අප ජීවත්වන වටපිටාවේ, අප ඇසුරු කරන උදවියගේ නොයෙකුත් වැරදි අඩුපාඩු අපටත් අසන්නට, දකින්නට ලැබෙනවා. දැන දැන ම වැරදි කරන උදවියත්, නොදැන වැරදි කරන උදවියත් අප අතර ඉන්නවා. සමාජ සම්මතය, නීතිය, ධර්මය ඉක්මවාලන වැරදි සහගත ස්වභාවයන්ගෙන් යුතු වූ මිනිස්සුන් ව අපට පෙනෙන්නේ නොයෙක් කෝණයන්ගෙන්. අවඥාවෙන් වගේ ම ගැරහීමෙනුත් ඒ වැරදි සහගත කායික, වාචසික ස්වභාවයන්ට ප්‍රතිචාර දක්වන බවක් පොදුවේ අප කා තුළත් තිබෙනවා…

ඒ ස්වභාවය අපට යහපත පිණිස පවතිනවා ද? පැහැදිලිව ම එයට දිය යුතු පිළිතුරු ‘නැහැ’ කියන එකයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැඩී යමින් යම් කෙනෙකු සිදු කරන වැරදිවලට අප දක්වන ප්‍රතිචාරයන් ද රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මැඩී ගිය දේවල් ම යි… එහෙම නම්…, අපට.ද අනුන්ට ද අවැඩක් නොවන පරිදි වැරදි කරන්නවුන් ඉදිරියේ කටයුතු කළ හැකි ආකාරය මොකක්ද?

ඒ සොඳුරු වැඩපිළිවෙළ පෙන්වා දෙන සුන්දර සූත්‍ර දේශනාවකුයි අප මේ ලිපියට පාදක කරගත්තේ…

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ චාතුම ගමේ නෙල්ලි වනයක. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට චාතුම ගමට පැමිණුනා. ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලා නේවාසික භික්ෂූන් වහන්සේලා සමඟ පිළිසඳර කතා බස් කරමින්, ඇඳන් ආදිය පිළියෙල කරමින්, පාත්‍ර සිවුරු ආදිය තැන්පත් කරමින් කල් ගත කළා. ඒ පිරිසේ කථාබහ නිසාවෙන් විශාල ඝෝෂාවක් හටගත්තා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙසේ වදාළා.

“පින්වත් ආනන්ද, මසුන් මරණ තැන කෑ ගසන කෙවුලන් වගේ උස් හඬින්, මහා හඬින් මේ ඝෝෂා කරන්නේ කවුද?”

“ස්වාමීනී, සැරියුත් මුගලන් වහන්සේලා ප්‍රමුඛ කොට මේ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට චාතුමාවට පැමිණ සිටිනවා. ඉතින් ඒ ආගන්තුක භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා කරමින් තමයි, සෙනසුන් පනවමින් තමයි, පා සිවුරු තැන්පත් කරමින් තමයි ඔය උස් හඬ, මහ හඬ පවත්වන්නේ.”

“එසේ වී නම් ආනන්ද, මගේ වචනයෙන් ඒ භික්ෂූන් අමතන්න, ‘ශාස්තෘන් වහන්සේ ආයුෂ්මතුන් වහන්සේලා අමතනවා’ කියා.”

“එසේය ස්වාමීනී.”

ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට මේ කරුණ දන්වා සිටියා. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

“එම්බා මහණෙනි, මසුන් මරණ තැන කෑ ගසන කෙවුලන් වගේ උස් හඬින්, මහා හඬින් ඔබ ඝෝෂා කරන්නේ මක් නිසා ද?”

“ස්වාමීනී, සැරියුත් මුගලන් වහන්සේලා ප්‍රමුඛ කොට මේ පන්සියයක් භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නටයි චාතුමාවට පැමිණුනේ. ඉතින් ඒ මේ ආගන්තුක භික්ෂූන් නේවාසික භික්ෂූන් සමඟ පිළිසඳර කතා කරමින් තමයි, සෙනසුන් පනවමින් තමයි, පා සිවුරු තැන්පත් කරමින් තමයි ඔය උස් හඬ, මහ හඬ පවත්වන්නේ.”

