මඛාදේව බෝසත්රජුගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ,

අපගේ බුදුරජාණන් වහන්සේ ගණන් නොකළ හැකි තරම් කල්ප ගණන් පෙරුම් පිරූ බව අපි අහලා තියෙනවා. ඒ පාරමී පිරීම ලෝකයේ සාමාන්‍ය මිනිසුන්ට කළ හැකි දෙයක් නොවෙයි. අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරා ඇති අයුරු ඉගෙන ගැනීමෙනුයි ඒ බව අපට වැටහෙන්නේ. උන්වහන්සේ අනන්ත අතීත ආත්මවලදීත් සංසාර විමුක්තිය සොයාගෙන සියලු දේ අත්හැර ගිය කෙනෙක්. එයට කියන්නේ නෛෂ්ක්‍රම්‍යය කියලයි. පාලි භාෂාවෙන් ‘නෙක්ඛම්ම’ කියලා කියනවා. සසර දුකින් නිදහස් වීමේ ආශාවෙන් සියලු කාම වස්තු අත්හැර දැමීමයි. මහබෝසතාණන් වහන්සේ ගේ අත්හැර දැමීම හරි පුදුම සහගතයි.

ඉතින් දවසක් සැවැත් නුවර දම්සභා මණ්ඩපේට භික්ෂූන් වහන්සේලා රැස් වුනා. භාග්‍යවතුන් වහන්සේ විමුක්තිය සොයා අභිනික්මන් කළ ආකාරය ගැන කතාබස් කරමින් සිටියා.

“හැබෑට ම ඇවැත්නි…. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එහෙම දේ කරනවා කියා සිතින් සිතාගන්ටවත් බැහැ. රාහුල සිඟිති කුමාරයා උපන් දවසේ ම ගිහි බන්ධනය සිඳ බිඳ දැම්මා නොවැ. රම්‍ය, සුරම්‍ය, සුභ කියලා තුන් ඍතුවට ම හැදූ මාළිගා දිහා හැරිලාවත් බැලුවේ නැහැ නොවැ. කනකලතාවක් වගේ රූසිරින් බැබලී ගිය රාහුල මාතාවන් දෙස නොබලා විමුක්තිය දෙස බලාන ගියා නොවැ….. එහෙම එඩිතර තීරණයක් ගන්න සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කිසිම හැකියාවක් නෑ…..”

ඔය අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩමවා වදාළා. පනවන ලද බුද්ධාසනයෙහි වැඩ සිටියා.

“මහණෙනි, මං එන්නට පළමු කතාබස් කරමින් සිටියේ කුමන කරුණක් ගැන ද?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපි දෙතිස් කතා ආදී ධර්ම මාර්ගයට හානිකර වූ ලාමක කතාවන් කළේ නෑ. අපි මේ කතාබස් කරමින් සිටියේ භාග්‍යවතුන් වහන්සේ එදා සම්බුදු බව පිණිස, උතුම් විමුක්තිය පිණිස ගිහි ජීවිතය අත්හැර අබිනික්මන් කළ ආශ්චර්ය අද්භූත ආකාරය ගැනයි.”

“මහණෙනි, විමුක්තිය සොයාගෙන ගිහි ජීවිතය අත්හැර ගිහි ගෙයින් නික්ම ගියේ මේ ජීවිතේ විතරක් නොවෙයි. කෙළවරක් නැති අතීත සසරේ මං අනන්තවත් එහෙම ගිහි ජීවිතේ අත්හැර ගිහින් තියෙනවා.”

“අනේ ස්වාමීනී…. භාග්‍යවතුන් වහන්ස, ඒ අතීත ආත්මයේ බෝසත් අවධියේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැර ගියේ කොහොමද? අපි ඒ ගැන කථාවක් අහන්නට කැමතියි.”

එතකොට භාග්‍යවතුන් වහන්සේ කාලයේ වැලි තලාවෙන් වැසී ගිය බෝසතුන් ගේ ජීවිත කථා පෙළින් තවත් එක් අවස්ථාවක් මෙසේ පෙන්වා වදාළා.

“මහණෙනි, ගොඩාක් ඉස්සර ඈත අතීතේ දඹදිව විදේහ කියලා රටක් තිබුනා. ඒ රටේ මිථිලා කියලා අගනුවරක් තිබුනා. ඒ නගරේ ‘මඛාදේව’ කියල රජෙක් වාසය කළා. ඔහු ඉතා ධාර්මිකයි. දැහැමි රජෙක්. ඒ කාලේ මිනිස්සුන්ට ගොඩාක් වයස තිබුනා.

ඉතින් ඒ මඛාදේව රජුත් කුමාරයෙක් හැටියට අසූහාරදහසක් අවුරුදු සෙල්ලමෙන් ගත කළා. යුවරාජ තනතුරෙත් අසූහාරදහසක් අවුරුදු ගත කළා. මහාරජෙක් හැටියටත් අසූහාරදහසක් අවුරුදු ගත කළා. දවසක් මේ මඛාදේව රජ්ජුරුවෝ තමන් ගේ හිස පීරා සරසන සේවකයාට කතා කළා.

