දේව ධර්මය කුමක් දැයි විමසූ දියරකුසාගේ කථාව

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපි කව්රුත් දැන් මිනිස් ලොව ඉපදී සිටියාට අතීත සසරේ නොයේක් ආත්මවල ඉපදුන අය. නොයෙක් නොයෙක් සත්ව තලවල උපන්න අය. ජීවිතේ සැබෑ ස්වභාවය කතා කරන ධර්මය ඇති කාලෙක එය දැන ගන්න පරිසරයක උපදින්න ලැබෙන්නෙ කලාතුරකින්. බුදු සසුනක් ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.

මේ කථාවෙන් කියැවෙන්නේ බුදු සසුනේ පැවිදි වූ ටිකාක් වයසක පහේ හිතුවක්කාර භික්ෂුවක් ගැනයි.

සැවැත්නුවර සැදැහැවත් ගැමි ගෙදරක් තිබුනා. ගෙදර ස්වාමියයි බිරිඳයි දෙන්නාම නිතර දෙව්රමට යනවා. බණත් අහනවා. දානෙත් දෙනවා. මේ උදවියට දරුවෝ නෑ. කලක් යද්දී බිරිඳ අසනීප වුනා. බේත්හේත් කළාට සුව වුනේ නෑ. ඈ මිය ගියා. සැමියා තනි වුනා. එතකොට ඔහු මෙහෙම කල්පනා කළා.

“දැන් අපේ හාමිනේත් නෑ…. මං විතරක්… මේ ගෙදරට වෙලා තනියම ජීවත් වෙන එකේ කිසි තේරුමක් නෑ…. ම්…. මටත් දැන් පැවිදි වෙන්නයි තියෙන්නෙ.”

ඉතින් ඔහු සංඝයාට මෙකරුණ දන්වල පැවිදි වෙන්න කැමැත්ත පළකළා. ඊට පස්සේ ගෙදර තිබුනු මුදල් යොදවල ටිකක් ඈතට වෙන්න කුටි කීපයක් හදවා ගත්තා. කුස්සියකුත් හදවා ගත්තා. බඩු ගබඩාවකුත් හදවා ගත්තා. ගබඩාවේ ගිතෙල් සහල් පිටි ආදිය පුරවලා පැවිදි වුනා. පැවිදි වෙලා ගෙදර හිටිය දාසයන්ව කැඳවා ගත්තා. තමන් කැමති කැමති ආහාර පාන හදවාගෙන වළඳමින් විවේකීව වාසය කළා. දවසක් තම සේවකයන් ලවා තමන් ගේ සිවුරු පිරිකර බඩු මුට්ටු අව්වේ වේලෙන්න දැම්මා.

එදා බොහෝ ජනපදවාසී භික්ෂූන් වහන්සේලා සේනාසන චාරිකාවේ සැරිසරා වඩිද්දී මේ භික්ෂුව ගේ කුටි සංකීර්ණයටත් වැඩියා. හැම තැනම සිවුරු පිරිකර වේලෙන්න දාලා.

“ඇවැත…. මේ ස්ථානයේ ගොඩාක් භික්ෂූන් ඉන්නවාද?”

“අනේ නෑ ඇවැත්නි…. මං විතරයි ඉන්නේ…”

“ඈ…! වෙන්න බෑ…. එතකොට මේ සිවුරු පිරිකර බඩු මුට්ටු ඔක්කෝම ඔබ ගේ තනි පාවිච්චියට ද තියෙන්නේ….?”

“එහෙමයි… ඇවැත්නි… මට එතකොට පහසුයි.”

“ඒ කියන්නෙ ඇවත…. මේ සිවුරුත්…. අර සිවුරුත්….. මේ අඳන… අර අඳන…. මේ පොරෝනා…. අතන තියෙන පොරෝනා…. මේ ඇතිරිලි…. අර ඇතිරිලි…. ඒ හැම එකක් ම ඔහේ ගෙ ද?”

“එහෙනම්… ඔව්… ඔව්…. ඕවා මයේ මිසක් වෙන කාගෙද….!”