“මහණෙනි, යන්න. ඔබව මම බැහැර කරනවා. ඔබ මා සමීපයේ නො විසිය යුතුයි.”

එතකොට ඒ භික්ෂූන් වහන්සේලා “එසේය ස්වාමීනී” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට නැවත ඇඳන් ආදිය තැන්පත් කොට, පාත්‍ර සිවුරු රැගෙන ආපසු පිටත් වුණා. ගෞතම සම්බුදු සසුනේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමත් ඒ භික්ෂු පිරිසේ වැඩසිටියා. ඝෝෂා නොකළේ නමුත් උන්වහන්සේලා ද භාග්‍යවතුන් වහන්සේගේ වචනයේ පිහිටා නෙල්ලි වනයෙන් බැහැරට වැඩම කළා. ‘ඇයි අපව යවන්නේ? අපි ඝෝෂා කළේ නැහැනේ.’ වැනි කිසිදු කථාවක් එතැන නැහැ…

එදා, චාතුම ගම්වැසි ශාක්‍යවරු යම් කටයුත්තකට රැස්වීම් ශාලාවට රැස්ව සිටියා. ආපසු වඩින භික්ෂූන් වහන්සේලා දැකපු ඒ ශාක්‍යවරු මෙහෙම විමසුවා.

“හැබෑවට ම පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා මේ කොහේ වඩින ගමන් ද?”

භික්ෂු සංඝයා වරද විවෘත වන ගුණයෙන් යුක්තයි. උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂු සංඝයා බැහැර කරන ලද බව පැවසුවා. ‘වුණේ මොකක්ද, කවුද හරි, කවුද වැරදි, ඇයි එහෙම කළේ?’ ආදී වූ කිසි කථාවක් ශාක්‍යවරු ඇසුවේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මෙහෙම කිව්වා.

“එසේ වී නම්, ආයුෂ්මතුන් වහන්සේලා මොහොතක් වාඩි වී සිටින්න. අපට භාග්‍යවතුන් වහන්සේ.ව පහදවා ගන්නට පුළුවන්කමක් ලැබුණොත් නම් බොහොම හොඳයි.”

ඒ වචනය පිළිගත්ත භික්ෂූන් වහන්සේලා ඒ ස්ථානයේ නැවතුණා.

චාතුමාවාසී ශාක්‍යවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. ‘මොකද වුණේ, ඇයි එහෙම වුණේ, අග්‍රශ්‍රාවකයන් වහන්සේලාවත් බැහැර කළේ ඇයි?’ ආදී කිසිම කථාවක් එතැනත් නැහැ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා සතුටින් පිළිගන්නා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා හට කතා බස් කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂු සංඝයාට යම් අනුග්‍රහයක් කරන ලද්දේ ද ඒ අයුරින් ම දැනුත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා! ස්වාමීනී, මේ සඟ පිරිස අතර අලුත පැවිදි වූ, අලුතින් සසුනට පැමිණි, අලුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නොලැබුණොත් ඒ භික්ෂූන්ගේ සිත් සතන්වල වෙනස් වීමක් ඇතිවෙනවා ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

ස්වාමීනී, අලුත සිටවූ බීජයන්ට ජලය නොලැබුණෝතින් වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ඒ අයුරින් ම ස්වාමීනී, මේ සඟ පිරිස අතර අලුත පැවිදි වූ, අලුතින් සසුනට පැමිණි, අලුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නොලැබුණොත් ඒ භික්ෂූන්ගේ සිත් සතන්වල වෙනස් වීමක් ඇතිවෙනවා ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

