highlights of the week

මිනිස් සන්තානය තුල මානසික සංහිඳියාව ඉබ්බෙකුගෙන් පතන පිහාටුවක් තරමට ම දුලබ වූවක් වන්නට ගත වී ඇත්තේ කොතරම් කුඩා කාලයක්දැයි සිතේ. ඇතැමෙක්ට සංසිඳෙන්නට අවශ්‍යය. නමුදු සංසිඳී යන්නට උපකාර දහමක් නැත. තවකෙකුට දහමක් ඇත. නමුදු සංසිඳෙන්නට වුවමනාවක් නැත. කෙසේ නමුදු නොසන්සුන් වත්මන් ලෝකයට සරිලන සේ තත්පරයෙන් තත්පරය ලෝකය වෙත නව නිෂ්පාදන නිර්මාණය වී නිදහස් වෙමින් පවතී. මිනිස් සිතක මූලික බීජයක් ලෙස හටගෙන එවන් ම මිනිසුන් වෙසෙන මේ ලෝකය වෙත මුක්ත වන ඇතැම් නිෂ්පාදන විශ්මය ජනකය. විටෙක හාස්‍ය ජනකය, ජුගුප්සා ජනකය.

මේ පුංචි දිවයිනට ඔබ්බෙන් ඇති විශාල රාජ්‍යයන් ඉතා සීඝ්‍රයෛන් ලෝකය තුල තම බල පරාක්‍රමය පතුරුවමින් සිටිති. එහි ප්‍රතිඵලයක් ලෙසය දිනෙන් දින නව නිෂ්පාදනයන් ලෝකයට දායාද වනුයේ.

අකුරු කරන කුඩා දරුවෙකු අතට ගන්නා පැන්සලේ පටන්, සෙල්ලම් බඩුවේ පටන් අප වෙළඳපලෙන් මිලදී ගන්නා බොහෝ භාණ්ඩ වල සටහන් වී ඇත්තේ Made in China ලෙසය. අපට චීනය දැවැන්තයෙකි. අහස උසට නැගෙන මහා ථූප නිර්මාණය කළ අපේ මුතුන් මිත්තන් සිහිනයක් වූ කල, මහල් ගණනින් යුත් දැවැන්ත ප්‍රාසාද නිර්මාණය කළ අපේම ඇත්තන් අපට සිහිනයක් වූ කල, ඩිජිටල් ලෝකය තුල කරණම් ගසන ඔවුන් අපට දැවැන්තයින්ය.

ඔබ දන්නවාද චීනය නිෂ්පාදනය කරන බොහෝ තාක්ෂණික මෙවලම් අතර “මිනිසුන්ට වධ දෙන උපකරණ” ලෙස හැඳින්වෙන උපකරණ තිබෙන බව. මොනවාද මේ මිනිසුන්ට වධ දෙන උපකරණ? මේවා යොදාගන්නේ එක් ප්‍රබල මිනිසෙක් ඉදිරියේ දුබලයෙක් වන තවත් මිනිසෙකු වධ හිංසනයට ලක් කිරීමට ය. විදුලි කම්පනයක් ඇති කරන බැටන් පොලු, බරින් වැඩි කකුල් වලට දමන මාංචු, තුවක්කු, බෙල්ලට, හිසට සහ දෑත්වලට වේදනා ගෙනදෙන ලෝහ සහ ලී වලින් සමන්විත පුටු මෙම සමාගම් වල නිෂ්පාදනය කෙරේ. මෙසේ නිපදවෙන උපකරණ ලෝකයේ බොහෝ රටවලට අපනයනය කර චීන රජය විශාල ලෙස ලාභ ලබයි. චීනයේ මෙම උපකරණ නිපදවීමට ඉදිරිපත් වී ඇති සමාගම් අතරින් සමාගම් 130 ක් පමණ ම චීන රජයට අයත් සමාගම් වීම එයට හේතුවයි. තවද මෙම උපකරණ විශාල වශයෙන් අලෙවි කරනුයේ දැවැන්ත ලෙස මානව හිමිකම් කඩ කෙරෙන රටවල් වලට වීම මෙහි ඇති අනෙක් ඛේදනීය තත්ත්වයයි. ඔවුන් මෙම උපකරණ අනිසි ලෙස භාවිත කරන බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි.