“හප්පේ… ඇවත…. ඉතාම සරල ජීවිතයක් ගැන උගන්වන බුදු සසුනේ පැවිදි වෙලා මදෑ ඔහේ කරගත්තු හරිය…. දහ දෙනෙකු ගේ පිරිකර නොවැ…. හා… හා…. යමු ඇවත…. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් මේ ගැන සැලකරමු. ධර්ම මාර්ගයට උදව් ලැබෙන විදිහට අපි සරල කරගනිමු.”

එතකොට ඒ වයසක භික්ෂුව එයට අකමැති වුනා. අකැමැත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ ළඟට කැඳවාගෙන ගියා.

“ඇයි… මහණෙනි… ඔය භික්ෂුව අකැමැත්තෙන් වගේ කැඳවාගෙන එන්නේ.”

“ස්වාමීනී…. භාග්‍යවතුන් වහන්ස…. මේ භික්ෂුව ළඟදි පැවිදි වුනේ. ධර්මය ඉගෙනීමට හෝ සතිපට්ඨානය වැඩීමට උනන්දුවක් නෑ. අඳන සිවුරු මහත් රාශියක් ගොඩ ගසාගෙන, බඩු ගොඩාක් එකතු කරගෙන මහා සංකීර්ණ බවට පත් වෙලා. සරල බව පේන තෙක් මානයේ නෑ…. කිසි තේරුමක් නැති බහුභාණ්ඩික වෙලා……”

“හැබෑද භික්ෂුව… මේ කියන්නේ… ඔබ බහුභාණ්ඩිකයෙක් වුනාද…?”

“එහෙමයි…. භාග්‍යවතුන් වහන්ස.”

ඇයි… භික්ෂුව… නිකම් බඩු ගොඩ ගහගෙන දුක් විඳින්නේ… නිතර දස කථාවෙන් කල් ගෙවන්න කියන්නේ සරල බව ඇති කරගෙන මේ නිවන් මගට උපකාරී වෙන්නයි. භික්ෂුව මම වර්ණනා කරන්නේ අල්පේච්ඡව අඩු ආශාවෙන් වාසය කිරීම ගැනයි. ලද දෙයින් සතුටු වීම ගැනයි. හුදෙකලාවේ භාවනාවෙන් විසීම ගැනයි. පිරිස් සමඟ එකතු වී නොසිටීම ගැනයි. පටන් ගත් වීරිය ඇති බව ගැනයි…. ඉතින් භික්ෂුව, ඔබත් කැමැති විය යුත්තේ ඒ සරල බවට යි.”

එතකොට ඒ වයසක භික්ෂුවට හොඳට ම කේන්ති ගියා. “හරි වැඩක් නොවැ. එහෙනම් මට කියන්නේ මේන්න මේ විදිහට ඉන්න කියලද” කියලා ඒ භික්ෂුව පොරොවා ගෙන සිටිය සිවුර ගලවල බිම දැම්මා. අඳනය පිටින් හිටගෙන සිටියා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, යහපත පිණිස අවවාදයක් කරද්දී එයට කිපී පිරිස් මැද සිවුර උනා දාපු මේ වයසක පැවිද්දා ගැන භාග්‍යවතුන් වහන්සේට මොනතරම් අනුකම්පා හිතෙන්න ඇද්ද. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.

