මුහුදු වෙරළේ තනිව ගැවසෙන්නට වයස අවුරුදු හතක සහ නවයක දරුවන් දෙදෙනෙකුට ඉඩ හැරීම නිසා ඔවුන්ගේ මව්පියන් සිරභාරයට පත් කළ පුවතක් වාර්තා වුණේ ඇමෙරිකාවෙන්. තම දරුවන් අනාරක්ෂිත තත්ත්ව යටතේ සිටින්නට ඉඩ හැරීම යන චෝදනාව මත මේ වන විට ඇමෙරිකාව තුළ දෙමව්පියන් අත්අඩංගුවට ගැනීම සිදු වනවා. දරුවන්ගේ ආරක්ෂාවට දෙමව්පියන් වග කිව යුතු ය යන්න තමයි ඔවුන්ගේ නීතිගත පිළිගැනීම වන්නේ.

පසුගිය වසරේ අප රටේත් කුඩා දරුවන් බොහෝ දෙනෙකු දෙමව්පියන්ගේ අවදානය ගිලිහී ගිය කුඩා මොහොතක් තුළ ඛේදනීය මරණයන්ට මුහුණ දුන් ආකාරය ඔබට මතක ඇති. එවැනි සිදුවීම් දිගින් දිගට ම වාර්තා වන විට කුඩා දරුවෙකුගේ මරණය දෙමව්පියන්ගේ අවදානයේ මඳකමක් නිසා සිදු වූ බව තහවුරු වන්නේ නම් ඔවුන්ට එරෙහි ව නීතිප‍්‍රකාර ව කටයුතු කරන්නට වුවමනා පසුබිම සකසන්නටත් බලධාරීන් උත්සුක වුණා.

කුඩා දරුවන් කියන්නේ අප විසින් පෙනෙන මානයේ තබා ගනිමින් ම රැුක ගත යුතු පිරිසක්. එන්න එන්න ම ලෝකය විපත් බහුල තැනක් වන නිසාත්, මනුෂ්‍ය වර්ගයා ආයුෂයෙන් වගේ ම ප‍්‍රඥවෙන් පිරිහෙන නිසාත් හොඳ නරක තෝරා ගැනීමේ පළමු අවස්ථාවේ සිටින කුඩා දරුවන්ට තනිව තම ආරක්ෂාව සලසා ගන්නට ඇති ඉඩකඩ අවම වනවා.

දෙමව්පියන් රැකී රක්ෂාවල නියැලෙන විට දරුවෙකුගේ රැකවරණය බාර කරන්නට සිදු වන්නේ වෙනත් අයට. දරුවන් කිහිප දෙනෙකු සිටින පවුලක නම් වැඩිමහල් දරුවන් විසින් කුඩා දරුවන් ව රැක බලා ගැනීම සිදු කරනවා. එය දෙමව්පියන්ට පහසුවක් වගේ ම දරුවන්ගේ ආරක්ෂාවටත් හොඳ දෙයක්. එහෙත් ප‍්‍රශ්නය වන්නේ බොහෝ පවුල්වල සිටින්නේ එක ම එක දරුවෙකු පමණක් වීම. දරුවන් මුහුණ පාන අනාරක්ෂිත ස්වභාවයන් දකිද්දි වැඩුණු පවුලක අවශ්‍යතාවය අප විසින් තේරුම් ගත යුතු වනවා. මව්කුසේ පිළිසිඳ ගැනීමට පෙර පටන් තිසරණයේ සරණ ඇපයට තබමින් කරන ආරාධනාවන්ගෙන් පින්වත් දරු සම්පත් ලබන්නට ඇති ඉඩකඩ මේ තාක් අපට ඇහිරී ගොස් නැහැ. ශ‍්‍රද්ධා සීල ශ‍්‍රැත චාග ප‍්‍රඥ වඩන දෙවිවරුන් දිව්‍ය ආයුෂ අවසන් ව මනුලොවට එන්න සූදානමින් සිටිනවා නම් ශ‍්‍රද්ධා සීල ශ‍්‍රැත චාග ප‍්‍රඥා වඩන දෙමව්පියනගේ ඉල්ලීම ඔවුන් දකිනවා.

