තිලොවට අගරජ වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍ර මහා කාරුණික සුගත තථාගත බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කොට වදාළ පරම නිර්මල ශ්‍රී සද්ධර්මය දෙව් මිනිස් ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව පුරා හතළිස් පස් වසක් මුළුල්ලේ ම දේශනා කොට වදාළ සේක. අපගේ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් මේ ජීවිත යථාර්ථය පැහැදිලි කරමින් විවිධ විචිත්‍ර ලෙස සොඳුරු උපමා යොදා ගනිමින් ධර්මය දේශනා කොට වදාළේ බුද්ධිමත් දෙව් මිනිසුන්ට අවබෝධ කර ගැනීම පිණිස යි. ඒ පරම නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගත් බොහෝ දෙව් මිනිසුන් ඒකාන්තයෙන් ම අමා නිවන් සුව අත්දුටු සේක් ම ය. දෙව් මිනිසුන්ගේ අසහාය වූ අද්විතීය වූ ශාස්තෘන් වහන්සේ වන අපගේ භාග්‍යවතුන් වහන්සේ ගුරුගෝල සම්බන්ධතාවය ගැන උපමාවට ගනිමින් ජීවිත අභ්‍යන්තරයේ සිදුවෙන අරගලය ගැන විස්තර වශයෙන් දේශනා කොට වදාළ සොඳුරු වටිනා දහම් කරුණක් ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.

අපි මේ ඉගෙන ගන්න වටිනා දහම් කරුණ ඇතුළත් වෙලා තියෙන්නේ සූත්‍ර පිටකයට අයත් සංයුත්ත නිකාය හතර වන පොත් වහන්සේගේ අන්තේවාසික සූත්‍රයේ. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාරනවා.

“අන්තේවාසිකමිදං භික්ඛවේ බ්‍රහ්මචරියං වුස්සති අනාචරියකං. සාන්තේවාසිකෝ භික්ඛවේ භික්ඛු සාචරියකෝ දුක්ඛං න ඵාසු විහරති. අනන්තේවාසිකෝ භික්ඛවේ භික්ඛු අනාචරියකෝ සුඛං ඵාසු විහරති”

“මහණෙනි, මේ බඹසර වසන්නේ (කෙලෙස් නමැති) ගෝලයන් නැතිව යි. (කෙලෙස් නමැති) ගුරුවරුන් ද නැතිව යි. මහණෙනි, (කෙලෙස් නමැති) ගෝලයන් ඇතිව, (කෙලෙස් නමැති) ගුරුවරුන් ඇතිව දුකිනුයි අපහසුවෙනුයි වාසය කරන්නේ. මහණෙනි, (කෙලෙස් නමැති) ගෝලයන් නැතිව, (කෙලෙස් නමැති) ගුරුවරුන් නැතිව ඉන්නා භික්ෂුව සැපෙනුයි පහසුවෙනුයි වාසය කරන්නේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙහි දී පෙන්වා දෙන්නේ මේ නිවන් මග පුරුදු කරන කෙනා කෙලෙස් නමැති ගෝලයන් සමඟ, කෙලෙස් නමැති ගුරුවරුන් සමඟ වාසය කරනවා නම් එයා වාසය කරන්නෙ දුකෙන්, අපහසුවෙන් කියලයි. නමුත් ගෝලයන් නැතිව ගුරුවරුන් නැතිව වාසය කරනවා නම් සැපසේ පහසුවෙන් ම යි වාසය කරන්නේ. අපගේ ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ තව දුරටත් විස්තර කරලා පෙන්වා දෙනවා.

“මහණෙනි, කෙලෙස් නමැති ගෝලයන් ඇතිව, කෙලෙස් නමැති ගුරුවරුන් ඇතිව ඉන්න භික්ෂුව දුකෙන්, අපහසුවෙන් වාසය කරන්නේ කොහොමද?”

මේ කියන කාරණය හොඳ කල්පනාවෙන් අපි ඉගෙන ගන්න ඕන. මේ විස්තර කරලා දෙන්නේ අපේ ජීවිතයෙන් පරිබාහිර දෙයක් ගැන, බාහිර ලෝකයක් ගැන නො වෙයි. මේ විස්තර කරන්නේ අපේ ජීවිතය ගැන ම යි, තමන් ගැන ම යි.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනවා.

