ලෝකය ම නතර කරවපු මාරාන්තික කොරෝනා අර්බුදය හමුවේ සහමුලින් ම වෙනස් වුණ ජීවන රටාවන් එක්ක තවමත් වික්ෂිප්ත භාවයක් තුළයි අපේ කාලය ගෙවී යන්නේ. සමාජ දුරස්ථ භාවය, සමාජගත වීම, එන්නත්කරණය, ආසාදිතයන් සංඛ්‍යාව, කොරෝනා මරණ සංඛ්‍යාව, ආදාහනය – භූමදානය ආදී නොයෙකුත් මාතෘකා යටතේ දිනපතා ම සෑම මාධ්‍යයක ම වැඩි ඉඩකඩක් වෙන් කර ගන්නා කොරෝනා ව්‍යාධියේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ම මරණ බය පැතිරී ගොසින්.

වෙලාව ළං වෙලා ද?

මේ ගැටළුව චීනයෙන්, ඉතාලියෙන්, ඇමෙරිකාවෙන්, එක්සත් ජනපදයෙන් ඛේදනීය සමාජ පුවතක් නිර්මාණයට හේතුපාදක වෙද්දි නොවූ විරූ බයක් කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තිය සමඟ අපේ රටේ ඇති වුණා. ඒ එක්කම දිනපතා කොරෝනා මරණ 5 – 10 අතර සංඛ්‍යාවක් දැන් දැන් වාර්තා වෙමින් පවතින නිසා අප අවදානම් තත්ත්වයක ය යන හැඟීමකුත් අප තුළ ඇති වෙලා.

මේ බය සාපේක්ෂ දෙයක්. අවුරුදු 60ට වැඩි කෙනෙක්ගේ මරණය ඇහෙද්දි 60ට වැඩි අයට දැනෙන බය ඊට අඩු වයසක කෙනෙකුට දැනෙන්නේ නෑ. අවුරුදු තිස් ගණන්වල උදවියත් කොරෝනා හමුවේ ජීවිතයෙන් සමුගත් බව වාර්තා වෙද්දි තිස් හතලිස් ගණන්වල අයටත් යම් තැතිගැනීමක් ඇති වෙනවා. ඒ අතරේ කවුරුත් හිත හදා ගන්න උත්සාහ කරනවා, ‘ඒ උදවිය තව නොයෙක් නොයෙක් ලෙඩ රෝග තිබුණු උදවිය නෙව… අපට ඒ වගේ නෑ නෙව…’ කියලා. ඒ එක්කම දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු රෝග, හෘද රෝග ආදී තවත් ව්‍යාධීන් සහිත උදවියට තව තවත් තැතිගැනීම ඇති වනවා…

මරණය යනු කොරෝනා පමණ ද?

හැබැයි… මාරයා කියන්නේ කොරෝනා විතරක් ම නෙමෙයි… කන කෑම විෂ වෙලා මිනිස්සු මැරෙනවා. කන කෑම හිර වෙලත් මිනිස්සු මැරෙනවා. යන එන ගමනේ බිමනෙදි පය පැකිලිලා වැටිලා වුණත් මිනිස්සු මැරෙනවා. මේ ශරීරය නොයෙක් රෝගාබාධ හට ගන්න තැනක්. සමේ රෝග, අස්ථි රෝග, වකුගඩු රෝග, හෘද රෝග, අක්මාව අතුණුබහන් ආමාශය පිත්තාශය අග්න්‍යාශය ඇස් කන් නාසා දිව ආදී නොයෙක් තැන්වල නොයෙක් නොයෙක් නම් ඇති සිය ගණනක් වූ රෝගාබාධ වගේ ම සෙම් පිත් වා කිපීමෙන් හටගන්නා, ඍතු විපර්යාසයන්ගෙන් හට ගන්නා රෝග ආදී හඳුනා ගත් – හඳුනා නොගත් බොහෝ රෝගයන්ගෙන් මිනිස්සු මැරෙනවා. ගෙඩි, පිළිකා ආදියෙනුත් මිනිස්සු මැරෙනවා.

