රන්වන් අහස්ගැබ දිලෙන සන්ධ්‍යා යාමයේ උණ රුක්ගොමු අතරින් මෝරා එන පුන්සඳ පහන් සිළක් සේ අඳුර මකාලයි. හිරු බැසයාමට සූදානම් නිමේෂයක හිරු එළියටත් සඳ එළියටත් නොදෙවෙනි, ජීවිත ගන අඳුර මකාලන සූරිය වංශයෙහි ම උපන් සම්බුදු සමිඳාණෝ සඟ පිරිවර මැදිකොට දහම් දෙසමින් වැඩ සිටී. කුර ගැටෙන ශබ්දයෙන් යුතුව අශ්වසේනාවක් සමඟ පැමිණි මහා බලසේනාවක් නිසාවෙන් මොහොතකින් නිහැඬියාව බිඳී ගියේය. යළි මොහොතකින් පරිසරය නිහඬ විය. එකල්හි බ්‍රහ්ම ස්වරයෙන් යුතු බුදු වදන් පෙළක් වාතලයට මුසු වී සඟ පිරිස පසු කොට, පැමිණි පිරිසගේ සවන්පත් පිනවමින් හමා ගියේය.

තණ්හා ක්ලේශ මද මාන ඉච්ඡා සිඳී බිඳී ජීවිත ගන අඳුර දුරලමින්, ගමන් විඩාව ද නිවා, සැමසිත් නිවී පහන් වී නිකෙලෙස් රහත් උතුමන් දහස්නමක් ලෙසින් සඟ පිරිස පිටුපස දිස් වී ගියේය. සඟ පිරිස මැදින් ඉදිරියට වන් මේ දහසක් වූ රහත් උතුමෝ දෑත් නළලත තබා වැඳ පැවිදි බව ඉල්ලා සිටියෝය. “පින්වත් මහණෙනි, මෙහි එන්න.” යැයි ඇමතූ ශාස්තෘන් වහන්සේගේ එම වදනින් ම කෙස් රැවුල් ඉවත් වී ගියේය. සිවුරු පෙරවී ගියේය. පාත්‍ර දෝතට ආවේය. දෑත් එක්කොට නළලත තැබූ එක් රහතන් වහන්සේනමක් බුදු සමිඳුන් ඉදිරියේ වැඳ මෙසේ පවසා සිටියේ ය.

“ස්වාමීනී, මම කාළුදායි… ස්වාමීනී, මම කාළුදායි… ඔබවහන්සේ උපන් මොහොතෙහි උපන් මම කුඩා කල සිට ඔබවහන්සේට උවටැන් කළෙමි. සක්විති රජ සිහිනයක සිර වූ අප ඒ සිහිනයෙන් මුදවා ඔබවහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ සේක් දැන් ලොව්තුරා සම්බුදු පදවියට පත්ව වැඩ සිටින සේක.

ස්වාමීනී, ඔබවහන්සේගේ පිය රජු වූ සුදොවුන් මහ නිරිඳුන් ඇතුළු ශාක්‍ය කෝලිය වූ අපි, ඔබවහන්සේ වඩිනා තුරු බලා සිටියෙමු. ඔබවහන්සේ මේ වේළුවනයෙහි වැඩ සිටින බව ඇසූ අප මහරජාණෝ ඔබවහන්සේ කපිලවස්තුපුරයට වැඩමවාගෙන ඒමට දහසක පිරිවරක් එවූහ. අප හට දැනගන්නට ලැබුණේ ඒ දහසම ඔබවහන්සේගෙන් දහම් අසා අමා පැන් බී පැවිදි බව ලද වගයි.

ස්වාමීනී, සුදොවුන් නිරිඳාණෝ තවත් දහසක පිරිවරක් එවූහ. ඒ සියල්ලෝමත් පැවිදි බව ලැබූහ. මේ අයුරින් නව වාරයක දී නව දහසක් එවූ අතර ඒ සියලු දෙනා පැවිදි බව ලද නමුත් ඔබවහන්සේ කපිලවස්තුවට නොවැඩි සේක.