මෙවන් නිෂ්පාදන කෙරෙහි ලෝකයේ බලවතුන් යොමු වන්නේ කෙටි කලක් තුල විශාල ලාභයක් අපේක්ෂාවෙන් ය. එයින් ඇති වන ප්‍රතිඵලය ගැන විමසීමට තරම් පදනම් වූ දහමක් ඔවුන් සතුව නැත. තමා ජීවත් වන්නේ දුක තුල බව නොදන්නා නිසාවෙන් නොවේද පුද්ගලයෙකු තුලින් අන්‍යයන් දුකට පත් කරවන දෙයක් නිපදවනුයේ. අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ තම සිත තුලින් එක් සිතිවිල්ලක් හෝ අන්‍යන්ගේ දුක පිණිස උපදවා නොගන්නා ලෙස වදාළ සේක. එවන් නිර්මල දහමක් තුල මෙබඳු නිෂ්පාදන කෙතරම් ප්‍රතික්ෂේපිත භාණ්ඩ වන්නේද.

ගසකින් කුඩා කරුවක් කපාගෙන රබර් පටියක් යොදා ඔබ කුඩා අවදියේ සෑදූ කැටපෝලයට විරුද්ධව අම්මා නැගී සිටි අයුරු ඔබට මතකද? ඔබ අතින් මෙවන් ඛේදනීය, භයංකර නිෂ්පාදන නූපදින්නේ එම විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස නොවේද? ඔබට හැකි නම් සිතන්නට…. ඔබ ගසක ගෙඩියක් ඉලක්ක කරගෙන කැටපෝලයෙන් විදින විට අම්මා එය රැගෙන යලි ඔබ අතට හසු නොවන මානයට එය විසි කළේ මන්දැයි කියා… එයට පදනමක්, ගැඹුරක්, අර්ථාන්විත බවක් සේ ම දහමක සෙවනැල්ලක් වැටී තිබුණි. දිනක එම කැටපෝලය ම ඉලක්ක කර කුරුල්ලෙකුගේ තටු සිඳින්නට ඔබ කැමති වනු දකින්නට අම්මා අකමැති නිසාය. ඒ බුදු දහමින් අප ලද ශික්ෂාව තුල අප සංවර විය යුතු බවට අප තුල ඇති කැමැත්ත නිසාය.

නමුත් මෙවන් දහමක පහස නොලද්දවුන් අනර්ථය පිණිස ම වූ නානාවිධ දේ ලෝකයට දායාද කර තම ජීවිත වලට බොහෝසේ අකුසල් රැස් කරගනිති.

මේ දිනවල ලංකාවේ වීදි දෙපස ඇති ඉහත කී “වධ දෙන උපකරණ” වලට අයත් සේ සැළකිය හැකි උපකරණයක් විකිණෙන බව ඔබ දැක ඇතුවාට සැක නැත. එනම් බැඞ්මින්ටන් පිත්තක හැඩය ගන්නා මදුරුවන් මැරීමට යොදා ගන්නා උපකරණයකි. අවාසනාව නම් මෙය කුඩා ළමුන්ට විනෝදය ගෙනදෙන සෙල්ලම් උපකරණයක් හා සමාන වී තිබීමය. ලංකාව තුල මේ වන විට මෙම උපකරණයට විශාල ඉල්ලුමක් ඇත. වියදම් කළ යුත්තේ රු.200 ක් වැනි ඉතා කුඩා මුදලකි. නමුත් ඉන් සිදු වන අයහපත කොතෙක්ද යත් කුඩා වීදුරුවකට දෑමූ ලුණු කැටයක් විසින් එම වීදුරුව වේගයෙන් ලුණු රස කරන්නා සේ මුනි දහම තුල සංවර නොවූ පුද්ගලයා කුඩා වරදින් පවා නිරය කරා යනු ඇත. මදුරුවන් ලඟා වීම වළක්වා ගැනීම හෝ මදුරු විකර්ශකයක් භාවිත කර මදුරුවන් පලවා හැරීමටය මෙතෙක් අප පුරුදු වී සිටියේ. නමුත් අවිචාරශීලී ලෙස වෙළඳපළට නිකුත් වී ඇති මෙම උපකරණය වේගයෙන් අලෙවි වන බව අභාග්‍යසම්පන්න කරුණකි.

