highlights of the week
Home » NEW ARTICLES » නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

එදා වෙසක් සඳ පායා ආ දවසක්. ආකහේ නැගී ගිය පුන්සඳ වටකුරුවට දිලිහී ගියා. තරුකැට නිවි නිවී දැල්වී ගියා. සුවඳ දිදී හමා ගියා සිහිල් පවන්.

එදා තව්තිසාවේ සුධර්මා නමැති මැණික් පහයේ දෙව්සභාව රැස්වුණා. සිව්වරම් මහා දෙව්රජවරු සිව් දිසාවේ අසුන් අරා වැඩ උන්නා. ඔවුන්ගේ සෙන්පති දෙවිවරු යක්ෂ, ගාන්ධර්ව, කුම්භාණ්ඩ, නාග පිරිස් පිරිවරා වැඩ උන්නා. සක්දෙව් මහරජු රාජාසනේ වැඩ උන්නා. ‘දැන් අපගේ සක්දෙව් මහරජු මධුර වූ දම් පිළිසඳරකින් අප අමතාවි’ කියා දෙවිවරු නෙතුපිය නොසලා සක්දෙවිඳුන් දෙස බලා උන්නා. එතකොට සුමිහිරි දෙව්සර විහිදුවමින් සක්දෙවිඳු දෙව්සභාව ඇමතුවා.

“භවත් දෙවිවරුනි…. ඔබට පේනවා නොවැ… ආං… අර බලන්ට… අපූරුවට පායා ඇති සොළොස් කලා පිරි පුර හඳ! ඔව්… අද ඒ පායා තියෙන්නේ වෙසක් පුන්සඳ…! ඔව්, දෙවිවරුනි…. අද වගේ ම පුන්පොහෝ දිනක මහා අසිරිමත් දෙයක් වුණා නොවැ. ඒ අපගේ තථාගත සම්මා සම්බුදුරජාණෝ ලුම්බිනී සල්වනයේ උපන් දා! හප්පේ…. මගේ මතකයේ එය තාමත් රැව්දේ. එදා මේ තව්තිසාව එක ම දිව්‍ය සැණකෙළියක්! “මුනිඳු උපන්නෝ ය හො හෝ, මුනිඳු උපන්නෝ…. හැම සතුනගෙ දුක නිවනා මුනිඳු උපන්නෝ ය හො හෝ!” කියමින් ප්‍රීතියෙන් කුල්මත් වූ දෙව්කැළ අහස්කුස සිසාරා දෙව්පිළි සොලවමින් නට නටා සිටි අයුරු! අනේ ඒ අතීතය…. දැන් බොඳ වී ගිය මහා පුදුම සිහිනයක් වගෙයි.

ඔව්… ඊට පස්සේ මට මතකයි, ආයෙමත් වෙසක් මහා පුන්සඳ පායා ආ දවස…. ඔව්…. එදා නේරංජරා නදී තෙර, බෝ සෙවණේ, විදුරසුන් අරා, අප මහා මුනිඳුන් අමා නිවනට දිවි පුදා වැඩ හුන් දා. අයියෝ…. එදා ඒ මහෝත්තමයා ළඟට යොදුන් ගණනකින්වත් ළං වෙන්ට අපි කාටවත් ම බැරි වුණා. ඇයි, වසවර්ති මාරයා දසබිම්බරක් මාර සෙනඟත් එක්ක ඇවිත් උන්නාන්සේ ව වට කොළා නොවැ. අවීචි මහා නිරයෙන් උඩට ගත් මහා ගිනිදැල්වලිනුයි මාරයා අපගේ මහෝත්තමයාට පහර දුන්නේ. මහා ගල් වරුසාවලිනුයි, වැලි වරුසාවලිනුයි පහර දුන්නේ. අපි හඬ හඬා වැළපි වැළපී සිටියේ…. අයියෝ… ඒ වේලාවේ අපට උන්නාන්සේ ව තබා බෝධියවත් පෙනුනේ නෑ. මාර ප්‍රහාරයෙන් මුළු දඹදිව ම වැසී ගියා…. හරී ආශ්චරියයි දෙවිවරුනි…. එක්වර ම හැම දෙයක් ම පැහැදිලිව පේන්ට ගත්තා. බැලින්නම්…. අපගේ මහාවීර මහෝත්තමයා නිරුපද්‍රිතව බෝ මුල සුවසේ වැඩ ඉන්නවා! බෝ රුකේ පත්‍රයකටවත් සීරීමක් නෑ. ගිරිමේකුළු මහා ඇත් රජාත් එක්ක ම මාරයා බිම වැටිලා! මාර සේනාව හිස් ලූ ලූ අත පලා යනවා. ඒත් එක්ක ම අන්ධකාරේ පහවෙලා ගියා. වෙසක් සඳරැස් විහිදුනා. දෙවිවරුනි… එදා පාන්දර ජාමෙට නොවැ මං ඒ මනස්කාන්ත බුදු අසිරිය දැක්කේ! ෂා! හා! දෙවිවරුනි…. මාගේ මේ නේත්‍රා දෙක මහා පිනක් කොරලා තිබ්බා ඒ සම්බුදු අසිරිය දකින්ට…. ආ… හා… හරී ම අද්භූතයි! ඒ වේලාවේ මේ දස දහසක් සක්වළ ම සිහිල් වෙලා ගියා! නිවී සැනහී ගියා!