සතෙක් සර්පයෙක් දෂ්ට කරලා, වන සතුන්ගෙන් උවදුරු පැමිණිලා, හොර සතුරන්ගෙන් කරදර පැමිණිලා වගේ ම අමනුෂ්‍යයන්ගෙන් විපත් පැමිණිලාත් මිනිස්සු මැරෙනවා. නොයෙක් ස්වභාවික ආපදාවලින්, යුද්ධ කලකෝලාහලවලින්, අනතුරුවලින් මිනිස්සු මැරෙනවා. ජීවිතයට තියෙන්නේ එක නමයි වුණාට මරණයට නම් බොහෝමයක් තිබෙනවා. හැබැයි, මරණය කවර නමකින් ආවත් මරණින් මතු අප උපදින තැන කර්මානුරූපව යි තීරණය වන්නේ…

මරණය සෑම ජීවිතයක් සමඟ ම බැඳී පවතින්නක්. ජීවිතයේ කවර දෙයක් නොලැබුණත් කිසිවෙකුට කිසිදු වෙනසක් නැතිව මරණය ලැබෙනවා. සියල්ලෝ මැරෙනවා. මරණයට පත්වන ස්වභාවය සහිත වූ ම ජීවිතයක් පරිහරණය කරමින් සිටින්නවුන් සැබැවින් ම බිය විය යුත්තේ මරණයට නොවෙයි; ඉන්පසු සිදුවන – මියෙන්නවුන් අති බහුතරය විසින් කොතැනදැයි නිශ්චිත ව නොදන්නා උපතට යි…

මේ ලෝකය අත්හරින්න…

අද පණ සේ ආදරයෙන් සිටින පිරිස් පිරිවරාගෙන ‘රැකවරණ සහිත යැයි’ කියා සිතා ගත් ජීවිතයක් අප ගෙවනවා වුණත් මරණයේ දී අප ආදරය කරන – අපට ආදරය කරන සියල්ලන් හැර දමා යන්නට සිදු වනවා. ‘දාලා යන්නේ කොහොමද…’ කියලා මොන තරම් කනගාටු වුණත්, “දාලා යන්න එපා” කියලා ඔය ආදරණීයයන් අපේ මිනිය බදාගෙන හඬා වැළපුණා වුණත්, යම් දවසක ද අපේ මිනිය නිවසින් බැහැර කරන්නේ ඒ දවසේ රෑ ඔය ආදරණීයයන් තනියෙන් නිවසින් එළියට එන්නටත් බය වෙනවා… එදාට ගෙදර ජනෙල් පියනක් හුළඟට වැහුනත් ඔවුන් තිගැස්සෙනවා. අන්න එහෙම දෙයක් තමයි අපි මේ පරිහරණය කරන ජීවිතේ. ඇත්තටම එහෙම ජීවිතේක දාලා යන්න වෙන දේවල හිත පිහිටුවාගෙන මැරෙන එකේ කිසිම තේරුමක් නැහැ. මේ රැස් කරන කිසිම දෙයක කිසිම පිහිටක් පිළිසරණක් රැකවරණයක් අප කාටවත් නැහැ. ඒ දේවල් දැන්ම හිතින් අත්හැරීම ම යි වටින්නේ.

කර්මය දායාදය කරගෙන ඉපදුණු ලෝකයේ ගෙවපු කාලය තුළ රැස් කරගෙන එක්කර ගත්ත දේවල් හිත පිහිටුවාගෙන මිය ගිය උදවිය ඒ තැන්වල ම උපදිනවා. නමුත්, බැඳී ගත් හිත් ඇතිව, මසුරුකම් ඇතිව මළ පෙරේතයන්, මළ යකුන් වෙලා පරලොව වරදවාගෙන මිසක් සුගතිගාමී ව ඔවුන් ඒ තැන්වල උපදින්නේ නැහැ. එදාට, ‘දාලා යන්න බෑ’ කියලා හිතුණු – “දාලා යන්න එපා” කියලා කියපු ඥාතීන් ම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරලා, දොළ පිදේනි දීලා අප ව ඒ තැනින් අයින් කරන්න අපමණ ව වෙහෙසෙනවා. එහෙම දේවලට බැඳෙන්න එපා. අත්හරින්න…

