අපේ රටේ පැරැණ්නන්ගේ කථාවක් තියෙනවා රට වටකර වැට බඳින්න පුළුවන්, ඒත් කට වටකර වැට බඳින්න බැහැ කියලා. මෙහි තේරුම තමයි මුළු රට වටේට ම ආරක්ෂක වළල්ලක් දාලා රටක් පාලනය කරන්න පුළුවන් වුණත් කටක් එහෙම පාලනය කරන්න බෑ කියන එක.

කෙනෙකු තව කෙනෙකු හා නිරතුරුව ම කතාබස් කරනවා. මේ කතාබස් කරන ක්‍රම ගොඩාක් තියෙනවා. දුරකථනයෙන්, ඊමේල් මාර්ගයෙන් වගේ ම වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතයෙනුත්, මුණගැසුනමත් කතාකරනවා, අදහස් හුවමාරු කර ගන්නවා. මෙහෙම කතාබස් කිරීමේ දී සිහිනුවණින් යුක්තව කතාබස් නොකළොත් තමන්ට නොතේරී ම තමන්ගේ අතින් බොරු කියවෙන්න පුළුවන්.

මුසාවෙන් වැළකී ජීවත් වීමෙන් සත්‍යවාදී බව නම් වූ උතුම් ගුණය අපට පුරුදු කරගැනීමට හැකියි. එහෙත් බොහෝ දෙනෙක් බොරුවෙන් ජීවත් වෙනවා. මුහුණට එකක් ද ගිය පසු තව එකක් ද කියන්නෝ එමටයි. ඇතැම් අය එක බොරුවක් වහගන්න තව බොරුවක් කියනවා. බොරු කියා මව්පියන් රවටනවා. දරුවන් රවටනවා. සැමියා බිරිඳ ද බිරිඳ සැමියා ද රවටනවා. තව විටක දක්ෂ දරුවෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නට සමහරු බොරු කියනවා. කේළාම් කියනවා. උසස් තනතුරු දරන්නෙකු පහතට හෙළීමට බොරු හා කේළාම් කියන අවස්ථා ද තිබෙනවා.

එසේ ම ඇතැමුන් උසස් තනතුරු ලබා ගැනීමටත් බොරු කියා, කේළාම් කියා යහළුවන් පවා බිඳවනවා. සමඟි පවුල් අසමඟි කරවනවා. වෙන මොනම දේකට අදක්ෂ වුවත් බොරු කියන්න නම් බොහෝ දෙනා අති දක්ෂ යි. ඒ අතරේ ඇතැම්හු යහපතට කියා බොරු කියනවා. එම බොරු කාටවත් හානියක් නැතැයි කියා ද බොරු කියනවා.

ඒ කොහොම කෙසේ කීවත් බොරුව බොරුව ම යි. බොරුවෙන්, කේළමෙන් අවැඩක් අයහපතක් වන්නේ සමාජයට පමණක් නොවෙයි. බොරු කියන්නා තම තමන්ගේ මෙලොවත්, පරලොවත් යන දෙගතියට ම අවැඩක් ම යි සිදුකර ගන්නේ.

කාන්තාවකගේ තොල් සඟල කවියා සමාන කළේ සුන්දර නා දළුවලට යි. දත් සමාන කළේ මුතුවලට යි. ඉතින් මුතුවන් දත් දෙපළක් ඇති, නා දළුවන් සුන්දර තොල්පෙති ඇති ඇතැම් කාන්තාවන් කතා කරන්නේ සුන්දර දේවල් ද? නැතිනම් සුන්දර තොල්පෙතිවලින් පවසන්නේ අසුන්දර බොරු කතා ද? කොහොම නමුත් නොයෙක් තැන්වල හමුවන යුවතියන් මෙන් ම වැඩිහිටි කාන්තාවන් ද වැඩිපුර කතා කරන්නේ වැඩකට නැති වල්පල්.

කට පරිස්සම් කරගැනීමේ කුසලතාවය කාන්තා පක්ෂයට ගොඩක් අඩුයි. මේ නිසා ම පවුල් ජීවිතත් අවුල් වනවා. බොහෝ කාන්තාවන් වචනය සංවරයෙන් තොරව භාවිතයෙන් බොහෝ පව් රැස්කර ගන්නවා.

කෙනෙකු සමඟ කතාබස් කරමින් යන අතර කියනවා “මං දැක්කා අසවලා අසවලත් එක්ක යනවා.” කියලා. මේ ආකාරයට නො වූ දේවලුත් වූවා යැයි පවසනවා. ඊට පස්සේ එය ඇසූ කෙනා තව කෙනෙකු සමඟ ඒ කතාව කියනවා. බොහෝ වෙලාවට තවත් වැඩිකරලා තමයි කතාව කියන්නේ. ඒ දේවල් නිසා බරපතළ අර්බුද නිර්මාණය වනවා.

වර්තමානයේ විශේෂයෙන් ම දකින්න ලැබෙන දෙයක් තමයි එකිනෙකාට මඩ ගැසීම පිණිස කිසිම සංවරයකින් තොරව වචන පාවිච්චි කරන බව. දැන් ඔය දේශපාලන වේදිකාවල දී එකිනෙකාට අසත්‍ය චෝදනා කර ගන්නා ආකාරය, එකිනෙකාට නින්දා අපහාස කර ගන්නා ආකාරය බැලූ විට වචනයෙන් පව් රැස්කර ගැනීමේ කෙළවරක් නැති බව පෙනී යනවා.