“භික්ෂුව….. ඉස්සර ආත්මෙක ඔබ දිය රකුසෙක් වෙලා ඉපදිලා හිටියා. රකුසෙක් වෙලත් ලැජ්ජා භය දෙකේ අරුත සොයමින් ඔබ දොළොස් අවුරුද්දක් වෙහෙසුනා….. දැන් බලන්න…. නිවන් ලබාදෙන බුදු සසුනක පැවිදි වෙලත් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව්වණක් පිරිස මැද්දේ කිසි වගක් නැතිව පොරොවා ගත්තු සිවුරත් පැත්තකට දාලා ලැජ්ජා භයත් පැත්තකට දාලා සිටගෙන ඉන්නවා නොවැ. එතකොට ඒ භික්ෂුවට ලැජ්ජා භය හටගත්තා. ඉක්මනින්ම බිම නැමී සිවුර අරගෙන පොරොවා ගත්තා. ශාස්තෘන් වහන්සේට වන්දනා කළා. එකත්පස්ව වාඩි වුනා. ඒ භික්ෂුව දිය රකුසෙක්ව ගත කළ ජීවිතේ ගැන දැනගන්න එතන හිටිය භික්ෂූන්ට ආසා හිතුනා. ඒ කාත් කවුරුත් නොදන්න කතාව කියාදෙන්න කියල භාග්‍යවතුන් වහන්සේගෙන් ඉල්ලා සිටියා.

“මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙ කසී රට බරණැස් නුවර බඹදත් කියල රජෙක් හිටියා. ඒ කාලේ බෝධිසත්වයෝ ඔය රජ්ජුරුවන්ගේ අගමෙහෙසියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. මේ කුමාරයට මහිංසාස යන නම ලැබුනා. මහිංසාස කුමාරයා දුව පැන සෙල්ලම් කරන අවදියේ රජ බිසොවට තවත් පුතෙක් ලැබුනා. ඔහුට චන්ද කුමාරයා යන නම ලැබුනා. ඒ චන්ද කුමාරයා දුව පැන යන කාලෙ මේ කුමාරවරුන්ගේ මව මරණයට පත්වුනා. රජතුමා ගොඩාක් දුකට පත්වුනා. ටික කලක් ගත වෙද්දී වෙනත් බිසොවකට අගමෙහෙසි තනතුර ලැබුනා. අලුත් අගමෙහෙසියටත් පුතෙක් ලැබුනා. ඒ පුතුට සූරිය කුමාරයා යන නම ලැබුනා. ඒ සූරිය කුමාරයාත් හරී ලස්සනයි. පුත් කුමරු දුටු රජතුමාගේ සතුට ඉහවහා ගියා.

“මා ප්‍රිය දේවී…. මේ සිඟිත්තා හරීම ලස්සනයි නොවැ. මට අද හරී සතුටුයි…. දේවී…. ඔයා මගෙන් කැමැති වරයක් ඉල්ලන්න. ඒ ඕනෑම වරයක් මං ඉටු කරන්නම්.”

“දේවයන් වහන්ස… මටත් අද ගොඩාක් සතුටුයි. සතුට වැඩිකොම ද මන්දා…. දැන් මේ වෙලාවෙ එහෙම කිසි වරයක් ගැන මගේ සිතට එන්නේ නෑ…. අනේ මං පස්සෙ කියන්නම් හොඳේ….”

දෙවෙනි අගබිසොව සූරිය කුමාරයා යොවුන් වයසට එනකල් ඇඟිලි ගනිමින් බලා සිටියා. දවසක් රජු සතුටින් ඉන්න වෙලාවක් බලලා වරය ඉල්ලුවා.

“දේවයන් වහන්ස… මං මේ කියන්නේ… එදා… ඔබවහන්සේට හොඳ…ට මතකයි නොවැ… අපේ සූරිය කුමාරයා උපන්දා… ඒ වෙලාවේ අපි හැමෝ… ම… හිටියේ… හරීම… සතුටින් නේ… ඉතින්…. දේවයන් වහන්සේට මතකයි නොවැ… අර ඉල්ලන්න කියපු… වරය…”

“ඔව්…. දේවිය… මොකදෑ මට අමතක…. මටත් මතකයි…. හා… හා… ඉතින්… කියන්ට…”

“ඉතින් දේවයන් වහන්ස…. අපේ මේ සූරිය කුමාරයාට…. ඔව්…. අපේ සූරිය කුමාරයාට රජකම ලැබෙන්න ම ඕනා….. ඒකයි මං ඉල්ලන එකම වරය……!”

එතකොට රජතුමා ගේ මූණ වෙනස් වුනා. ඇස් ලොකු වුනා. අගබිසොව දිහා රවලා බැලුවා.