දෙවිවරුනි…. ආයෙමත් දවසක වෙසක් මහා පුන්සඳ පායා ආවා. එදා නම්… මහා මූසල දවසක්. එදා මුළු මහත් සක්වළ ම සලිත වුණා. කම්පා වුණා. අයියෝ…. එදා ලොවට ඉතා දුර්ලභව පහළ වූ එක ම එක ඇස, ඔව් ඒ එක ම එක ඇස සදහට ම නිවී ගියා නොවැ! දෙවිවරුනි…. ඔබට මතක ද…. දවසක් මං, අපගේ ශාස්තෘන් වහන්සේ බැහැදකින්ට මනුලොව ඉඳුසල් ලෙනට ගියා. අනේ…. එදා තමා උන්නාන්සේ මාව සිව් අපායෙන් ගොඩට ගත්තේ! එදා අපේ දෙවිවරු බොහෝ දෙනෙක් මං වගේ ම සිව් අපායෙන් නිදහස් වුණා නොවැ! අනේ අපට පිහිට වූ මාගේ ශාස්තෘන් වහන්සේ අකලට මල් පිපී ගිය සල් රුක් සෙවණේ පිරිනිවන් පාද්දී අපට දෙව්ලොව ඉන්ට බැරිව ගියා. උන්නාන්සේගේ පාමුල අපි ඇද වැටුණේ පරසතු මල් පෙති අහසින් බිම වැටෙනවා වගේ! හටගත් සෑම දෙයක් ම නැසී යන සුලු යි කියා භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඇත්තක් ම යි. දෙවිවරුනි, ඇත්තක් ම යි.

දැන් බලන්ට… රහතුන්ගෙන් බැබළී ගිය දඹදිවට මොකද වුණේ? දැන් දඹදිව මොනතරම් අන්ධකාරයි ද! ලක්දිවටත් ඔය අඳුර ඈත නෑ…. අයියෝ… ඒත් බලන්ට දෙවිවරුනි…. ලෝ දහමක අසිරිය!… තවමත් වෙසක් සඳ පායනවා!

ඉතිං… අද මේ දෙව්සභාවට, අප සරණ ගිය මාගේ ඒ ශාස්තෘන් වහන්සේට පමණක් පිහිටා තිබුණු ඉතා ම අසිරිමත් අති දුර්ලභ වූ නේත්‍රා ගැන කියන්ට හිතුණා. මේ දෙවිවරු හොඳට අසාගෙන ඉන්ට ඕනෑ. දෙවිවරුනි…. අපගේ ශාස්තෘන් වහන්සේට නේත්‍රා පහක් තිබුණා. ඔව්… පංච නේත්‍රයක්! ඇස් පහක්!

ඒ පංචනේත්‍රයෙන් පළමුවැන්න තමා උන්නාන්සේගේ ප්‍රකෘති නෙත් සඟළ. ඇත්තෙන් ම දෙවිවරුනි, ඒ මහෝත්තමයාගේ නෙත්සඟළ දිහා මං කෙළින් බැලුවේ නෑ. කෙළින් ම ඒ නේත්තරා දිහා බලන්ට තරම් ආනුභාවයක් මට තිබ්බේ නෑ! නමුත් බලන්ට…. ඒ උත්තමයා තමුන්නේ අසිරිමත් නෙත් සඟළ විහිදා තමුන්ට සෙවණ දුන් බෝධිය දිහා සතියක් ම බලා උන්නා නොවැ! ඒ මනස්කාන්ත සම්බුදු බැල්මෙන් ගලා ආ ලොව්තුරු නේත්‍ර කාන්තියෙන් බෝ රුක නැහැවී ගියා! තෙමී ගියා! ඒ බෝධීන් වහන්සේට නම් එය දරාගන්ට ආනුභාවේ තිබ්බා. දෙවිවරුනි, ඒ බුදු නෙත් සඟළ වන් සෝභාසම්පන්න නෙත් සඟළක් මේ දෙව් බඹුන් මරුන් සහිත ලෝකයේ වෙන කාටවත් ම තිබ්බේ නෑ. අහ්!