“මිත්‍රය….. ඔබ මගේ හිස පීරද්දී මගේ හිසේ ඉදී ගිය කෙස් ගසක් දැක්කොත් වහාම මට දැනුම් දෙන්න ඕනා.”

එදා ඉඳලා මේ සේවකයා ඉතාම ඕනෑකමින් හිස පීරනවා. බොහෝ කාලයක් ගත වුනාම රජ්ජුරුවන් ගේ අඳුන් වැනි කාලවර්ණ කේශ කලාපයේ එක කෙස් ගසක් ඉදී තිබෙන බව ඔහුට දකින්නට ලැබුනා.

“දේවයන් වහන්ස….. ඔබවහන්සේ ගේ සිරසෙහි කාලවර්ණ කෙස් ගස් අතරේ එක කෙස් ගසක් ඉදී තිබෙන බව පෙනේ!”

“බොහොම හොඳයි මිත්‍රය….. එහෙම නම් ඒ ඉදුනු කෙස් ගස උදුරලා මගේ අතින් තියන්න.”

එතකොට කෙස් පීරන සේවකයා රන් අඬුව ගෙනැවිත් බොහෝම පරිස්සමෙන් ඒ ඉදුනු කෙස් ගස ගැලෙව්වා. මඛාදේව රජ්ජුරුවන්නේ අතේ තිබ්බා. ඒ වෙද්දී මඛාදේව රජුට තව අසූහාරදහසක් අවුරුදු ජීවත් වෙන්න කාලය ඉතිරි වෙලත් තිබ්බා. එසේ තිබියදීත් ජීවිතය ගැන මෙහෙම සිතුවා.

“ඕ… හෝ…. මගේ ජීවිතේ ගෙවිලා ගියා නොවැ. මාරයා පැමිණෙන බව ඕං මට දැනුම් දුන්නා. තමන් ඉන්න ගෙදර වහළට ගිනි ඇවිලුනා වගෙයි මේ ලකුණ” කියල ඔහු තමාට ම අමතන්න පටන් ගත්තා.

“එම්බල මඛාදේව…. නුඹ මහා මෝඩයෙක්….. ඇයි නුඹ තවත් ප්‍රමාද වෙන්නේ….? කෙස් ගසක් ඉදුනා…. ඕන්න…. නුඹට ජීවිතේ අවසන් වෙන බව දැනුම් දුන්නා. නුඹට තාමත් මේ කෙලෙස් අත්හරින්ට බැරිද?”

මහණෙනි…. ඉතින් මඛාදේව රජ්ජුරුවෝ අර කෙස් ගහ අතේ තියාගෙන නැවත නැවතත් ජරා මරණ ගැන මෙනෙහි කළා. එහෙම දිගින් දිගටම මෙනෙහි කරද්දී ශරීරය ඇතුලෙන් දාහයක් උපන්නා. ශරීරයෙන් දහඩිය ගලන්න පටන් ගත්තා. සළුපිළි දහඩියෙන් හොඳටම තෙත් වෙලා ගියා. එතකොට මෙහෙම සිතුවා.

“ඔව්! මං අද ම මේ හැම දෙයක් ම අත්හරිනවා…. ඔව්…. මං අදම පැවිදි වෙනවා…” කියලා ඒ හිස පීරපු සේවකයාට කහවණු ලක්ෂයක ආදායම ඇති ගම්වරයක් දුන්නා. තමන්ගේ වැඩිමහල් පුත්කුමරාව කැඳෙව්වා.

“මා ප්‍රිය පුත්‍රය…. මගේ හිසේ කෙස් ගසක් ඉදිලා ගියා. මං දැන් මහල්ලෙක්. ජරා මරණය ඇති දිසාවට මුහුණ හරවාගෙන යන කෙනෙක්. මිනිස් ලෝකේ ඇති සම්පත් මං දැන් වින්දා නොවැ. මං දෙව්ලොව යන්නයි ආසා. ඒ නිසා මං හැම කාම සම්පත්තියක් ම අත්හරින්න තීරණය කළා. ඔබට අදම මේ රාජ්‍යය පවරනවා. මට මේ මඛාදේව අඹ වනයේ වාසය කරමින් බණභාවනා කරගෙන වසන්නට පුළුවනි.”

මේ කාරණය ඇමතිවරුන්ට සැලවුනා. ඔවුනුත් වහා මාළිගාවට රැස්වුනා. “දේවයන් වහන්ස,…. ඔබවහන්සේ රජකම අත්හැරලා මේ සියලු සැප සම්පත් අත්හැරලා මේ තරම් ඉක්මනින් පැවිදි වෙන්න තීරණය කලේ මන්ද?”

එතකොට මහණෙනි… ඒ මඛාදේව රජ්ජුරුවෝ අර ඉදී ගිය කෙස් ගස තම අත මත තබාගෙන ඒ ඇමතිවරුන්ට මේ ගාථාව පැවසුවා.

