මේ ජීවන චාරිකාවේ දී යම් දෙයක් වටහා ගත හැකි වයසෙහි ළදරු වියේ පටන්, සැරයටියක් අතට ගැනීමට සිදුවන මහලු විය දක්වා ම සාමාන්‍ය සමාජයේ දී සියල්ලන්ට ම ඇත්තේ එක ම එක ඉලක්කයකි. එනම්, දිනීම යි.

ළදරු පාසලේ දී, පාසලේ දී, විශ්වවිද්‍යාලයේ දී, වැඩබිමේ දී වේවා මහමඟ දී හෝ එක් එක් තේමාවන් යටතේ පවත්වන තරඟාවලියක දී වේවා සියල්ලන්ට ම ඇති ඉලක්කය වනුයේ දිනීම යි, ජයග්‍රහණය ලැබීම යි. අනෙකා පරයා ගොස් තමා ජය ලබාගෙන ඒ ප්‍රීතිය භුක්ති විඳින්නට ජයග්‍රාහකයා දක්වන්නේ විශාල කැමැත්තකි. එම නිසා එවන් ජයගැනීම් සමරන්නට විවිධාකාර ප්‍රීති සාද – සම්භාෂණයන් ද පවත්වා වඩාත් තෘප්තියට පත් වේ. එලෙස පිරිසක් ප්‍රීතිඝෝෂා පවත්වන විට, පැරදී ගිය පුද්ගලයා හෝ පිරිස බොහෝ විට කණගාටුවෙන් පසුතැවිලි වේ. ඇතැම් විට කඳුළු සලයි, ලද පරාජය දරුණු නම් ආපිට පළිගැනීමට සුදුසු මාර්ගයන් සොයයි.

එසේ මැද තැන්හි සිට දකින විට ඒ අන්ත දෙකෙහි ම ඇත්තේ අකුසල් මූලයන් හා බැඳි සිතුවිලි ම ය. එසේ නම් නූපන් කෙලෙස් උපදවන්නා වූ ද නො සිටි සතුරන් ඇති කරවා සසර මඟට තවත් ගනුදෙනු සාදා දෙන්නා වූ ද ජයකින් ඇති සැබෑම ඵලය කිම…? එසේ ඔබට නො සිතේ ද? එක් වර ම මතුපිටින් දකින විට දී ජය ගැනීමක් නොමැති නම්, ජීවිතයේ ලෞකික ඉලක්කයන් හඹා ගොස් දිනා ගත නො හැකි නම් ඔහු හෝ ඇය පරාජිතයෙකි, අවාසනාවන්තයෙකි.

එසේ නම් ලෞකික සියලුම යස ඉසුරු අතැර රජ-සිටු මාළිගාවන්ගෙන් මහපොළොවට බැස විත්, චීවරය දරාගෙන, පිඬු සිඟා ගත් අහරින් යැපෙමින්, නිවන සාක්ෂාත් කර ගැනීමට වීර්යය දැරූ මහා උත්තම පිරිසත් පරාජිතයන් විය යුතු ය. එහෙත් එය එසේ වී ද? නැත. ඒ උතුමන්, උත්තමාවියන් වහන්සේලා ජය- පරාජය දෙකින් ම සදහට ම නිදහස් වී නිවී ගොස් නිවන් පුරයට වැද මෙලොව ඇති පරම සැපතින් සැනසුනු සේක. එය ලොවෙහි ඇති අග්‍රතම ජයග්‍රහණය යි. බුදුරජුන්ගේ දේශනාව අනුව මේ ජයග්‍රහණය ලැබුවා යනු සියලු සටන් දිනුවා හා සමාන ය.

“යෝ සහස්සං සහස්සේන
සංගාමේ මානුසේ ජිනේ
ඒකං ච ජෙය්‍ය අත්තානං
ස වේ සංගාමජුත්තමෝ”

(ධම්ම පදය- සහස්ස වග්ගය)

ඉතින් ඔබ ද ලෝකයා විසින් පෙන්වා දෙන, උගන්වන රාමුව තුළ සිර වී නො සිට තම නැණ බුද්ධියෙන් ම සිතන්න, අප ජය ගැනීමට ය කියා දැඩි වෙහෙසක් දරමින්, සමහර විට වසර ගණනක් වැය කරමින්, කායික මානසික පීඩාවට පත් වෙමින්, විටෙක ද්වේෂයට ද මෝහයට ද වැටෙමින්, සිටි මිතුරන් අහිමි කරගෙන, ඇතැම් විට නො සිටි සතුරන් ඇති කරගෙන හෝ යම් ඉලක්කයක් ජය ගත්ත ද ලෝක ධර්මතාවය අනුව අප කිසිවෙක් අමරණීය නොවන නිසා ඒ දිනට පසුදා මියගියහොත්….? එම ලද ජයෙන් ඵල ලබන්නේ කවුරුන් ද? ජය පැන් බී සතුටු වන්නට ඉතිරි වන්නේ කවුරුන් ද? හදිසියේ සිහි විකල් වීමක්, දිගුකාලීන ආබාධිත තත්ත්වයක්, හදිසි අනතුරක් ආදී වශයෙන් උවදුරක් සිදු වුව ද හිමි කර ගත් ජය සුව සේ ප්‍රීතියෙන් භුක්ති විඳින්නට කවරෙක් හෝ ඉතිරි වේ ද? ඒ සෑම දෙය ම පසු කර සුපුරුදු සේ ජීවිතය ගෙන ගිය ද සංසාරය පුරාවට තව තවත් දේ ලබන්නට ම පුරුදු වී ඇති තෘෂ්ණාවෙන් තෙත් වූ සිතට මඳ කලක් යන විට ඒ ලැබූ ජය මදි යැයි සිතේ. ඉදින් තවත් අලුත් ඉලක්කයක් හඹා යයි. ඉන් පසුව තවත් එකකි. හඹා නො ගිය ද ‘තවත් මදි ය’ යන අතෘප්තිමත් හැඟීම නිතර ම අසහනය ගෙන එමින් නැඟී එන්නේ ම ය.