රෝද දෙකක කථාවක්…

ඒ දේවල් අත්හැර දමලා, ඊ ළඟට යන තැන ගැනත් අප සිතිය යුතු ම වෙනවා. මිනිස් ලෝකයේ ජීවිතය ගෙවලා මියපරලොව යන උදවියගෙන් මහපොළොව හා සමාන වූ අතිවිශාල පිරිසක් දුගතියේ උපදිද්දි නියසිළට ගත්ත පස් ටික වගේ ඉතා සුළු පිරිසක් තමයි ආයෙමත් සුගතියට එන්නේ කියලයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙම නම්, ඒක සිද්ධ වෙන්නේ ඒ අයුරින්මයි. කෝටි සිය ගණනක් වූ මේ මිනිස් ජනගහනයෙන් අතිශයින් සුළු පිරිසක් තමයි ආයෙමත් සුගතියට එන්නේ. කෙළින් ඉඳලා උඩට යනව ද – ඇද වෙලා පහළට වැටෙනව ද කියන කාරණය තීරණය වෙන්නේ අප මත, අප සිත කය වචන මෙහෙයවන ආකාරය මත.

සම්බුදු මුවින් වදහළ මේ අසිරිමත් ධර්ම පර්යාය ඔබට මට කියා දෙන්නේ ඇද වැටෙන ඇද බව නැති කරන ක්‍රමය. ඒ ගැන සිත පහදවා ගන්න…

ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. ඒ දවසෙදි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මේ අතීත පුවත වදාළා.

“පින්වත් මහණෙනි, මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක්. පචේතන කියලා රජ කෙනෙක් හිටියා. ඒ පචේතන රජතුමා රාජකීය රථ හදන රථකාරයා ව අමතා මෙහෙම කිව්වා.

“යහළු රථකාරය, මෙයින් මාස හයකට පස්සේ මට යුද්ධයක් තියෙනවා. මිත්‍ර රථාකාරය, ඔබට පුළුවන් ද මට අලුත් රෝද දෙකක් හදලා දෙන්න?”

“පුළුවනි දේවයන් වහන්ස.” කියලා ඒ රථාකාරයා පචේතන රජුට පිළිතුරු දුන්නා.

ඊට පස්සේ පින්වත් මහණෙනි, ඒ රථකාරයා මාස හයට දවස් හයක් ඉතිරිව තියෙද්දී, එක රෝදයක් සාදා නිම කළා. ඉතින් පින්වත් මහණෙනි, පචේතන රජතුමා රථකාරයාව ඇමතුවා.

“යහළු රථකාරය, මෙයින් හය දවසකට පස්සේ මට යුද්ධයක් තියෙනවා. අලු‍ත් රෝද දෙක හැදුවාද?”

“දේවයන් වහන්ස, මාස හයකට දවස් හයක් ඉතිරිව තියෙද්දී මේ එක රෝදයක් නම් හැදුවා.”

“එහෙනම්, යහළු රථකාරය, ඔබට පුළුවන්ද ඉතිරි දවස් හයේදී දෙවෙනි රෝදය හදලා ඉවර කරන්න?”

“පුළුවනි දේවයන් වහන්ස.” කියලා ඒ රථකාරයා පචේතන රජුට පිළිතුරු දුන්නා.

ඊට පස්සේ පින්වත් මහණෙනි, ඒ රථකාරයා දවස් හයකින් දෙවෙනි රෝදය හදලා ඉවර කරලා ඒ අලු‍ත් රෝද දෙක අරගෙන පචේතන රජු ළඟට ගියා. ගිහිල්ලා පචේතන රජුට මෙය කිව්වා.

“දේවයන් වහන්ස, මේ අලු‍ත් රෝද දෙක හදලා ඉවරයි.” කියලා.

වෙනස කුමක් ද?

හරිම පුදුමයක්. මාස හයට දවස් හයක් අඩුව තිබිය දී ඒ මුළු කාලයම ගෙන සෑදූ රෝදයේත්, දවස් හයක් පමණක් ගෙන සෑදූ රෝදයේත් බැලූ බැල්මට කිසිම වෙනසක් නෑ. කිසිම කෙනෙකුට හොයන්න බෑ කාලය අරන් හැදූ රෝදය මොකක්ද – අඩු කාලයකින් හැදූ රෝදය මොකක්ද කියලා. පචේතන රජුගේ මුළුමහත් රාජසභාවම විමතියට පත් වුණා.