දෙවිවරුනි…. මං දවසක් අපූරු දෙයක් දැක්කා. ඔව්… මාගේ ශාස්තෘන් වහන්සේගේ නෙත් සඟළින් පංච වර්ණයකින් යුත් රශ්මි කදම්බයක් විහිදී යනවා දැක්කා. මට මේක තේරුම් ගන්ට බැරිවයි හිටියේ. ඉතිං මං දවසක්…. අපගේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පා පියුම් වන්දනා කොරලා ඒ ගැන අසා සිටියා. අනේ ඒ මහෝත්තමයා මට ඒක මෙහෙම කියා දුන්නා.

“සක් දෙවිඳුනි…. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ නෙත් සඟළින් පාට පහක් විහිදෙනවා ය කියලා ඔබ දුටු දේ හරි! ඔබ දැක්කා නේද තද නිල් පාටක් විහිදෙනවා. ඒ තද නිල්පාට විහිදෙන්නේ උන්වහන්සේගේ ඇස් පිහාටුවලින්. ඒ කියන්නේ ඇස් ලෝමවලින්. උපමාවට කීවොත් දියබෙරළිය මලේ තද නිල!

ඊ ළඟට දෙවිඳුනි, භාග්‍යවතුන් වහන්සේගේ නෙත් සඟළින් විහිදුනේ කහපාට නොවැ. කහ කීවේ රන්පාට. ඒ රන් පැහැ විහිදෙන්නේ උන්වහන්සේගේ ඇසිපිය ළඟින් ම යි. උපමාවකින් කීවොත් කිණිහිරි මලේ රන් පැහැ!

ඔබ කිව්වා නේද දෙවිඳුනි, භාග්‍යවතුන් වහන්සේගේ නෙත් සඟළින් තද රතු පැහැයක් විහිදුනා ය කියා. ඒ තද රත් පැහැ විහිදුනේ උන්වහන්සේගේ නේත්‍රයේ දෙපැත්තෙන්. ඒ කිව්වේ නාසය ළඟ ඇති කොණෙනු යි, ඇසපිය අනිත් කෙළවරේ කොණෙනු යි. උපමාවකින් කීවොත් ඉන්දගෝපකයන්ගේ රත් පැහැ!

සක්දෙවිඳුනි, ඔබ දුටු තද කළු පැහැ විහිදුනේ භාග්‍යවතුන් වහන්සේගේ නෙත් සඟළ මැද ඇති කළු ඉංගිරියාවෙනු යි. රතු පෙනෙළ ඇටයේ පේන කළු පැහැ නොවැ. තද ම තද නිල වගෙයි. ඒ නෙත් සඟළේ කළු ඉංගිරියාව හරි විශාලයි. ශෝභාසම්පන්නයි!

භාග්‍යවතුන් වහන්සේගේ නෙත් සඟළේ ඇති සුදු ඉංගිරියාවෙනු යි ඔබ දුටු සුදු පැහැ විහිදුනේ. ඒ කියන්නේ කළු ඉංගිරියාව දෙපස ඇති අති ධවල පැහැ. හරියට ම කීවොත් ඕසධී තරු එළියේ ඇති බබළන සුදු පැහැ! භාග්‍යවතුන් වහන්සේගේ නෙත් සඟළ දෙස දෙවිඳුනි, ඇසි පිය නොහෙළා බලා ඉන්ට හිතෙනවා. එතරම් ම මනස්කාන්තයි! සුපිරිසිදු යි! සුනිර්මල යි!”

ඔන්න ඔහොමයි දෙවිවරුනි, අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ පස් පැහැ දිස්නා මනරම් නෙත් සඟළ ගැන මට කියා දුන්නේ. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ මෙසේත් වදාළා.

“දෙවිඳුනි…. ඔබ දන්නවා ද භාග්‍යවතුන් වහන්සේට සිය ප්‍රකෘති නෙත් සඟළින් කොයිතරම් දුරක් පේනවා ද කියා? දවාලටත්, අන්ධකාර රාත්‍රියටත් කිසි බාධාවක් නැතිව දොළොස් යොදුනක් (යොදුන = 12 කි. මී.) දුරට පේනවා. අන්ධකාරය කීවේ මේ සාමාන්‍ය අඳුර නොවෙයි. චතුරංග සමන්නාගත අඳුර! ඒ කීවේ අංග සතරකින් යුත් අඳුර. ඒ මෙහෙම යි. ඔන්න හිරුත් බැසගියා. සඳ නැති කළුවර අමාවකත් තියෙනවා. පොළෝ තලේ ඝන වනාන්තරෙන් වැහිලා. ගගන තලේ පුරා කළු වලායෙනුත් වැහිලා. එතකොට තමයි අංග සතරෙන් යුත් අඳුර තියෙනවා කියන්නේ. ඕන්න ඔය අඳුරේ දී පවා බිත්තියක්, ප්‍රාකාරයක්, පරුවතයක්, ගසක් වැනි කොයියම් ම දේකින් වත් කිසිම බාධාවක් නැතිව උන්වහන්සේට බලන්ට ඕනෑ දේ පේනවා. කොටින් ම කීවොත්, තල ඇටයකට ලකුණක් තබා ඒක තලගැලකට දැම්මා කියමු. භාග්‍යවතුන් වහන්සේට ඉතා සුවසේ ඒ තල ඇටය තලගැලින් උඩට ගන්ට පුළුවනි.”