“හෑ…. මොකාක්…. රජකොම…. කාටෙයි රජකොම…. සූරිය කුමාරයාට. ඇයි…. නුඹ දැක්කෙ නැද්ද…. මහා ගිනි කඳන් වගේ බැබලි බැබලී ඉන්න මගේ අනිත් වැඩිමහල් පුත් කුමාරවරු…?… නුඹ සිහි විකල්ලෙන් ද ඉන්නේ…..”

“හානේ… දේවයන් වහන්ස…. ස්ත්‍රීන් රවට්ටන්ට බොරුවට වරයක් දෙනවා කියලා දැනගත්තොත් රට්ටු මක්කා කියාවිද… තමුන්ගෙ අගබිසව්ටත් වංචා කොළා කියලා… මං එහෙනම්… අඬබෙර ගස්සනවා…. එදා….. එදා…. ඔ… ඔබවහන්සේ එහෙනම් මාව රවට්ටන්ටද එහෙම කි… කිව්වේ… අයියෝ… මේ වරය ඉටු නොකොළොත් ඔබවහන්සේට මහා කැළලක් වේවි…..”

දෙවෙනි අගබිසොව අතාරින්නෙ නෑ. ඈත් පස්සෙන් පන්න පන්න රජ්ජුරුවන් ගේ වරය ඉල්ලනවා. බැරිම තැනේදි රජතුමා වැඩිමහල් කුමාරවරු දෙන්නාට කතා කළා.

“මයෙ පුත් කුමරුනේ…. මගෙන් බරපතල අත්වැරැද්දක් වුනා. අපේ සූරිය කුමාරයා උපන් දා සතුට වැඩිකොමට මං අපේ අගබිසොවට වරයක් දුන්නා….. දැන් ඈ සූරිය කුමාරයට රජකම ඉල්ලනවා. මං ඒකට කැමැති නෑ. ස්ත්‍රීන් විශ්වාස නෑ…. පුතාලාට කිසියම් අනතුරක් කරවන්ට බැරි නෑ…. ඒ නිසා පුත්කුමරුනේ…. වනාන්තරේට ගොහින් ජීවත් වෙන්න. මගෙන් පස්සෙ ඇවිත් කුල සන්තක නගරයක රාජ්‍යය කරන්ට” කියල දරු දෙන්නාව වැළඳගෙන හැඬුවා. පුත් කුමරුන් ගේ නළල සිම්බා.

ඉතින් ඒ කුමාරවරු පියරජුට වන්දනා කළා. රජමැදුරෙන් පිටත් වෙලා ගියා. රාජාංගනේ සෙල්ලම් කරමින් සිටි සූරිය කුමාරයා මෙය දැක්කා. “අයියණ්ඩී… මාත් එනවා…. ඔයාල නැතිව මං මෙහෙ ඉන්නෙ නෑ” කියල ඔහුත් ඔවුන් සමග පිටත් වුනා. හිමාලයට ම ගියා.

බෝධිසත්වයෝ අතරමග ගිමන් හරින්ට රුක් සෙවනක වාඩිවුනා. තම බාල සොහොයුරු ඇමතුවා.

“මල්ලියේ… සූරිය… ආන්න අර ඈත පේන විලට ගොහින් කැමති නම් නාගෙන, පැන් බීලා මටත් නෙළුම් කොළේකට පැන් අරගෙන එන්න”

ඒ විලේ දිය රකුසෙක් ඉන්නවා. ඔහු වෙසමුණි දෙව්රජුගෙන් වරම් ගත්තු කෙනෙක්. මේ විලට බසින අයගෙන් යමෙක් දේවධර්මය දන්නවා නම් ඔහුව බිලි ගන්ට වරම් නෑ. දේව ධර්මය නොදන්නා අය වතුරට බැස්සොත් බිලිගන්ට අවසර තියෙනවා.

ඉතින් සූරිය කුමාරයා මොකෝවත් විමසන්නේ නැතිව විලට බැස්සා විතරයි දියරකුසා ඔහුව අල්ලා ගත්තා.