ඒ ආකාරයෙන් ප්‍රඥාව අවදි කර සිතන විට ලබන්නා වූ කිසිදු ලොකු – කුඩා ජයක් සදාකාලික සැනසීමක් ගෙන නො එයි. අද ජයග්‍රාහකයා ඊ ළඟ වාරයේ දී පරදවා දමා තවත් අයෙකු ඒ තාවකාලික සතුටින් ඔකඳ වෙයි. අවසානයේ ඒ සමකාලීන ව විසූ ජයග්‍රාහකයෝ මරුට පැරදී මිය යන විට හෝ ජරාවට – ව්‍යාධියට පත්ව අබල දුබල වන විට තවත් කණ්ඩායමක් ඒ වෙනුවෙන් වෙහෙස වෙයි. මේ අයුරින් අප ලබන සියලු ජයග්‍රහණයන් අවසානයේ ත්‍රිලක්ෂණයට යටත් වී වියැකී යන අතරේ ඒවා ලැබීමට යම් අකුසලයක් කළේ නම් ඒවාහි ආදීනව පමණක් විපාක වශයෙන් ඉතිරි වෙයි.

මෙම යථාර්ථය දැකීම පිණිස ය අපගේ බුදුරජාණන් වහන්සේ උක්ත සඳහන් කළ ගාථාවෙන් දේශනා කරලන්නේ, “යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග්‍රහණය කළත්, ඒක නියම ජයග්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.” යනුවෙන්.

මෙහි දී අර්ථ ගන්වන්නේ කෙලෙස් සටනින් දිනීම ය. ඒ මහා සටන ඇත්තේ බාහිර ලෝකය සමඟ නොව තමන් සමඟ තම අභ්‍යන්තරයේ ය. යම් ප්‍රඥාවන්ත පින්වත් අයෙක් මේ සටන් පිටියට බැස සටන් වදින්නේ මහත් දරුණු සේනාවක් සමඟ ය. අනන්ත සංසාරයක් පුරා තම අභ්‍යන්තරයේ ම සැඟවී සිටිමින් රාග- ද්වේෂ – මෝහයන්ට ඇද බැඳ තමා ව යටත් කර ගත් සතුරන් සමඟ ය. බාහිර ලෝකයාට නොපෙනුන ද එම සටන කර දිනීම ඉතා අසීරු වන අතර ම දිනුම ලදහොත් ජරා – ව්‍යාධි – මරණ ආදී සියලු දුකින් ඒ උතුමා සදාකාලිකව දිනුම් ය. යළි යළිත් ඉපදෙමින්, මැරෙමින් දිව යන සංසාර චක්‍රය හෙතෙම අතික්‍රමණය කරලන්නේ ය. ශේෂයක් හෝ යළිත් උපතකට ඉතිරි නොකර නිවී යන්නේ ය. තැවෙන – දැවෙන – සුසුම් හෙළන දුක මත පිහිටි ලෝකයට යළිත් නො පිවිසෙන්නේ ය. සැබෑ ම අර්ථවත් ජයග්‍රහණය නම් එය යි. කිසිවෙකුට යළි ආපසු හරවා පරාජයක් බවට පත් කළ නො හැකි එක ම දිනුම ද එය ම යි.

එම නිසා පින්වත් ඔබ විමසන්න. ධර්මයට ගළපා බලා විමසමින් එවන් වූ උත්තම අපරාජිත ජයක් ලැබීම මිස දහසක් විපත් මැද දිවි ගෙවන කෙටි කාලයෙහි මතු වී -කාලයක් සමඟ වියකී යන්නා වූ ද ලෝකය බලාපොරොත්තු නො වුණ ද වහ වහා නැති වී යන සුලු ප්‍රීතියකින් ම සමන්විත වූ ද දිනුම් කණු හඹා යෑමෙන් සැබෑ ශාන්තියක් ලැබිය නො හැකි බව එවිට ඔබට වැටහී යනු නොඅනුමාන ය.

එකී අවබෝධය තුළින්, සද්ධර්මය ජීවමාන මෙවන් කාලයක ලද අගනා මනුෂ්‍ය ජීවිතය තාවකාලික දිනුම් උදෙසා කැප නොකොට සදා සැප ගෙන දෙන කෙලෙස් සටනින් දිනූ උත්තමයෙකු – උත්තමාවියක වීමට ඔබට මේ දහම් පඬුර උපකාරයක් ම වේවා….!

සටහන – උත්පලී විජේසිංහ