බලන්ට දෙවිවරුනි…. සාරිපුත්තයන් වහන්සේ මෙය කියා දෙද්දී මට සිතුණේ අප භාග්‍යවතුන් වහන්සේගේ මේ සාමාන්‍ය ප්‍රකෘති නෙත් සඟළ මොනතරම් පුදුම සහගතයි ද කියලා! අනේ…. ඒ අති පාරිශුද්ධ වූ මනරම් නෙත් සඟළකින් යුතුව වැඩ සිටි මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!”

එතකොට මුළු දෙව්සබය ම සාන්ත මිහිරි සරින් සාදු නාද පවත්වා අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කළා. සක්දෙව් රජු ආයෙමත් දෙව්සභාව ඇමතුවා.

“දෙවිවරුනි… අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ඊළඟ නේත්‍රය තමයි දිවැස. දිව්‍ය නේත්‍රය. ඒ මහෝත්තමයා තුළ පිහිටා තිබූ දිව්‍ය නේත්‍රය හරි පුදුමයි! දිවැස් ඇති අපටවත් කොහෙත්ම සිතාගන්ට බැහැ. අනේ ඒ ගැන මට කියා දුන්නේ අපගේ මහා ඉර්ධිමත් මහාමොග්ගල්ලානයන් වහන්සේ. දවසක් දා කාන්තිය විහිදෙන ඉන්ද්‍රනීල මාණික්‍යයක් වගේ බැබළි බැබළී වලාකුලක් වගේ සුවසේ පාවීගෙන උන්නාන්සේ අපගේ මේ තව්තිසාවට වැඩියා නොවැ. අනේ ඒ උත්තමයා අපට මොනතරම් සෙනෙහේවන්ත ද! උන්නාන්සේ තමයි මට මේ විස්තරේ මෙහෙම වදාළේ.

“සක්දෙවිඳුනි…. අප භාග්‍යවතුන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයෙන් මේ ඕනෑම ලෝකෙක සත්වයන් චුත වෙන හැටි, උපදින හැටි බලන්ට පුළුවනි. ඒ කියන්නේ සත්වයෝ චුතවෙන්නේ, උපදින්නේ නීච ලෝකයක ද උසස් ලෝකයක ද ඔවුන් ලස්සන ද කැත ද ඔවුන් ආනුභාව සම්පන්නයි ද නැද්ද, ඔවුන් ඉන්නේ සුගතියක ද දුගතියක ද ඔවුන්ට ඒ විදිහට චුතවෙන්ට, උපදින්ට හේතුභූත වෙච්චි කර්ම විපාක මොනවා ද කියා ඒ සෑම දෙයක් ම භාග්‍යවතුන් වහන්සේගේ දෙව් නෙතින් බලන්ට පුළුවනි.

එසේ බලද්දී දුක් විඳින සත්වයන් පෙනෙන විට අපගේ භාග්‍යවතුන් වහන්සේට මෙහෙම සිතෙනවා “අයියෝ… මේ සත්වයෝ කයෙන් වරදේ හැසිරිලා නොවැ. වචනයෙනුත් වරද්දාගෙන නොවැ. මනසිනුත් වරද්දාගෙන නොවැ. ආර්යයන් වහන්සේලාට නින්දා අපහාසත් කරලා නොවැ. මාපිය ගුරුවරුන්ටත් හිංසා කරලා නොවැ. මිසදිටුව සිට නොවැ. මිසදිටුව ගත් මනසේ සිට නොවැ මේ පව්කම් කරගෙන තියෙන්නේ. ඒ නිසා නොවැ මේ සත්වයෝ මෙතරම් බිහිසුණු දුක් ඇති නිරයේ ඉපිද ඉන්නේ. අහෝ!” කියලා.