“හා….! දැන් කියාපිය…. දේව ධර්මය යනු කුමක්ද….?”

ඔහුට එක්වරම හිතාගන්න බැරිව ගියා. ඔහු මෙහෙම කිව්වා. “අනේ… රාක්ෂසය… දේව ධර්මය කියන්නේ චන්ද්‍රයාට යි සූර්යයාට යි නොවැ.”

“හහ්…. හහ්… හා… තෝ…. දන්නේ නෑ” කියල දිය රකුසා සූරිය කුමාරයාව දිය යට තමන්ගේ වාසස්ථානයේ සිර කළා.

බෝධිසත්වයෝ මග බලාගෙන ඉන්නවා. වතුරත් නෑ. සූරිය කුමාරයත් නෑ. “මල්ලියේ… චන්ද… සූරිය ගියා තවම ආවේ නෑ. ඔයා යන්න. ගිහින්… මල්ලිවත් එක්කරගෙන මටත් නෙළුම් කොලේකට පැනුත් අරගෙන එන්න.”

චන්ද කුමාරයත් කෙලින් ම ගිහින් විලට බැස්සා විතරයි. දියරකුසා අල්ලා ගත්තා. දේව ධර්මය යනු කුමක් දැයි ඇසුවා. ඔහු කීවේ දේව ධර්මය යනු සතර දිසාව කියලයි. උත්තරය වැරදියි. ඔහුවත් දිය යට රකුසු භවනේ හැංගුවා.

සොයුරන් දෙන්නා ම ගියා ගියා ම යි. ආවේ නෑ. ඒ ගමන බෝසත් කුමාරයා පිටත් වුනා. විල අසල සිටගෙන හොඳින් වටපිටාව විපරම් කළා. ‘ම්… විලට බැහැපු අඩිපාර තියෙනවා. විලෙන් ගොඩ වුන කෙනෙකුගේ අඩිපාර පේන්ට නැහැ නොවැ…… මෙතැන තියෙන ගුප්ත ස්වභාවයේ හැටියට නම් රකුසෙක් වත් ඉන්නවාද දන්නෑ. කෝකටත් මං සූදානමින් ඉන්න ඕනා’ කියලා කඩුවත් ලෑස්ති පිට තියාගත්තා. දුනු ඊතලත් මානා ගත්තා. එතකොට වනාන්තරේ සිට පුරුෂයෙක් ආවා. බෝසතුන්ට මෙහෙම කිව්වා.

“භවත් පුරුෂය… මොකද ඔය…. විලට භය වෙන්නෙ මොටද…. ගමන් වෙහෙසකුත් තියෙනවා වගෙයි…. විලට බහින්ට… හොඳට වතුර නාගන්ට…. පැනුත් බොන්ට….. නෙළුම් අලත් කාලා…. මල් මාලෙකුත් ගොතාලා…. පැළඳගෙන…. නිවී හැනහිල්ලේ යන්ට එපායැ…”

එතකොට බෝසතාණෝ ඔහු දිහා බැලුවා. “ම්… මොහු ඇස පිය හෙලන්නේ නෑ….. ඔය…. හෙවනැල්ලත් නෑ….. මාවත් විලට බස්සවන්නයි හදන්නේ. මොහු වෙන්න ඕන මේ විලට අරක් ගත් යක්ෂයා….” කියල සිතාගෙන ඔහු ඇමතුවා.

“එම්බල යක්ෂය…. ඇත්ත කියාපන්… මගේ සහෝදර කුමාරවරු දෙන්නව ගත්තේ නුඹ නේද?”

“ඔව්… මං තමයි.”

“ඇයි… එහෙම කළේ?”

“මේ විලට බහින අයව මට බිලිගන්ට පුළුවනි.”

“ඒ කියන්නේ මේ විලට බහින සියලුම දෙනාම බිලිගන්ට පුළුවන් ද?”

“බෑ… දේව ධර්මය දන්නා අයව බිලිගන්ට බෑ. අනිත් අයව පුළුවනි.”