ඒ වගේ ම සමහර අය බොරුවට දිවුරනවා. තමාගේ නිදොස් බව ප්‍රකාශ කරන්න කළ දේ නොකළා කියනවා. නොකළ දේ කළා කියනවා. මේ විදිහට බොරුවට දිවුරලා ප්‍රේත ලෝකයේ දුක් විඳින ප්‍රේතියක් ගැන බොහෝ දුකක්, සංවේගයක් ඇතිවෙන විස්තරයක් ප්‍රේත වස්තුවේ සඳහන් වෙනවා.

මේ ප්‍රේතියගේ ඇඟේ නූල් පොටක් නෑ. හරිම විරූපියි. ශරීරයෙන් කුණු ගඳ හමනවා. මැස්සෝ උතුරනවා. මේ ප්‍රේතිය මෙහෙම කියනවා.

“මං උදේ වරුවේ දී දරුවන් පස් දෙනෙක් වදනවා. ආයෙමත් හවස් වරුවටත් තව දරුවන් පස් දෙනෙක් වදනවා. මං ඒ දරුවන් ඔක්කොම කාලා දානවා. අනේ ඒත් මගේ බඩගින්නට නම් ඒක සෑහෙන්නෙ නෑ. මගේ පපුව බඩගින්නෙ පිච්චෙනවා. දුම් දානවා. මට බීමට වතුර පොදක් ලැබෙන්නෙ නෑ. අනේ මං පත්වෙච්ච විපත ගැන දැක වදාළ මැනව.”

එවිට එම රහතන් වහන්සේ ඇයගෙන් මෙසේ විමසනවා.

“ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක් ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසා ද දරුවන්ගෙ මස් කන්නෙ?”

එතකොට එම ප්‍රේතිය දුන්නේ මෙම පිළිතුර යි.

“මගේ ස්වාමියාගේ අනෙක් බිරිඳට දරුවෙක් ලැබෙන්න හිටියා. උන්දැට පාපී දෙයක් කළ යුතුයි කියල මට හිතුණා. මං ඒ දූෂිත වූ සිතින් අර දරුගැබ විනාශ වෙන්න කටයුතු කළා. උන්දැට තිබුණෙ තෙමාසෙක බඩක්. අන්තිමේ දී ලේ වෙලා වැක්කෙරුණා. එතකොට උන්දැගෙ අම්මා මාත් එක්ක කේන්ති ගත්තා. නෑදෑයන් ව රැස් කෙරෙව්වා. ඈ මා ළවා දිව්රෙව්වා. මට බැණලා දොඩලා බය කෙරෙව්වා. එතකොට මං දරුණු විදියට දිවුරලා අමු බොරුවක් කිවුවා, ‘යම් හෙයකින් ඔය ගබ්සාව කළේ මා නම් මං දරුවන් වදල කන එකියක් ම වෙන්න ඕන’ කියලා.

ඔය කර්මයත්, බොරුවත් කියන දෙකේ විපාකෙ තමයි මේ. ලේ වැක්කෙරෙන ශරීරයක් ඇතිව මං දැන් දරු මස් කකා ඉන්නවා.”
(පඤ්චපුත්තඛාදක පේත වත්ථුව ඇසුරින්)

මේ වගේ බොරු කියලා දිවුරලා ප්‍රේත ලෝකයේ ඉපදිලා මහා දුක් ගොඩක් විඳින ප්‍රේතයින් ගැන කතා බොහොමයක් ප්‍රේත වස්තුවේ සඳහන් වෙනවා. මේ බොරු කීමෙන් ලැබෙන විපාක අතිශයින් ම භයානකයි. බොහෝ දුක් සහිතයි.

දිනක් සැවැත්නුවර වැඩවාසය කරන සමයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බොරු කීම ගැන මෙලෙස දේශනා කළා.

“මහණෙනි, බොරු කීම සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, බහුලව කිරීමෙන් නිරයේ උපතට හේතු වෙයි. තිරිසන් අපායෙහි උපතට හේතු වෙයි. ප්‍රේත ලෝකයෙහි උපතට හේතු වෙයි. බොරු කීමෙන් ලැබෙන හැමට සැහැල්ලු විපාකයක් ඇද්ද, ඒ අනුව මිනිස් ලොව උපන් තැනැත්තා හට කරුණු රහිතව නින්දා අපහාස විඳීමට හේතු වෙයි.”
(අපායසංවත්තනික සූත්‍රය – අං. නි. අට්ඨක නිපාතය)

අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ විහිළුවට වුව ද බොරුවක් නොකියන්නෙමි’යි කියා හික්මිය යුතුයි යනුවෙනුයි.

ලෝකයා බොරුවෙන් සෙසු පිරිස රවටන්නට පුළුවනි, කේළමෙන් අසමඟිය ඇති කරවන්නටත් පුළුවනි, එහෙත් අප නම් මුසාවෙන්, කේළමෙන් වැළකී සිටිනවා කියලයි සම්බුදුරජුන් සරණ ගිය අප හික්මිය යුත්තේ.

ගිහියනගේ පවා නිත්‍ය සීලයට අයත් වන බොරු කීමෙන් වැළකීම නම් වූ සතරවන ශික්ෂා පදය මනා කොට ආරක්ෂා කරමින් වචනයේ සංවරභාවය පුරුදුකර ගැනීමට සියලු දෙනාට වාසනාව ලැබේවා…!

තෙරුවන් සරණයි!

සටහන – නිලක්ෂි විතානගේ