අප සරණ ගිය අති උතුම් මුනිරජුන්ගේ උතුම් සම්බුද්ධත්වය සිහිකරන මේ කාලය තුළ අප භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ගුණයන් පිළිබඳ ඉගෙනගෙන, ඒ තුළින් සිත පහදවාගෙන මුළු හදවතින් ම බුදුරඡාණන් වහන්සේ සරණ යන්නට අප සියලු දෙනා උත්සාහවත් විය යුතු ය. අප භාග්‍යවතුන් වහන්සේ වජිරාසනය මත වැඩ සිටිමින් දස මරුන් පරදවා උතුම් සම්බෝධිය ලැබගත් සේක. ඒ අයුරින් ලොව සියල්ල අවබෝධ කළ අප භාග්‍යවතුන් වහන්සේ පුරා සතළිස් පස් වසරක් මුළුල්ලේ තමන් වහන්සේ අවබෝධ කළ ඒ උතුම් අමා ධර්මය බෙදා දුන් සේක.

අරහත් ගුණයෙන් බබළන මුනිඳුන්

එකල අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ දඹදිව සිසාරා මහත් වූ කීර්තිඝෝෂාවක් පැතිර තිබුණේ ඒ භවත් ගෞතමයාණෝ සියලු කෙලෙස් ප්‍රහාණය කළ උතුම් මුනිවරයෙකි (අරහං). ගුරුඋපදේශ නොමැතිව ලොවේ සියල්ල අවබෝධ කළ කෙනෙකි (සම්මාසම්බුද්ධ). උතුම් අවබෝධයට අනුව හැසිරෙන කෙනෙකි (විජ්ජාචරණසම්පන්න). සුන්දර නිවන් මගෙහි මැනවින් වැඩම කළ කෙනෙකි (සුගත). සියලු ලෝක අවබෝධ කොට ඒ ලෝකවලින් නිදහස් වූ කෙනෙකි (ලෝකවිදු). සත්වයන් දමනය කිරීමට දක්ෂ කෙනෙකි (අනුත්තරෝ පුරිසදම්මසාරථී). දෙවි මිනිසුන් හට ශාස්තෘ වන කෙනෙකි (සත්ථා දේවමනුස්සානං). අවබෝධ කළ ධර්මය අන් අයට ද අවබෝධ කරවන කෙනෙකි (බුද්ධ). සියලු ගුණ දරා වැඩ සිටීමට තරම් භාග්‍යවන්ත කෙනෙකි (භගවා) යනුවෙනි.

අරහං යන සම්බුදු ගුණය පිළිබඳ තම ශ්‍රාවකයන් හට අප භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී තිබේ. පුනර්භවය ඇතිකරන, මත්තෙහි දුක් විපාක සලසාලන, ජරා මරණ උපදවාලන, තමා ව කෙලෙසීමට පත්කරන පාපී අකුසල් දුරු කළ නිසා අරහං නම් වේ. සාරසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පුරන ලද පුණ්‍ය මහිමයේ අවසන් ප්‍රතිඵලය ලෙස මෙසේ තමන් වහන්සේගේ චිත්ත සන්තානයේ තිබූ සියලු අකුසල් නැවත නූපදින ආකාරයට ප්‍රහාණය කළ සේක. ඒ උතුම් නිකෙලෙස් බව පිළිබඳ අප භාග්‍යවතුන් වහන්සේ දෙව්මිනිස් ලෝකයා හට නිර්භය ව විසාරද ව ප්‍රතිඥා දුන් සේක. වරෙක අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ “පින්වත් මහණෙනි, ඔබට යම් බියක්, තැතිගැනීමක්, ලොමුඩහගැනීමක් ඇතිවුවහොත් තථාගතයන් වහන්සේ සිහිකරන ඔබ හට එම බිය තැතිගැනීම් ප්‍රහාණය වී යන්නේ ය. නැතහොත් ධර්මය, ආර්ය ශ්‍රාවක සංඝරත්නය සිහිකරන ඔබ හට එම බිය තැතිගැනීම් ප්‍රහාණය වන්නේ ය. එයට හේතුව කුමක් ද? පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ අරහත් ය, සම්මා සම්බුදු ය, රාගය, ද්වේෂය, මෝහය ප්‍රහාණය කළ සේක. බිය නොවන සේක. තැතිනොගන්නා සේක. පසුබැස පලා නොයන සේක යනුවෙන් අප භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව ලොවට ප්‍රකාශ කළ සේක.