ස්වාමීනී, සුදොවුන් මහරජාණෝ මා අමතා මෙසේ කීවෝය. ‘දරුව, මා කොතෙකුත් පණිවුඩ යැවූ නමුත් මා පුතණුවන්ට කපිලවස්තුවට වඩින්නට යවන ඇරයුම නොලැබෙයි. එබැවින් පුත, ඔබ මා පුතණුවන් උපන් මොහොතෙහි ම උපත ලද කුඩා කල පටන් උවටැන් කළ මා පුතණුවන්ගේ මිතුරෙකි. යව, දහසක් සේනාව සමඟ ගොස් මා පුතණුවන්ට කපිලවස්තුවට වඩින්නට ඇරයුම් කරව.’

ස්වාමීනී, බොහෝ දුෂ්කර වූ සැටයොදුන් මග ගෙවාගෙන අපි පැමිණියෙමු. ඔබවහන්සේගේ අමා වදනින් අපගේ සිත් නිවී නිකෙලෙස් බව පසක් කළෙමු. අපිදු උතුම් පැවිදි බව ලදිමු.”

මෙසේ පැවසූ කාළුදායී මහරහතන් වහන්සේ කිඹුල්වත්පුර පරිසරය වසන්තයට සූදානම්ව පවත්නා අයුර සිහිපත් කළහ.

“ස්වාමීනී, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලුතින් ගෙඩි හටගන්න ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. ඒ ගස් බබළනවා ගිනි සිළු වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා.

ස්වාමීනී, දැන් ගොඩාක් සීතලත් නෑ. ගොඩාක් රස්නෙත් නැහැ. දීර්ඝ ගමනකට හොඳ සනීප දේශගුණයක් තියෙන්නෙ. ඔබවහන්සේ රෝහිණී ගංගාවෙන් එතෙර වෙලා වඩිනකොට බටහිර පැත්තෙ ඉන්න ශාක්‍ය කෝලිය වංශිකයන්ට ඔබවහන්සේව දැකගන්නට ලැබේවා!

ස්වාමීනී, හරිම ආසාවෙනුයි ගොවියෙක් කුඹුරක් හාන්නෙ. බිත්තර වී වපුරන්නෙත් ආසාවෙන්මයි. වෙළෙන්දන් මහ මුහුදෙ ගමන් යන්නෙ සල්ලි හොයන්නට ආසාවෙන්. මා තුළ තිබෙන මේ ආසාවත් ඉටුවේවා!

ස්වාමීනී, යම් පවුලක මහා ප්‍රඥාවන්ත, වීර්යවන්ත උත්තමයෙක් ඉපදුණොත් ඇත්තෙන් ම හත් වරිගෙට ම සැනසීම ලැබෙනවා. දේවාතිදේව වූ භාග්‍යවතුන් වහන්සේට ඊටත් වඩා සැනසීමක් ලෝකයට දෙන්න පුළුවන් කියලයි මම හිතන්නේ. ‘සත්‍යය’ කියල කියන්න පුළුවන් වෙන්නෙ ඔබවහන්සේට විතරයි.

ස්වාමීනී, අසහාය වූ, පිළිමයකට නගාලිය නොහැකි වූ, අකම්පිත සිත් ඇති බුදු සමිඳුන්ගේ පුත් රුවනකි මමත්.

ස්වාමීනී, ඒ නිසා සුදොවුන් රජු ඒ මගේ පියාගේ පියා ය. පින්වත් ගෞතම ශාක්‍ය රජු වූ සුදොවුන් රජු මාගේ දැහැමි සීයා ය.

ස්වාමීනී, මේ ඇරයුම පිළිගෙන කපිලවස්තුවට වඩින සේක්වා…!”

ඇරයුම පිළිගත් බුදු සමිඳාණෝ ‘හෙට එළඹෙන මැදින් පුන් පොහෝ දිනයෙහි ගමන් අරඹමි’යි සියල්ල සූදානම් කළ සේක.

විසිදහසක් වූ මහා ස ඟගණ පිරිවරා අප මහා මුනිඳාණෝ ගිනි අඟු‍රු සේ දිලි මලින් පිරි රුක් ගොමු අතරින් කපිලවස්තුවට ගමන් ඇරඹි සේක්, දුටු මනස්කාන්ත දසුනෙන් දෙව් බඹහු විත් පුෂ්පෝපහාර දක්වත්. දිව සුවඳ විහිදුවත්. සැදැහැතියෝ මග දෙපස පෙළගැසී දන් පැනින් පූජෝපහාර දක්වත්.

