සුභාවිත බොදු ගීතයක ප්‍රසාද මාධූර්යය

අන් සියලු ම රටවලට වඩා දෙදහස් වසරකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සාහිත්‍යය හා සංස්කෘතිය බැබළී පවත්නේ බුදු දහමින් ලද පෝෂණය නිසා ය. වෙනත් රටවලට වඩා ජාති ආගම් භේද නොතකා සෑම වර්ගයක ම ජන කොට්ඨාසයන් ඒකාත්මික ව, ඒකරාශී ව බුදුගුණ සිහිපත් කරන්නට පෙළඹී සිටිනුයේ තිරසර පදනමක පිහිටා සම්බුද්ධ ශාසනය ලංකා ධරණිතලය මත ස්ථාපිතව පැවති හෙයිනි.

බෞද්ධ සම්ප්‍රදාය තුළ හැඩගැසුණු තිසරණයේ තිරසර ලෙස පිහිටි ජනකායගේ අධ්‍යාත්ම ප්‍රබෝධය සියලු මනුෂ්‍ය වර්ගයා ඇතුළු පරිසරයට ද බලපෑ අයුරු පසුගිය සියවසේ මැදභාගය වනතුරු පැවති ලක්දිව සමාජය ගැන මෙනෙහි කරන විට පෙනී යයි. එවක සිටි අන්‍යාගමික කලාකරුවන්, මූර්ති හා කැටයම් ශිල්පීන් හා ගායකයන් බෞද්ධ සාහිත්‍ය කලා නිර්මාණ සිනමා කලා චිත්‍ර ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත්, ගෞරවයත් ඇතිවන පරිද්දෙනි.
වර්තමාන ගීත රචකයන්ට හා ගායන ශිල්පීන්ට හොඳ ආදර්ශයක් ලබා ගත හැකි පැරණි ගීත අද සමාජයට හඳුන්වා දීම සහ රස විමසුම වූ කලී වියැළී මියැදෙන්නට පෙර අප රට ජනකායගේ අධ්‍යාත්මය තෙමා සුරැකීම උදෙසා කරනු ලබන ප්‍රයත්නයක් වෙයි. සිංහල ගායකයන් සේ ම අන්‍යාගමික ගායකයන් ද එදවස ගායනා කළ බොදු ගීත අප හඳුන්වා දෙන්ට වෑයම් කරනුයේ එම අදහස පෙරදැරි කොටගෙන ය.

මෙම බොදු ගීතය ගායනා කරන ලද්දේ අද කාලයේ ගී රස විඳින්නන් බොහෝ දුරට අසාවත් නැති පැරණි සංගීතඥයකු වූ ඒ. ජේ. කරීම් නමැති ශිල්පියා විසිනි. ගීතය රචනා කළේ, එවක ප්‍රවීණ සිනමා රංගධරයකු වූ හර්බට් එම්. සෙනෙවිරත්න ය.

සාදු සිරීපා ශ්‍රී මුනිඳාගේ
පීනා දිනු භව සාගරේ…
සාදු සිරීපා

ඒ පොඩි රාහුල බිම්බා දේවි
හැර දා ගියේ මහ රෑ මපියේ
සාදු සිරීපා

අප මුදන ලෙසේ මේ ඝෝර භවේ
මේ ඝෝර භවේ
ඔබ වින්ද වූ මේ ඝෝර දුකා මේ ඝෝර දුකා
ඇඟ මාංස කපාලා ලේ දන් දී
එකසේම දයා පාලා…

ඒ රාහුල සේ අප සෑම සිතා
වනගත වීලා ධ්‍යාන වඩාලා
පීනා දිනු භව සාගරේ
සාදු සිරීපා

ජය සිරි මහ බෝධි මුලේදි එදා
දස පාරමී ධර්ම බලෙන් ස්වාමී
මාර පරාජේ දුන්…
මාර පරාජේ දුන්…

අප සාදු පියාවී ලෝ අගදී
ජය බිම මේ නගරේ විසාලා
වඳිමි සදා මා සාදරෙන්…
සාදු සිරීපා

බුදුරජාණන් වහන්සේගේ සිරිපා පද්මයට නමස්කාර කරමින් ගීතය ආරම්භ වෙයි. අනතුරුව දැක්වෙන “පීනා දිනු භව සාගරේ” යන සිව් වදන නඟන අනුභූතිය, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක අතීතයක් කරා දිවෙන, බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව භවගාමී ජීවිත පවත වෙත ශ්‍රාවක අවධානය රැගෙන යයි. එසේ ම තම මෑණියන් කර මත හොවාගෙන මහ සයුර පීනා ආ තැන් පටන් දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණය ලබා වරින් වර බෝසත් අත්බැව්හි ඉපිද භව සාගරයෙන් එතෙර වී ලද සම්බුද්ධත්ව විජයග්‍රහණය දක්වා වූ අනන්ත අපරිමාණ කාල පරිච්ඡේදය ද ඒ වදන් සතරින් ධ්වනිත වූ ආකාරය අසිරිමත් ය.

උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කොට වදාළ අවසන් මානව භවය උත්තම මනුෂ්‍යයකුට හිමි සකල විධ සම්පතින් ආඪ්‍ය වූවක් විය. තමන් අත්පත් සක්විති රජ සැපත හා සසර පුරා ඇවිද ආ ගමනේ තමන් කැටුව එක්ව ම ආ තම ප්‍රියාදර බිරිඳත්, සිඟිති පුතණුවනුත් හැර දා මහ රෑ ගිය ගමන මහභිනිෂ්ක්‍රමණය විය. “ඒ පොඩි රාහුල බිම්බා දේවි” යන ආදරණීය ඇමතුම සසර බැඳ තබන යදමක් වැන්න. ඒ බැම්ම සිඳ බිඳ දා ගිය මහ නික්මීම “හැර දා ගියේ මහ රෑ” යන ගී පදයේ ධ්වනියෙන් මතු වෙයි.

බෝධිසත්වයන් වහන්සේ සියල්ල හැරදා එසේ වැඩියේ තමන් වහන්සේගේ විමුක්තිය සඵල කර ගැනීම සඳහා පමණක් නොවේ. මේ ගොරතර සසරේ ඉපදෙමින් මැරෙමින් අනවරත භව ගමනක යෙදී දුක් විඳින අප සියලු දෙනා ඉන් මුදා ගැනීම සඳහා ය.

“අප මුදන ලෙසේ මේ ඝෝර භවේ – මේ ඝෝර භවේ”

‘ඝෝර භවේ’ යන යෙදුම දෙවරක් ප්‍රතිරාව දීමෙන් සසරේ භවගාමී ජීවිතය කොතරම් බිහිසුණු ද යන්න හැඟැවේ. ලෝක සත්වයන් විමුක්ති මාර්ගයක් කරා රැගෙන යාමේ අපේක්ෂාවෙන් දස පාරමිතා පිරූ බෝධිසත්වයන් වහන්සේ උපනූපන් අතීත ආත්ම භවයන්හි විඳි අප්‍රමාණ දුක් වේදනා ගීතයේ දෙවැනි ඛණ්ඩයෙන් පිළිරැව් නැඟෙනුයේ ශ්‍රාවක රසික සිත් කම්පනයට පත් කරවමිනි.

“වින්ද වූ මේ ඝෝර දුකා මේ ඝෝර දුකා
ඇඟ මාංස කපාලා ලේ දන් දී”

බෝධිසත්වයන් වහන්සේ මේ සියලු වධ වේදනා වින්දේ සියල් ලෝ සතුන් කෙරෙහි පතල වූ මහා දයානුකම්පාවෙනි. මේ ලොව අන් කිසිකෙනෙකුන් නොවිඳි මහ සැප සම්පතින් සපිරි සුකුමාර ජීවිතය හැරදා උන්වහන්සේ වනගත වූයේ තම එක ම පුතණුවන් වූ රාහුල කුමරුන් සේ අන් සියලු ලෝ සතුන් ගැන සිත මෙනෙහි කිරීමෙනි. මේ අනුකම්පනය අන් සියලු සාහිත්‍ය කලා නිර්මාණ අබිභවමින් ඉදිරිපත් කිරීමට මේ ගීතය සමත් වී තිබේ.

දස පාරමී දම් බෙලෙන් ජය සිරි මහ බෝධි මූලයේ දී දස මර සෙන් පැරදවූ මොහොත ගීතය අවසානයේ ඉදිරිපත් කරන්නේ අවස්ථානුකූල නින්නාද ස්වර සංගති තරඟ රටා මවමිනි.

“මාර පරාජේ දුන්… මාර පරාජේ දුන්…”

ඒ සමඟ ම සම්බුද්ධත්වය සාක්ෂාත් කළ මොහොත පළ කරනුයේ මුළු මහත් ලෝක ධාතුව නිවී සැනසී ගිය ආකාරය පසක් කරවමිනි.

“සාදු පියාවී ලෝ අගදී – ජය බිම මේ නගරේ”

උතුම් සම්බුද්ධත්වයේ පහස ලද තුන් ලොවට අග්‍ර වූ විසල් වූ ජය භූමිය වන්දනා කරමින් ගීතය අවසන් වෙයි. මගධ බසින්, පාලියෙන්, හෙළ බසින් මෙන් ම ලොවේ නන්විධ බස් වහරින්, දෙදහස් වසරක් මුළුල්ලේ සම්භාෂණයට බඳුන් වූ සම්බුද්ධ චරිතය, එක්මැ ගීතයක ස්වර සංගති පද වැලක් මගින් විභූෂණයට පත් වූ ආකාරය ආශ්චර්යයක් ම වන්නේ ය.

“වඳිමි සදා මා සාදරෙන් – සාදු සිරීපා”

නමෝ බුද්ධාය!

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති