අප අතර ජීවත්වන ඇතැම් බිරින්දෑවරුන් චණ්ඩ ය. නපුරු ය. මාන්නක්කාර ය. විටෙක ඇය සැමියා සතු දේ සොරකම් කරයි. නැතිනම් ඇය නොයෙක් ආකාරයෙන් සැමියාට වධක භාර්යාවක් සේ කටයුතු කරයි. එනමුත්, ඒ අතර ම සිටින ඇතැම් බිරින්දෑවරු ඉතාමත් ගුණයහපත් ය. විටෙක සැමියාට මවක්, සොහොයුරියක්, යෙහෙළියක් ලෙස සලකයි. මේ සියලු භාර්යාවන් ඉක්මවා යන විශේෂ භාර්යාවක් ද ඒ අතර සිටී. ඇය ස්වාමියාට දාසියක් සේ උපස්ථාන කරයි. සියලු දුක් දොම්නස්, කටුක අත්දැකීම් තනිව ම විඳ දරා ගනී. ස්වාමියා ඉක්මවා නොයයි. ‘භාර්යාවන් අතර විශේෂ වූ මේ දාසි භාර්යාව කුමන ගතිගුණවලින් යුක්ත තැනැත්තියක් ද?’ කියා අපි මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවාසී පින්වත් මෑණියන් වහන්සේනමක් සමඟ සාකච්ඡා කළෙමු.

“පින්වත් මෑණියන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භාර්යාවන් හත් දෙනෙක් පිළිබඳව වදාළා. එයින් දාසි භාර්යාව විශේෂ වෙනවා. ඇය කුමණ ගතිගුණවලින් හෙබි ස්ත්‍රියක් ද කියා පහදා දෙන්න.”

“ගෞතම බුදුසසුනේ අග්‍ර ගිහි උපාසක වූ අනේපිඬු සිටුවරයාගේ නිවසට, එතුමාගේ පුත්‍රයාට බිරිඳක් ලෙස සිටු දියණියක කැඳවාගෙන ආවා. ඇය චණ්ඩයි. නපුරුයි. කිසිවෙකුට ගරු කිරීමක් නැහැ. දිනක් භාග්‍යවතුන් වහන්සේ සිටුවරයාගේ නිවසට දානයට වැඩම කළ අවස්ථාවේ දී නිවස ඇතුළේ මහ කලකෝලාහලයක් ඇසුණා. භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා,

“සිටුතුමනි කවුද මෙතරම් ඝෝෂා කරන්නේ?”

“අනේ භාග්‍යවතුන් වහන්ස, මගේ පුතාට සුජාතා කියලා සිටු දියණියක් බිරිඳ ලෙස කැඳවාගෙන ආවා. ඇය ස්වාමියාට, වැඩිහිටියන්ට ගරු කිරීමක් නැහැ. රළු නපුරු තැනැත්තියක්.”

එවිට භාග්‍යවතුන් වහන්සේ සුජාතා ව කැඳවා බිරින්දෑවරු හත් දෙනෙකු පිළිබඳව කියවෙන සප්තභාර්යා සූත්‍රය වදාළා. එම සූත්‍රයේ මරණින් මතු දුගතියේ යන බිරින්දෑවරු තිදෙනෙක් සහ මරණින් මතු සුගතියේ යන බිරින්දෑවරු හතර දෙනෙක් ගැන විස්තර කොට වදාළා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ අසා සිටියා, “පින්වත් සුජාතා, ඔබ දැන් මේ බිරින්දෑවරු හත්දෙනාගෙන් කුමන භාර්යාව වීමට ද කැමැති?” කියා. එවිට සුජාතා පවසා සිටියා,

“ස්වාමීනි, මේ භාර්යාවන් අතරින් ඉතාමත් අමාරු දේ කරන්නේ දාසි භාර්යාව යි. මම අද පටන් දාසි භාර්යාවක් සේ ස්වාමියාට උපස්ථාන කරනවා.” කියා.

වර්තමාන සමාජයේ අම්මා වගේ රැකවරණය දෙන, ආදරයෙන් සලකන, ස්වාමියා ගැන සොයා බලන බිරින්දෑවරු සිටිනවා. ඒ වගේම තමාගේ වැඩිමහල් සොහොයුරාට වගේ හැමදේ ම අහලා බලලා කරන, ගෞරව කරන බිරින්දෑවරුත් සිටිනවා. සැමියාට මිතුරියක් සේ හිතවත්, අවංකව කටයුතු කරන භාර්යාවන් මේ සමාජයේ සිටිනවා. ඉතාම ඉවසිලිවන්ත, සසර බිය දකින, ස්වාමියාට යටහත් පහත්, දාසියක් වගේ කටයුතු කරන කාන්තාවන් අතලොස්සක් ද නැතිවා නොවෙයි.

දාසි භාර්යාවගේ මූලිකම දේ ඉවසීම යි. ඉවසීම නැති කාන්තාවට කිසිදිනක දාසි භාර්යාවක් වෙන්න බැහැ. සැමියා හෙළා දකිමින් කතා කරන, ස්වාමියාගේ අඩුපාඩු තැන තැන කියන, අනියම් ස්වාමිවරුන් ගැන සිත සිතා සිටින කාන්තාවකට කිසිම දිනක දාසි භාර්යාවක් වෙන්න බැහැ. දාසි භාර්යාව සිතේ තරහා රඳවාගෙන සිටින්නේ නැහැ. වරදට සමාව දෙනවා. සැමියාට ඇහුම්කන් දෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා සැමියා දුෂ්චරිතයේ යෙදිලා ආවත්, දඬුමුගුරුවලින් පහර දුන්නත් ඇය ඉවසීමෙන් කටයුතු කරනවා. ඇය තරහා නැති සිතින් යුතු, ක්‍රෝධ නොකරන තැනැත්තියක්. බොහෝ දුක සේ ජීවිතය ගත කළත් ඇය සිල්වත්. ඒ දුෂ්කර කාලය අවසන් වූ විටක ඇයට ජීවිතය ගැන සැහැල්ලුවක් ඇති වෙනවා. දරුවන්ට ආදර්ශවත් මවක් වූවා කියා සතුටු වෙන්න ඇයට පුළුවන්. මරණින් මතු නිම්මාණරති දෙව්ලොව දෙවියන් අතරට යන්න ඇයට අවස්ථාව ලැබෙනවා.

දාසි භාර්යාව ඉතා ඉවසිලිවන්ත, සැමියා තේරුම් ගත්, ස්වාමියාට උපකාර කරන, ඔහුගේ ජීවිතයේ දුෂ්කර අවස්ථා වළක්වන, ඉතාම කීකරු, අහිංසක ගතිගුණ තිබෙන ස්ත්‍රියක්.”

“ජාත්‍යන්තර කාන්තා දිනය මාර්තු මාසයේ යෙදී තිබුණා. සම අයිතීන් ඉල්ලන කාන්තාවන් සිටින අද සමාජයට දාසි භාර්යාව කෙතරම් ගැළපී යනවා ද?”

අද සමාජයේ ඇතැම් කාන්තාවන් සම අයිතීන් ඉල්ලන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ කාලයේ බොහෝ දේ අපි වැළඳ ගන්නේ බටහිර ලෝකයෙන්. ඒ රටවල කාන්තාව ස්වාධීනයි. පුරුෂයත් ස්වාධීනයි. තම තමන් වෙන් වෙන්ව තමාගේ ජීවිතවල තීරණ ගන්නවා. බටහිරගැති ඇතැම් අදහස්වලට අපේ සමාජය තල්ලුවෙමින් තිබෙන්නේ. සැමියාට මම සලකනවා නම් මටත් සැමියා සැලකිය යුතුයි. මටත් නිදහසක් තිබිය යුතුයි, මටත් ස්වාධීනව හිතන්න කටයුතු කරන්න නිදහස ඕනෑ කියන මානසික මට්ටම ඇති සමාජයට නම් දාසි භාර්යාව ගැළපෙන්නේ නැහැ තමා. අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජයට ඒ අදහස් ගැළපෙනවා ද කියා නොවේ. උන්වහන්සේ වදාළේ සසර කියන්නේ කුමක්ද? කුසල් කියන්නේ මොකක්ද? මේ ලොව උපන් සත්වයාට හිතසුව පිණිස පවතින්නේ කුමක් ද? කියන දේ යි. සම අයිතීන් ඉල්ලන සමාජයට දාසි භාර්යාව නොගැළපුනත් සසරට වැටුණු කර්මානුරූපී ජීවිත ගත කරන සත්වයාට දාසි භාර්යාව කියන දහම් කරුණ මනාව ගැළපී යනවා.

සම අයිතීන් ඉල්ලන කාන්තාව ඇයගේ නිදහසට බොහෝ කරුණු කියන්න පුළුවන්. ඔවුන් සමාජයේ වෙනස්විය යුතු තැන් ගැන වගේ ම අසාධාරණ තැන් ගැනත් කියනවා. නමුත්, පුරුෂාධිපත්‍ය කියන දේ නිවැරැදිව නිර්වචනය වෙන්න ඕනේ. බිරිඳ පුරුෂයාට ගරු කරන විට, පුරුෂයාත් බිරිඳට ගරු කරනවා. එතැන තිබෙන්නේ අන්‍යෝන්‍ය ගරු කිරීමක්. ඒ ජීවිත ඉතා සාර්ථකයි.

සම අයිතින් ඉල්ලීමෙන් අනවශ්‍ය අර්බුද හදාගෙන තමාගේ ජීවිතයත්, දරුවන්ගේ ජීවිතත් ගැටලු ගොඩකට පත් කරලා අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට කාන්තාව මුහුණ දිය යුතු ද? අපට ලැබී තිබෙන්නේ කර්මානුරූපී ජීවිතයක්. තමාගේ පවුල් ජීවිතය තුළ ගැටලු තිබෙන්නට පුළුවන්. නමුත් නිතර කාන්තාව ඉවසනවා නම් සැමියා වෙනස් වෙලා නැවතත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්නට හැකියාව තිබෙනවා. සම අයිතීන් ඉල්ලන සමාජයට නම් දාසි භාර්යාව ගැළපී යන්නේ නැහැ.

ඇතැම් මව්වරු සිටිනවා ඔවුන්ගේ තරුණ කාලේ ඉතාමත් දුෂ්කර කාලපරිච්ඡේද ජීවිතයට පැමිණ තිබෙනවා. සැමියා දුෂ්චරිතයට, බේබදුකමට, සූදුවට ඇබ්බැහි වෙලා. නමුත් අර අම්මා ඒ සියල්ල ඉවසලා අද ජීවිතය සැනසිල්ලේ ගෙවමින් සිටිනවා. ඒ දරුවෝ අම්මාගේ ගුණ සිහි කරමින් කියනවා “අපේ අම්මා නිසයි මේ සියල්ල ඉවසුවේ. වෙන කෙනෙක් නම් සියල්ල දාලා යන්න ගිහින්” කියලා. ඇතැම් පුරුෂයන් කියනවා, “මගේ බිරිඳට මගේ අතින් බොහෝ හිරිහැර කරදර වුණා. ඒ සියල්ලම ඇය ඉවසුවා. මගේ ජීවිතයට ආලෝකයක් ලැබුණේ ඇයගෙන්.” කියලා. එවැනි කාන්තාවන්ට මේ ලෝකය වගේ ම පරලෝකයත් ජය ගන්නට පුළුවනි.

“අද කාන්තාව පිරිමි හා සමව රැකියාවල නියුතු වෙනවා. මුදල් හම්බ කරනවා. සමාජයේ ඉහළපෙළේ තනතුරු දරනවා. යම් ස්ත්‍රියකට සිතුණොත් මම සැමියාට වඩා උගත්කමින්, ධනයෙන්, රූපයෙන්, සමාජයේ පිළිගැනීමෙන් උසස්, ඉතින් මම දාසි භාර්යාවක් මෙන් ජීවත් විය යුතු ද කියා?”

“අද සමාජයේ ගැහැනු දරුවෙකුට පුළුවන් හොඳින් ඉගෙනගෙන සමාජයේ ඉහළ තනතුරුවලට ගොස් රටට සේවයක් කරන්න. නැත්නම් ව්‍යාපාරයක් පටන්ගෙන එය ඉතාම ඉහළ මට්ටමකට රැගෙන යන්න. නැත්නම් දේශපාලනික, ආර්ථික, සමාජයීය, ක්‍රීඩා, කලා ආදී මේ ඕනෑම මාවතක ඉදිරියට යන්න. රටේ පමණක් නොවේ ලෝකයේ පවා ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙන්න පුළුවනි.

එවිට ස්වාමියාට වඩා බිරිඳට ඉහළ රැකියාවක නිරත වෙන්න අවස්ථාව උදා වේවි. ඇය සැමියාට වඩා ඉහළ ආදායමක් උපයනවාත් වෙන්න පුළුවන්. එහෙම කාන්තාවකට හිතුණොත්, ‘මම තමයි මුදල් උපයන්නේ. පවුල නඩත්තු කරන්නේ. ඒ නිසා සැමියා මම කියන ආකාරයට මට යටත්ව ඉන්න ඕන. මම මොකටද ඔහුට යටත් ව ඉන්නේ?’ඒ කියා, ඇය ඉහළ අධ්‍යාපනයක් ලැබුවත් පටු සිතක් ඇති, දෙලොවම අසාර්ථක කර ගන්නා ස්ත්‍රියක්. බිරිඳකට රැකවරණයක් තිබෙන්නේ සැමියාගෙන්. ඇය උපයන මුදල ස්වාමියාට වඩා වටිනා බව සිතුවොත් ඇය ගතිගුණවලින් දුප්පත්.

අපගේ බෝසතාණන් වහන්සේ ඇතැම් ජීවිතවල බ්‍රහ්මචාරීව බවුන් වඩද්දී යශෝධරා දේවිය තමයි පලවැල නෙළා ගෙනවිත් දී සැමියාව පෝෂණය කරමින් උපස්ථාන කළේ. එතුමිය කිසිවිටක සැමියා පහතට හෙළා කටයුතු කළේ නැහැ. බෝසතාණන් වහන්සේට දිවි පුදා උපස්ථාන කළා. යශෝධරා දේවිය සසරේ කිසි ජීවිතයක වධක, චෝර, ආර්යා භාර්යාවක් වී නැහැ. හැමදාම මවක්, මිතුරියක්, සොහොයුරියක් හෝ දාසි භාර්යාවක් ලෙස අපගේ බෝසතාණන් වහන්සේට උපස්ථාන කළා. එනිසාමයි ඒ වගේ උත්තමාවියන් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණේ.

එනිසා, ස්ත්‍රී වූ අපි කවුරුත් ඉවසීමෙන්, මෙලොව මෙන් ම පරලොව ද යහපත ගැන සිතා ගුණදහම් දියුණු කරගෙන කටුක සසරෙන් එතෙර වීමට උත්සාහ කරමු.”

නයනා නිල්මිණී.