“කියවීම මිනිසා සම්පූර්ණ කරයි” යන්න නොඇසූවෙකු අප අතර නැත. කියවීමෙහිලා සමාජය උනන්දු කරවීමේ පාඨයක් ලෙස මේ කියමන යොදාගැනෙන්නේ ඉතා සුලබ ව ය. ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍යයන් ප්‍රචලිත ව නො වූ දුරාතීතයේ පටන් අද දක්වා ම ද ලිඛිත මාධ්‍යය ඔස්සේ දැනුම සම්ප්‍රේෂණය කරවීම දක්නට ලැබේ. එකරුණෙහිලා ඇති වැදගත්කම ඉස්මතු කරලීමට යථෝක්ත පාඨය සමාජගත කෙරෙන්නට ඇත.

දැනුදු අපි බොහෝ දෙනෙකු සෙසු ලෝකයේ දැනුම, කුසලතා, තොරතුරු, අත්දැකීම් බෙදා හදා ගන්නට කියවීම භාවිත කරන්නෙමු. අන්තර්ජාලය ඔස්සේ පවා පුවත් ආදිය කියවීම අපට හුරුපුරුදු වූවකි. ඇතැමුන් ඇබ්බැහියක් ලෙසින් නවකථා, කෙටිකථා, පරිවර්තන කෘති, අනුවර්තන කෘති, ප්‍රබන්ධ ආදිය කියවති. ඒ වෙනුවෙන් නොපැකිළ ව මුදල් වියපැහැදම් කරති. කාලය ද වැය කරති. ඔවුන් වෙනුවෙන් ම අන්තර්ජාතික ව වෙන් වූ මාසයක් ද පවතී. මේ සියල්ලෙන් ‘කියවීම’ ජීවිත සාර්ථකත්වයට බෙහෙවින් රුකුල් දෙන්නක් බවට ලෝකය ම විශ්වාස කරන බවක් පෙනේ.

කියවන දෑ තුළින් යම් යම් දේවල් සම්බන්ධයෙන් දැනුමක් අපට ලැබෙන බව සැබෑවකි. ඒ දැනුම යම් යම් අවස්ථාවල දී ප්‍රායෝගික භාවිතයේ යොදවන්නට ද හැකි වේ. එසේ ම කියවීමෙන් අප ලද ඇතැම් දැනුමක් කිසිදු විටෙක අපට ප්‍රයෝජනවත් නොවන්නට ද බොහෝ ඉඩකඩ තිබේ. කියවීමෙන් ලද දැනුම මෙලොවින් පරලොවට ගෙන යා හැකි බවක් සහතික වන්නෙක් ද නැත. එසේ නම් පෙර කී කියවීම් මිනිසා සම්පූර්ණ කරන්නේ නැති ද? එයට දිය යුතු පිළිතුර ‘ඔව්’ යන්න යි.

අපට කියවන්නට ලැබෙන දේ තුළ සත්‍යය ද අසත්‍යය ද ධර්මය අධර්මය ද අවබෝධය ද අනවබෝධය ද සම්දිටුව ද මිසදිටුව ද අර්ථය ද අනර්ථය ද යහපත ද අයහපත ද කුසල පාර්ශවය ද අකුසල පාර්ශවය ද තිබේ. කටුක යථාර්ථය නම්, මෙම වෙන් කිරීම්වල දෙවනුවට සඳහන් වන්නේ කවරක් ද ඒ දේවල් සහිත වූ දෑ ම අපට වැඩි වැඩියෙන් කියවන්නට ලැබෙන බව යි. ඒ පර්යායෙන්, අප කියවන බොහෝ දෑ තුළින් සසර සැකසෙනවා මිස සසරින් එතෙර වීමක් නොවන බව අප තේරුම් ගත යුතු ය.

සැබැවින් ම මිනිසා සම්පූර්ණ කරවන කියවීමක් ද තිබේ. ඒ වනාහී තථාගත ශ්‍රී සද්ධර්මය කියවීම යි. භාණක පරපුරු විසින් අවිච්ඡින්න ව පවත්වාගෙන පැමිණියා වූ බුද්ධ භාෂිතය ග්‍රන්ථාරූඪ වූයේ අප උපන් මේ පින්බිමේ දී ය. සුදුසු කාලය බලා, යහපත ඇති කරවන සත්‍ය වචනය ම වදහළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම ශ්‍රේෂ්ඨ අවබෝධය ඒ ධර්ම පර්යායන් තුළ වේ. එහෙයින් ම සම්බුදුරජාණන් වහන්සේ ජීවමාන ව ධර්මය තුළ වැඩ සිටී. ලොව යම්තාක් දෑ අවබෝධ කළ යුතු ද ඒ සියල්ල උන්වහන්සේගේ අවබෝධයට විෂය වන හෙයින් ඒ අවබෝධය සාකල්‍යයෙන් ම පරිපූර්ණ ය. ලොව අන් කිසිවෙකු විසින් උපදවා නොගත් හෙයින් ඒ පරිපූර්ණ අවබෝධය අන් කිසිවෙකුට වචන මාත්‍රයක් කළ නොහැකි ය. කෙලෙස් නසන්නා වූ, වීතරාගී වූ, අමා නිවන යුතු වූ ඒ දහමට සම කළ හැකි කිසිවක් ලොව නැත්තේ එහෙයිනි. ඒ දහම කියවීම වනාහි කවරෙකු වුව ද ශ්‍රේෂ්ඨත්වයට, සම්පූර්ණත්වයට පත් කළ හැකි එක ම කියවීම යි.

මෙබිම උපන් අරහත් සඟ පරපුර දිවි හිමියෙන් සුරක්ෂිත කොට ග්‍රන්ථාරූඪ කරවා ඒ උත්තම දායාදය අපට පිළිගන්වා ඇත. යහපත, හිතසුව කැමති කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා අපට තේරෙන අයුරින් සරල බසින් ඒ දහම පහදා දී ඇත. ඉදින්, ජීවිතය පරිපූර්ණ කරවන සියලු දැනුම යුතු ඒ උතුම් ත්‍රිපිටකය අප මේ තාක් කියවා නැති නම් සැබැවින් ම එය මහා අලාභයක් ම ය.