වසඟ කළ නො හැකි මුනිඳුන්

අපගේ සම්මා සම්බුදුරඡාණන් වහන්සේ නේරංජරා නදී තෙර බෝධි මූලයේ වැඩ සිටි අවස්ථාවේ තණ්හා, රතී, රගා යන මාර දූවරුන් පැමිණ විසිතුරු ශරීර මවා නොයෙක් රඟ දක්වා පෙම්බස් දොඩමින් කොපමණ වෙහෙසුන ද අප ශාස්තෘන් වහන්සේ ඒ දෙසට නෙත් යොමු නොකොට ඵල සමවතින් යුතුව වැඩ සිටි සේක. එවිට මාර දූවරුන් අතර මෙවැනි කථාබහක් ඇතිවිය.

“අපගේ පියා කියූ දේ සැබෑවකි. සුගත වූ බුදුරජුන් ලොවේ නිකෙලෙස් උතුමෙකි, උන්වහන්සේ ව රාගයෙන් බැඳ දැමිය නො හැකි ය (අරහං සුගතෝ ලෝකේ න රාගේන සුවානයෝ). මාරයාගේ විෂය ඉක්මවා ගියේ ය (මාරධෙය්‍යං අතික්කන්තෝ). යම් ඒ රාගය දුරුනොකළ ශ්‍රමණයෙකු, බ්‍රාහ්මණයෙකු ඉදිරියේ මෙසේ රඟ දැක්වූයේ නම් ඔහුගේ හදවත පැළී යනු ඇත. මුඛයෙන් උණු ලේ වැගිරෙනු ඇත. චිත්ත වික්ෂේපයට හෝ උන්මාදයට පත්වනු ඇත. අමු බට ගසක් අව්වෙහි දැමූ විට මැළවී යන්නේ, වියළී යන්නේ යම් සේ ද, ඒ අයුරින් ම ඔහු රාගය නැමති ගින්නෙන් දැවී වියළී යනු ඇත.”

මෙසේ අපගේ මුනිරජාණන් සැබවින් ම රාගය මුළුමනින් ම ප්‍රහාණය කොට නිකෙලෙස් සිතින් යුතුව වැඩ සිටි සේක. මෙසේ අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේගේ නිකෙලෙස් බව විස්මයජනක ය.

විසාරද ඤාණී වූ අප මහා මුනිඳුන්

සියලු කෙලෙසුන් නසා නිකෙලෙස් සන්තානයක් දරා වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේට මේ ලෝකයේ කිසි ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට හෝ ලෝකයේ වෙන කිසිදු කෙනෙකුට “ඔබ වහන්සේ සියලු කෙලෙස් (ආශ්‍රව) ක්ෂය කළ කෙනෙක් කියා ලොවට ප්‍රතිඥා දෙයි. නමුත් ඔබ වහන්සේ තුළ මේ මේ ආකාර වූ කෙලෙස් ප්‍රහාණය නො වී පවතී යැයි, කරුණු සහිත ව චෝදනා කළ නො හැකි ය (ඛීණාසවස්ස තේ පටිජානතෝ ඉමේ ආසවා අපරික්ඛීණාති) අපගේ ශාස්තෘන් වහන්සේ වදාළේ “පින්වත් මහණෙනි, එලෙස චෝදනා කළ හැකි නිමිත්තක්වත් දකින්නේ නැත.” කියා ය.