“එම්බල යක්ෂය…. නුඹට දේව ධර්මයෙන් ප්‍රයෝජනයක් තියෙනවාද?”

“අනේ ඔව්… මං හරී ආසාවෙන් ඉන්නේ මොකක්ද මේ දේව ධර්මය කියලා දැනගන්ට.”

“හරි… මං දේව ධර්මය දන්නවා.”

“එහෙනම්…. කුමාරය… දේව ධර්මය කියන්න මට.”

“කොහොමද මං මෙහෙම අපවිත්‍ර ශරීරයකින් යුක්තව දේව ධර්මය කියන්නේ….”

එතකොට දියරකුසා මහිංසාස කුමාරයාව සිහිල් දියෙන් නෑව්වා. භෝජන අනුභව කෙරෙව්වා. පැන් පෙව්වා. සුවඳ මල් මාලාවක් පැළැන්දුවා. අලංකාර මණ්ඩපයක් මවලා ඇතිරිලි දාපු වටිනා අසුනක් පිළියෙල කළා. බෝධිසත්වයෝ ආසනේ වාඩි වුනා. රකුසාව බිමින් වාඩි කෙරෙව්වා.

“යක්ෂය… එහෙනම්… හොඳින් සවන් යොමු කොට අසාගන්න. මං දැන් දේව ධර්මය කියන්නයි යන්නේ” කියල මේ ගාථාව පැවසුවා.

“හිරිඔත්තප්ප සම්පන්නා – සුක්කධම්මසමාහිතා
සන්තෝ සප්පුරිසා ලෝකේ – දේවධම්මාති වුච්චරේ”ති.

‘කුසල් දහමට එක්ව පවතින
පවට ලැජ්ජාවත් භයත් දෙක
දේව ධර්මය කියා මෙලොවේ
ශාන්ත සත්පුරුෂයෝ පවසති’

ඊට පස්සේ ඒ දියරකුසා ඉතා සතුටු වුනා. ඒ ගැන විස්තර කියාදෙන්න කියල කිව්වා. බෝධිසත්වයෝ ලැජ්ජා, භය දෙක ගැන ඉතාම ලස්සනට විස්තර කළා. “යක්ෂය…. කයෙන් කෙරෙන දුශ්චරිත තියෙනවා. සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය ආදියයි. ඒ වගේ ම වචනයෙන් කෙරෙන දුශ්චරිත තියෙනවා. බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදියයි. මනසින් කෙරෙන දුශ්චරිත තියෙනවා. අන්සතු දේ තමා සතු කරගන්ට ආසා කිරීම, ද්වේෂ කිරීම, පින් පව් පිළිනොගැනීම යනාදියයි. යමෙක් මේවා කරන්ට ලැජ්ජයි. ඒ කියන්නේ දුශ්චරිතයේ යෙදෙන්ට ලැජ්ජයි.

තමන්ව ප්‍රධාන කොට, වැදගත් කොට, උතුම් කොට, නුවණැත්තෙකු කොට කල්පනා කරලා ලැජ්ජාව උපදවා ගන්ට පුළුවනි. මං මෙහෙම කෙනෙක්. මං වගේ කෙනෙකුට මෙවැනි ලාමක දේවල් කරන්ට වටින්නේ නැහැ නොවැ කියල.
පවට භය ඇති වෙන්නේ මෙහෙමයි. “හප්පේ… මේ ලෝකේ දෙවිවරු ඉන්නවා. දිවැස් තියෙන අය ඉන්නවා. අනුන් ගේ සිත් දැනගන්න ඇහැක් අය ඉන්නවා. ඒ උත්තමයෝ මාව දැක්කොත් වස ලැජ්ජාව නොවැ. මං ඒකට නම් හරී භයයි. අනික මගේ හිත මට දොස් කියනවාට මං භයයි. වෙන කෙනෙක් මට දොස් කියනවාටත් භයයි. අනික් මේ වගේ වැරදි වලට තමයි භයානක දඬුවම් තියෙන්නේ. හප්පේ…. මං මොකටද දඬුවම් ලැබෙන වැරදි කරන්නෙ…. හැමෝටම වහං වෙලා, සැඟවිලා දුසිරිතෙහි යෙදුනා කියමුකෝ…. නමුත් පරලොව නපුරු විපාකයෙන් සැඟවී පලායන්ට බැහැ නොවැ….! හප්පේ මං නම් නපුරු විපාක ලැබෙනවාට භයයි.