ඒ වගේ ම දෙවිඳුනි, දෙව්ලොව උපත ලබා ඔබ වැනි දෙව්සැප විඳින සත්වයන් ව දිවැසින් දකින විට භාග්‍යවතුන් වහන්සේට මෙහෙමයි සිතෙන්නේ. ‘අනේ… මොනතරම් හොඳ දෙයක් ද! මේ සත්වයෝ කයිනුත් පින් කරලා. වචනයෙනුත් පින් කරලා. සිතිනුත් පින් කරලා. ආර්යයන් වහන්සේලාට ගරහා නෑ. සම්මා දිට්ඨියෙන් යුතුව ඉඳලා. ඒ අනුව යහපතේ හැසිරිලා. ඒ නිසා නොවැ දැන් මේ සත්වයෝ සුගති දෙව්ලොව ඉපිද ඉතා සැපසේ ඉන්නේ” කියලා.

ඒ වගේ ම දෙවිඳුනි, අප භාග්‍යවතුන් වහන්සේට කැමති නම් ඕනෑම ලෝකධාතුවක් ගැන දිවැසින් බලන්ට පුළුවනි. ලෝක ධාතු දෙක තුනක් ගැන පමණක් නො වේ. ලෝක ධාතු පනහක් සීයක් ගැන පමණක් නො වේ. සහස්සී ලෝක ධාතුව, ද්විසහස්සී ලෝක ධාතුව, ත්‍රිසහස්සී මහා සහස්සී ලෝකධතුව ගැන උනත්, ඒවායේ ඉන්නා අනන්ත අපරිමාණ සත්වයන් චුතවෙන, උපදින හැටිත් බලන්ට පුළුවනි. භාග්‍යවතුන් වහන්සේගේ දිව්‍ය නේත්‍රය මහා අසිරිමත් දෙවිඳුනි”
ඕන්න ඔහොමයි දෙවිවරුනි, අප මහාමොග්ගල්ලානයෝ අපගේ ශාස්තෘන් වහන්සේගේ දිවැස් නුවණ ගැන වදාළේ. සාධු සාධු… මේ අසිරිමත් දිව්‍ය නේත්‍රයෙන් යුතුව වැඩසිටි මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!”

එතකොට දෙව් සභාවේ සියලු දෙවිවරු මිහිරි සරින් සාධුනාද දෙමින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ සක්දෙව්රජු දෙව් පිරිස අමතා මෙහෙම කිව්වා.

“පින්වත් දෙවිවරුනි…. අප භාග්‍යවතුන් වහන්සේගේ තුන්වැනි ඇස මහා ප්‍රඥා නේත්‍රය යි! හප්පේ… ඒ මහා ප්‍රඥාව ගැන අප වැනි අය කොහොම නම් කියන්ට ද! මහා ගුරුළු රාජයෙක් මොනතරම් වීරියෙන් අත්තටු දිගෑරගෙන පියාඹා ගියත්, ඒකාට පුළුවනි ද මේ මහා නීල ගගන තලය වසා පැතිරෙන්ට පියාඹන්ට! මහා තිමිංගල මත්ස්‍ය රාජයා කොයිතරම් වේගයෙන් පීනා ගියත් ඒකාට පුළුවනි ද මේ මහා සයුරු ජලකඳ වැසී යන්ට පීනන්ට! භාග්‍යවතුන් වහන්සේගේ උපාසකයෙක් වන මං වාගේ කෙනෙක්ට හීනෙකින්වත් හිතන්ට පුළුවනි ද ඒ මහා ප්‍රඥා මහිමය ගැන! මං ඒ ගැන අහන්ට සුදුසු ම උත්තමයා සොයාගෙන ගියා. මං ඕක ඇසුවේ මේ උතුම් බුදු සසුනේ ප්‍රඥාවෙන් අග්‍රව වැඩසිටි අපගේ ධර්මසේනාධිපතීන් වහන්සේගෙන් ම යි. අනේ ඒ මහෝත්තමයා සිඟිත්තෙකුට හිරු මඬලක්, සඳ මඬලක් ගෙනහැර පානා සෙයින් මට මහත් ආදරයෙන් මෙහෙම කියා දුන්නා.

“සක්දෙවිඳුනි, එය මහා ගාම්භීර දෙයක්! භාග්‍යවතුන් වහන්සේගේ මහාප්‍රඥා නේත්‍රය ගැන ශ්‍රාවක ඤාණයක පිහිටා ඉන්න මට නම් සර්ව සම්පූර්ණව තෝරා දෙන්ට කොහොමටත් බෑ. නමුත් සක්දෙවිඳුනි, මං හැකි පමණින් කියා දෙන්නම්.

දෙවිඳුනි… අපි මෙහෙම හිතමු. එක්තරා බඳුනක් තියෙනවා. ඒ බඳුනේ යට කොටසත් සමාන යි. ඒක වසන උඩ පියනත් සමානයි. එක තරම්. ඒ බඳුන වසන පියන යට බඳුනට තදත් නෑ, බුරුලත් නෑ. යට බඳුන උඩ පියනට තදත් නෑ, බුරුලත් නෑ. එකිනෙකට ගානට ගැළපෙනවා. එතකොට බඳුනත් පියනට ගැළපෙනවා. පියනත් බඳුනට ගැළපෙනවා. අන්න ඒ වගෙයි.