දිනෙන් දින ලෝකයට නව නිපැයුම් හදුන්වා දෙන තවත් දැවැන්ත රටකි ජපානය. නානාවිධ සංකල්පයන් ඔස්සේ බිහිවෙන නොයෙක් දේ අතරට ජපන් පර්යේෂකයින් විසින් පසුගිය දිනක ජපානයට විශේෂ දෙයක් හඳුන්වා දෙනු ලැබිණි. මෙය කාමරයකි. ඉතින් කාමරයක ඇති පුදුමය, විශේෂ බව කුමක්ද? මෙම කාමරය හඳුන්වනුයේ “අඬන කාමරය” යනුවෙනි. මෙය දක්නට ලැබෙනුයේ නිවෙස්වල නොව හෝටල් ආශ්‍රිතව ය. ජපානයේ මෙතෙක් දක්නට ලැබූ කාමර අතරට මෙම කාමරය එක්වීමත් සමඟ හෝටල්වලට නව ආදායම් මාර්ගයක් ඇති විය. බැලූ බැල්මට මෙහි අපට ඇත්තේ සිනහව උපදවන කරුණක් නොවේද. නමුත් මෙය ලෝකයේ සැබෑවයි. මෙම කාමර තුල ටිෂූ, උනුසුම් ඇතිරිලි, දුක හිතෙන චිත්‍රපට, දුක හිතෙන චිත්‍රකතා පොත් වැනි දේ දක්නට ලැබෙන බවයි තොරතුරු වල සඳහන් වනුයේ. දැනට ටෝකියෝ නුවර හෝටල්වල මෙම පහසුකම දක්නට ලැබෙන අතර කාමරයක් වෙන් කෙරෙනුයේ යෙන් 10000 කට ය.

බලවත් යැයි අප සිතා සිටින රටවල බිහිවන්නේ කොතරම් දුබල දේවල් දැයි ඔබට නොසිතෙන්නේද? බුදුරජාණන් වහන්සේ ශෝකය හුලක් ලෙස සල්ල සූත්‍රයේදී පෙන්වා වදාළ සේක. උන්වහන්සේ අපට දේශනා කළේ ශෝක හුල උදුරා දමන ලෙසට ය.

“පරිදේවයමානෝ චේ – කඤ්චි අත්ථං උදබ්බහේ
සම්මූළ්හෝ හිංසමත්තානං – කයිරා වේනං විචක්ඛණෝ

හඬමින් වැළපෙමින් සිටිනා කෙනෙකු හට – යම් කිසි සෙතක් සැලසේ නම් ඒ ලෙසට
නුවණැත්තා පවා සිහිය ද මුළා කොට – පෙළෙමින් තමාවත් යොමු වෙයි ඒ දෙසට

න හි රුන්නේන සෝකේන – සන්තිං පප්පෝති චේතසෝ
භිය්‍යස්සුප්පජ්ජතේ දුක්ඛං – සරීරං උපහඤ්ඤති

හඬමින් සෝක වන විට කෙනෙකුගේ සිත – කිසිවිට සහන් සුවයක් ඒ සිතේ නැත
බොහො දුක් ගොඩක් ඔහු තුල හට ගනු නියත – ඇඟපත පවා තැලි පොඩි වී පෙළෙනු ඇත.”