යක්ෂය, ඔය විදිහට පවට ලැජ්ජාවත් භයත් ඇතිකරගන්ට ඕනා. යක්ෂය, මේ ගුණ දෙකට ලෝකයේ ශාන්තුවර සත්පුරුෂයෝ දේවධර්මය කියල කිව්වේ උත්තම ධර්මය නිසයි.”

දියරකුසා සාදුකාර දුන්නා. හොඳට ම පැහැදුනා. බෝධිසත්වයන්ට මෙහෙම කිව්වා.

“මහා නුවණැති කුමාරය….. බණ ටික නම් හරි අගෙයි…. දේව ධර්මය හරි අගේට විස්තර කොළා…. ඒ නිසාවෙන් මං තමුන්නාන්සේට එක් සහෝදරයෙක් දෙනවා. හරි…. කාවද අරගෙන එන්ට ඕනා….”

“යක්ෂය…. මට බාල සහෝදරයාව ඕනා. එයාව එක්කරගෙන එන්ට.”

“හපොයි… මදෑ කොළා…. ඔහේ දේව ධර්මය දන්නවා විතරයි නොවැ. පිළිපදින්නේ නැහැ නොවැ……. ඇයි ජ්‍යෙෂ්ඨයන්ට සැලකීම නොකරන්නේ. ජ්‍යෙෂ්ඨයාව අත්හැරලා කණිෂ්ඨයාව ගේන්න කියන එක ගැලපෙන දෙයක් නම් නොවෙයි. හපොයි….”

“නෑ…. යක්ෂය,…. මං දේව ධර්මයත් දන්නවා. ඒ වගේම දේව ධර්මයේ හැසිරෙනවා. මං ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ භේදය හොඳට හඳුනනවා. මෙතැන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.

අපට මේ වනාන්තර ගතවෙන්ට උනේ කණිෂ්ඨ කුමාරයා නිසා මිසක් වැඩිමහල් කුමාරයා නිසා නොවෙයි. ඔය වැඩිමහල් කුමාරය යි මම යි එක අම්මා ගේ දරු දෙන්නා. අපේ මව් නැති වුනා. එතකොට අපගේ පියරජතුමා වෙන බිසොවකට අගබිසෝ තනතුර දුන්නා. ඔය බාලසහෝදර සූරිය කුමාරයා ඒ අගබිසොවගේ පුතා. ඉතින් ඒ සූරිය කුමාරයා උපන් දවසේ අපේ පියරජු ඒ අගබිසොවට වරයක් දුන්නා. ඒ වරය පස්සේ ගන්නම් කියලා හිට, දැන් සූරිය කුමාරයාට රජකම දෙන්න කියනවා. එතකොට අපේ පියරජු ඒ වරය දුන්නෙ නැතිව අපිට ජීවිත රැකගන්ට කියලයි වනයට එව්වේ. අපි මාළිගය අත්හැරලා එද්දී සූරිය කුමාරයා බලෙන් ම වගේ අපිත් එක්ක ආවා. මං සූරිය කුමාරයා අත්හැරලා මගේ වැඩිමහල් සහෝදර චන්ද කුමාරයා රැගෙන ගිහින් මං කීවොත් සූරිය කුමාරයා යකෙක් කෑවා කියල කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. අපි මේ කුමාරයාට අනතුරක් කරලා ආවාය කියලා කියාවි. ඒ ගර්හාවට මං භය යි. ඒකයි වැඩිමලා ඉන්නැද්දි බාලයාව ඉල්ලුවේ.”