මේ ලෝකයේ අවබෝධ කළ යුතු දේවල් යම්තාක් ඇත් ද, එය බඳුන වගෙයි. ඒ බඳුන මනාකොට සර්ව සම්පූර්ණව වසා තැබිය හැකි යම් පියනක් ඇත් ද භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව අන්න ඒ වගෙයි. ඒ කියන්නේ ලෝකයේ අවබෝධ කළ යුතු දේ ඉක්මවා ගිය ඤාණයක් අපගේ භාග්‍යවතුන් වහන්සේට නෑ. ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේගේ ඤාණය ඉක්මවා ගිය දෙයක් මේ ලෝකයේ කොහේවත් කොයියම් ම තැනකවත් නෑ. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට නොවැටහුණු දෙයක් අතීතයේ, වර්තමානයේ, අනාගතේ කොහේවත් නෑ.

දෙවිඳුනි, අප භාග්‍යවතුන් වහන්සේගේ මහාප්‍රඥාව ඉතාමත් ප්‍රභාෂ්වරයි. ඉතාමත් ගාම්භීරයි. ඉතාමත් තියුණුයි. ඉතාමත් පවිත්‍රයි. ඉතාමත් පෘථුලයි. ඉතාමත් ජව සම්පන්නයි. ඉතාමත් බල සම්පන්නයි. ඉතාමත් වේගවත්. ඉතාමත් විසාරදයි. ඉතාමත් ශක්ති සම්පන්නයි. ඉතාමත් ආශ්චර්යයි. ඉතාමත් අද්භූතයි. භාග්‍යවතුන් වහන්සේ සිය අසිරිමත් බුද්ධ කෘත්‍යය උසුලාගෙන සිටියේ ඒ මහා ප්‍රඥාවෙනු යි.

ඒ නිසා දෙවිඳුනි, භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාවට ලෝකයේ හටගත් සියලු ම දේ හසුවුණා. ඒ වගේ ම හට නොගත් අසංඛත ධාතුව වන අමා මහ නිවනත් හසුවුණා. ඒ මහා ප්‍රඥාවට මග හැරීගිය කිසිවක් නෑ. සමස්ත ලෝකධාතුව ම හසු වුණා. සමස්ත විමුක්තියමත් හසුවුණා.

දෙවිඳුනි… අන්ධකාරයේ සිට ආකහේ විදුලි කොටන එළියෙන් අස්ලොමින් අස්ලොමට විදින විස්මිත දුනුවායන්ගේ ඉලක්කය භාග්‍යවතුන් වහන්සේගේ මහා ප්‍රඥාවේ ඉලක්කය තරම් කිසිසේත් ම තීක්ෂණ නැ. සියලු පාෂාණයන් සිදුරු කොට සුණු විසුණු කොට සිඳ බිඳ දමන වජ්‍රායුධය භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව තරම් කිසිසේත් ම ශක්ති සම්පන්න නෑ. මහා සාගරයේ ඇතුළාන්තයට කිඳා බසින ගැඹුර භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව තරම් කිසිසේත් ම ගැඹුරු නෑ. ලෝකධාතුව පුරා විසිර නිදහසේ පැතිර ඇති අනන්ත අවකාශය භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව තරම් කිසිසේත් ම නිදහස් නෑ. සැබැවින් ම දෙවිඳුනි…. ඉතා අසිරිමත් ම යි ඒ මහා ප්‍රඥා නේත්‍රය!”

ඕන්න ඔහොමයි දෙවිවරුනි, අපගේ ධර්මසේනාධිපතීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥානේත්‍රය ගැන මට කියාදුන්නේ. සාධු… සාධු… අනේ ඒ මහා ප්‍රඥා නේත්‍රයෙන් දිලිහි දිලිහී වැඩහුන් මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!” කියා සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරද්දී මුළු දෙව්සබය ම සාධු නාදයෙන් ගිගුම් දුන්නා.

සක්දෙවිඳු තවදුරටත් දෙව්සභාව ඇමතුවා. “දෙවිවරුනි, මං දවසක් මනුලොව මගධ රාජධානියේ කුක්කුටපාද පර්වත ගුහාවේ මහා සිංහරාජයෙකු සේ තපෝගුණයෙන් සුශෝභිතව හුදෙකලාවේ සීල තේජසින් වැඩ හිඳ, දෙව් බඹුන්ගේ සිරස මත සිය පා යටිපතුල් මත තැවරී ඇති දුහුවිලි පිස දැමූ, අපගේ නෙතට රසඳුනක් වන් මහා කාශ්‍යපයන් වහන්සේ බැහැ දකින්ට ගියා.

