සීලයෙන්, ගුණනුවණින් වැඩිහිටි උතුමන්ටත් මව්පිය ගුරුවර ආදී පූජනීය උතුමන්ටත් වැඳීම, බුදුරජාණන් වහන්සේගේ ධර්මය දායාද වීමත් සමඟ අපට ලැබුණු උදාර ගුණධර්මයක්. බටහිර රටවැසියන්ට එවැනි දායාදයක් ලැබිලා නෑ.

ඔවුන්ට ඇත්තේ මරණයෙන් සියල්ල අවසන් වේ ය යන දෘෂ්ඨිය හෝ නොනැසෙන ආත්මය දෙවියන් විසින් සදාකාලික ලොවකට ගෙනයනු ලැබේය යන දෘෂ්ඨියයි. එවැනි මිසදිටු මත ගොඩනැගුණු සංස්කෘතියක වැඳුම් ලබන්නන් ගැන කතා කිරීමක් නැත. එහි ඇත්තේ “ඇයි අපි තව කෙනෙකුට වඳින්නේ? ඒ අයත් අපි වගේම යි” යන අදහස ළදරු අවධියේ ම මුල් බැසගැනීමයි.

නමුත් වැඩිහිටි-ගුණවතුන්ට වැඳීමෙන් අගනා අනුසස් ලැබෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන් නුවණින් වැඩිහිටියන්ට නිතර සලකනවා නම්, ඔහු තුළ ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතර ම වැඩෙනවා.”

(ධම්මපදය)

ඒ වගේම මව්පියන්ට වැඳුම් පිදුම් කිරිමේ අනුසස් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් පෙන්වා වදාළා.

“මව්පියන්ට තමයි ‘බ්‍රහ්ම’ කියන්නේ ත්, ‘පූර්ව ආචාර්ය’ කියලා කියන්නේ ත්. දරුපරපුරට අනුකම්පා කරන ඒ මව්පියෝ දරුවන්ගේ පුද පූජාවන්ටත් සුදුසුයි. ඒ නිසා ඤාණවන්ත කෙනා ඒ මව්පියන්ට නමස්කාර කරනවා සත්කාර කරනවා. ආහාර පාන දෙනවා. වස්ත්‍ර සයන ආදියත් දෙනවා. නහවා පිරිසිදු කරනවා. පා දෝවනය කරනවා. මේ විදිහට සත්කාර කරනවා.

ඒ විදිහට මව්පියන්ට උපස්ථාන කරන ඤාණවන්ත කෙනා මේ ජීවිතයේදීමත් ගොඩක් ප්‍රශංසා ලබනවා. මරණින් මත්තෙත් දෙව්ලොව ගිහිල්ලා සතුටු වෙනවා.”

(සබ්‍රහ්මක සූත්‍රය – ඛු. නි. 01)