ඒ වගේ ම ස්වාමීනී, ළදරු වසු පැටවෙකුට මව් වැස්සිය දකින්නට නොලැබුණොත් වෙනස් වීමක් ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි. ඒ අයුරින් ම ස්වාමීනී, මේ සඟ පිරිස අතර අලුත පැවිදි වූ, අලුතින් සසුනට පැමිණි, අලුතින් මේ ධර්ම විනයට පැමිණි නවක භික්ෂූන් සිටින්නට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේව ගුණ වශයෙන් දැකගන්නට නොලැබුණොත් ඒ භික්ෂූන්ගේ සිත් සතන්වල වෙනස් වීමක් ඇතිවෙනවා ඇතිවෙනවා ම යි. විපරිණාමයක් ඇතිවෙනවා ම යි.

එනිසා ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා සතුටින් පිළිගන්නා සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භික්ෂු සංඝයා හට කතා බස් කරන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කලින් භික්ෂු සංඝයාට යම් අනුග්‍රහයක් කරන ලද්දේ ද ඒ අයුරින් ම දැනුත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාට අනුග්‍රහ කරන සේක්වා!”

මේ වෙලාවෙදි සහම්පතී බ්‍රහ්මරාජයාත් භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් පිරිසිඳ දැනගත්තා. බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග අරින – දික් කළ අතක් හකුළන වෙලාවක් තුළ බඹලොවින් අතුරුදහන්ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වුණා. උතුරු සළුව ඒකාංශ කොට පොරවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වැඳගෙන, චාතුමාවාසී ශාක්‍යවරු යම් කරුණක් පවසා භාග්‍යවතුන් වහන්සේගේ සිත භික්ෂු සංඝයා කෙරෙහි පහදවන්නට උත්සාහ කළා ද එකරුණ ඒ ආකාරයෙන් ම භාග්‍යවතුන් වහන්සේට පැවසුවා.

චාතුමාවාසී ශාක්‍යවරුන්ටත්, සහම්පතී බ්‍රහ්මරාජයාටත්, බීජ උපමාවෙනුත් – ළදරු වසුපැටියාගේ උපමාවෙනුත් භාග්‍යවතුන් වහන්සේ තුළ පැහැදීම ඇතිකරවන්නට පුළුවන් වුණා. ඒ මොහොතේ දී මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළා.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, නැගිටින්න. පා සිවුරු ගන්න. චාතුමාවාසී ශාක්‍යවරු විසිනුත්, සහම්පතී බ්‍රහ්මරාජයා විසිනුත්, බීජ උපමාවෙන් ද ළදරු වසුපැටියාගේ උපමාවෙන් ද භාග්‍යවතුන් වහන්සේ පහදවන ලද සේක.”

“එසේය ආයුෂ්මතුනි.” කියලා ඒ භික්ෂූන් වහන්සේලාත් නැගිටලා පා සිවුරු ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුණා. බලන්න, තමන් වහන්සේලා ව බැහැර කරද්දීත් – යළි කැඳවද්දීත් උන්වහන්සේලා නොසිඳි ශාස්තෘ ගෞරවයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ ආදරයෙන් වන්දනා කළ අසිරිය…!

මහත් හඬක් නැගෙන පරිදි කටයුතු කළ පූර්ව සිදුවීම ගැන කිසිදු කථාබහක් එතැන නැහැ. භාග්‍යවතුන් වහන්සේ අග්‍ර ශ්‍රාවකයාණන් වහන්සේලාගෙන් විමසා වදාළේ එක කරුණයි…

“මා විසින් භික්ෂු සංඝයා ව බැහැර කරද්දි ඔබට සිතුණේ කුමක් ද?”

ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ, ‘භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවෙහි උත්සාහ රහිතව, මෙහිදී ම අත්විඳින අරහත්ඵල සුඛයෙන් යුතුව වාසය කරන මේ වෙලාවේ අපිත් දැන් ධර්ම දේශනාවෙහි උත්සාහ රහිතව, මෙහිදී ම අත්විඳින අරහත්ඵල සුඛයෙන් යුතුව වාසය කරන එක තමයි හොඳ.’ කියලා උන්වහන්සේට සිතක් පහළ වුණා කියලයි. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කියමන නවත්වා, එවැනි සිතක් යළි නූපදවිය යුතු බවට අනුශාසනා කොට වදාළා.

මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඒ වෙලාවේ වදාළේ, ‘භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවෙහි උත්සාහ රහිතව, මෙහිදී.ම අත්විඳින අරහත්ඵල සුඛයෙන් යුතුව වාසය කරන නිසා, මමත්, ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත් භික්ෂුසංඝයා පරිහරිණය කරන්නට ඕන.’ කියා සිතුණා කියලයි.”

භාග්‍යවතුන් වහන්සේ සාදුකාර දී එය අනුදැන වදාළා.

“සාදු! සාදු! පින්වත් මොග්ගල්ලාන. මම හෝ පින්වත් මොග්ගල්ලාන, භික්ෂුසංඝයා පරිහරණය කරන්නට ඕන. සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම හෝ භික්ෂු සංඝයා පරිහරණය කරන්නට ඕන.”

මෙහිලා භාග්‍යවතුන් වහන්සේගේ අපේක්ෂාව වූයේ තමන් වහන්සේ හෝ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හෝ සංඝයාට ධර්ම විනයෙන් අනුග්‍රහ කළයුතු බවයි.

ඒ වෙලාවේ දී භාග්‍යවතුන් වහන්සේ ජලයට බසිනා පුද්ගලයෙකු කෙරෙහි වගේ ම ගිහිගෙය අත්හැරලා පැවිදිබිමට පත් භික්ෂුවක කෙරෙහි ද එළඹෙන්නට ඉඩ තිබෙන ඌමි බිය, කුම්බීල බිය, ආවට්ට බිය, සුසුකා බිය නම් වූ බිය සතරක් ගැන ධර්මය දේශනා කොට වදාළා. ඔබටත්, මජ්ඣිම නිකායේ දෙවන පොත්වහන්සේගේ චාතුම සූත්‍රය කියවීමෙන් ඒ දහම් පර්යාය ඉගෙන ගන්නට සිත් පහළ වේවා!

චාතුම සූත්‍රය දේශනා කරන්නට පූර්ව වූ සිදුවීම පුරා භාග්‍යවතුන් වහන්සේගේ අනුපමේය ගුණ සමුදායත්, භික්ෂු සංඝයාගේ ගුණ ශෝභාවත් පමණක් නෙවෙයි; මනුලොව බුද්ධ ශ්‍රාවකයන්ගේත්, බඹලොව බුද්ධ ශ්‍රාවකයන්ගේත් ගුණ සම්පත්තිය ප්‍රකට වෙනවා. ඒ අය වරද පිළිගන්නා ස්වභාවයෙන් යුතුයි. වරද හෝ වැරදිකරුවන් පසුපස හාර හාරා අවුස්ස අවුස්සා නොයන ස්වභාවයෙන් යුතුයි. අන් අයට යහපත ඉපැදවීමට මුල් වන ස්වභාවයෙන් යුතුයි. ඒ බුද්ධ ශ්‍රාවකයන්ගේ ඒ අසිරිමත් ගුණානුභාවයෙන් අපට ද වැඩී යන්නට හැකි නම්…, ඇත්තට ම අපට සෙසු ලෝකයාගේ වැරදි ඉදිරියේ සිනාසෙන්නටවත්, ගැටෙන්නටවත් දෙයක් ඉතිරි වන්නේ නැහැ. නුහුගුණ බහුල ලෝකයක ජීවත් වෙද්දි ඒක ම බලගතු ආරක්ෂාවක් නෙමෙයි ද…!

අනුන්ගේ කර්මවලට යා වෙවී, මුහු වෙවී සසර පෝෂණය නොකරන්නට අප කාටත් චාතුමාවේ සොඳුරු සන්දේශය හේතු උපකාරක වේවා!

සටහන – උදුලා පද්මාවතී.