“ස්වාමීනී, අනේ මා හට මාගේ ශාස්තෘන් වහන්සේගේ මහානුභාව සම්පන්න බුද්ධ නේත්‍රය ගැන කියා දෙන්ට” කියා උන්නාන්සේගේ රත් පියුම් පැහැගත් පා පියුම් වන්දනා කොට ඉල්ලා සිටියා. අනේ මාගේ මහා කස්සපයන් වහන්සේ මට අනුකම්පා කළා…. දෙවිවරුනි… ඒ උත්තමයා මහත් දයාවෙන් ඒ ගැන මට මෙහෙමයි කියා දුන්නේ.

“සක් දෙවිඳුනි, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහානුභාව සම්පන්න ඒ බුද්ධ නේත්‍රය නිසයි මේ බිහිසුණු සසරින් මං නිදහස් වුණේ. ඒ නිසා ම යි ඔබත් සෝතාපන්න වුණේ. අනේ අපට ශාස්තෘන් වහන්සේගේ පිහිට ලැබුණා. දෙවිඳුනි… ශාස්තෘන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තව බුද්ධ නේත්‍රයෙන් ලෝකසත්වයන් දිහා බලනවා. එතකොට කල්ප කෝටි ගණනකට කලින් වුණත් ඒ සත්වයන් යම් පිනක් කොට තිබුණොත් භාග්‍යවතුන් වහන්සේට ඒ පින පේනවා. ඒ වගේ ම ඒ සත්වයන් චතුරාර්ය සත්‍යය දකින්ට පින් කරලා තිබුණත් ඔවුන් සසරේ සැරිසරා යාමේ දී ඇතිවූ නොයෙක් පුරුදු නිසා විවිධ ගති ලක්ෂණ, චරිත පිහිටලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ බුදුනෙතට ඒවාත් පේනවා. සත්වයන් තුළ ඇති ගුණධර්මයන්ගේ අඩුවැඩිකම් පවා පේනවා. අතීත බුද්ධ ශාසනවල පැවිදි වෙලා නිවන් පතාගෙන කළ කැපවීම නිසා ඔවුන් තුළ ධර්මාවබෝධයට පිහිටා ඇති වාසනාව භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ නේත්‍රයට හරි අගේට පේනවා. රාත්‍රී කාලයක වුණත් ඈත කන්දක් මුදුනේ ඇති කුටියක පහනක් දැල්වී තිබුණොත් අපට පේනවා නොවැ. අන්න ඒ වගෙයි. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සත්වයන් සොයාගෙන යනවා. ඔවුන්ගේ පිනට ගැළපෙන දහම් දෙසනවා. එතකොට ඔවුන්ට අවබෝධ වෙනවා. සංසාර බන්ධනයෙන් නිදහස් වෙලා අමා නිවන සාක්ෂාත් කරනවා…. දෙවිඳුනි… ඒ බුද්ධ නේත්‍රය නම් හරිම අසිරිමත්! අපට නම් සිතාගන්ට බෑ”

ඕන්න ඔහොමයි දෙවිවරුනි, මාගේ මහා කස්සපයන් වහන්සේ බුදුනෙත ගැන මට කියා දුන්නේ. හා….! අසිරිමත් ම තමා ඒ බුද්ධ නේත්‍රය! සාධු… සාධු… ඒ අසිරිමත් බුදුනෙතින් වැඩ හුන් මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා! කියා සක් දෙවිඳු සාදු නාද පැවැත්තුවා. දෙව් පිරිසත් ප්‍රීතියෙන් කුල්මත්ව තම සිරුරුවලින් නා නා එළි විහිදුවමින් සාදු හඬ නැගුවා.

ඊට පස්සේ සක්දෙව්රජු දෙව්පිරිස අමතා මෙහෙම කිව්වා. “පින්වත් දෙවිවරුනි, දන්නවා ද ඔබ? ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේට තවත් අසිරිමත් නේත්‍රයක් තිබුණා. ඒ තමයි ඒ මහෝත්තමයාගේ පස්වැනි නේත්‍රය. ඒ නේත්‍රයට කියන්නේ සමන්තචක්ඛු කියලා. සමතැස කියලත් කියනවා. අනාවරණ ඤාණය කියලත් කියනවා. සර්වඥතා ඥානය කියලත් කියනවා. සියල්ල දත් නුවණ කියලත් කියනවා.

දවසක් දිවැස්ලාභීන් අතර අග්‍ර වූ අපගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ තව්තිසාවට වැඩි වේලෙහි මං උන්නාන්සේගෙන් තමා ඔය කාරණය අසා දැනගත්තේ. එදා ඒ උත්තමයා මට මෙහෙමයි ඒ ගැන කියා දුන්නේ.