(සල්ල සූත්‍රය – සුත්ත නිපාතය)

හඬමින් වැලපෙමින් මේ ලෝකය සතුට සොයන බවක් අපට සිතන්නටවත් අසීරු බවකි හැඟෙනුයේ. නමුත් ඔබ රූපවාහිනිය ඉදිරියේ ඇඳෙන විචිත්‍ර මායාකාරී රූපයන් දෙස බලමින් හඬන විට යම් ආශ්වාදයක් නොලබන්නේ යයි කිව හැකිද. එම වින්දනය පදනම් කරගෙන බිහි වූ අංගයක් ලෙසය මෙම අඬන කාමර අපට හඳුනාගත හැක්කේ. නමුත් මෙය අයිති වනුයේ හීන ලෝකයට ම ය, පෘතග්ජන ලෝකයට ම ය. අත් පොලසන් දිදී සිනාසෙමින් සිටිය ද අප සිටින්නේ දුක තුල බවය අවබෝධ කරගත යුත්තේ. සතුට සොයා යා යුත්තේ හැඬීමෙන් වැලපීමෙන් නොව උත්තම මුනි දහමක් තුලට පිවිසීමෙන් ය.

අරුත් සුන් මෙවන් දේ මෙලොවට බිහිවන්නට හේතුව නම් උතුම් වූ බුද්ධ ශාසනයක උණුසුමවත් නොලැබීමය. එවන් පහසක් ලද්දවුන් අතින් බිහි වනුයේ විශ්මිත විහාර මන්දිරයන් ය, සුන්දර බෝ මළු ය, සිත් සතන් නිවා සනසා ලන ආරණ්‍ය සේනාසනයන් ය, දුටු දුටුවන් සිත් සැනසෙන මහා ථුපයන් ය, විශ්‍රාම ශාලාවන් ය, භාවනා කුටි ය.

දුකට පිළියම හඬා වැළපීම නම් “හඬන කාමර” බිහිවන්නේ අද ජපානය තුල නොව, එදා බෝසතාණන් වහන්සේ පහළ වූ දඹදිව් තලය තුලය. අප සිදුහත් බෝසතාණන් වහන්සේට සැප සළසා දීම සඳහා සුද්ධෝදන රජු විසින් රම්‍ය, සුරම්‍ය, සුභ ලෙස මාළිගා තුනක් ඉදි කර දී තිබිණි. එම මාලිගාවල තිබූ සැප සම්පත් පිළිබඳව අපට සිතා ගන්නටවත් නොහැකි තරම්ය. නමුත් එම කාමරවලට වැදී ලබන්නට, දිනන්නට දෙයක් නොමැති බව අවබෝධ කරගත් බෝසතාණන් වහන්සේ සියල්ල අතහැර බෝ රුක් සෙවනකට වී සැනසීම සොයන්නට වූහ. කිසිවෙකුටත් විවෘත නොවූ ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට උන්වහන්සේ භාග්‍යවන්ත වූ සේක. එම දහමින් නිවී සැනසීගිය උන් වහන්සේ දෙව් මිනිස් ප්‍රජාවට ම එම සැනසීම අත්කර දුන් සේක. මෙවන් දහමක් සරණ යන්නට නොලද්දවුන් හැඬීමෙන් ජීවිතේ සතුට සොයන බව නම් පුදුමයක් නොවන්නේය. නමුදු අපත් යම් දිනක හඬමින් වැළපෙමින් සිටින්නට අපගේ නිවෙස්වල කාමර වෙන් කර තැබීම විලාසිතාවක් බවට පත් වන්නට ඉඩ කඩක් නොමැත්තේ යයි කිව හැකිද.

අප ලද මේ මිනිස් ජීවිතය අතිශය දුර්ලභ වූවක්මය. හීන වූ මෙවන් දේ අසන්නට දකින්නට අපට ලැබෙනුයේ මහා භද්‍ර වූ කල්පයක් තුල නොවේද. බුදුරජාණන් වහන්සේලා සිව් නමක් පහළ වීම සිදු වන්නේ මෙම මහා භද්‍ර කල්පයේදීය. මෙම උත්තමයන් වහන්සේලා පහළ වනුයේ මුළු තුන් ලෝකයේම හිත පිණිසය, සැපය පිණිසය, අර්ථය පිණිසය. ඉදින් මේ මිනිසත් බව කොතරම් දුර්ලභ ද යන්න මෙලොවට දේශනා කළේ බුදු රජාණන් වහන්සේ නමක් විසින් ම පමණය. එසේ දුර්ලභව ලද මේ ජීවිතයෙන් ගන්නා යම් උත්සාහක් නිසා ලොවට අනර්ථයක් සිදු වේ නම්, ලොව මුළාවට පත් වේ නම් මෙම මිනිසත් බවෙන් ප්‍රයෝජනයක් තිබේද. යම් මිනිස් සන්තානයකින් කරුණාව, මෛත්‍රිය අවිහිංසාව වැනි සිතිවිලි මාත්‍රයක් මේ වා තලයට මුදා හැරීම පවා කොතරම් යහපතක්ද. එසේ නම් කරුණාව මෛත්‍රිය පෙරදැරි කොටගත් යමක් මෙලොවට දායාද වේ නම් එයින් කිනම් යහපතක් සිදු වන්නේද.

එදා අප ලංකාදීපය තුල යම් දෙයක් බිහි වූවාද ඒ සියල්ල කුරා කුහුඹුවෙකුට ද අනර්ථයක් සිදුනොවන අයුරින්ය. නීවී සැනසෙන ජීවිත අපේක්ෂා කරන්නවුන්ගේ ස්වභාවය එය ම ය. විටෙක අප මහා මොග්ගල්ලාන රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු සඟ පිරිසට දානය නොමැති බව දැන, මේ මහා පෘථිවිය දෙබෑ කර කිසිම සතෙකුට හෝ හිංසා නොකර පෘථිවි රසය ගෙන පූජා කරන්නට සැරසුන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කළ සේක. ඉතා කුඩා වූ හෝ සත්ත්වයෙකු හට යම් පීඩාවක් සිදුවන්නට අවස්ථාව ඇති නිසාවෙන් භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රතික්ෂේප කර තුන් මාසයක් පුරාවට යව ධාන්‍ය වළඳා සුවසේ වැඩසිටි සේක. එසේම විටෙක සක් දෙවිඳු සුර අසුර යුද්ධයෙන් පැරදී පළා යන අවස්ථාවේදී පවා මරණ භයින් විලාප දෙන ගුරුළු පැටවුන්ගේ හඬ අසා එම ගුරුළු වනය මැදින් නොයා තම ජීවිතය පිළිබඳ ආශාව පවා අත් හැර ආපසු හැරුණේ සත්ත්වයින් කෙරෙහි වූ මහත් කරුණාව නිසාවෙනි.

ප්‍රමාණ රහිතව පුණ්‍ය විපාක උපදවන, පුණ්‍ය කර්මයන් මෙලොව ඇත. එමෙන් ම බොහෝ කාලයක් පාපී විපාක උපදවන පාපී කර්මයන් ද කොතෙකුත් ඇත. අතිශය දුර්ලභ මිනිසත් බව ලබා සිටියදීත් අප යොමු වන්නේ අනාර්යය වූ පර්යේෂණයන් තුලින් උපදින පාපී දේ කෙරෙහි නම් අප දුකින් දුකට ම වැටෙන්නන් ලෙස දරාගත යුතු නොවේද. උත්තම ශ්‍රී සම්බුද්ධ ශාසනයක පිහිට ලද්දවුන් ලෙස ඔබ මා කිසිවකුගේ චිත්තාභ්‍යන්තරයෙන් අවිද්‍යාවට අයත්, අනාර්ය වූ සිතිවිලි මාත්‍රයක් හෝ මෙලොවට දායාද නොවෙත්වායි පතමු.

සටහන – තේජා දිල්රුක්ෂි දයාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

මළගිය උදවිය අපේ ජීවිතවලට සම්බන්ධ ...