(වේසාරජ්ජ සූත්‍රය – අං. නි. 2)

එලෙස අප භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ තුළ නිකෙලෙස් බව පිළිබඳ ව විසාරද බවට පැමිණ වැඩ සිටි සේක. පුරා සතළිස් පස් වසක් මුළුල්ලේ අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරඡාණන් වහන්සේගේ සෑම වචනයක් ම, සෑම කායික ක්‍රියාවක් ම, සෑම සිතුවිල්ලක් ම තුළ දක්නට තිබුණේ එම නිකෙලෙස් බව ය. මෙවන් වූ උදාර නිකෙලෙස් මහා මුනිරජාණන් වහන්සේ ව යමෙකුට මුළු හදවතින් ම සරණ යන්නට හැකි වේ නම් එය ඔවුන්ට ලැබෙන අති දුර්ලභ වාසනාවකි.

ඒවං අචින්තියා බුද්ධා – අචින්තනීය වූ මුනිරජුන්

මෙසේ අනන්ත අපරිමාණ ගුණ දරා වැඩ සිටි අප භාග්‍යවතුන් වහන්සේ ළඟට වරක් වේරඤ්ඡ බ්‍රහ්මණයා පැමිණ මෙසේ පැවසී ය.

“ඇත්තෙන් ම භවත් ගෞතමයන් වහන්ස මා අසා තිබෙනවා ‘භවත් ගෞතමයාණෝ වැඩිමහලු වයෝවෘද්ධ බ්‍රාහ්මණයන් හට වන්දනා නො කරති, ආසන නො පනවති, ඔවුන් එන විට ආසනයෙන් නැඟිට ගෞරව නො කරති’ යි කියා. ඇත්තෙන් ම තරුණ වයසේ කල් ගෙවන භවත් ගෞතමයන් හට එය නො ගැළපෙන දෙයකි.”

එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ “පින්වත් බ්‍රාහ්මණය, දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකයේ තථාගතයන් වහන්සේ වන්දනා කළ යුතු හෝ ආසනයෙන් නැගිට ගෞරව කළ යුතු කෙනෙක් නො දකිමි. තථාගතයන් වහන්සේ යම් කෙනෙකුට වන්දනා කළහොත් ඔහුගේ හිස කඳින් වෙන්වී ගැලවී යයි.” යනුවෙනි.

(වේරඤ්ජ සූත්‍රය – අං. නි. 5)

මේ අයුරින් සම්බුදුරජාණන් වහන්සේලා අචින්තනීය වෙයි. උන්වහන්සේලාගේ ගුණ කඳ සිතා අවසන් කළ නො හැක. සම්බුදුරඡාණන් වහන්සේනමක් තවත් සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගුණ කල්පයක් පුරාවට වර්ණනා කළත් (බුද්ධෝපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං, කප්පම්පි චේ අඤ්ඤමභාසමානෝ) දීර්ඝ කාලයක් වූ එම කල්පය අවසන් වී යයි. එනමුත් තථාගතයන් වහන්සේ ගුණ වර්ණනාව අවසන් නො වේ (ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ, වණ්ණෝ න ඛීයේථ තථාගතස්සාති). මේ අයුරින් මේ ලෝකයට කලාතුරකින් පහළ වන නිකෙලෙස් මහා මුනිරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වය සිහිකරන මේ සමයේ තව තවත් ඒ උතුම් බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන, ඒ උතුම් සරණ තුළ මැනවින් සිත පිහිටුවාගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ දී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදාවේවා…!

රාග ද්වේෂ මෝහ නොමැති – සිතකින් යුතු වන්නේ
සිල් සමාධි ගුණ නුවණැති – නිවන් සුවය දන්නේ
තුන් ලොව වැඳුමන් ලැබුමට – නිතියෙන් හිමි වන්නේ
අරහං යන ගුණයෙන් යුතු – බුදු හිමි නමදින්නේ
සාදු! සාදු! මම ගෞතම – මුනිඳු සරණ යන්නේ

සාදු! සාදු!! සාදු!!!