ගිහි පැවිදි ශ්‍රාවකයන් වශයෙන් අපි සියලු දෙනාම ශ්‍රී සද්ධර්මය හැදෑරිය යුත්තේ අපගේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ දේශනා ඔස්සේ ය. බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන උතුම් පොත් වහන්සේලා තුළ ඉතා පිරිසිදුව නිරවුල්ව සටහන් වී තිබේ. මන්ද යත්, නිකෙලෙස් අරහත් පරපුරෙන් සුරක්ෂිත වී අපට දායාද වූ බැවිනි.

එම නිසා නවාංග ශාස්තෘ ශාසනය ඇතුලත් එම පිටක පොත් වහන්සේලාගෙන් උතුම් සූත්‍ර දේශනා ඉගෙන ගැනීමට යොමුවීම තුළින් අප කාටත් පිරිසිදු ධර්ම ඤාණයක් ඇතිකර ගත හැකිය. එවිට ධර්මය – අධර්මය වෙන්කොට හඳුනා ගැනීමටත්, කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා, සත්පුරුෂයන් කවුද කියා මනාකොට හඳුනාගැනීමටත් හැකියාව ලැබෙනවා. එමෙන්ම ධර්මයේ පෙන්වා දෙන ආකාරයට පිළිවෙත් පුරමින් ගුණධර්ම දියුණු කරගනිමින් සේඛ බල වඩාගැනීමටත් අවස්ථාව සැලසෙනවා. අප කාටත් යහපත පිණිස, රැකවරණය පිණිස පවතින්නේ එසේ ශ්‍රී මුඛ සම්බුද්ධ දේශනා ඇසුරින්ම ධර්මය හදාරමින් පිළිවෙත් පිරීම යි.