශාසන ප්‍රමාණයක් නුඹට අහිමි කළේ මෙකී මායාකරු නො වේ ද? තාමත් මේ දුක්ඛිත සංසාර සාගරයේ නුඹ ව ගිල්ලවා නිහඬ ව බලා සිටින්නේ මොහු නො වේ ද? එපමණක් ද නො වේ; ඔහුගේ විශිෂ්ට මායාවලින් අනාගතයේත් මෙවැනි අති බිහිසුණු සසර ගමනක් තියෙනවා කියන දෙයත් ඔබගෙන් සඟවාගෙන සිටිනවා. මේ ලැබී ඇති දුර්ලභ බුදු සසුනත් ඔබට අහිමි කරන්නට මොන තරම් උත්සාහයක් ගන්නව ද කියලා ඔබට පෙනෙන්නේ නැත්තේ මේ මායාකරුගේ සියුම් මායාවන් නිසා ම යි.

හේතුඵල දහමෙන් හටගත් යම්තාක් දේවල් තිබෙයි ද ඒ සියලු ම දේවල් අනිත්‍යයි, දුකයි, තමාට ඕන හැටියකට පවත්වාගෙන යන්නට බැහැ. මේ ශරීරය කියලා කියන්නේ සුන්දර ප්‍රියමනාප, සුබ දෙයක් නො වෙයි. කය යනු නව දොරකින් අපවිත්‍ර දෙය ම වැගිරෙන, දුගඳ හමන, පිළිකුල උපදවාලන කිසිම ප්‍රයෝජනයක් නොමැති දෙයක්. එසේ වුණත් බලන්න සිත නම් වූ මායාකරුගේ හැකියාවන් මොනතරම් ද කියා. මේ තාක් සසරේ ඔහු අපට පෙන්නුවේ සියලු දේ නිත්‍යයි, සැපයි, අපට ඕන ඕන හැටියට තියාගන්න පුළුවන් කියා නො වේ ද? මේ කය කියා කියන්නේ මහා සැපයක් ලබා දෙන ප්‍රියමනාප, සුන්දර දෙයක් යනුවෙන් නො වේ ද? අහෝ… ඔහුගේ මායා පටලය නම් අද්විතීයයි. පුදුම සහගතයි. විස්මයජනකයි. එසේ නම් අද ලෝකයේ සිටින හැම මායාකරුවෙක්මත්, පුදුම සහගත යැයි කියන හැම කෙනෙක්මත් දුගී දුප්පත්, පොහොසත්, කුලවත්, වංශවත්, කුලීන, ලස්සන, අවලස්සන, මෙකී නොකී කොයි කවුරුත් මේ සිතේ මායාවන්වලට මුළා වී බොහෝ කල්. මේ හැම කෙනෙක් ම සිතේ වහල්ලු. මායාකාරී සිතේ ගොදුරු.

එසේ වුවත් හරි පුදුමයි. ලෝකයට බිහි වුණු එක් සුන්දර මනුෂ්‍ය රත්නයක් විසින් මේ මායාකාරී සිතෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක් හොයා ගත්තා. සිතේ තියෙන මායාවන්, වංචාවන්, කපටිකම් හැම දෙයක් ම ඒ මහෝත්තමයන් වහන්සේ සොයා ගත්තා. ඒ විතරක් නො වේ; මේ මායාකාර සිතෙන් සදහට ම නිදහස් වුණා. උන්වහන්සේ නිදහස් වෙලා බලන් හිටියේ නැහැ. අන් අයටත් ඉන් නිදහස් වෙන මාවත පෙන්නලා දුන්නා. ඒ අන් කවරෙක්වත් නො වේ; තුන් ලොවක් අමා දියෙන් තෙත් කළ, අප සියලු දෙනා ඉතා ආදර ගෞරවයෙන් සරණ ගිය අමා මෑණී තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ පෙන්වා දෙන ලද මඟ ඉතා හොඳින් ගමන් කරමින් මේ මායාකාරී සිතෙන් සදහට ම නිදහස් වුණ තවත් පිරිසක් සිටියා. අපි අද ‘සංඝං සරණං ගච්ඡාමි’ කියා සරණ යන ශ්‍රාවක සඟ රුවනේ ඉහළින් ම වැඩ සිටි රහතන් වහන්සේලා යනු ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලායි. නමුත් අද වන විට ඒ තථාගතයන් වහන්සේත්, රහතන් වහන්සේලාත් පිරිනිවනට වැඩම කොට අවසන්. එසේ වුවත් අපට තාමත් අවස්ථාවක් තිබෙනවා. මොකද තථාගත අරහත් සම්මා සම්බුදු මුව මඬලෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය තාමත් ඉතාමත් පිරිසිදු ලෙස ඉතිරි වී පවතින නිසයි. මේ මායාකාරී සිතෙන් අපටත් සදහට ම නිදහස් වන්නට මෙය විනා අන් කිසිදු ක්‍රමයක්, වැඩපිළිවෙළක්, ප්‍රතිපදාවක් තුන් ලොවෙහි ම වෙන කිසිවක් තුළ, කිසිවෙක් ළඟ නොමැත්තේ ම යි.

ඉතිං… තව තවත් මේ දුක්ඛිත, ඝෝරතර, කටුක, අමිහිරි සසරේ දුක් විඳින්නට අකැමති, නිරයේ ගිනි ගුලි ගිලින්නට අකැමති, සෙම සොටු සැරව අනුභව කරන්නට අකැමති, දුක් දොම්නස් සෝ සුසුම් විඳින්නට අකැමති, ප්‍රියයන්ගෙන් ප්‍රිය වස්තූන්ගෙන් වෙන් වන්නට – අප්‍රිය අමනාප අය සමඟ එක් වන්නට අකැමති, හිස් කැපුම් කන්නට අකැමති, අනෙකුන්ගේ ගොදුරු බවට පත් වෙන්නට අකැමති යම්තාක් අය සිටිත් ද ඒ හැම කෙනාට ම මේ උතුම් සදහම් මඟ ගමන් කරමින් සිතේ මායාවන්වලින් සදහට ම නිදහස් වෙන්නට අවස්ථාව තවමත් විවරව පවතිනවා. කළ යුතු එක ම දේ වන්නේ උත්සාහයෙන්, වීරියෙන්, කැපවීමෙන් මෙකී සුන්දර නිවන් මඟ තුළ දහමේ හැසිරීම යි. ගුණධර්ම දියුණු කර ගැනීම යි. එසේ නොමැති වුවහොත් ඔබට නැවතත් විස්මිත මායාකරුගේ මායාවන්වලට මුළා වී මේ සසරේ දුක් විඳිමින් යන්නට සිදුවීම කිසිවෙකුට වළකාලිය නොහැක්කේ ම යි. තීරණය ඔබ සතුයි…!