මෙය බොහෝ දෙනෙකුට මුහුණපාන්නට සිදුවන ගැටලුවකි. මෙවැනි අවස්ථාවලදී ඉවසීමෙන් ධර්මය මෙනෙහි කිරීම හැර කළ හැකි වෙන කිසිවක් නැත. බොහෝ විට අපගේ ම සංසාරගත දෝෂයන් නිසාත් මෙවැනි පීඩාවන්ට මුහුණ දීමට සිදුවන අවස්ථා ඇත. භාග්‍යවතුන් වහන්සේ වදාළේ අප්‍රිය සම්ප්‍රයෝගය දුක්ඛාර්ය සත්‍යයට අයත් දෙයක් බවයි. මෙවැනි පුද්ගලයන්ව මඟහැර සිටීමටත් නොහැකි අවස්ථාවන්ට ඇතැමුන් පත්වේ. එනිසා ඉතා ඉවසීමෙන් යුතුව ධර්මය ම මෙනෙහි කරමින් එවැනි අවස්ථාවලදී කටයුතු කළ යුතුය. විශේෂයෙන් ම මෙහිදී දුක්ඛාර්ය සත්‍යය ම මෙනෙහි කරමින් සසර ගමන ගැන කළකිරීම උපදවා ගතයුතුය.

අනෙක් අතට මෙවැනි අවස්ථාවලදී බොහෝ දෙනෙක් පීඩා විඳින්නේ තමා තුළ ම ඇතිකරගන්නා ද්වේෂයත්, අමනාපයත් නිසාවෙනි. එය හඳුනාගැනීම පහසු නැත. ඒ නිසා එවැනි පුද්ගලයන් ගැන මෙත් සිත ම උපදවාගෙන කටයුතු කළ හැකිනම් මෙයින් බේරීමට අවස්ථාව ඇත. එමෙන්ම එම අප්‍රිය අමනාප පුද්ගලයාගේ වුවද තිබෙන්නා වූ දෝෂයන් මෙනෙහි නොකොට ඔහු තුල යම් පමණ හෝ යහපත් ගුණයක් ඇත්නම් එය ම මෙනෙහි කළ යුතුය. පුද්ගලයන් පිළිබඳව මධ්‍යස්ථව උපේක්ෂාව උපදවා ගැනීම ද කළ යුතුය. එය කරන්නේ මේ සත්වයෝ කර්මය ම දායාද කොට සිටින බව මෙනෙහි කිරීමෙනි. එමෙන්ම පුද්ගලයන් දෙස විදර්ශනා ඥානය යොදවා මෙතන තිබෙන්නේ ධාතු ගොඩකි, දෙතිස් කුණුපයකි. තමා තුල ද තිබෙන්නේ ධාතු ගොඩකි යනාදී වශයෙන් මෙනෙහි කළ යුතුය. එවිටත් සිත උපේක්ෂාවට පත් වේ.