“හැබෑටම යහළු රථකාරය, ඔබ එක රෝදයක් හදලා ඉවර කරන්න මාස හයකට දවස් හයක අඩු කාලයක් ගත කළා. අනිත් රෝදය හදලා ඉවර කරන්න ගියේ දවස් හයයි. මේ දෙකේ වෙනස මොකක්ද? මට නම් මේ දෙකේ කිසිම වෙනසක් දකින්න නැහැනේ.”

“දේවයන් වහන්ස, මේකෙ වෙනසක් තියෙනවා. දේවයන් වහන්ස, මෙන්න බලන්න වෙනස්කම.”

ඊටපස්සේ ඒ රථකාරයා දවස් හයකින් හදලා ඉවර කරපු රෝදය තල්ලු‍ කරලා ඇරියා. ඒක තල්ලු‍ වෙලා, ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුනා. ඊට පස්සේ හය මාසයකට දවස් හයක් තියෙද්දී හදලා ඉවර කරපු රෝදය තල්ලු‍ කරලා ඇරියා. ඒක තල්ලු‍ වෙලා, ඒකෙ ස්වභාවය අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා, නිරුපද්‍රිතව (වැටෙන්නේ නැතුව) එහෙමම හිටලා නතර වුණා.

“යහළු රථකාරය, දවස් හයෙන් හදලා ඉවර කරපු රෝදය තල්ලු‍ වෙලා ගිහිල්ලා ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුනා. මේකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද? යහළු රථකාරය, හය මාසයකට දවස් හයක් තියෙද්දී හදලා ඉවර කරපු රෝදය තල්ලු‍ වෙලා ගිහිල්ලා ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කිසිම දෙයක් වෙන්නෙ නැතුව එහෙමම හිටල නතර වුණා. මේකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද?”

ඇද සහිත නම් ඇද වැටෙයි…

“දේවයන් වහන්ස, දවස් හයෙන් හදලා ඉවර කරපු රෝදයේ නිම්වළල්ල ඇද සහිතයි. දොස් සහිතයි. අඩුපාඩු සහිතයි. ගරාදිත් ඇද සහිතයි. දොස් සහිතයි. අඩුපාඩු සහිතයි. බොස් ගෙඩියත් ඇද සහිතයි. දොස් සහිතයි. අඩුපාඩු සහිතයි. ඒකේ නිම්වළල්ලත් ඇද සහිත නිසා, දොස් සහිත නිසා, අඩුපාඩු සහිත නිසා, ගරාදිත් ඇද සහිත නිසා, දොස් සහිත නිසා, අඩුපාඩු සහිත නිසා, බොස් ගෙඩියත් ඇද සහිත නිසා, දොස් සහිත නිසා, අඩුපාඩු සහිත නිසා තමයි පෙරළලා යැව්වට පස්සේ, ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කැරකිලා බිම වැටුනේ.

දේවයන් වහන්ස, ඔය මාස හයකට දවස් හයක් ඉතුරු වෙලා තියෙද්දී හදපු රෝදය තියෙනවනෙ. ඒකෙ නිම්වළල්ලත් ඇද නෑ, දොස් සහිත නෑ, අඩුපාඩු නෑ. ගරාදිත් ඇද නෑ, දොස් සහිත නෑ, අඩුපාඩු නෑ. බොස්ගෙඩියත් ඇද නෑ, දොස් සහිත නෑ, අඩුපාඩු නෑ. ඒකෙ නිම්වළල්ලත් ඇද නැති නිසා, දොස් සහිත නැති නිසා, අඩුපාඩු සහිත නැති නිසා, ගරාදිත් ඇද නැති නිසා, දොස් සහිත නැති නිසා, අඩුපාඩු සහිත නැති නිසා, බොස්ගෙඩියත් ඇද නැති නිසා, දොස් සහිත නැති නිසා, අඩුපාඩු සහිත නැති නිසා තමයි පෙරළලා යැව්වට පස්සේ ඒකෙ ස්වභාවයට අනුව යන්න පුළුවන් දුර ගිහිල්ලා කිසි දෙයක් නොවී එහෙමම හිටලා නතර වුණේ.”