“සාදු…. සාදු… කුමාරය… කල්පනා කොරාපු විදිහ හරි අගෙයි. තමුන්නාන්සේ දේව ධර්මයත් දන්නවා. ඒ දේව ධර්මය තුළ පවතිනවා. හරි අගෙයි. මං මේ දෙන්නාම ආපහු දෙනවා.”

එතකොට බෝධිසත්වයෝ ඒ දියරකුසාට තවත් කරුණු කිව්වා. “අනේ…. මිත්‍රය…. දැන් බලන්ට…. ඔබට අපි වගේ ඉක්මනින් සුචරිතවත් වෙන්ට බැරිකමක් නැහැ නේ….. පෙර ආත්මෙක කරපු වැරදි නිසා ඒ පවට විපාක විඳිමින් මේ ආත්මේ අනුන්ගේ ලේ මස් කන යකෙක් වෙලා ඔහේ උපන්නා…. නැවතත් ඔය පව් ම නොවැ කරන්නේ…..! මේ පව් විපාක දෙන්ට ගත්තොත් නිරා දුකෙන් නම් බේරෙන්ට ලැබෙන්නේ නෑ….. එහෙම නොවෙයි… මෙතැන් පටන් ලේ මස් වලට ඇති ආසාව අත්හරින්ට. පිනට ආසා කරන්ට…. ඔය විල අත්හැරලා අපිත් එක්ක එන්ට…. ඔහේත් දේව ධර්මයේ පිහිටලා ඉන්ට….”

යකා පැහැදුනා. බෝධිසත්වයන් ගේ බසට අවනත වුනා. දමනය වුනා. ලේ මස් කෑම අත්හැරියා. පළතුරු වලට පුරුදු වුනා. යකා මේ තුන් දෙනාම හොඳින් ආරක්ෂා කරගත්තා.

දවසක් මහිංසාස කුමාරයා ආකාසේ දිහා බලාගෙන ඉන්නවා. තාරකාවල පිහිටීමේ වෙනසක් දැක්කා. පසුවදා උදේ සහෝදරයන්ට කතා කළා. මල්ලියේ…. දැන් අපට ආපසු යන්ට කාලෙ ඇවිත්…. ඊයේ රාත්‍රී තරු පිහිටීමට අනුව අපේ පියරජු අභාවයට පත් වෙලා.”

ඉතින් බෝධිසත්වයෝ තම සොයුරන් දෙදෙනාත්, දියරකුසාත් රැගෙන බරණැසට ගියා. ඇමැතිවරු බෝධිසත්වයන්ට රාජ්‍යය පැවරුවා. බෝසත් රජු චන්ද කුමාරයාට යුවරජකමත්, සූරිය කුමාරයාට සේනාපතිකමත් පැවරුවා. රාජ උද්‍යානේ රමණීය පොකුණක් අසල යකාට දෙවොලක් හදලා දුන්නා. අග්‍ර මල්මාලා වලින්, අග්‍ර පුෂ්පවලින්, අග්‍ර භෝජනයෙන් උපස්ථාන ලැබෙන්න සැලැස්සුවා.

බලන්න මහණෙනි, එදා දියරකුසා වෙලා හිටියේ අද සිවුරු අහකට දාලා ලැජ්ජා භය නැතිව පිරිස් මැද සිටගත් මේ බහුභාණ්ඩික භික්ෂුව. චන්ද කුමාරයා වෙලා ඉපදී හිටියේ අපේ සාරිපුත්ත. සූරිය කුමාරයා වෙලා ඉපදිලා හිටියේ අපේ මේ ආනන්දයන්. මහිංසාසක කුමාරයා වෙලා උපන්නේ මං නොවැ” කියා වදාළා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා ජාතක කතාව අහපු ඒ බහුභාණ්ඩික භික්ෂුව සසර ගැන ගොඩාක් කලකිරුනා. නිවන් මගේ වටිනාකම ඉතා හොඳින් පැහැදිලි වුනා. යෝනිසෝ මනසිකාරය උපන්නා. සෝවාන් ඵලයට පත්වුනා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