“මහණෙනි, මෙහිලා භික්ෂුවට ඇසෙන් රූපයක් දැකලා කෙලෙසුන්ට බැඳෙන වේගවත් සිතුවිලි ඇති පාපී අකුසල් උපදිනවා. ඒවා තමයි ඔහු තුළ පදිංචි වෙලා තියෙන්නේ. ළාමක අකුසල ධර්මයන් ඔහු තුළ පදිංචි වෙලා තියෙනවා යන කාරණයෙන් තමයි කෙලෙස් නැමැති ගෝලයන් ඇතිව ඉන්නවා කියලා කියන්නේ. ඒ අකුසල් තමයි ඔහු ව හසුරුවන්නේ. පාපී අකුසල ධර්මයන් ඔහුව පාලනය කරනවා යන අර්ථයෙනුයි කෙලෙස් නමැති ගුරුවරුන් ඇතිව ඉන්නවා කියලා කියන්නේ.”

කනෙන් ශබ්දයක් අහනකොට, නාසයෙන් ගඳ සුවද දැනගන්නකොට, දිවෙන් රස විඳිනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් අරමුණු සිතනකොට මේ විදිහට ම සිද්ධවෙන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ විස්තර වෙන ආකාරයට අපි දන්නේ නැත්නම් “මේ ඇස හේතුන් නිසා හටගත්ත දෙයක්. හේතූන් නැති වීමෙන් නැති වෙලා යන දෙයක්. ඒ නිසා මේ ඇස අනිත්‍යයි. ඇස වෙනස් වෙනවා. ඇස මම නො වේ. මගේ නො වේ. මගේ ආත්මය නො වේ.” කියලා අපට මොකද වෙන්නේ? ඇසට පේන රූපයේ ඇත්ත දන්නේ නැත්තම්, ඇසේ විඤ්ඤාණයේ, ඇසේ ස්පර්ශයේ, ඇසේ ස්පර්ශයෙන් උපදින විඳීම්වල ඇත්ත දන්නේ නැත්නම්, ඒ කෙනා තමයි කෙලෙස් නමැති ගෝලයන් සමඟ, කෙලෙස් නමැති ගුරුවරුන් ඇතිව ඉතා ම දුක සේ අපහසුවෙන් වාසය කරන්නේ. කොහොමද ඒක වෙන්නේ? අපි ඒ ගැන විමසලා බලමු.

අපි උදේ අවදි වුණ වෙලේ ඉඳන් ම මේ ඇස, කන, නාසය, දිව, කය, මනස ලෝකෙට විවෘතයි. ඉතින් ඇස රූප පේන එක, කනට ශබ්ද ඇහෙන එක, නාසයට ගඳ සුවඳ දැනෙන එක, දිවට රස දැනෙන එක, කයට පහස ලැබෙන එක, මනසට අරමුණු සිතෙන එක අපිට නතර කර ගන්න බෑ. ඔන්න ඇසට රූප පේනවා. ඇස ගැන අවබෝධයකුත් අපට නෑ. රූප ගැන අවබෝධයකුත් අපට නෑ. ඉතින් මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ බුදු නුවණින් දුටු දේ සිද්ධ වෙනවා. ඇසෙන් රූප දකිනකොට කෙලෙසුන්ට බැඳෙන වේගවත් සිතිවිලි ඇති පාපී අකුසල් හට ගන්නවා. ඔන්න සිද්ධ වෙන දේ. ඒ හටගන්න පාපී අකුසල් තමයි තමන් තුළ පදිංචි වෙන්නේ. හරියට අර ගුරුවරයාගේ නිවසේ පදිංචි වෙන ගෝලයා වගේ. දැන් ඒ ගෝලයා ඉන්න ඕන කවුරු කියන විදිහට ද? ගුරුවරයා කියන විදිහට.

අන්න ඒ වගේ තමයි පාපී අකුසල් තමන් තුළ පදිංචි වුණා ම තමන්ට ඕන විදිහට කටයුතු කරන්න බලය නැතිව යනවා. දැන් ඒ කෙනා කටයුතු කළ යුත්තේ අර පාපී අකුසලය අණ දෙන පරිදියි.

මොහොතක් ඔබ හිතලා බලන්න ඔබේ ජීවිතය දිහා. ඇසට පෙනෙන රූපයක් නිසා කෙලෙස්වලට හිත බැඳිලා ගිහින් ඒ නිසා ම දුකට පීඩාවට අසහනයට පත් වූ අවස්ථා මොන තරම් ද! රාග සිතිවිල්ලක් වේවා, සිත වෙලා ගත්තට පස්සේ තමන්ට තමන් හසුරුවා ගන්න බෑ. ඒ අකුසලය විසින් අණ දෙන විදිහට කටයුතු කරනවා. ඒ අකුසලය විසින් එයා ව මෙහෙයවන්නේ මනුස්සයෙක් හෝ වේවා සතෙක් හෝ වේවා මරන්න නම් එයාගේ කායික ක්‍රියාව අසංවර වෙනවා.