“සක් දෙවිඳුනි, ඇත්තෙන් ම අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ නේත්‍රය ගැන අපට උනත් දැනගන්ට ලැබුණේ උන්වහන්සේ අපට ඒ ගැන වදාළ නිසයි. භාග්‍යවතුන් වහන්සේගේ ඒ සර්වඥ නේත්‍රය, සමතැස, සමන්තචක්ඛුව මේ සකල ලෝකධාතුව සිසාරා ලත් අවබෝධයක්. කොටින් ම කීවොත් සංඛත-අසංඛත සෑම දෙයක් ගැන ම පැතිරී තිබුණු අවබෝධයක්. දවසක් උන්වහන්සේ අපට මෙහෙමයි වදාළේ.

“මහණෙනි, මේ හේතුඵල කිසිවකින් නොහටගත්, කිසිවකින් නොකරන ලද, අසංඛත වූ නිර්වාණ ධාතුව තියෙනවා. මහණෙනි, යම්හෙයකින් ආන්න ඒ අජාත, අකත, අසංඛත නිර්වාණ ධාතුව නොතිබ්බා නම්, මේ හේතුඵල ධර්මතාවෙන් උපන්, සකස් වූ. සංඛත වූ ලෝක සත්වයාට කවරදාකවත් ගැලවීමක්, නිදහස්වීමක්, විමුක්තියක් නම් ලැබෙන්නේ නෑ. එනිසා මහණෙනි, මේ හේතුඵල කිසිවකින් නොහටගත්, නොසකස් කළ, අසංඛත නිර්වාණ ධාතුව තියෙන නිසා ම යි, ඒ නිසා ම යි මේ හේතුඵල ධර්මතාවෙන් උපන්, සකස් වූ, සංඛත වූ ලෝක සත්වයාට ගැලවීමක්, නිදහසක්, විමුක්තියක් තියෙන්නේ” කියලා.

බලන්ට දෙවිඳුනි, ඒ අසිරිමත් අනාවරණ ඤාණයේ මහිමය! භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතා ඤාණයෙන් මෙය දැක්කාට ලෝකයේ වෙන කවුරු නම් මෙය දනිත් ද! සර්වඥයන් වහන්සේනමකගේ අවබෝධයට බඳුන් වන විෂය ක්ෂේත්‍රය ලොව අන් සියල්ලන්ට ම අවිෂය, අචින්ත්‍ය, අනිර්වචනීය, අතුල්‍ය, අද්විතීය, අසාමාන්‍ය දෙයක්! නමුත් භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ නේත්‍රයෙන්, තමන්ට ඕනෑම මොහොතක සිත් පහළ කළ පමණින් දැනගන්ට පුළුවනි! ඉතිං දෙවිඳුනි…. අසිරිමත් නො වේ ද මේ සර්වඥ නේත්‍රය!”

දෙවිවරුනි, අපි මොනතරම් වාසනාවන්ත ද! මෙවැනි පංච නේත්‍රයෙකින් සමන්විත භාග්‍යවතුන් වහන්සේව අපටත් ඇසුරු කරන්ට, දැකබලාගන්ට, වැඳ පුදාගන්ට, සිත පහදවා ගන්ට, සරණ යන්ට ලැබුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලින් උපන්, බුදු නුවණින් උපන්, අමා කිරෙන් උපන්, බබළන ගිනි කඳන් වැනි තෙදින් දිලෙන, ශ්‍රාවක සඟරුවනත් ඇසුරු කරන්ට, දැක බලාගන්ට, වැඳ පුදාගන්ට, සිත පහදා ගන්ට, සරණ යන්ට ලැබුණා. මේ බුදු සසුනේ අපි හැමෝට ම පිහිට ලැබුණා. සාධු… සාධු… අනේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටියා නොවැ. අනේ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!” කියා සක්දෙව්රජු මහා හඬින් සාදු නාද දුන්නා. මුළු දෙව්සබය ම සාදු නදින් ගිගුම් දුන්නා. ස්වල්ප වේලාවකින් වෙසක් සඳ ටිකෙන් ටික වලාවකින් වැසී ගියා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අපමණ ලෝ සතුනට සෙත සැලසූ අසිරිමත් තථාගත දින චරියාව

භාග්‍යවතුන් වහන්සේ බත්කිස නිමවා ඔවුන්ගේ සිත්සතන් තම සිතින් පිරිසිඳ බලා ඇතැම් කෙනෙක් සරණාගමනයෙහි පිහිටත් ද ඇතැමෙක් සෝතාපන්න වෙත් ද සමහරු සකදාගාමී, අනාගාමී වෙත් ද සමහරුන් පැවිදිව අග්‍රඵලය වූ අරහත්වය ලබා ගනිත් ද එසේ දහම් දෙසන සේක.