බුදු සමිඳුන්ගේ පසෙක පසඟ පිහිටුවා වැඳි කාළුදායී මහරහත් මුනිඳාණෝ මල් පිපි රුක් ගොමු අතරින් පාත්‍රය දෝතට ගෙන අහසට පැන නැඟුණහ. වලා ගැබ අතරින් කපිලවස්තුවට වැඩි හේ රජ මාලිගයෙහි සුදොවුන් මහරජ ඉදිරියේ පෙනී සිටියේය. විස්මයට පත් රාජසභාවෙහි අසුන්ගත මහරජාණෝ සැණෙන් මේ කාළුදායී මුනිඳුන් යැයි හඳුනා ගත්තේය. වහා සිට ගත් මහරජුට රහත් මුනිඳාණෝ පැවසූහ මෙසේ.
“මහරජුනි, මා සමඟ පිරිවර සේනාවෝ උතුම් රහත් බව ලබා පැවිදි උතුමෝ බවට පත් වූහ. මාගේ ඇරයුමින් විසිදහසක් රහත් මුනිවරු පිරිවරා බුදු සමිඳාණෝ කපිලවස්තුපුරය බලා පිටත් වූ සේක.”

රජුගේ ඇඟ කිලිපොළා ගොස් නිම්හිම් නැති සතුටෙන් මහරහත් මුනිඳාණෝ සිංහාසනයේ වඩා හිඳුවා දන් පැනින් පුද දුන්හ. දාන පාත්‍රය දෝතට ගත් අප රහත් මුනිඳාණෝ වඩින්නට සූදානම් වූ සේක්, රජු “කිම පුතණුවනි, තෙපි නොවළඳාම වඩින්නහු ද?”යි ඇසීය. උන්වහන්සේ රජු පහදවනු රිසියෙන් ඉර්ධි බලයෙන් අහසෙහි යමක් මවන්නට විය. තිර පටයක දිස්වන්නා සේ බුදු සමිඳාණෝ විසිදහසක් රහතුන් සමගින් වඩින අයුරු අහසේ දිස් විය. නිම්හිම් නැති සතුටෙන් ඉපිල ගිය මහරජු, බුදු සමිඳුන් කපිලවස්තුවට වඩිනා තුරු බුදු සමිඳුන්ගේ දාන පාත්‍රය රැගෙන යන්නට කාළුදායී මහරහතන් වහන්සේට ඇරයුම් කළේය. අප බුදු සමිඳාණෝ මේ අයුරින් මැදින් පුර පසළොස්වක පුන් පොහෝ දිනයේ ඇරඹි ගමන වෙසක් පුන් පොහෝ දිනයෙහි අවසන් කළ සේක.

ශාක්‍යසිංහ වූ අප බුදු සමිඳාණන්ටත්, කාළුදායි මහරහත් මුනිඳුන් ඇතුළු මහා සඟ පරපුරටත් අපගේ නමස්කාරය වේවා!

ශාක්‍යසිංහ වූ බුදු සමිඳාණෙනි
මේ සොඳුරු කාලයයි
කාලයයි මේ කාලයයි මේ
මව්බිමට වඩින කාලයයි…

දිලි දිලී තුරු ළපළු මලින් පිරි
ගිනිසිළුවන් ලියගොමු අතරේ
හමා හමා මඳපවන් සිසිල දී
පවනින් බුදුරැස් ගුණ පැතිරේ
රෝහිණියෙන් එතෙරට වඩිනා මුනි
සත්වරිගෙට සැනසුම දේවී…

වඳී වඳී සුරනරන් දෙපා මුල
එතෙර වෙමින් බියකරු සසරේ
නිවී නිවී හද ගුණෙන් පිරී ගිය
ලොව්තුරු සුවඳක් ලොව පැතිරේ
ශාක්‍යයන් මදමාන සිඳින මුනි
පෙළහර දකිනට කල් එළඹී…

ශාක්‍යසිංහ වූ බුදු සමිඳාණෙනි
මේ සොඳුරු කාලයයි
කාලයයි මේ කාලයයි මේ
මව්බිමට වඩින කාලයයි…

(මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසින් සම්පාදිතයි.)