අකුසලය විසින් එයා ව මෙහෙයවන්නේ අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න නම් කායික ක්‍රියාව අසංවර වෙනවා. අවිවාහක ව සිටිය දී හෝ විවාහක ව සිටිය දී අසද්ධර්මයේ යෙදෙනවා නම් කායික ක්‍රියාව අසංවර වෙනවා. රාග ද්වේෂ මෝහ කියන පාපී අකුසල්වලට යට වෙලා බොරු කියද්දී, කේළාම් කියද්දී, පරුෂ වචන හිස් වචන කියද්දී අකුසල් විසින් මෙහෙයවන එයාගේ වචනය අසංවර වෙනවා. කයයි වචනය යි අසංවර වෙද්දී මුලින් ම එයාගේ හිත අසංවර වෙලා අවසන්. ඔබ හිතන්නේ මේ විදිහට කය අසංවර ව, වචනය අසංවර ව, සිත අසංවර ව වාසය කරද්දී ඒ කෙනා පහසුවෙන් සැපෙන් ඉන්නවා කියල ද? කොයි තරම් භෞතික සැප සම්පත් මැද්දේ ජීවත් වුණත් අසංවර කෙනා ඉන්නේ අප්‍රමාණ දුකෙන්, අපහසුවෙන්, පීඩාවෙන්, කෙලෙස් ගින්නෙන් දැවි දැවී. මේ විදිහට කනෙන් ශබ්ද අහද්දී, නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කරද්දි, දිවෙන් රස විඳිද්දී, කයෙන් පහස ලබද්දී, මනසින් අරමුණු සිතද්දී හිතා ගන්න බැරි වේගයකින් සිතේ කෙලෙස් හට ගන්නවා. ගෝලයා ගිහින් ගුරුවරයාගේ ගෙදර පදිංචි වුණා ම ගුරුවරයා විසින් ගෝලයා ව මෙහෙයවනවා වගේ වේගයෙන් සිත වෙලා ගත්ත කෙලෙසුන් විසින් තමයි මේ ලෝක සත්වයා හසුරුවන්නේ.

මේ දේ අපේ ජීවිතය තුළ සිද්ධවෙන බැරෑරුම් දෙයක්. ඒ නිසා අපි මහන්සි ගන්න ඕන මේකෙන් මිදෙන්න. එහෙනම් කරන්න තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අවබෝධය අදහාගෙන, විශ්වාස කරගෙන ශ්‍රද්ධාවෙන් යුතුව ඒ ධර්මය ඉගෙනගෙන පුරුදු කරන එකයි. ඒ දහම තුළින් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස නම් වූ ජීවිතය අවබෝධ කර ගත යුතුයි. අන්න ඒ දේ තේරුම් ගන්න මහන්සි වෙන කෙනා මේ ආයතන සංවර කර කර වාසය කරනවා.

ඇසෙන් රූපයක් දකිද්දී කෙලෙසුන්ට බැඳෙන වේගවත් සිතිවිලි ඇති පාපී අකුසල් කෙනෙක් තුළ උපදින්නෙ නැත්නම් එයා තුළ පදිංචි වෙන්න අකුසල් නෑ. එහෙනම් එයා ව හසුරුවන්නේ කෙලෙස් විසින් නො වෙයි. එයා ව හසුරුවන්නේ උතුම් සද්ධර්මය විසින්. අන්න එයා තමයි මේ ලෝකෙ සතුටින්, සැපෙන්, පහසුවෙන් වාසය කරන්නේ.

අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරේ කරුණාවෙන් වදාළ මේ උතුම් ධර්ම කරුණ හොඳින් ඉගෙනගෙන, අපේ ජීවිතයත් සංවර කරගෙන, කෙලෙස් නමැති ගෝලයන් නැතිව, කෙලෙස් නමැති ගුරුවරුන් නැතිව සැප සේ, සුව සේ, පහසුවෙන් වාසය කරන්න අපටත් වාසනාව උදා වේවා!

– මහමෙව්නාව අනගාරිකා භාවනා අසපුවේ මෑණියන් වහන්සේ නමකි.