මේ සා ශිල්පීය ඤාණයක් තිබුණ, ස්වකීය කෘත්‍යයෙහිලා මනා අවබෝධයක් තිබුණ ඒ රථාකාර ශිල්පියා ව ඉපිද සිටියේ අපගේ ශාස්තෘන් වහන්සේ යි. එකල උන්වහන්සේ ලීවල තිබුණු ඇදයන් ගැන, දොස් ගැන, අඩුපාඩු ගැන හොඳින් දන්නා දක්ෂ කෙනෙක්. ඉදින් සම්බුදු බවට පැමිණි උන්වහන්සේ අපේ ජීවිත ගැන දැන ගත්තේත් ඒ සා දක්ෂ භාවයකින් යුතුව ම යි.

අසිරිමත් සම්බුදු නුවණ…

“පින්වත් මහණෙනි, දැන් මේ කාලයේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වූ මා කායික ක්‍රියාවල ඇදයන් (අකුසල්) ගැනත්, කායික ක්‍රියාවල දොස් ගැනත්, කායික ක්‍රියාවල අඩුපාඩු ගැනත් හොඳින් දන්නා දක්ෂ කෙනෙක්. වචනයේ ඇද ගැනත්, වචනයේ දොස් ගැනත්, වචනයේ අඩුපාඩු ගැනත් හොඳින් දන්නා දක්ෂ කෙනෙක්. මනසේ ඇදයන් ගැනත්, මනසේ දොස් ගැනත්, මනසේ අඩුපාඩු ගැනත් හොඳින් දන්නා දක්ෂ කෙනෙක්.

පින්වත් මහණෙනි, යම් භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, කායික ක්‍රියාවල ඇද ගති, කායික ක්‍රියාවල දොස්, කායික ක්‍රියාවල අඩුපාඩු ප්‍රහීණ වෙලා නැත්නම්, වචනයේ ඇද ගති, වචනයේ දොස්, වචනයේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නැත්නම්, සිතේ ඇද ගති, සිතේ දොස්, සිතේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නැත්නම්, ඔවුනුත් මේ ධර්ම විනයේ නොපිහිටා වැටුණු අය වෙනවා. ඒක හරියට අර දවස් හයෙන් හදලා ඉවර කරපු රෝදය වගෙයි.

පින්වත් මහණෙනි, යම් භික්ෂුවකගේ වේවා, භික්ෂුණියකගේ වේවා, මේ කායික ක්‍රියාවල ඇද ගති, කායික ක්‍රියාවල දොස්, කායික ක්‍රියාවල අඩුපාඩු ප්‍රහීණ වෙලා නම්, වචනයේ ඇද ගති, වචනයේ දොස්, වචනයේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නම්, සිතේ ඇද ගති, සිතේ දොස්, සිතේ අඩුපාඩු ප්‍රහීණ වෙලා නම්, ඔවුන් මේ විදිහට මේ ධර්ම විනයේ පිහිටා සිටිනවා. ඒක හරියට අර මාස හයකට දවස් හයක් තියෙද්දී හදලා ඉවර කරපු රෝදය වගෙයි.

ඒ නිසා පින්වත් මහණෙනි, මෙන්න මේ විදිහට හික්මිය යුතුයි. ‘කායික ක්‍රියාවල වංක ගති, කායික ක්‍රියාවල දොස්, කායික ක්‍රියාවල අඩුපාඩු අත්හරිනවා කියලා. වචනයේ වංක ගති, වචනයේ දොස්, වචනයේ අඩුපාඩු අත්හරිනවා කියලා. සිතේ වංක ගති, සිතේ දොස්, සිතේ අඩුපාඩු අත්හරිනවා’ කියලා. පින්වත් මහණෙනි, ඔබ මෙන්න මේ විදිහටමයි හික්මිය යුත්තේ.”

(පචේතන සූත්‍රය – අං. නි. 1)

භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට ම වූ දහම් අවවාදය තමයි මේ. ඇද නැති, පළුදු නැති, ඍජු ස්වභාවයන් උපදවා ගනිමින් මේ ජීවිතය සංවර කර ගන්නට හැකි නම් – ධර්ම විනයේ පිහිටි ජීවිත සහිත වූ අප කරා මරණය මොන නමින් ආව ද ඒ හමුවේ අප පහළට ඇද වැටෙන්නේ නෑ…!

සටහන – උදුලා පද්මාවතී