‘මගේ හිස කෙස් මතුයෙහි
ජීවිතේ ආයුෂ පැහැර ගන්නා
මේ ඉදුනු කෙස් පහළ වී ඇත
ජරා මරණයෙ ලකුණු අරගෙන
පැමිණියාහුය දේවදූතයෝ
දැන් මට පැවිදි වෙන්නට කාලය යි!’

මහණෙනි… ඉතින් ඒ කාලෙත් ඒ මඛාදේව රජු එබඳු සුළු කරුණකිනුත් ගිහි ජිවිතේ ගැන කළ කිරුනා. පැවිදි වෙන්නට කැමති වුනා. ඒ වෙනුවෙන් හැම දෙයක් ම අත්හැරියා. එදාම අත්හැරියා. ඍෂි පැවිද්දෙන් පැවිදි වුනා. මාළිගයෙන් බැහැලා මඛාදේව අඹ වනයට පිටත් වුනා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහාර භාවනාව කළා. ධ්‍යාන උපදවා ගත්තා. අසුහාරදහසක් අවුරුදු පැවිදි ජීවිතය ගත කළා. මරණින් පසු බ්‍රහ්ම ලෝකයේ උපන්නා. ගොඩාක් කල් ඒ බ්‍රහ්ම ලෝකයේ වාසය කළා. ආයෙමත් ඒ බ්‍රහ්ම ලෝකෙන් චුත වුනා. ඒ විදේහ රටේ මිථිලා නුවර ම නිමිරාජයා නමින් රජ වුනා. ඒ රාජවංශයේ දීර්ඝ ධාර්මික පාලනයට උත්සාහ කළා. ඒ රාජකීය ජීවිතය අත්හැරියා. ආයෙමත් පැවිදි වුනා. බ්‍රහ්මවිහාර භාවනාව කළා. ඒ අඹවනයේ ම වාසය කළා. නැවතත් මරණින් පසු බ්‍රහ්මලෝකයේ ම උපන්නා.

මහණෙනි… තථාගතයන් විමුක්තිය සොයාගෙන අබිනික්මන් කළේ මේ ආත්මයේ විතරක් නොවේ. කෙළවරක් නැතිව මේ සසරේ ඔය විදිහට ගිහි ගෙයින් නික්මී විමුක්තිය සොයාගෙන ගිහින් තියෙනවා.

නමුත් මහණෙනි…. ඒ හැම අවස්ථාවෙම ආපහු කරකැවී සසරට එන්නට සිදුවුනා. දැන් එහෙම නොවෙයි. මේ අවස්ථාවේ කෙනෙක් විමුක්තිය කරා ගියොත් කිසිදාක භව දුකකට වැටෙන්නේ නෑ”යි වදාළ භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍යය ධර්මය මැනවින් දේශනා කොට වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා ඒ දේශනාවට හොඳින් සවන් දුන්නා. බොහෝ දෙනෙකුට තම තමන්ගේ නුවණට අනුව ඒ ධර්මය අවබෝධ වුනා. සමහරු සෝවාන් වුනා. සමහරු සකදාගාමී වුනා. සමහරු අනාගාමී වුනා. සමහරු රහත් වුනා.

“මහණෙනි… ඒ කාලේ මගේ හිස පීරන සේවකයා වෙලා උන්නේ මේ අපගේ ආනන්දයන්. මං රාජ්‍යය පැවරූ පුත්‍රයා වෙලා හිටියේ රාහුලයන්. මඛාදේව රජ්ජුරුවෝ වෙලා හිටියේ මම යි” කියලා භාග්‍යවතුන් වහන්සේ මේ ජාතක කථා දේශනාව අවසන් කොට වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ,

සංසාරය ගැන නොදත් බොහෝ දෙනෙක් අපගේ භාග්‍යවතුන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරදා ගිය ආකාරය ගැන නොසතුටු වෙනවා. රාහුල කුමාරයා තනි වුනාලු. අප්පච්චියෙක් නැති වුනාලු. රාහුලමාතාවටත් මහා අසාධාරණයක් වුනාලු. කාම මඩ ගොහොරුවේ නාසයටත් ඉහළින් ගිලී සිටින සාමාන්‍ය ලෝකයාට මේ වගේ දෙයක් ගැන සිහිනෙකින්වත් සිතාගන්නට බැහැ. ඔවුන් කාමය නිසා ම හටගන්නා ආරවුල් වලදී දරුවන් පොළොවේ ගසා මරනවා. තම බිරිඳ මරා දමනවා. පුරුෂයා මරා දමනවා. බලන්න. අපගේ භාග්‍යවතුන් වහන්සේ ගේ බෝසත් ජීවිතය පවා කොතරම් අසිරිමත් ද! මොනතරම් සැහැල්ලු ද. අහිංසක ද. බලකාමයෙන් මත් වූ බල අරගලයෙන් වියරු වැටී ගිය ලෝකය ඉදිරියේ මේ ලස්සන කතා අසන්නට ලැබීමත් වාසනාවකි!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