පිනෙන් පිරී ගත් එවන් දරුවෙකු මනුලොවට ආවොත් පින නිසා ම ලැබෙන බව භෝග සම්පත් ඔවුන්ට ලැබෙනවා. මෙලොව පරලොව පමණක් නො වේ; නිවන් සැප පවා සලසන උතුම් මඟ ඔවුන්ට හිමි වෙනවා. එවැනි පින්වත් දරුවන් හතර පස් දෙනෙකු පවුලක සිටිනවා කියන්නේ පවුල් පරම්පරාවට ම මොන තරම් යහපතක් ද?

සම්බුදුරජාණන් වහන්සේ වදාළේ ‘‘පුත්තා වත්ථු මනුස්සානං” කියලයි. එ් කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ වස්තුව වන්නේ දරුවෝ. එ් නිසා, ඔබේ දරුවා පින්වත් දරුවෙකු කරන මෙහෙවර ඔවුන් මව්කුසට පැමිණෙන්නට පෙර පටන් ම අරඹන්න. ධර්මය රකින, ධර්මයේ හැසිරෙන සුජාත දරු පරපුරක් රැක ගන්නට අප අමුතුවෙන් වෙහෙස විය යුතු නැහැ; ඔවුන් ඔවුන්වත්, අපවත්, දහමත් රැක ගැනීමේ හැකියාව ඇතුවයි මෙහි එන්නේ. එ් උතුම් දහම් මඟ ඔවුන්ට සුරක්ෂිත කරවීමයි අප කළ යුත්තේ..

ලෝකය දකින වටිනාකම්, ලෝකය නිර්ණය කරන වටිනාකම් වගේ ම ලෝකය ලබන වටිනාකමුත් අපට මේ පුවත් තුළ දකින්නට ලැබුණා. නමුත් අප මුලින් සඳහන් කළා වගේ ම මේ කිසිවක වටිනාකම නොවෙනස් වටිනාකමක් වන්නේ නැහැ. කාලානුරූප ව අන් දෙයක වටිනාකම විසින් තවත් දෙයක වටිනාකම ඉක්මවා යනවා. එසේ තිබිය දී පවා ලෝකය සොයන සියලූ වටිනාකම් සෑම කල්හි ම අබිබවා යන්නට සම්බුදු දහම සමත් වනවා. සම්බුදුරජාණන් වහන්සේ මේ දහම දේශනා කළේ විශිෂ්ට ඤණයෙන් යුතුව. විශේෂ අවබෝධයෙන් යුතුව. ප‍්‍රාතිහාර්යය සහිතව. හේතු සහිතව. තුන්ලොව කිසිවෙකුට කිසි කලක අභියෝග කළ නො හැකි විශාරද භාවයෙන් යුතුව. එ් නිසයි කෙලෙස් නසන, අමා නිවනට පමුණුවන බුද්ධ භාෂිතයන් සියල්ල අතරේ අසමසම වටිනාකම් ලබන්නේ. එ් සත්‍යය සම්බුදු මුව මඬලින් ම මෙසේ දේශනා කරනවා.

”ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
ඉදම්පි ධම්මේ රතනං පණීතං
එ්තේන සච්චේන සුවත්ථි හෝතු”

‘‘කෙලෙස් නසන වීතරාගි අමා නිවන යුතු
යම් දහමක් දෙසුවේ නම් මුනිඳු සමාහිත
එ් දහමට සම කළ හැකි කිසිවක් ලොව නැත
එය බුදු සමිඳුගෙ පවතින උතුම් ම මැණිකකි
සැබෑ බසින් මෙම සෙත සැලසේවා!”
(රතන සූත‍්‍රය – ඛු. නි.)

ලෝකය හෙළිදරව් කරන වටිනාකම්, නොවටිනාකම් සියල්ල අතික‍්‍රමණය කරන්නා වූ, කිසිවකට සම කළ නො හැකි අපමණ වටිනාකම් දරන්නා වූ එ් දහම දකිමින් එ් සම්බුදු ළය මඬලේ ඉපදීමේ වාසනාව අපට ද හිමි වේවා!